Print this Article


සොඳුරු ගෘහස්ථ ජීවිතයක්

සොඳුරු ගෘහස්ථ ජීවිතයක්

අද මෙම ධර්ම ලිපිය සඳහා මා තෝරාගනු ලැබූයේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයට අයත් සාරානීය වර්ගයේ අඩංගු නකුල පිතු සූත්‍ර දේශනාවයි.ගෘහස්ථ ජීවිතයක ඇති සොඳුරු බව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිළිවෙනවා. සොඳුරු බව කියන අදහසින් මතුකොට දක්වන්නේ කාමභෝගී ජීවිතයක් ගැනම පමණක් ම නොවෙයි. කායික, වාචසික සංවරය නම් වූ උතුම් සීලයෙහි පිහිටා බුදු දහමින් ප්‍රශංසිත ධර්ම මාර්ගය අනුගමනය කරමින් ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් සැනසීමක්, නිවීමක්, සංසිඳීමක්, ලබන්නා වූ ගෘහස්ථ සමාජ පරිසරයක් පිළිබඳවයි

අද මෙම ධර්ම ලිපිය සඳහා මා තෝරාගනු ලැබූයේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයට අයත් සාරානීය වර්ගයේ අඩංගු නකුල පිතු සූත්‍ර දේශනාවයි.ගෘහස්ථ ජීවිතයක

ඇති සොඳුරු බව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිළිවෙනවා. සොඳුරු බව කියන අදහසින් මතුකොට දක්වන්නේ කාමභෝගී ජීවිතයක් ගැනම පමණක් ම නොවෙයි. කායික, වාචසික සංවරය නම් වූ උතුම් සීලයෙහි පිහිටා බුදු දහමින් ප්‍රශංසිත ධර්ම මාර්ගය අනුගමනය කරමින් ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් සැනසීමක්, නිවීමක්, සංසිඳීමක්, ලබන්නා වූ ගෘහස්ථ සමාජ පරිසරයක් පිළිබඳවයි

මේ සඳහා අප ඇසුරු කර ගන්නේ ඉහත සඳහන් කළ නකුල පිතු සූත්‍ර දේශනාවයි. මේ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරි නගරය සමීපයෙහි, භේසකලා වන නම් මිගදායේ. මේ කාලයේ ම ඒ නගරය ඇසුරු කරගෙන ජීවත් වුණු නකුල මාතා, නකුල පිතා කියන මේ සොඳුරු ගෘහස්ථ ජීවිතයක් ගත කළ දෙමහල්ලන්ගෙන් නකුල පිතා බලවත් සේ රෝගී බවට පත්වුණා. බලවත් සේ ගිලන් බවට පත්ව සයනයෙහි වැතිරී සිටින තම ස්වාමියා වූ නකුල පිතා වෙතට සමීප වූ ස්වාමි දියණිය වූ නකුල මාතා මෙසේ සඳහන් කරනවා.

