UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපමණ පෙළහර පාමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම වූ වගයි

මහත් හරසරින් දඹදිව් තලයෙන් පිදුම් ලබමින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දෙව් මිනිසුන්ගේ පී‍්‍රති ඝෝෂා මැද වෙරළ තීරයට වඩම්මන්නට යෙදුණි. ඒ අතර අනේක ප්‍රාතිහාර්ය සිදුවුණි. ධර්මාශෝක මහරජු හඬමින්, වැළපෙමින් බෝධින් වහන්සේ මුහුදට සේන්දු වන ආකාරය බලා සිටියේය. “මාගේ දසබල තථාගතයන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිරු මඬලක් සේ රශ්මි ධාරා විහිදුවමින් වඩින අපූරුව බලාපල්ලා” කියමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ වෙන්වීමෙන් ශෝකයට පත් ධර්මාශෝක මහා රජු නොයෙක් අයුරින් බුදුගුණ කිය කියා හඬ හඬා වැළපෙමින් මුහුදේ කරවටක් බැස බෝධීන් වහන්සේ නොපෙනී යනතෙක් බලා සිටියේය. “මම මුහුදේ කරවටක් ගිලී බෝ රජුන්ට පසු ගමන් ගියා සේ දේවානම්පියතිස්ස රජුද කරවටක් මුහුදේ බැස පෙර ගමන් කරත්වා” යැයි හඬ නැංවීය.

මුහුදේ විශ්මිත හාස්කම

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳුවා ගත් නෞකාව මහා සයුරට වේගයෙන් ඇතුළු විය. යොදුනක් ප්‍රමාණයේ මුහුදු රළ නැව වටා අතුරුදහන් විය. හාත්පස මුහුදු ජලය පාට හතකින් යුතුව නෙළුම් මල් පිපී ගියේය. අහසින් මිහිරි තූර්ය නාදයෙන් නොයෙක් අයුරින් ඇසුණි. නිල් මානෙල්, රත් මානෙල්, සුදු මානෙල්, රත් නෙළුම්, සුදු නෙළුම් සුවඳින් මුහුදේ සුවඳ පූජාව සිදුවුණේ ස්වභාවිකවම ය. මුහුදේ රළ නැවතී කැඩපතක් මෙන් නිසොල්මන් වුණි. මේ සිද්ධිය සත්‍යයක්ම ය. ධර්මාශෝක රජුන් මුල් වී ඉදිකළ සාංචියේ තොරන් කැටයම්වල සයුරේ පියුම් පිපුන අයුරු බෝධින් වහන්සේ වඩම්මන අයුරු කැටයම් කර ඇති ආකාරය අදටත් දකින්නට ඇත. අහසෙත් මුහුදුවාසි දෙවියන්, නොයෙක් සයුරුවාසී විමන්වල දෙවියන්, නොයෙක් පුෂ්ප පූජා පංචතූර්ය නාද පූජා ඉතා සොම්නසින් සිදුකළේය. මණිමේඛලා දෙව්දුව මහත් හරසරින් කළ පූජාවෝ මෙතැකයි කීමට අපහසුය. තම රාජ්‍යයට බුදුරජාණන් වහන්සේ වැඩිය පසු උපස්ථාන කරන සැදැහැවත් රජෙකු සේ ඈ උපහාර පූජා පැවැත්විය. මහත් උදාර පූජා පැවැත්වුණි. මල්පෙති ඉහිරවන ලද නිල් පලසක් මතින් ගමන් කරන ස්වර්ණ මයුරකු සේ ලක්දෙසට මහ බෝධින් වහන්සේ රැගත් නෞකාව සේන්දු වුණි. මේ අතර එක්වරම හාස්පස මාර්ගය නොපෙනී අන්ධකාර වුණි. සංඝමිත්තා රහත් තෙරණිය සිදුවී ඇති දෙය දිවසින් දුටුවේය.

නාගයන්ගේ හාස්කම්

මඟ දෙපස නොපෙනී ගියේ යොදුන් ගණන් දිග මුහුදුවාසී නාගයෝ හාත්පස වටකර ගත් නිසාය. ඔවුන් දුටුවේ නිල්වන් රශ්මි ධාරා විහිදුවමින් පූජනීය වස්තුවක් සයුරෙන් වඩම්මවන ආකාර යි. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ තමන් සතු කර ගැනීම පිණිස මුහුදුවැසි නාගයින් සෘද්ධි බලයෙන් නොයෙකුත් බලපෑම් කරන්නට විය. ඒ සමුද්‍රවාසී නාගයෝ මහා සුළං මවා මහා වර්ෂා ඇති කළේය. මහා අන්ධකාරයෙක් මැවුවේය. බිියවන ඝෝෂා ඇති කළේය.

