Print this Article


බුදුපිළිමයේ උපත - 37: සංකස්සපුර

බුදුපිළිමයේ උපත - 38:

සංකස්සපුර

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග 

පුරාවිද්‍යා M sc පර්යේෂණ

බුදුපිළිමය පුරාණ භාරතයේ නිර්මාණය කිරීමට පෙර බෞද්ධ කලා ශිල්පීන් විසින් බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමට යොදා ගන්නා ලද්දේ සංකේත බව මීට ඉහතදී ද පෙන්වා දුන්නෙමු. භාරත දේශයේ මෙතෙක් හමුවී ඇති ඉතා පුරාණතම බෞද්ධ මූර්ති හා කැටයම් හමුවී ඇත්තේ මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් පුදබිමෙනි. බුදුපිළිම නිර්මාණය සඳහා සංකේත භාවිත කර ඇති ප්‍රථම අවස්ථාව මෙම භාරුත් පුදබිමෙන් හමුවේ.

ඉහත සඳහන් පුදබිමෙහි මෙන්ම සාංචි පුදබිමෙහි තොරණකද බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරවන අන්දම ශිලාමය මූර්ති ඵලකයන් මගින් නිරූපණය කර ඇත. එම ස්ථානයන්හි බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත මගිනි.

තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කිරීම - සාංචි ස්ථූප අංක 01

බෝධිසත්වයන් වහන්සේ උපන්දා සිට මහාමායා ගෞතමී තො මෝ කිසිදු වෙහෙසක් දුකක් නැතිව සැපයෙන් කල් යැව්වාය. ඕ අසිත සෘෂීන් විසින් ද ලක්ෂණ පාඨක බමුණන් විසින් ද තමන් පුත් කුමරුවාණන් පිළිබඳව කී අනාවැකි නිතර සිහිකරන්නී සිය නැගණියන් වූ ප්‍රජාවතී ගෞතමී ආදී නෑදෑ කාන්තාවන් හා ඒ ගැනම කතා කරන්නී මහත්මැ පී‍්‍රතියෙන් කල් යැව්වා ය. මෙසේ බලවත්ව පී‍්‍රතියෙන් සතුටින් කල් යවන්නී සතිය ගෙවුණු සත්වැනිදා රැයෙහි ඇසි පියා ගත්තී යළි මේ සිරුරෙන් නොම නැගිට්ටාය. තුසිත දිව්‍යලෝකයෙහි සොළොස්සැවිරිදි දෙව් කුමරක්හුගේ බඳු වූ දිව්‍ය ශරීරයක් ඇතිව ඇස් හැරියාය. හෙවත් දෙව් ලොව දෙව් පුතෙක්ව උපන්නාය. හේ දෙවියන් අතර මාතෘ දේව පුත්‍ර (මව් දේවපුත්) නමින් ප්‍රකට වූයේ සියලු දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට පාත්‍ර විය.

(ශාක්‍ය මුණීන්ද්‍ර වදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ පි. 17 – 18 2000)

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට විජම්බණ දෙසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

යටකී සේ තව්තිසා භවනයෙහි වස් විසු භාග්‍යවතුන් වහන්සේ වස් සතර මාසයෙහි නිතර දම් දෙසූ සේක. ඒ දේශනා පරිදි භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත කාලය වන තෙක්ම දම් දෙසා ඉක්බිති තමන් වහන්සේ වැනිම බුදුරුවක් මවා මා එනතෙක් මෙතෙක් ධර්මය දෙසාවායි අධිෂ්ඨාන කොට හිමාලයට වඩිනා සේක. එහිදී නාලිය දැවටූ වළඳා උතුරු කුරු දිවයිනේ පි¾ඩු පිණිස හැසිරී හිම පව්වටම ආපසු වැඩ එහි අනෝතත්ත විල ළඟ හිඳ දන් වළඳන සේක. ඒ වේලාවේදී සැරියුත් තෙරණුවෝ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත් කරති. වළඳා අවසානයෙහි සාරිපුත්‍රයෙනි, අද මම මෙතෙක් බණ කීමි එය තමන් ඇසුරු කරන භික්ෂුනට උගන්වවුයි නියෝග කොට තමන් එදිනෙදා තව්තිසා භවනයේ දී වළඳා සැරියුත් තෙරුනට දහම් වදාරණ සේක. ඉන් පසු තව්තිසා භවනයට වැඩ නිර්මිත බුදුරුව අතුරුදන් කොට ඒ බුදුරුව වදාළ තැන් සිට දහම් දෙසන සේක. මේ නියායෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මස ගත කළ සේක.

තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවර වැඩීම භාරුත් ස්තූප කැටයම ක්‍රි.පු. 02 ශ.ව
ඉන්දියානු කෞතුකාගාරය, කල්කටාව

(ඉහත සඳහන් ග්‍රන්ථය පි. 156 – 157 )

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩම කොට මාස තුනක් එහි සිට මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට ධර්මය දේශනා කළ සේක. එම ධර්මය ඇසීමෙන් පසුව මාතෘ දිව්‍යරාජයා, සෝවාන් ඵලයට පත් වූ බවත් අසූ කෝටියක් දෙවියන්ට මාර්ගඵල අවබෝධ වූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වේ. ඉන් පසු බුදුරජාණන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම සමූහයා පිරිවරාගෙන දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ රන් හිණිමගකිනි. සංකස්ස පුරය පිහිටියේ ඉන්දියාවේ උත්තරප්‍රදේශ්හි වසන්ත පුර්දා ඉටා දිස්ත්‍රික්කයේ ය. අසෝක රජතුමා විසින් (ක්‍රි.පූ. 272 – 232 ) ශිලා ටැඹක් ද මෙම පුදබිමෙහි පිහිටුවා තිබේ. අද එම ටැඹ නැතත් ඒ මත ඉදි කළ ගවරූපය ඒ අසළ දක්නට ලැබේ. පුරාණ භාරතයේ සංචාරය කළ චීන භික්ෂූන්වහන්සේ නමක් වූ ෆාහියන් හිමියෝද (ක්‍රි.ව. පස්වන සියවසේදී) එම අසෝක රජු ඉදිකරවූ ටැඹ හා විහාරය ගැන සඳහන් කරති. පුරාණ නටබුන් මේ පුදබිමෙහි දක්නට ලැබේ.

සංකස්සපුරයට වැඩම කළ අන්දම නිරූපිත භාරුත් සහ සාංචි මූර්ති කැටයම්

කලාකරුවන්ගේ අවධානයට යොමු වී ඇති තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේ තම මෑණියන් වූ තව්තිසා දෙව්ලොව උපන් මාතෘ දිව්‍ය රාජයාට දෙව්ලොව සිට දම්දෙසා සංකස්ස පුරයට වැඩම කරවීමයි. භාරුත් ස්තූපයේ අජාසත් ස්ථම්භයේ මේ දර්ශනය මූර්තිමත් කර ඇත. බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට ආපසු පෘථිවිය කරා පැමිණීමේ ගමන සඳහා ඉන්දු දෙවියන් විසින් මැණික් රත්රන් සහ රිදී වලින් නිම වූ හිනිමගක් සාදා දුන් බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ තම දෙපසින් ඉන්ද්‍ර බ්‍රහ්ම දෙවිවරුන් කැටුව මැද හිණිපෙළින් පොළවට බැස්ස අතර පහළ දී සැදැහැවත්හු සාදුකාර දෙමින් පිළිගත්හ. මෙම අවරෝහණය පෙන්නුම් කර ඇත්තේ හිණිමග මුදුණේ එක් පාද සළකුණක් සහ පහතම හිණිමග පෙත්තේ තවත් සිරිපද සළකුණක් ද නිරූපණය කරමිනි. එහි ඉහළ දකුණු පාදයේද පහළ වම් පාදයේද වශයෙනි. තවත් අවස්ථාවක සාංචි ස්තූපයේ උතුරු තොරණෙහි ඉනිමග පෙන්නුම් කර ඇත්තේ හිණිමග කෙළවරවල දෙකෙහි බෝධි වෘක්ෂය හා ආසනයක් වශයෙනි. එයින් පෙන්නුම් කරන්නේ ආරම්භක අවස්ථාවේ ඓතිහාසික හෝ පුරාවෘත්තමය විස්තර දැක්වීමේ දී කලාකරුවන් නිදහසේ සංකේත භාවිත කරන්නට ඇති බවයි.

(බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ - අති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ. පි. 74 – 75 (සරසවි ප්‍රකාශකයෝ - 2010


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 37: බුදුරජාණන් වහන්සේට ඇතෙකු සහ වානරයකු උපස්ථානය කිරීම