බෞද්ධ ආර්ථික දර්ශනය – 11:
ධනය
වර්ධනය කර ගැනීම
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
උත්සාහයෙන් දැහැමිව සපයාගත් ධනය තවදුරටත් වර්ධනයකර ගැනීමෙහිලා අනුගමනය කළ යුතු
උපදෙස් හතරක් අංගුත්තර නිකායේ කුල සූත්‍රයෙහි ඇතුළත් වේ. විනාශ වූ දෙය සොයා සපයා
ගැනීම (නට්ඨං ගවේසන්ති) දිරාපත් වු දේ පිළිසකර කිරීම (ඡිණ්ණං පටිසංකරොන්ති) ආහාරපාන
සම්බන්ධයෙන් ප්‍රමාණය දැනීම (පරිමිත පාන භොජනා හොන්ති) සිල්වත් ස්ත්‍රියක හෝ
පුරුෂයෙකු නායකත්ත්වයේ තැබීම (සීලවන්තං ඉත්ථං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති) යනු ඒ
සිව්වැදෑරුම් උපදෙස්ය
කෙටි කලකින්
පොහොසතෙකු වීමට නම්
ධනවතෙකු බවට පත්වීමට අපේක්ෂා කරන අයෙකුට එම උපදෙස් හතර අනුගමනය කිරීමෙන් කෙටි
කලකින් පොහොසතෙකු බවට පත්විය හැකිය. ලොව යම් ධනවතෙකු වෙතොත් ඒ ඔහු හෝ ඇය ධනවතෙක්
බවට පත්ව තිබෙන්නේ මෙකී උපදෙස් හතරම හෝ එයින් එකක් හෝ අනුගමනය කිරීමෙන් බව
පැහැදිලිය.
විනාශ වු ධන සම්පත් නැවත සපයා ගැනීම
පළමු කරුණෙන් අවධාරණය වන්නේ විවිධ හේතු නිසා විනාශ වු ධන සම්පත් නැවත සොයා සපයා
ගැනීමයි. කාමභෝගී ගෘහ ජීවිතය පහසුවෙන් ගත කිරීම සඳහා ඉඩකඩම් මෙන්ම වෙනත් භෞතික
භාණ්ඩ රැසක් අවශ්‍ය වේ. ඉඩකඩම් ඇතුළු දේපළ මෙන්ම වෙනත් භෞතික භාණ්ඩ කලින් කලට විවිධ
හේතු නිසා විනාශයට පත්වේ. එය ස්වාභාවික වූවකි. කිසිවක් වෙනස් නොවී සදාතනිකව නොපවතී.
සියල්ල වෙනස් වෙමින් විනාශයට පත්වන බව බුදුසමයේ මූලික පිළිගැනීමයි. අනිත්‍යතා
සිද්ධාන්තයෙන් පෙන්වා දෙන්නේ එයයි. එසේ විවිධ හේතු නිසා විනාශයට පත්වන දේපළ හා
ඉඩකඩම් මෙන්ම වෙනත් භාණ්ඩ වෙනුවට නව දේපළ හා භාණ්ඩ රැස්කර තැබීම ආර්ථික වශයෙන්
සමෘද්ධිමත් වීමට අවශ්‍ය වේ. විනාශ වූ දේවල් නැවත සොයා සපයා නොගන්නා තැන භෞතික
වශයෙන් දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. භෝග සම්පත් වැඩිදියුණු කරගැනීමේදී මෙම පළමු
ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම අවශ්‍ය වේ.
දිරාපත් වන දේ ප්‍රතිසංස්කරණය
දෙවැන්නෙන් පෙන්වා දෙන්නේ දිරාපත්වන දේ ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. නිවාස
ගොඩනැගිලි හා වෙනත් භාණ්ඩ කාලයක් තිස්සේ පරිහරණය කිරීමෙන් හා ස්වාභාවික හේතුන් මත
දිරාපත් වේ. එසේ දිරාපත්වන දෑ නිසි කලකදී ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ. කලින්
කලට ප්‍රතිසංස්කරණ නොකරන දෑ ඉතා ඉක්මනින් විනාශයට පත්වන අතර නැවත ගොඩනැගිය නොහැකි
මට්ටමට පත්වේ. නිසි කල නඩත්තු නොකරන දේපළ හා වස්තුව නැවත ගොඩනැගීමේදී පෙරටත් වඩා
විශාල ධනයක් වැය කිරීමට සිදුවීමෙන් ආර්ථිකමය වශයෙන් පරිහානියට පත්විය හැකිය.
