දේවානම්පියතිස්ස රජු
මහා බෝධින් වහන්සේ පිළිගැනීම
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
අපගේ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ අපමණ උපහාර මැද වැඩම
වූ අයුරුත්, හඬ හඬා නැව මුහුදට සේන්දු කළ අයුරුත්, මුහුදේ දී නාගයන් ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ නා ලොවට රැගෙන යෑමට උත්සහායත්, සංඝමිත්තා රහත් තෙරණියගේ සෘද්ධිය
ඉදිරියේ ඔවුන් දමනය වූ අයුරුත්, නාගයන් නොයෙක් විලාප තබා මහා බෝධීන් වහන්සේ රැගෙන
ගොස් සතියක් පූජාවන් පවත්වා නැවත ලබා දුන් අයුරුත්, මිහිඳු මහ රහතන් වහන්සේ
සෘද්ධියෙන් එක් දිනකින් ම ලක්දිව කරා බෝධින් වහන්සේ වඩම්මවන අයුරුත් අප කථා
කළේය. අද එතැන් සිට
එදා ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ලංකාද්වීපයෙහි දඹකොළ පටුනට වැඩම කොට වදාළේය.
ලෝකයාගේ යහපත උදෙසා කරන කටයුතුවල රැඳී සිටින දේවානම්පියතිස්ස රජු මීට පෙර ධාතුන්
වහන්සේ වැඩමවද්දී සුමන සාමණේරයන් වහන්සේගෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ වැඩමවීම
ගැන අසා දැනගෙන තිබුණි. උඳුවප් මාසයේ පුර පක්ෂයේ පළමු දවසේ පටන් ම ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේට පූජා පවත්වනු පිණිස මහත් ආදරයෙන් යුක්තව පේ වී සිටියේය.
බෝධින් වහන්සේ
වැඩම වන මාවත සැරසීම
අනුරාධපුර නගරයේ උතුරු දොරටුවේ සිට දඹකොළ පටුන වරාය දක්වා ඇති මහා මාවත ජය ශ්‍රී
මහා බෝධින් වහන්සේ ගේ වැඩමවීම වෙනුවෙන් මුළු මාර්ගය දිගට ම පංච වර්ණ පුෂ්පයන්ගෙන්
අලංකාර කරවීය. නිල් මානෙල්, සුදු මානෙල්, රත් මානෙල්, රත් නෙළුම්, සුදු නෙළුම් යන
පස් පියුම් කළස් මඟ දෙපස තබමින් තවත් මල් විසිරවීය. විසිතුරු සළු මඟ දෙපස ධජ පතාක
සමඟ ලෙල දෙන්න සැලැස්වීය. රන්, රිදී, තැලි වලින් පැන් තැබුවේය. කෙසෙල් තොරණ්
තැබුවේය. සුවඳ විසිරෙව්වේය. දුම් වළා නැඟෙන ධූම තලි තැබුවේය. ඒ බෝධින් වහන්සේ වඩින
මඟ ශක්‍රයාගේ සුදර්ශන වීදිය වගේ කියා මිනිසුන් හඬ තැලීය. මේ කටයුතු මෙසේ සිදුකළේ
සුමන සාමණේර මහරහතන් වහන්සේ බෝධින් වහන්සේ වඩින විස්තරය රජුට ඒ ඒ මොහොත් දැන්වූ
නිසාවෙනි.
සමුද්‍රාසන
ශාලාව
මහ සයුරින් වැඩම කරවන ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දැකගත් ආශ්චර්ය අද්භූත ආකාරය
ඉස්මතු කොට පෙන්වීම පිණිස එතැන කරවූ ශාලාව සමුද්‍රාසන ශාලාව නමින් ලංකාවේ
ප්‍රසිද්ධියට පත්විය. සමුද්‍රාසන ශාලාව පිහිටි ස්ථානයෙහි වූ ශාලාවක සිටි රජුන්
මිහිඳු මහ රහතන් වහන්සේගේ සෘද්ධි බලයේ මහිමයෙන් මහා සයුරින් වැඩමවන ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ දැකබලා ගත්තේය. මිහිඳු මහරහතන් වහන්සේ මුහුදේ සිදුවන දේ අහසේ පෙනෙන
ආකාරයට සෘද්ධි කළේය.