ගෘහපතියනි, ස්වාමිපුත්‍රයාණනි, නුඹ තෘෂ්ණා සහිතව. හෙවත් බලාපොරොත්තු, අපේක්ෂා සහිතව කළුරිය කරන්නට එපා. තෘෂ්ණා සහිතව කළුරිය කිරීම දුක් පිණිස හේතු වෙනවා. තෘෂ්ණා සහිතව කළුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසිනුත් ගරහා කොට තියෙනවා. ගෘහපතියනි, මෙය අහන්න ඔබ සිතනවාද? ඔබගේ ඇවෑමෙන් පසුව නකුල මාතා එනම්, මේ මට ගිහි ගෙදරක දරුවන් පෝෂණය කරන්නට ගෘහවාසය පවත්වාගන්නට නොහැකි වෙයි කියා. එසේ සිතන්නට එපා. ගෘහපතියනි, මට හොඳින් කපු කටින්නට පුළුවන්. එළුවන්ගේ ලෝම නෙලන්නට ඉතාම දක්ෂයි. මේ නිසා නුඹගේ ඇවෑමෙන් පසුව වුවත් මට දරුවන් පෝෂණය කරන්නටත් ගෘහවාසය මැනවින් පවත්වා ගන්නටත් දක්ෂකමක් තියෙනවා. ඒ සඳහා මම පොහොසත්. මේ නිසා ඒ ගැන සිතා සිතේ ඇලීමක් හෝ ගැටීමක් ඇතිකර ගන්නේ නැතිව ඒ වගේ ම තෘෂ්ණාවක් සිතේ පවත්වා ගන්නේ නැතිව කළුරිය කරන්න. ගෘහපතියනි, බලාපොරොත්තු අපේක්ෂා ඇලීම් සහිතව කළුරිය කිරීම දුක් පිණිස හේතුවෙනවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ පවා පෙන්වා දී තියෙනවා.මේ ආදී වශයෙන් නකුල මාතා තම ස්වාමියා වූ නකුල පිතාවන්ට ‘මාතුභරියා’ මෑණියන් වහන්සේ කෙනෙක් බඳු වූ බිරිඳක් සෙයින් ඉතාමත් ලෙන්ගතුව හා කරුණාවෙන් අවවාද කරනවා. අනුශාසනා කරනවා. මෙහි දී කෙටි අතුරු කතාවක් සඳහන් කරන්නට කැමැතියි. මේ නකුල මාතා, පිතා බුදුරජාණන් වහන්සේට මෙයට පෙරාතුව මුලින් ම මුණ ගැසුණු අවස්ථාවේ දී ගෘහස්ථ ජීවිතයක ඇති සැනසිලිමත් වූ කතාවක් ඉතාමත් විශ්වාසයෙන් හා අවංකවම ප්‍රකාශ කරනවා. එදා මුලින් ම බුදුරජාණන් වහන්සේ මුණගැසුණු මොහොතේ දී නකුල පිතා සඳහන් කරනවා, භාග්‍යවතුන් වහන්ස, මට කියන්නට කතාවක් තියෙනවා. ඒ අප දෙදෙනා පිළිබඳවයි. නව යෞවනයේ දී විවාහයට පත් වූ අප දෙදෙනා දැන් එක හා සමාන වයසකයි පසු වන්නේ. ඒ අවුරුදු අසූවක් පමණ නම් වූ ජීවිතයේ සැදෑ සමයේ. බොහෝම තරුණ වයසේ දී විවාහයට පත් වූ අප දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි අමනාප දෑසකින් කවදාවත් බලා නැහැ. මම සිතින්වත් අන් කාන්තාවක් කෙරෙහි වැරැදි සිතිවිල්ලක් ඇති කරගෙන නැහැ. එනම් කයින් සමීපවීමක් ගැන කුමක් පවසන්න ද? මම යමක් සිතුවා නම් නකුල මාතාවන් සිතුවේත් එයමයි. ශරීර දෙකක් වූවාට එකම ජීවිතයක් වගේ අපට දැනුණා. භාග්‍යවතුන් වහන්ස, මට අහන්න දැන ගන්න ප්‍රශ්නයක් තියෙනවා. එනම් මේ වගේ ගුණබර ස්වාමි දියණියක් නැවතත් එනම් මතු මත්තෙත් දකින්නත්, මුණගැහෙන්නත් එක්ව වාසය කරන්නත් කැමැතියි. මගේ බලාපොරොත්තුව ඉටුවෙනවාද? මේ කතාව අසාගෙන සිටින නකුල මාතාවත් අනෙක් පසෙක සිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්ස, මගේ ස්වාමියා සඳහන් කරන්නේ සැබෑවක්මයි. මමත් නව යෞවනයේ එකම වයසකදී විවාහ ජීවිතයට පත්ව දැන් අප දෙදෙනාම අවුරුදු අසූවක් තරම් වූ සමාන වයසේ පසුවන්නේ. එදා පටන් අද දක්වාත් කිසිඳු දිනක අමනාප දෑසකින් මගේ ස්වාමියා දෙස බලා නැහැ. වැරැදි ආකාරයෙන් සිතින්වත් අන් පුරුෂයෙක් කෙරෙහි සිතක් ඇතිකරගෙන නැහැ. කයින් සමීපවීමක් ගැන කුමක් සඳහන් කරන්න ද? මම යමක් සිතුවානම් මගේ ස්වාමියා සිතුවේත් එයමයි. ශරීර දෙකක් වූවාට එකම ජීවිතයක් කියා මටත් සිතෙනවා. මටත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මතුමත්තෙත් ඔහු දකින්නත්, මුණගැසෙන්නත්, එක්ව වාසය කරන්නත්, කැමැතියි. මගේ බලාපොරොත්තුව ඉටුවෙනවාද කියා.භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ සමාන සද්ධා, සමාන ශීලය, සමාන චාගය, හා සමාන ප්‍රඥාව පවතින ඔබ දෙපළගේ ඔවුනොවුන් කෙරෙහි පවත්නා බලාපොරොත්තු ඉටුවන බවයි. භාග්‍යවතුන් වහන්සේ, තවදුරටත් පැහැදිළි කරනවා ස්වාමියා බිරිඳ නම්වූ දෙදෙනාම සමාන ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රිය වචන කතා කරමින්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව, ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය දෑසින් බලමින් වාසය කරන්නේ නම් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවෙන බවයි.

