උත්තමා මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
උත්තම මනුෂ්‍ය ජීවිතයක් ලද්දකුහට ලැබිය හැකි උපරිම සැපත නම් මහ රහතන් වහන්සේ නමක්
බවට පත්වීමයි. කාමභෝගි ජීවිතයක් ගතකරන අයෙකුට මේ සසරින් එතෙර වූ එසේම කෙලෙස් දහම්
නැසූ උතුමෙකු පිළිබඳ අසන්නට ලැබීමෙන් මහත්වූ ගෞරවනීය සිතිවිල්ලකි. සැනින් වෙනස්වන
සුළු ආශාවන්ගෙන් මහත්සේ පෙලී වාසය කරන්නාවූ මෙවන්වූ සමාජයක සියල්ල අත්හල මහරහතන්
වහන්සේලා මහරහත් තෙරණින් වහන්සේලා පිළිබඳ සිහිපත් කිරීමෙන් මහත්වු වීර්යයක්
වැඩෙන්නේය.
මේ ගෞතම සසුනින් උපරිම දායාදය ලැබ පිය උරුමය වූ ගෞතම බුදුපියාණන් වහන්සේගේ ආර්ය
ශ්‍රාවිකාවක් බවට පත් වූ උත්තමා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව තතු විමසා සිතේ
ශ්‍රද්ධා බලය ජනිත කරගනිමු.
උත්තමා තෙරණියගේ පෙර කළ පින් දහම් කොට මනා පාරමී ශක්තියක් ගොඩනඟාගෙන විපස්සි
බුදුපියාණන් වහන්සේගේ සමයෙහි බන්ධුමතී නුවර එක්තරා කෙළෙඹියකුගේ දාසියක වී උපන්නාය.
තමාගේ වැඩිමහලු අයට උපස්ථාන කරමින් වාසය කරයි. මෙසේ වාසය කරන කළ බන්ධුමතී නුවර
“බන්ධුම” නම් රජු පසළොස්වක පොහෝදින සිල් සමාදන් විය. රජුගේ මෙම ක්‍රියාව කෙරෙහි
පැහැදුනු මහජනතාවද රජුගේ පිළිවෙතට අනුව පොහෝදින පෙහෙවස් සමාදන්ව වෙසෙති. එකල
කුම්භදාසියක් වූ ඕ තොමේ සිතනුයේ ‘මෙකල රජතුමා ඇතුළු මහජනයා පෙහෙවස් සමාදන්ව වෙසෙති.
මමද, පොහෝ දිනවල පෙහෙවස් සමාදන්ව වෙසෙන්නේ නම් යෙහෙකි. මෙසේ සිතූ මේ දාසියද නුවණ
මෙහෙයවා දුක්බර වූ සිත සොම්නස් කිරීම පිණිස කුසල් රැස් කිරිම පිණිස පෙහෙවස් සමාදන්ව
සිල් ගුණ ආරක්ෂා කළා හ. පෙහෙවස් සමාදන් වූ පිනෙන් පිරිසුදු සිල් බලෙන් මරණින් පසු
තව්තිසා දෙව්ලොව ඉපිද අනන්ත අප්‍රමාණ වූ සැප වින්දාය.
දෙව්ලොව ඉපිද සිටින සමයේදී යොදුන් ගණන් උස්වු සියගණන් කුළුගෙවලින් හෙබි අනර්ඝ යහන්
සහිත විමාන පහළ විය. දහස් ගණන් අප්සරාවෝ සේවනය කළ අතර සියලු දෙවිවරුන් ඉක්මවා
බැබළිණ. හැට හතරක් දිව්‍ය රාජයන්ට මෙහෙසිය වූවාය. සක්විති රජවරු තිස් අට දෙනෙකුට
අගමෙහෙසිය වූවාය. රන්වන් වූ සිරුර දරමින් විසිතුරු වූවාය. ඇත්, අස්, රිය යන මේ
සියලු යානවාහන ලැබුවාය. රන්මුවා, රිදීමුවා, පළඟුමුවා භාණ්ඩ ලැබ මහාර්ඝ වස්ත්‍ර
ලැබුවාය. ආහාර පාන, වස්ත්‍ර සේනාසනවලින් අඩුවක් නොවීය. සුවඳමල්, සුවඳ විලවුන්
රිසිසේ ලැබුවාය. කිසිඳු කලෙක පේ‍්‍රත , තිරිසන්, අසුර, නරකය යන දුර්ගති ස්ථාන වල
ඉපිද දුක් නොවින්දාය.