දේවානම්පියතිස්ස රජු හඬ හඬා කඳුළු සලමින් බුදුගුණ කිය කියා ඒ දෙස බලා සිටියේය. එය
සිදුවූයේ සමුද්‍රාසන ශාලාවේදීය.
සැබවින්ම බෝධින් වහන්සේ වඩමවන මේ සිදුවීම විශේෂ වන්නේ ධාතුන් වහන්සේ වඩම්මන විට
මෙවැනි දේ සිදු නොවූ නිසාය. මෙහිදී රාජ පිරිස මෙන්ම රහතන් වහන්සේ පවා බෝධින් වහන්සේ
වඩමවනතුරු සමුද්‍රාසන ශාලාවට වී මඟ බල බලා වැඩ සිටියේය. එය අසිරිමත් විය.
ජය ශ්‍රී මා බෝධින් වහන්සේ ලක්දිවට සැපත්වීම
ශ්‍රී මහා බෝධින් වහන්සේ මුහුදට පිවිසි වහාම මුහුදේ රැල්ල නැවතුණි. කැඩපතක් සේ
නිශ්චලව ගියේය. ඇසට පෙනි පෙනීම නිල් මානෙල්, සුදු මානෙල්, රත් මානෙල්, රත් නෙළුම්,
සුදු නෙළුම් යන පස් පියුම් පිපෙන්නට ගත්තේය. වැහින වැහිපොද සේ දිව්‍ය පුෂ්පයෝ
අහසින් වැටෙන්නට විය. වැටෙන මල් දුටුවත් මිනිසුන් දෙවියන් දුටුවේ නැත. රහතන් වහන්සේ
වදාළේ ගව්වක් දුරින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩින බවයි. අහසේ දිව්‍ය තූර්ය නාද
පැතිරිණි. මිනිසුන්ගේ ශබ්ද පූජා එවිට දෙවැනි වුණි. මහත් වූ හරසර සිදුවිය. මෙතෙක්
මිහිඳු මහරහතන් වහන්සේ සෘද්ධියෙන් මවා පෙන්වූ තෙදවත් බෝධි ආගමනය දැන් නෙත ගැටෙද්දී
ලොමුඩැහ ගැන්වෙන සාදු නාද පැවැත්විණ. දේවානම්පියතිස්ස රජුට සිටින තැන තවත් සිටින්නට
නොහැකි විය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීම ගැන උපන්
පී‍්‍රති උද්වේගයෙන් යුක්තව“අන්න අප භාග්‍යවතුන් වහන්සේ ගේ හිරු රැස් බඳු රැස් ධාරා
විහිදුවමින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩින අයුරු” යනාදී වශයෙන් උදන් අනමින් මනාව
පිහිටි අඟපසඟ ඇති දෙවනපෑතිස් රජුන් ගෙල ප්‍රමාණයට මුහුද දියට බැස්සේය. ජය ශ්‍රී මහා
බෝධීන් වහන්සේ තම හිසට එය වඩම්මවා ගත්තේය. මාගේ මිනිසත් බව සඵල විණැයි උදන් ඇණුවේය.
ලංකා රාජ්‍යයෙන්
ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ පිදීම
ලංකාවෙහි සිටි දහසයක් වූ මහා කුලයන් හා එක්ව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිස්
මුදුනින් වඩම්මවාගෙන විත් වෙරළෙහි කරවූ ඉතා අලංකාර මණ්ඩපයක වඩා හිඳවූ ලංකාධිපති
දෙවනපෑතිස් රජුන් ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිදීය. මෙතැනදී ජය
ශ්‍රී මහා බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පූජා කරනවා කියන්නේ භූමිය පූජා කිරීම පමණක්
නොවේ. ඒ පිළිබඳව මහා ගණ්ඨිපදය ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.