ඒ සඳහන් කළ අතුරු කතාව ඔවුන්ගේ ජීවිතවල පවත්වා ගන්නා වූ ආරම්භයේ පටන් ම සුන්දර බව ඉතාම පැහැදිළියි. දීර්ඝ වූ සංසාර ගමනේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ බලවත් වූ කුසලයක ප්‍රතිඵලයක් හැටියටයි. එසේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබන මනුෂ්‍යයෝ වැඩිවියට පත්වන විට ඔවුනොවුන්ගේ අභිමත පරිදි ආවාහ විවාහ ජීවිතයන්ට පත්වෙනවා. මෙය බුදු දහමින් අනුමතකොට තියෙනවා. එහෙත් ඒ ගතකළ යුතු විවාහ ජීවිතය කෙසේ විය යුතු දැයි ‘සංවාස’ සහ ‘සිඟාලෝවාද’ සූත්‍රයන් හි මනාකොට පෙන්වා දී තිබෙනවා. ‘දේවෝ දේවියා සද්ධිං සංවස්සති’ දෙවියෙක් දිව්‍යාංගනාවක් හා සමඟ වාසය කරන පවුලක් සේ ඒ ගෘහස්ථ ජීවිතය ගත කළ යුතු බව දහමේ පෙන්වා දී තිබෙනවා. මේ නකුල මාතා පිතා දෙපළත් බුදු දහමේ පෙන්වා දෙන ප්‍රශංසනීය වූ ගෘහස්ථ ජීවිතයක සැබෑම ලක්ෂණ ඔවුන්ගේ ජීවිතවලින් මතුකොට දක්වා තිබෙනවා.

අප සඳහන් කළ නකුල මාතා, පිතාවන්ගේ ජීවිතයේ සැබෑ සමයේ තවත් කතා පුවතක් මේ නකුල පිතු සූත්‍ර දේශනාවෙන් උපුටා ගන්නවා. අන්න එයයි නකුල පිතු රෝගී වූ අවස්ථාවේ දී නකුල මාතාවන් ගුණබර අම්මා කෙනෙක් තම දරුවකෙªගේ දුකක දී ඉතාම සමීපව සිත සනසමින් කරන ප්‍රකාශය සඳහන් කරනු ලැබූයේ. එහෙත් එම ප්‍රකාශයේ තුළ ගැබ්ව පවතින්නේ සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයක් ගත කරන අම්මා කෙනෙක් හෝ ස්වාමි දියණියක් පවසන අදහසකට වඩා ධර්ම මාර්ගයෙන් පෝෂණය ලබා ඒ දහමින් ම සුවපත් කරගත් හදවතක් ඇති ආර්ය ශ්‍රාවිකාවක් විසින් පවසන ලද අදහස් පෙළකුයි. එහි සඳහන් කරනු ලැබූයේ තෘෂ්ණාවෙන් තොරව කළුරිය කරන්නට කියන අදහසයි. වර්තමාන පරිසරය තුළ යම් කෙනෙක් බලවත් ලෙස ගිලන් වූ විටක හෝ මරණාසන්න අවස්ථාවක දී හඬා වැළපීමෙන් ඔහු හෝ ඇයගේ සිතට තව තවත් ඇලීම් හා බැඳීම් ඇති කොට තෘෂ්ණාවම සකස්කොට පරලෝක ජීවිතය දුක් ඇති බවකට ඇද දමන්නට හේතුවන ආකාරයෙන් කටයුතු කරන බව දකින්නට හා අහන්නට තිබෙනවා.

අභාවිත සිත් ඇති සාමාන්‍ය මනුෂ්‍යයෝ තමන්ගෙන් වෙන්ව යන්නට සමීප වූ හෝ වෙන්ව ගිය ප්‍රියයන් පිළිබඳව හඬා වැළපෙන ආකාරයෙන් ඒ බව පැහැදිළි වේ. මට තනියි, පාළුයි, මගේ ජීවිතයේ ප්‍රියම වස්තුවක් නැතිවුණායි, මීට පසුව මා රැක බලාගන්නේ කවුරුන් ද? මා වෙනුවෙන් කටයුතු කළ ඒ අය මගෙන් වෙන්වීම දරාගන්නට බැරි ශෝකයකුයි. මේ ලෙසින් වෙන්වීම කවදාවත් මා විසින් බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. මෙය මගේ සිතේ සිහිනයක් වගෙයි, ආදී වශයෙන් ඇලීමෙන් හා බැඳීමෙන් යුතු තෘෂ්ණා සහිත බොහෝ අදහස් පවසමින් වෙන්වීමට සමීප වන හෝ බලවත් සේ ගිලන්ව සිටින අයගේ සිතට පවා ඇති කරන්නේ මතුකොට දක්වන්නේ තෘෂ්ණාවකුයි. එමෙන් ම අප්‍රමාණ දුකකුයි. එවැනි අදහස් පෙළක් ඇසෙන්නට ඇසෙන්නට අර රෝගී වූ හෝ මියැදෙන්නට ආසන්න අයගේ සිතෙහි බලවත් වූ ද දුකක් ඇතිවෙයි. අවබෝධයෙන් යුතුව වෙන්වන්නට ඇති අවස්ථාව නැතිව යයි. ඔහු හෝ ඇය ජීවත්ව සිටින අය කෙරෙහි තව තවත් බැඳෙන්නට පටන් ගනී. එම තෘෂ්ණාව ඔහුට සතර අපායේ දොරටු විවර කර දෙන බවට දහමට අනුව පැහැදිළි වේ.