මෙසේ අනන්ත අප්‍රමාණ දෙව් , මිනිස් සැප, විඳ අනූ එක් කල්පයකට පසුව අප ගෞතම
බුදුපියාණන් වහන්සේ පහළ වු සමයෙහි සැවැත්නුවර නම් සශ්‍රීක භූමියෙහි සිටුකුලයක උපත
ලද්දීය. විනයධර භික්ෂුණී අතර අග්‍ර වු පටාචාරා මහරහත් තෙරණින් වහන්සේ සමීපයෙහි
පැවිදි භූමියට සැපත් වූවාය. වීර්යය ගෙන බවුන් වැඩුවද මහණ දම් සම්පූර්ණ කර ගැනීමේ
සක්‍යතාවයක් නොවීය. කල්‍යාණ මිත්‍ර වූ පටාචාරා මහරහත් තෙරණියෝ උත්තමා මෙහෙණගේ
වීර්යය සහ පුණ්‍ය සම්පත් දැක අවවාද කළ සේක. එම අවවාදයෙන් වීර්යයවන්ත වූ උන්වහන්සේ
සියලු කෙලෙස් සිඳ බිඳ දමා සිතේ ඒකාග්‍රතාවයෙන් සිව් පිළිසිඹියා පත් උත්තමා මහරහත්
තෙරණිය ලෙසින් මෙලොවට පහළ වූ සේක.
අනතුරුව දේශිත නිරාමිස පී‍්‍රති වාක්‍යය මෙවැනි වෙත්
1.චතුක්ඛත්තුං පඤ්චඛත්තුං විහාරා උපනික්ඛමිං
අලද්ධා චෙතසො සන්තිං චින්තෙ අවසවත්තිනී”
සිතේ එකඟබව නොලබා සිත වසඟකරගත නොහැකිව හතර පස්වතාවක් විහාරයෙන් පිටත්ව ගියෙමි.”
“සා භික්ඛුනී උපගඤ්ජිං යාමෙ සද්ධායිකා අහු
සා මෙ ධම්මදේසෙසි ඛන්ධායතනධාතුයො”
මා පැහැදී සිටි එක්තරා භික්ෂුණියක් (පටාචාරා භික්ෂුණිය) වෙත මම ගියෙමි. ඕතොමෝ’ මට
ඛන්ධ ධාතු ආයතන වශයෙන් ධර්මය දේශනා කළාය.
”තස්සා ධම්මං සුණිත්වාන යථා මං අනුසාසි සා
සත්තාහං එරපල්ලඛතෙ නිසිදිං සුඛසමප්පිතා
අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලිය”
ඇයගේ ධර්මයට සවන් දුන් මම දින සතක් පළඟ බැඳ සුවසේ සිටියෙමි. අටවන දින රෑ පා
දික්කළෙමි. මම මගේ අවිද්‍යා අන්ධකාරය නැති කළෙමි.
පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වයෙන් උත්තම මහරහත් තෙරණියක වීමේ
භාග්‍යය උදා වුණා. උන්වහන්සේගේ වීර්යයට කැටිවූ ධර්ම කාරණා තුනක් ඉස්මතු කොට
දක්වනවා. ස්කන්ධ පහ, ආධ්‍යතන සහ ධාතු මනසිකාරය මෙහිදී සුවිශේෂී වශයෙන් වැදගත් වේ.
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී පංච උපාදානස්ඛන්ධය දුක බව පවසා වදාළ සේක.