එබැවින් දිරිපත් වන දෑ කලින් කලට අලුත් වැඩියා කිරීම ආර්ථික දියුණුවට හේතුවේ. ධන
නිෂ්පාදනයේදී නඩත්තු කටයුතු වෙනුවෙන් මුදලක් වෙන්කර තැබීම මුදල් කළමනාකරණය කිරීමේ
එක් සාර්ථක පියවරකි. එසේම දිරාපත් වූ නිවසක වාසය කිරීම හා එවැනි භාණ්ඩ පරිහරණය
කිරීම එක් අතකින් තමා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇතැයි යන්න සමාජ ගත කිරීමකි. එය
තමන්ගේ ව්‍යාපාරයට මෙන්ම සමාජ ගෞරවයටද නරක අන්දමින් බලපෑම් ඇතිකිරීමට හේතු වේ.
සරල ජීවිතය
උපයන ධනයෙන් එක් කොටසක් පමණක් පරිභෝජනය (එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය) සඳහා වෙන්කළ යුතුය
යන්න බෞද්ධ උපදේශයයි. ආදායම් ප්‍රමාණය නොසලකා අන්තවාදි ලෙස පරිභෝජනය කිරීම විනාශයට
හේතුවක් විය හැකිය. තම ධනවත්කම අන් අයට ප්‍රදර්ශනය කිරීම සඳහා උනන්දුවන ඇතැම්
පුද්ගලයන් විශාල ආදායම් සහිත ධනවත් පුද්ගලයන් සෙයින් කටයුතු කිරීමට යාමෙන් පෙරටත්
වඩා ආර්ථික වශයෙන් පරිහානියට පත් වූ අවස්ථා කොතෙකුත් වාර්තා වේ. මහා ධනවතුන් ලෙස
ජීවත් වු ඇතැම් පුද්ගලයන් අනුවණ ලෙස මුදල් වැය කිරීම හේතුවෙන් මහමඟ හිඟමනට වැටුණු
පුවත් සුළභව අසන්නට ලැබේ. පරිභෝනජයෙහි නිසි අර්ථය වටහා නොගෙන කටයුතු කරන පුද්ලගලයා
ධනයෙන් මෙන්ම සෞඛ්‍යයෙන්ද පරිහානියට පත්වේ. භික්ෂූන් උදෙසා පනවන ලද සිව්පස පරිභෝජනය
සඳහා වූ ප්‍රත්‍යවේක්ෂාව හෙවත් නුවණින් සළකා බැලීම ගිහි සමාජයටද යම් පමණකින් ආදේශ
කළ හැකිය. චීවර පරිහරණය කරන භික්ෂුවගේ මූලික අරමුණ සීතල උණුසුම මැසි මදුරු
ආදීන්ගෙන් වන උවදුරු වළක්වාගැනීම හා ලජ්ජාව බිය දෙකින් මිදීම සඳහාය. එහෙත් ගිහි
කාමභෝගියෙකුගේ ඇඳුම් භාවිතයෙහි එයට වඩා ඉදිරියට ගිය වෙනස් අරමුණු තිබිය හැකිය.
සංස්කෘතියට අනුගත වීම සමාජ තත්ත්වය ආරක්ෂාකරගැනීම හා කාමභෝගී අරමුණු අතිරේක වශයෙන්
තිබිය හැකිය. එහෙත් ආදායම පිළිබඳ සැළකිලිමත් නොවී අනුකරණාත්මක ලෙස අහාරපාන හා ඇඳුම්
පැළඳුම් කෙරෙහි වියපැහැදම් කිරීම ධන හානිය පිණිස හේතුවේ. සරල ජීවිතය ආර්ථික වශයෙන්
පමණක් නොව අනෙකුත් අංශයන්ගෙන්ද සහනය ඇතිකරගැනීමට හේතුවේ. තමා තුළ සුභරතා ගුණය හෙවත්
පහසුවෙන් පෝෂණය කළ හැකි බව වගාකරගත් විට ලැබෙන ආදායම් මැනවින් කළමනාකරණය කරගත
හැකිවේ. කුල සූත්‍රය ඉදිරිපත් කරන පරිමිත යන වචනයෙහි ගැඹුරු අර්ථය තුළ මෙම අදහස
පදනම්වී තිබේ.
