Print this Article


පහන් සිතක කවි

මැදි මඟ ගමන් කරමු

බොල් පිණි තුහින හිම හැලෙනා උදෑසන
මල් මත බඹර බිඟු ගුමුනද පැතිරයන
විල්තෙර තරග රැළි මත සුදු පිපෙන පෙණ
පුල් මහනෙල් පිපී දසතම සුවඳ දෙන

දැල්වූ දෙනෙත් දකිනා මෙම සොබාදම
මල් පිපි පිපී ඒ හැමතැන පෙති හැලුම
විල්දිය සිඳුන දවසට නැතිවෙනව හැම
දැල්වූ මනස මත දකිනෙමි දහම මෙම

අනියත දුක අනත් බව මයි දෙසූ දහම
ජනිත වෙයි දුටුව විට වේ කළකිරුම
ගනිති මුණි දහම මත මැදි ගමන මෙම
දිනති ඒ මඟින් කරනෙමු සසර නිම

ආනාපාන සති නව සීවතික යෙක
ගේනා සුව සිසිළ සැනසුම දකිමි නෙක
පීනා මෙසසර සයුරෙන් ගොඩවෙමු දිනෙක
ලෝනා දෙසූ දහම් මැදි මාවත නිසැක


පුර හඳක දුර මතක

දිනක් හිරු දෙවි වඩින අරුණේ
පොළොව දෙස මා බලා සිටියා
වෙනස් දසුනකි පුරුදු ලෙස නොව
දෙනෙත් ඉවතට නොගෙන බැලුවා

අහස් කුස සිට ඇදෙන නෙක එළි
පොළොව වෙත යන අයුරු දුටුවා
පොළෝ ගැබ මත තැනෙක ගස් වැල්
සුවඳ පිරි මල් වලින් පිරුණා

රුක්ඛ මූලෙක බවුන් වඩමින්
තපස් රකිමින් කෙනෙක් සිටියා
ලොවම කම්පා වෙමින් සලිතව
විශ්වයට ෂඩ් වර්ණ ඇදුණා

තවත් එබිකම් කළෙමි දෙසවන
ඒ දෙසට යොමු කළෙමි සොඳවා
මිනිස් ලොව සිට මිහිරි හඬකින්
යමක් මුමුණන අයුරු ඇසුණා

කෙලෙස් නම් මළ කැණි මඬල මම
දුරු කළෙමි වඩුවනි, අසව්
සත්‍යය දුටුවෙමි නිවන හමුවිණි
නැවත නූපදින් බව දනිම්

තැබිමි සසරේ ඉපැදුමට තිත
මෙයයි මාගේ භවේ අවසන
දෙසම් බණ මම කියමි හරි මඟ
ඔබත් ඒ මඟ පා තබව්


අමා මහ නිවන්

තෘෂ්ණාව නමැති මේ සැඬ සුළඟට
එපා කිසිම දිනක හසු වන්නට
එගොඩ වෙනවා බොරුයි සිතලා බලන්ට
දහම තුළින් මේවා අපි කරමු යට

දහම් රසය පානය කෙරුවෝ තින්
සිත කය වදන හදා ගන්න පුළුවන්
නොමඟට වැටෙන ඉඩ කඩ අඩුයි ඉතින්
එතනින් ජයගන්න පුළුවනි සැදැහැ සිතින්

ඇති මේ සියලු දේ අල්ලා ගැනීමෙන්
එතෙර වෙන්න බැහැ මේ සසරේ ඉතින්
මේ මඩ ගොහොරේ එරිලා සිටී මෙන්
නිවනට දුරයි එහෙම වුණෝ තින්

ඇති අය නුවණ දහමෙහි සිත් රඳන්නේ
ඒ දහමෙන් සිත පහදාගෙන ඉන්නේ
ලොව්තුරු බුදුන් ගිය මග අප මේ යන්නේ
අමා මහ නිවන් ලබන්න වෙහෙ සෙන්නේ


බුදු වදන් සිහි වුණා

ගම් බිම් ද ගේ දොර ද වස්තුවද යට කරන්
වියරු වුණ ජල කඳන් රොඩු බොරඩු එක් කරන්
මැසිවිල්ල විලාපය ජල කඳම ගිනි අරන්
මහා ගං වතුර කඳ කැරකුණා ගෙන වරන්

මකුළු හුය සිත්තමට පිනි කඳුළු තවරලා
විඩා නැති ජල කඳට මග හසර එළි කළා
රවා ඔරවා වෙලා භීතියම වපුරලා
පෙර සසර කරුමයන් දැක ගන්න යොමු කළා

