Print this Article


බුදුවරු පිළිබඳථෙරවාදී අදහස්

බුදුවරු පිළිබඳථෙරවාදී අදහස්

ථෙරවාදය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ ත්‍රිපිටකයේ ඇතුළත් සම්බුද්ධ පරිනිර්වාණයට පසුව සකස්වුණු හා අටුවා – ටීකා ග්‍රන්ථවල ඇතුළත් අදහස්වල එකතුවයි. නිද්දේස පාලි, බුද්ධවංසපාලි, චරියාපිටක වැනි බුදුවරුන් සම්බන්ධ විස්තරාත්මක කරුණු ඇතුළත් ග්‍රන්ථයන්හි එම කරුණු සම්බුද්ධ පරිනිර්වාණයට පසුව එකතු වූ අදහස් ලෙස සිතීමට,අනුමාන කිරීමට කරුණු ඇත. විශේෂයෙන් අටුවා – ටීකා ග්‍රන්ථවල ඇතුළත් අදහස් හුදෙක්ම ථෙරවාදය නියෝජනය කෙරෙයි.

අංගුත්තර නිකායයෙහි බුදුවරු දෙවර්ගයක් පිළිබඳ විස්තර දක්නට ලැබේ. එනම් තථාගත අර්හත් සම්මා සම්බුද්ධ සහ පච්චේක බුද්ධ යනුවෙනි. එහෙත් අංගුත්තර නිකායට්ඨ කථාවෙහි බුදුවරු සිව්නමක් සිටින බව දක්වයි.

බුදුවරු සතරකි. ඒ සුතබුද්ධ, චතුසච්ච බුද්ධ, පච්චේක බුද්ධ, සබ්බඤ්ඤ බුද්ධ වශයෙනි.ඒ අතරින් බහුශ්‍රැත භික්ෂුව සුත බුද්ධ නම් වෙයි. රහතන් වහන්සේ චතුසච්ච බුද්ධ නම් වෙයි. අසංඛ්‍ය කල්ප දෙලක්ෂයක් පෙරුම් පුරා බුදුවන්නේ පසේ බුදු නම් වෙයි. අසංඛ්‍ය කල්ප හාරලක්ෂය හෝ අටලක්ෂය හෝ දහසය ලක්ෂය පෙරුම් පුරා බුදුවන්නේ සර්වඥ බුද්ධ නම් වෙයි.”

මෙහිදී පසේ බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යය තනිව අවබෝධ කරන්නේ නමුදු සර්වඥ නොවේ.සර්වඥ බුදුන් වහන්සේ නිරවශේෂව සියල්ල අවබෝධ කරති. මේ පිළිබඳව විස්තරයක් මූලපරියාය සූත්‍රයෙහි දක්නට ලැබේ.

මූලපර්යාය සූත්‍රයට අනුව පෘථග්ජනයා ලෝකය තණ්හා දට්ඨි මාන වශයෙන් අල්ලා ගනියි. ප්‍රඥාවෙන් තොර නිසා එසේ කරයි. (අපරිඤ්ඤතං) ආර්ය පුද්ගලයා රහත්වීමට පෙර ලෝකය නුවණින් අවබෝධ කරමින් සිටියි. ඔහු පෘථග්ජනයා තරම් දැඩිව ලෝකය අල්වා නොගනියි. රහතන් වහන්සේ ලෝකය ප්‍රඥාවෙන් අවබෝධ කළ නිසා තණ්හා, දිට්ඨි, මාන වශයෙන් නොගනියි. (පරිඤ්ඤතං) සම්මා සම්බුදුරදුන් ලෝකය ප්‍රඥාවෙන් අවබෝධ කොට නිරවශේෂයෙන් දැන දැක ගත් නිසා උන්වහන්සේ සර්ව ප්‍රාකාරයෙන්ම ලෝකය ප්‍රඥාවෙන් දැක ඇත. (පරිඤ්ඤතන්තං) මෙහි දැක්වෙන පරිඤ්ඤතන්ත සහ සබ්බඤ්ඤු යන පද සාමානාචාර්යෙහි යෙදී ඇත. පසේ බුද්ධ හා රහත් උතුමන් ලෝකය ගැඹුරු නුවණින් දැන ප්‍රඥාවෙන් අවබෝධ කළද උන්වහන්සේලාට ඕනෑම විෂය පථයක් පිළිබඳ දැනුම හා අවබෝධය නැත. උන්වහන්සේලාට ඇත්තේ සසරින් එතෙරවීමේ ප්‍රඥාව පමණි. සම්මා සම්බුදුවරු දැනගත යුතු සියල්ල පරතෙරටම (පරිඤ්ඤාතපාරං) අවසානයටම (පරිඤ්ඤතාවසානං) ඉතිරි නැතිවම (අනවසේසතෝ) අවබෝධ කර ඇත. නමුත් කෙලෙස් දුරලීම සම්බන්ධව බුදු, පසේබුදු, මහරහතුන්ගේ වෙනසක් නොමැති බව පෙනේ.