සඟමිත් තෙරණියගේ සෘද්ධිය

එවිට අභිඥා බලයෙන් පරතෙරපත් අපගේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ගුරුළු රාජයෙකුගේ වේශයක් සෘර්ධියෙන් මවා ඒ මහා නාගයන් තැති ගැන්වීය. ගිනිකඳක් සේ භය වුණි. සූර්යය මඬල දෙකක් සේ භයානක නේත්‍ර යුගළ නාගයන්ගේ ළය උපුටා දමන තරම් භය ජනක වුණි. ඒ රුව දුටු නාගයෝ උමතු විය. තැති ගැනීමට පත් මුහුදුවැසි නාගයන් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ හට නොයෙක් අයුරින් ආයාචනා කරමින් “පින්වත් ආර්යාවෙනි, ගුරුළු වෙස අතහැර ස්වභාවයෙන් පෙනී සිටින සේක්වා. අපගේ බිය තැතිගැනීම් නැති කරන සේක්වා” කීය.එවිට කරුණා ගුණයෙන් තෙත් වූ සිත් ඇති ඒ උතුම් සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රමණ ස්වභාවයෙන්ම නැවේ පෙනී සිටියේය.

නාග විලාපය

නාගයෝ විලාප තබන්නට පටන් ගති “පින්වත් ආර්යාවෙනි, බුදුරජාණන් වහන්සේ මුචලින්ද නම් නා රජුගේ ධරණ වැල ගන්ධ කුට්ියක් සේ කොට සතියක් මුළුල්ලේ වැඩහිඳ නාගයින්ට සංග්‍රහ කළා නෙව. අහෝ! උන්වහන්සේගේ බෝධින් වහන්සේ වඳින්නට අපට පිනක් නැද්ද? අප එතරම් අවාසනාවන්තයෝ ද? බුදුවන දවසේ නේරංජරා නදියේ උඩුඟං බලා පාකොට හැරිය රන් තැටිය ලැබුණේ අපට නොවේද? අහෝ! උන්වහන්සේගේ බෝධින් වහන්සේ වඳින්නට අපට පිනක් නැද්ද? අප එතරම් අවාසනාවන්තයෝ ද? උරුවෙල් දනව්වේ තෙද පැතිරූ අපලාල නා රජු දමනය කොට සරණ සිල් දී අපට බුදු කරුණාවෙන් සංග්‍රහ කළා නෙව. අහෝ! උන්වහන්සේගේ බෝධින් වහන්සේ වඳින්නට අපට පිනක් නැද්ද? අප එතරම් අවාසනාවන්තයෝ ද? නන්දෝපනන්ද නම් අපගේ රෞද්‍ර ගති ඇති නා රජු දමනය කොට අපට පහසුව සලසන්නට මුගලන් තෙරිඳුන්ට අවවාද කළේ බුදුරජාණන් වහන්සේ නෙව. අහෝ! උන්වහන්සේගේ බෝධින් වහන්සේ වඳින්නට අපට පිනක් නැද්ද? අප එතරම් අවාසනාවන්තයෝද? අප අතර තිසරණ සරණ ගිය නා පිරිස කොතරම්ද? අහෝ! උන්වහන්සේගේ බෝධීන් වහන්සේ වඳින්නට අපට පිනක් නැද්ද? අප එතරම් අවාසනාවන්තයෝ ද? පින්වත් ආර්යයාවෙනි, අපෙන් සිදු වූ වරදට සමාව දී අවුරුදු හතක්වත් බෝධින් වහන්සේ වඳින්නට පුදන්නට ලබාදෙන සේක්වා යැයි නාගයෝ මහත් විලාප දෙන්නට විය.