අග හිඟ ද සවිබල ද සිඳී ගොස් අනන්තෙට
දෙවියනේ ඉකිබිඳින ජීවිතය කුමට මට
කිරි පැටව් ජල කඳේ පා වුණා හිලව්වට
සසර ගමනේ තැනක සිරවුණේ පෙර පවට

ජීවිතය ගිනි වැදුන ගින්නකට කොටුවෙලා
ජීවිතය හිර කරන දිය කඳට යට වෙලා
මහා කඳු නාය යන විටදි මරු එළඹිලා
මියැදෙන්න නොවේවා! පතමි මා එකහෙළා

සංසාර සාගරේ අතර මං වුණාවට
එක දෙයයි නැවතුණේ සිත් සතන් පුරාවට
බුදු වදන් ජීවිතේ අසා තිබූ වෙලාවට
සනාතන දහම එය ලෙසින් සිහිවුණා මට


සිල් සුවඳ

දමනය වෙමින් වෙහෙසා යහමගට සිත
තම සිත, කය , වදන සඟමොක් සුවය වෙත
නම දින පා තඹුරු ලොව්තුරු තිලොව නෙත
හැම පුද බිමක පෝයට සිල් සුවඳ ඇත

නොගොසින් බොළඳ ඉසි, කෝ, මද මං මත්තේ
තණ්හා කුහක ගති ගුණ නොරදන චිත්තේ
මිනිසා මිනිස්කම පිළිබඳ දැන ගත්තේ
සිල් පද නිසා බව අද පිළිගෙන ඇත්තේ

පත්වන සරාගික සිතිවිලි බල පානා
මත් වෙයි සය දොරින් පැවසුව ලෙස ලෝනා
සිත් තුළ යුද වදින දසබල මර සේනා
අත් හළ හැකිය සදහම් ගඟුලෙහි පීනා

පිළිකුල් දුගඳ විහිදෙන කෙලෙසුන් රදන
අකුසල් දුරැර දහමට තුන් සිත යොදන
හැමකල් නිවැරැදිව සිල් පද අට රැකෙන
සුදු සිල් වතින් ලංකරගත හැක නිවන


පෝයදා

ඕලු නෙළුම් මල් දියේ පිපෙනවා
ඉද්ද රෝස මල් වත්තේ පිපෙනවා
එකම වට්ටියේ පන්සල් යනවා
සමිඳු දෙපා මුල පරවී යනවා

බුදුන් පුදට මල් අරගෙන
පහන් වැටට තෙල් අරගෙන
සුදු ඇඳුමෙන් සැරසී ගෙන
පන්සල් යමු සැදැහැ සිතින


ජීවිතේ

සුන්දරයි
සුකොමලයි
සුමිහිරියි
මනහරයි
මේ සියල්ලම
සංකල්පනා බැව්
දන්නවා නම්


අහෝ..

තමා මිසැ තවකෙකු
වෙතටැ නොයොදා සිත්
සොයයි යසියුරු නසා වෙනකෙකු
මියැ නොයෙනැ උන්සේ

වෙසැසින්මැ
බැතියෙන් මිසැ
සැදැහැයෙන්
තුණුරුවන් නොමැ දුටු

බොහෝ වූ බොදුනුවන්
අහෝ..
මනු ලොවැ දිනා
අපා දුක් සොයා යන හැටි..


අපේ නිවන

නිවන් මඟට පිවිසිය යුත්තේ තමන්මයි
මාපිය, ගුරුවර, නෑහිත මිතුරන් හට
නිවන ලබා දිය නොහැකියි
එසේනම් , බුදු හිමියන් දෙසූ මඟ යමින්
පව් දුරලා, පින් පුරවා තුන් දොර රකිමින්
ආර්ය ශ්‍රාවකයෙක් වී
අරි අට මඟ ගොස්
කවර කලක හෝ
නිවන් සුව ලබා ගත හැකියි
උපන්නේ තනිවමයි
කල් ගෙවන්නෙත් තනිවමයි
නිවන් මග ලබා ගත යුත්තෙත් තනිවමයි
දැඩි අදිටනින් , ප්‍රධං වීර්යෙන්
බවුන් වැඩීමෙන් පමණයි
බුදු හිමි පෙන්වූ නිවන් මඟ යන
පින්වත් සැමහට නිවන් සුවම ලැබේවා!