සංයුත්ත නිකාය අටුවාව,අප්පටිවිදින සූත්‍ර වර්ණනාවේ සම්බුද්ධ යන්න හඳුන්වනුයේ “සම්බුදු යන සියලු හේතු කාරණා මනාව අවබෝධ කළ යනුයි. සර්වඥ බුද්ධ, පච්චේක බුද්ධ, චතුසච්ච බුද්ධ, සූත බුද්ධ යනුවෙන් බුදුවරු හතර නමකි. ඒ අතරින් සමතිස් පෙරුමන් පුරා තනිවම මැනවින් සියල්ල අවබෝධ කළ උතුමා සර්වඥ බුද්ධය. අසංඛ්‍ය කල්ප දෙලක්ෂයක් පෙරුම් පුරා තනිව බුදුවුවෝ පසේබුදු නම් වෙති. සෙසු රහත්හු චතුසච්ච බුද්ධය,බහුශ්‍රැතයෝ සුත බුද්ධ නම් වේ.

මෙහිදී සමතිස් පෙරුමන් පිරීම හා අසංඛ්‍ය කල්ප හාර ලක්ෂයකට වඩා පෙරුම් පුරා තිබීම සම්මා සම්බුදුවරයෙකු වීමේ සුදුසුකම් සේ දක්වයි. මීට වඩා වැඩි දියුණු වූ අදහසක් දීඝනිකාය ටීකාවෙහි බ්‍රහ්ම ජාල සූත්‍ර වර්ණනාවේ දක්නට ලැබේ.

අඩුම කලකින් බුදුවන උතුමන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් ද, මධ්‍යම ප්‍රමාණයක් කාලයකින් බුදුවන උතුමන් අසංඛ්‍ය කල්ප ලක්ෂ අටක්ද (8) උපරිම කාලයකින් බුදුවන උතුමන් අසංඛ්‍ය කල්ප ලක්ෂය දහසයක් ද (16) පෙරුම් පිරිය යුතුය. මෙම භේදය හටගන්නේ ප්‍රඥාධික , ශ්‍රද්ධාධික වීර්යාධික එලෙස බුදුවීමට පෙරුම් පුරන අය තුළ ඇති නිසාය. ප්‍රඥාධික බුදුවරු තුළ ඊට සාපේක්ෂව ශ්‍රද්ධාව අඩුය. ප්‍රඥාව උපරිමය. ශ්‍රද්ධාධික බුදුවරු තුළ ප්‍රඥාව මධ්‍යමය. වීය්‍යාධික බුදුවරු තුළ ප්‍රඥාව වීය¸ය තරම් ප්‍රබල නැත. මෙම බුදුවරු තිදෙන බිහිවන්නේ බෝසතුන් නියත විවරණ ගන්නා අවස්ථාවෙහි,උද්ඝටිතඤ්ඤ, විපටිතඤ්ඤ, ඤෙය්‍ය යන තත්වයන්ගෙන් එකක සිටීම නිසාය.

මෙහි විස්තර වන ආකාරයට බෝසතුන් නියත විවරණ ගන්නා භවයෙහි උද්ඝටිතඤ්ඤ හෙවත් වහා වැටහෙන මනසක් සහිත වූවකු නම් ඔහු ප්‍රඥාධික ගමනක් අරඹයි. විපටිතඤ්ඤව සිටියේ නම් ඔහු ශ්‍රද්ධාධික ගමනක් අරඹයි. ඤෙය්‍ය තත්වයේ සිටියේ නම් වීය්‍ය¡¡ාධික ගමනක් අරඹයි. කෙසේ වෙතත් මෙම විග්‍රහ හේතුකොට ගෙන සර්වඥ බුදුවරුන්ගේ ප්‍රභේද තුනක් ඇත යන අදහස් සමාජගත වී ඇති බව පෙනේ. එනම් ප්‍රඥාධික, ශ්‍රද්ධාධික වීය¸ාධික , වශයෙනි. මෙයින් ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික ගණයටත් මෛත්‍රී බුදුන් වහන්සේ වීය¸ාක ගණයටත් අයත් වන බව විස්තර කෙරෙයි.

කෙසේ වෙතත් සර්වඥ බුදුවරයෙකු නියත විවරණ ගන්නා භවයෙහි කරුණු අටක් (8) සම්පූර්ණ කළ යුතු බව චරියා පිටක අටුවාවෙහි විස්තර කෙරේ. එනම්

1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා තිබීම 4. බුදුවරයෙකු හමුවීම 5. පැවිදිව සිටීම 6. අභිඥාලාභීව සිටීම 7. බුදුන් වහන්සේට උපස්ථාන කිරීම 8. බුදුවරයෙකු වීමේ දැඩි කැමැත්ත යන අටයි. මෙම කරුණු සම්පූර්ණ වීම අභිනීහාර නම් වෙයි. එසේ නියත විවරණ ලබාගත් බෝසතුන් සමතිස් පෙරුම් දම් පිරිය යුතුය. එනම් දාන ශීල ආදී සෑම පාරමිතාවක්ම පාරමී, උපපාරමී, පරමත්තපාරමී, ලෙස සම්පූර්ණ කළ යුතු වේ.