නා ලොව සතියක් පුදලද බෝධිය

මෙබස් ඇසූ සංඝමිත්තා රහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම බුදුරජාණන් වහන්සේගේ ආඥාවක් බවත්, එය වෙනස් කළ නොහැකි බවත්, පවසා කාලය අඩුකොට සත් දිනකට බෝධින් වහන්සේ නා ලොවට වැඩමවීමට අවසරය වුණි. නැවත මෙසේ ද කීය. “එම්බා නාගයෙනි, මේ ලෝකයේ පටන් භවාග්‍රය දක්වා දස දහසක් ලෝක ධාතුවේ මට නො පෙනෙන තැනක් නම් නැත. එනිසා බෝ පූජාවට ආසාවෙන් බෝධීන් වහන්සේ සඟවන්නට උත්සාහ නො කරන්න. තිබෙන තැන දැනගැනීම මට අපහසු කාර්යයක් නොවේ. එනිසා ලැබුණ දින සතේ මහත් උපහාර කොට පින් රැස් කරගනු මැන” රහත් තෙරණිය නාගයින්ට අවවාද කොට බෝධීන් වහන්සේ ලබාදුන් සේක.

මහත් සතුටට පත් නාගයෝ බෝධින් වහන්සේ නාග ලොවට වඩම්මවා සත්රුවන් මණ්ඩපයේ සත්රුවන් පළඟක් තැන්පත් කොට පළිඟු ඡත්‍රයක් මත වඩා හිඳුවා නොයෙක් දිව්‍ය පුෂ්ප පූජා පැවැත්වූහ. කඩුපුල් මල් වර්ෂා වැස්ස වූහ. මල් මාලාවලින් සැරසූහ. නීල මාණික්‍යයෙන් මාලා පැලැන්දූහ. නාග නැටුම්, ගැයුම්, වැයුම් පූජා පිණිස සිදු කළහ. ඔවුන්ගේ උපහාරවලට සත්දින ඇසිල්ලක් මෙන් ගෙවී ගියේය. නමුත් රහත් තෙරණියගේ වචනය සිහිකොට හඬ හඬා බෝධින් වහන්සේ නැවෙහි තැන්පත් කළහ.

වෙනත් ලෝකවල බෝධීන් වහන්සේ වැඩ සිටිත්ද?

මේ ආකාරයට බුදු සසුනටම කැපවෙමින් නාගයන් බෝ රජුන් පිදූ එකම සතිය මෙයයි. නා ලොව බෝධින් වහන්සේ නමක් නොමැත. කෙදිනකවත් බෝධින් වහන්සේ නා ලොව වැඩමවිය නො හැක්කේම ය. එපමණක් නොව දෙව්ලොව සහ බඹලොවද බෝධින් වහන්සේ නැත්තේය. මනුලොව පමණක් බෝධින් වහන්සේ වැඩ සිටිති. එය ලෝක ධර්මතාවයකි. දෙවියන්, බඹුන්, නාගයින් මනුලොවට පැමිණ බෝධින් වහ්සේ වන්දනා කරති. පූජාවන් කරති. අදටද බෝධින් වහන්සේ හා සම්බන්ධව නාගයින්ගේ ආරක්ෂාව පුදුම සහගතය.

ජය ශ්‍රී මහා බෝ රජුනේ

මේ ආකාරයට නා ලොව මලින් ගඳින්, ගිලන්පසින්, මාණික්‍යයෙන් පිදුම් ලැබුවේ වෙන කිසිවෙක් නොව අපගේ අනුරාධපුර උඩමළුවේ විරාජමානව අදටත් වැඩසිටින උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේම ය. අපට නො පෙනුනාට අතීතය සිහිකොට මිනිසුන් පරයා නාගයින් උඩමළුවේ බෝධින් වහන්සේ කොතරම් හරසරින් වඳිනවා පුදනවා ඇත්ද?

මිහිඳු මහරහතන් වහන්සේගේ සෘද්ධියෙන් එක් දිනක් ඇතුළත බෝධින් වහන්සේ ලක්දිවට සැපත්වුණි. නා ලොවට බෝධිය වඩමවන අයුරු, නාග පූජෝපහාර, බෝධින් වහන්සේ ලක්දිවට සැපත් වන අයුරු සියල්ලම දේවානම්පියතිස්ස රජුට පෙනෙන්නට සැලස්වූයේ සෘද්ධි බලයෙනි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.


පසුගිය සතියෙන්:  ශ්‍රී මහා බෝධි පුරාණය-15:  දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දඹදිවෙන් වැඩම කිරීම

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]