සිල්වතා ධනවතෙක්
නිවසක හෝ ආයතනයක ප්‍රධානියාගේ සදාචාරාත්මක හැසිරීම එහි අනාගත පැවැත්ම කෙරෙහි දැඩි
ලෙස බලපායි. යම් තැනක ආධිපත්‍ය පුරුෂයාටම පමණක් හිමිවිය යුතුය යන්න බුදුසමයෙන්
නොපිළිගනී. පුරුෂයාට මෙන්ම කාන්තාවටද නායකත්වයට පත්විය හැකි බව අවසන් කරුණෙන්
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම දැක්වීමෙන් පැහැදිලිය. කවරෙකු නායකත්ත්වය දැරුවද ඔහුගේ හෝ
ඇයගේ සදාචාරත්මක පැවැත්ම එම ආයතනයේ ප්‍රගතිය කෙරෙහි බලපායි. දුශ්ශීල පුරුෂයෙක් හෝ
ස්ත්‍රියක් නායකත්ත්වය සපයන ආයතනය පරිහානියට පත්වේ. පංච දුශ්චරිතයට යොමු වුණු
සුරාවට හා දුරාචාරයට ඇල්මක් දක්වන තැනැත්තා හෝ තැනැත්තිය සදාචාරාමය වශයෙන් පිරිහුණ
අය වෙති. එවැනි පුද්ගලයන් තම ධනය සුරාවට සූදුවට හා දුරාචාරයට යොමු කරනු ලැබේ. මතට
ලොල්වු පියෙකුගෙන් පවුලට ලැබෙන්නේ කුමන රැකවරණයක්ද? උපයන ධනය සුරාවට වැය කරන
එවැන්නෙකුගෙන් ආර්ථික සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. දුරාචාරයට යොමු වුණු
පුද්ගලයෙක් වගකීම් දරණ ආයතනයක ආර්ථික දියුණුව තබා සාමාන්‍ය මට්ටමේ සාමයක් හෝ
සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. ලිංගික ආශාව පදනම්කරගත් අයථා සමාජ සම්බන්ධතාවලින්
ඇතිවී තිබෙන විවිධ සමාජ අර්බුද විමසා බැලීමේදි මෙය පහසුවෙන් වටහාගත හැකිය.
සදාචාරයෙන් පිරිහුණු පුද්ගලයා එක් පැත්තකින් ධනය විනාශ කරගන්නා අතරම අනෙකුත්
පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලටද හානි පමුණුවයි. එවැනි පාලකයන්ගේ හා ආයතන ප්‍රධානින්ගේ
අණසක යටතේ තම රාජකාරිය ඉටුකරන පුද්ගලයන් විඳින විවිධ මානසික පීඩා කොතෙකුක් අසන්නට
ලැබේ. මෙම පසුබිම තුළ ආර්ථික සමෘද්ධිය හෝ භෞතික දියුණුව අපේක්ෂා කරන්නෙකු විසින්
සදාචාරයෙන් පිරිහුණු පුද්ගලයන්ට වගකීම් පැවරීමෙන් වැළකිය යුතුවේ. ධනවත් වීම හා
පුද්ගල සදාචාරය අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙන බව සිල්වතා ධනවතෙක් වෙයි. (සීලවන්තෝ
ධනවන්තෝ හෝති) යන බුද්ධ වචනයෙන් පැහැදිලි වේ. දුශිල්වත් බව දිළිඳුබව කෙරෙහි බලපාන
එක් හේතුවක් බව මෙයින් තවදුරටත් ගම්‍ය වේ.
ඉහතින් දැක්වූ උපදෙස් සතරම හෝ එයින් එක් කරුණක් ආර්ථික සමෘද්ධිය කෙරෙහි මෙන්ම
පරිහානිය කෙරෙහි බලපානු ලැබේ. කුල සූත්‍රය ඉදිරිපත්කරන මෙම උපදෙස් පෞද්ගලික
මට්ටමෙන් පමණක් නොව ආයතනගත වශයෙන්ද වැදගත් වේ. එබැවින් ආර්ථික වශයෙන් මෙන්ම භෝග
සම්පත් අතින් සමෘද්ධිය අපේක්ෂා කරන්නෙකු ඉහත දැක්වූ සිව්වැදෑරුම් ප්‍රතිපත්ති තම
ජීවිතයට එක් කරගැනීම අවශ්‍ය වේ. |