මුල් බුදුසමයෙහි හෙවත් බුදුන් වහන්සේ ජීවමාන සමයෙහිම දේශන සුත්‍රයක් වන දීඝනිකාය මහා පදාන සූත්‍රයෙහි ගෞතම බුදුන් වහන්සේට පෙර වැඩ සිට වෙනත් බුදුවරු සය (6) නමකගේ සහ ගෞතම බුදුන් වහන්සේ සමග හත් නමකගේ තොරතුරු විස්තර දක්නට ලැබේ.

මහා ප්‍රදාන සූත්‍රයෙහි හතක් ලෙස දැක්වූ බුදුවරු ගණනින් විසි අට නමක් කොට දක්වන්නේ ඛුද්දක නිකායෙහි බුද්ධවංස පාලියෙහි හා එම අට්ඨකථාවෙහිය. ඒ අනුව තණ්හංකර බුදුන් වහන්සේගෙන් පටන්ගෙන ගෞතම බුදුන් වහන්සේ තෙක් බුදුවරු විසි අට නමකි. එම කරුණූ විමසන ඇතැම් වියත්හු අටවිසි බුද්ධ නාමාවලිය ගෞතම බුද්ධ චරිතයට පුරෝකතනයක් හෝ ප්‍රතිනිර්මාණයකැයි පවසති. කෙසේ වෙතත් බුද්ධවංශයෙහි හා අටුවාවෙහි දැක්වෙන කරුණු නිරවශේෂයෙන් දැන ගැනීමට මඟක් නොමැතිවීම මහත් අඩුවෙකි.

ථෙරවාදී සම්ප්‍රදාය තුළ අටවිසි බුදුන් වහන්සේලා පිළිබඳ අදහසම මෙතරම් විශ්වසනීය ලෙස ගොඩනැගී ඇත්ද ?යන්න විමසා බලතොත් එය වඩාත් හොඳින් පැහැදිලි කළ හැක්කේ දීඝනිකාය අටුවාවෙහි මහා පදාන සූත්‍රය වර්ණනාවෙනි. එහිදී තණ්හංකර, මේධංකර , සරණංකර, දීපංකර යන සිව් බුදුන් වහන්සේලා පහළ වූයේ මීට කල්ප අසංඛ්‍ය ලක්ෂ හතරකට පෙරය. එසේම එම කල්පයකදී මෙම බුදුවරු සිව් දෙනාම පහළ වී ඇත. එතැන් පටන් ගෞතම බුදුරදුන් තෙක් ඒ ඒ බුදුවරුන් උපන් කාලය ගතකළ ආයුෂ ආදිය පිළිබද තොරතුරුද එහි අන්තර්ගත වේ.

මතු බුදුවන මෛත්‍රී බුදුරදුන් පිළිබඳ අදහස් හමුවන්නේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙහිය. එම සූත්‍රයේ දැක්වෙන තොරතුරුවලට අනුව මෛත්‍රී බුදුන් වහන්සේ පහළවන කාලය අනුමාන වශයෙන් මිස නිශ්චිතව උපකල්පනය කළ නොහැත. එසේ බුදුවරයෙකු පහළ වීමට වසර 100කට පෙර මිනිස් වෙසින් පැමිණෙන දෙවියෙකු අනාගතයෙහි බුදුවරයෙකු පහළවන බව හඟවන බවත් එය බුද්ධ කෝළාහල නම් වන බවත් බුද්ධවංසපාලි අටුවාව තොරතුරු දක්වයි.

අටුවා ටීකා යුගවලටත් පසුවී ලියැවුණු සම්පිණ්ඩිත මහා නිදාන වැනි ග්‍රන්ථයන්හි මෙතෙක් විශ්වයෙහි පහළ වුණු බුදුවරුන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනක් බව දක්වයි. සම්පිණ්ඩිත මහා නිදානයට අනුව බෝසත්වරයෙකු මනෝප්‍රනිඨාන, වචී ප්‍රනිඨාන, කාය ප්‍රනිඨාන ලෙස අභිනීහාර හෙවත් විවරණ ගැනිම් තුනක් පසුකළ යුතුය.අප බෝසතුන් සතියක සිට අබ පුදා බුදුබව පැතීම මනෝප්‍රණිඨාන ලෙසත්, මාතු පෝෂක,ජාතකයෙහි මවගෙන් විවරණ ලැබීම වචී ප්‍රථිත්ඨාන ලෙසත්, සුමේධ තාපස ව විවරණ ලැබීම කාය ප්‍රතිතිඨාන ලෙසත් විස්තර කොට ඇත. එසේ ආරම්භ කොට පැමිණ සර්වඥතා ඥානය සහිතව බුද්ධත්වයට පත්වන්නේ සම්මා සම්බුද්ධ නම් වෙති. උන්වහන්සේලා අතීතයෙහි අප්‍රමාණව වැඩ විසූ බවත් අනාගතයෙහි අප්‍රමාණව පහළවන බවත් ථෙරවාදී අදහසයි.