Print this Article


බුදුරජාණන් වහන්සේට ඇතෙකු සහ වානරයකු උපස්ථානය කිරීම

බුදුපිළිමයේ උපත - 37: 

බුදුරජාණන් වහන්සේට ඇතෙකු සහ වානරයකු උපස්ථානය කිරීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

 

බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව වන වර්ෂයෙහිදී කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ විසූ සේක. කොසඹෑනුවර පිඬු පිණිස හැසිරුණු භාග්‍යවතුන් වහන්සේ උදේන රජුට අයත් භද්‍රවතිකා ඇතින්නටද එහිදී පිහිට වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සමයෙහිදී විනයධර සහ ධර්මධර හිමිවරු දෙනමක් අතර විවාදයෙක් විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔවුනට කළහ, විවාද අසමගි බවෙහි ආදීනව ද වදාළහ. එහෙත් සමථයකට නොපැමිණියහ. බුදුරජාණන් වහන්සේ මතු ඔවුන් සමගියට පැමිණ විය හැකි අයුරුද ඊළඟ වස් කාලයෙහි පාරිලේය හස්තියා ආදී කීප දෙනෙකුට තමන් වහන්සේ නිසා ලැබෙන අර්ථ සිද්ධියද දැක විවේකයද කැමැතිව හුදෙකලාවම බාලකලෝණකාර ග්‍රාමයටද වැඩමවා කෝසල ජනපදයෙහි වූ පාරිලේය නම් වූ නුවරට වැඩම කළ සේක.

බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයේ වස් වසනු පිණිස තනිවම වෙන්ව වැඩම කළහ. එහිදී රැළ සමඟ ජීවත් වීමෙන් හෙම්බත් වූ මිත්‍රශීලි ඇත්රජෙකු භාග්‍යවතුන් වහන්සේ රකිමින් උපස්ථාන කළේය.

පාරිලෙයිය වනයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමෙන් පසුව එහි වැසියෝ පෙර ගමන්කර භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත් අසුන් පනවා වඩා හිඳුවා දානය පූජා කළහ. ඉක්බිති පාරිලේය වන ලැහැබේ පන්සලක් කර එහි වස් වසන්නට ආයාචනා කොට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කරවූහ.

ඉහතින් සඳහන් කළ පරිදි ඒ පන්සල ළඟ රම්‍ය වූ සල් රුකෙක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ඇතෙකු විසින් දකින ලදී. ඒ ඇතාත් විවේකීව වසනු කැමැත්තෙන් රැළෙන් වෙන්වී වාසය කළ ඇතෙකි.

ඒ හස්ති තෙමේ බුදුරජාණන් වහන්සේ දුටු හැටියේම සොඬ හකුලා දනබිම ඇන නමස්කාර කළේය. ඉන්පසුව වට පිට බලා කිසිවෙකු නොදැක ඒ රුක පයින් පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේය. එතැන් පටන් මේ ඇතා භාග්‍යවතුන් වහන්සේට පානයටද මුහුණ දෙවීමටද පාරිභෝගයට ද ජලය පිළියෙළ කර දෙයි.

ඉක්බිති හස්තියා නොයෙක් පලා ඵල වර්ග ගෙනවුත් බුදුරජාණන් වහන්සේට පූජා කරයි. භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු සිඟා වඩින කල්හි හස්ති තෙමේ පාත්‍රය හා දෙපට සිවුර කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමාවෙහිදී ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදෙකලාවම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස හැසිර ආපසු වඩනා සේක. ඇත් තෙමේ මගබලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කෙනෙහි පාත්‍රය හා දෙපට සිවුර ගෙන බුදුරජාණන් වහන්සේ කැටුව සල් රුක වෙතට යයි.ගොස් පාත්‍රය හා සිවුරු පන්සලෙහි තබා අත්තෙන් පවන් සලයි. නැවත රාත්‍රි කාලයෙහි චණ්ඩ මෘගයන්ගෙන් උපද්‍රව වළක්වනු පිණිස මහත් දණ්ඩක් සොඬෙන් ගෙන ඒ ලැහැබෙහි අතරතුර හැසිෙර්ය. බුදුරජාණන් වහන්සේ රක්ෂිතකර (රැක) ගන්නා අදහසින් එහි ඇතු හැසිරුණූ වන ලැහැබට එතැන් සිට “රක්ෂිත” වන ලැහැබයැයි නම් විය.

ඇතා භාග්‍යවතුන් වහන්සේට කරන ලද උපස්ථාන දුටු එක් වඳුරෙක් “මමත් සත්කාරයක් කෙරෙමියි සිතා දීමට සෑහෙන යමක් සොයා ඇවිදින්නේ මැස්සන් විසින් හරනා ලද දඬුවැල් මීයක් දුටුයේය. ඒ දැක එය ගෙනැවිත් කෙසෙල් කොළයක් කඩා එහි තබා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. ඉක්බිති වඳුරු තෙෙමි උන්වහන්සේ එය වළඳන සේක්දෝයි බලා හිඳ එය නොවළඳන බව දැක එයට කරුණු කිම්දැයි ඒ මීය බැඳි දඬු කැබැල්ල අල්ලා ඒ මේ අතර පෙරළා බලන්නේ මළාවු පිලවුන් දැක අවුලා දමා යළිත් ඒ මධුපටලය පිළිගැන්වූයේය. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. වඳුරු තෙම ඒ දැක සතුටු සිතැතිව අත්තෙන් අත්ත අල්ලමින් නටා ඇවිදුනේ අල්ලාගත් අත්තත් පා තැබූ අත්තත් හදිසියේ බිඳීමෙන් (කැඩීමෙන්) කණුවක් උඩ වැටී කය සිදුරුව මළේය. බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිතින් සිටියදීම මිය ගිය හෙයින් ඒ වඳුරා තව්තිසා දෙව්ලොව දෙව් පුතෙක්ව උපන්නේය. (ශාක්‍ය මුණින්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය –අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ , පිටු 170-172-1986)

එකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉතා ප්‍රකට පුදබිමක් වු සාංචි ස්තූපයේ තොරණක එම වඳුරා විසින් බුදුරජාණන් වහන්සේට මී පැණි පූජා කරන අවස්ථාව මූර්තිමත් කර ඇත. අල්ප උන්නත මූර්ති කැටයමක් වූ එහි බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නේ වජ්‍රාසනයෙනි. ඒ වන විට බුදුපිළිම නිර්මාණය වී තිබුණේ නැත. බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා එකල මූර්ති ශිල්පීහු බෝධින් වහන්සේ ඡත්‍රය, සිරිපතුල් වජ්‍රාසනය, ස්තූපය ආදිය මූර්තිමත් කර තිබුණි. ඒ අනුව මෙහි වජ්‍රාසනය මූර්තිමත් කර ඇත.

බුදුරජාණන් වහන්සෙගේ අසිරිමත් ජීවන චරිතයෙහි ප්‍රධාන සිදුවීම් දෙස බලන විට එතරම් වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කළ නොහැකි වුවත් පාරිලෙය්‍ය වනයේදි වඳුරු රජෙක් විසින් මී පැණි පූජා කිරීමේ සිද්ධිය , සාංචි ස්තූපයේ කැටයම්කරුවන්ගේ අවධානයට යොමු වී ඇත. සාංචි ස්තූපයේ අංක 01 දරණ උතුරු දෙස තොරණේ ස්තම්භයක මෙම කැටයමෙහි අවස්ථා දෙකක් දැක්වේ.

බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ පූජ්‍ය
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි. පි. 77 (2015)


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 36: මහා ප්‍රජාපතී ගෝතමිය හා මෙහෙණ සස්න