මහා බෝධිං පන යස්මිං දිවසේ
රජ්ජේන පූජේ තස්මිං තස්මිං දිවසේ
සකළ ලංකාදීපේ රජ්ජතෝ උප්පන්නං
අයං ගහෙත්වා මහා බෝධි පූජං කාරේස
යම් දවසක ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පූජා ලබත් ද, ඒ ඒ දවසේ සකල ලංකා
රාජ්‍යයට ලැබෙන ආදායම බෝධින් වහන්සේ වෙනුවෙන් වෙන්කොට මහා පූජා පැවැත්විය යුතුය
යනුයි.
දොරටු පාලකයෙකුගේ
වෙස් ගත් රජු
රජුන් තමන්ගේ රාජ්‍යය ඒ දහසයක් වූ කුලයන්ට භාරකොට තමන්ම දොරටුපාල තනතුර ලබාගෙන තුන්
දිනක් දොරටු පාලකයෙක් ලෙස සිටි රජුන් එතැනදීත් නොයෙක් පූජාවන් පැවැත්වීය.
රාජාභරණයන්ගෙන් සැරසුන සොළොස්කුල ප්‍රධානීන් බෝධීන් වහන්සේ පිරිවරා ගත්තේය.
දොරටුපාල ලෙසින් අතින් කඩුවක් ගෙන අවට සිසාරා තුන් දිනක් බෝධින් වහන්සේට දාසව
උපස්ථාන කළේය. නොයෙක් පූජා පැවැත්වූහ. රජුගේ ශ්‍රද්ධාව කෙතරම් ද? ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ යනු මහා ප්‍රතාපවත් රජවරු දොරටු පාලකයන් සේ උපස්ථාන කළ පරම පූජනීය
වෘක්ෂයක් වන්නේ ය. රජවරු පවා මෙලෙස උපස්ථාන කළ බව දන්නේ නම් අද කාලේ සැදැහැවත් අය
කෙසේනම් බෝධින් වහන්සේට උපස්ථාන කළ යුතුද?
උඳුවප් මාසයේ පුර පක්ෂයේ දසවෙනි දින ඉතා සුන්දර රථයක අපගේ ජය ශ්‍රී මහා බෝධින්
වහන්සේ වඩා හිඳුවාගෙන එම රජුන් පාචීන විහාරය (තිස්ස විහාරය) ඉදිවන ස්ථානයෙහි බෝධින්
වහන්සේ වැඩම්මෙව්වේය.
නාගදීපය පිළිබඳව
තොරතුරු හෙළවීම
එහිදී මිහිඳු මහරහතන් වහන්සේ දසබලධාරී අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ලංකාවේ
නාගදීපයෙහි දී කරන ලද නාග දමනය ගැන රජුන්ට සම්පූර්ණයෙන් ම විස්තර සහිතව පහදා දී
වදාළේය. ඒ වනවිට නාගදීපය ගැන කවුරුත් දැන සිටියේ නැත.
නාගයන් වන්දනා කළත් එය අප්‍රකටය. රජුන් අපගේ භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ නාගදීපයට
වැඩම කොට කළ නාග දමනයේ විස්තර අසා ශාස්තෘන් වහන්සේ ඒ ඒ තැන්වල වැඩහුන් තැන් පරිභෝග
කළ තැන් සලකුණු කරවීය. පසු කාලයේ ඒ සලකුණු අනුව නාගදීපය සෑය ඉදිකොට වන්දනාමාන
කරන්නට පටන් ගති. මේ සිදුවීම අප්‍රකට ඉතිහාස තොරතුරකි.
දඹකොළ පටුනේ සිට තිවක්ක ගමට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩම්මවද්දීයි මේ සිදුවීම
සිදුවූයේ. රජුන් තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි දොරටුව ළඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
වඩා හිඳෙව්වේය. මෙයින් පසු මහත් හරසරින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මහමෙවුනා ශුද්ධ
භූමියට වඩමවන අයුරු ඊළඟ ලිපියෙන් ඉගෙන ගනිමු. එය ඉතා අසිරිමත් සිදුවීමකි.
- නයනා නිල්මිණි
|