“පින්වත් මහණෙනි. ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, මරණය දුකක්, පි‍්‍රයයන්ගෙන්
වෙන්වීම දුකක්, අපි‍්‍රයයන් හා එක්වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්, කොටින්ම
කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි” පංච උපාදානස්ඛන්ධය අයිති දුකය, පංච
උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක් අවබෝධ කරනවා කියන එකයි. මෙයයි රූපය, මෙයයි
වේදනාව මෙයයි සඤ්ඤාව මෙයයි සංස්කාර මෙයයි විඤ්ඤාණය වශයෙන් හඳුනා ගන්නවා. මෙසේයි
රූපය හටගන්නේ මෙසේයි. රූපය අභාවයට යන්නේ, වේදනාව හටගන්නේ මෙසේයි. වේදනාව අභාවයට
යන්නේ මෙසේයැයි හඳුනා ගනී. සඤ්ඤාව හටගන්නා ආකාරය අභාවයට යන අකාරය හඳුනා ගනී.
සංස්කාර හටගන්නා ආකාරය අභාවයට යන ආකාරය හඳුනා ගනී. විඤ්ඤාණ හටගන්නා ආකාරය අභාවයට යන
ආකාරය හඳුනාගනී. දිගින් දිගටම පංච උපාදානස්කන්ධය දිගින් දිගටම හටගන්නා ආකාරය ගැනත්,
පංච උපාදානස්කන්ධය සදහටම නැතිවෙන ආකාරය ගැනත් සිහිය පිහිටුවාගෙන නුවණින් විමසා
කටයුතු කරයි.
රූප උපාදාන ස්කන්ධය නම් නැසී වැනසී යන දෙයයි. පඨවි ධාතු, අපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ
ධාතු යන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් සීතලෙන් නැසී වැනසී යනවා. උණුසුමෙන් නැසී
වැනසී යනවා. බඩගින්නෙන් නැසී වැනසී යනවා. පිපාසයෙන් නැසී වැනසී යනවා. අතුරු
අන්තරාවලින් නැසී වැනසී යනවා. රෝග පීඩාවලින් නැසී වැනසි යනවා. එම නිසා සතර මහා
ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය රූපයයි.
අතීත, අනාගත, වර්තමාන කියන කාලයත් ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු සියුම්, හීන, ප්‍රණීත,
දුර,ළඟ කියන අවකාශයත් යන කාලය හා අවකාශය තුළ පවතින රූපය රූප ස්කන්ධයයි. ස්පර්ශයෙන්
හටගත් විඳීම වේදනා ස්කන්ධයයි. ස්පර්ශයෙන් හටගත් චේතනාවට සංඛාර ස්කන්ධයයි. නාම
රූපයන්ගෙන් හටගත් විඤ්ඤාණය විඤ්ඤාණ ස්කන්ධයයි. මෙසේ වූ පංච උපාදානස්කන්ධය පිළිබඳ
සිහිය පිහිටුවා ගැනීම තුළින් ජීවිතාවබෝධය තීව්‍රර වේ.
සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය පෙණ පිඬක්සේ අවබෝධ වීනම්, ස්පර්ශය නිසා හටගන්නා
විඳීම දියබුබුලක් සේ අවබෝධ වී නම්, ස්පර්ශයෙන් හටගන්නා සඤ්ඤාව මිරිඟුවක් සේ අවබෝධ
වී නම්, ස්පර්ශය නිසා හටගන්නා චේතනා හෙවත් සංඛාර කෙසෙල් බඩයක් සේ අවබෝධ වී නම්, නාම
රූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය මායා ස්වරූපි දෙයක් ලෙස අවබෝධ වී නම් එහිදී
උපතක් නැතිව යයි.
සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප සතර මහා ධාතුන් වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා.
ස්පර්ශයෙන් හටගන්නා විඳීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් ව යනවා. ස්පර්ශයෙන් හටගන්නා
හඳුනාගැනීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස්වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා චේතනාව
ස්පර්ශය වෙනස්වීමෙන් වෙනස්වෙලා යනවා. නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය නාමරූප
වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. මෙලෙස හේතු – ප්‍රත්‍ය අවබෝධය තුලින් අනාත්මයක්
දකිනවා. එහෙයින් මේ පංච උපාදාන ස්කන්ධය මම කියා නොගනී .මගේ කියලා ගන්නේ නෑ. මගේ
ආත්මය කියා නොගනී. පංච උපාදානස්ඛන්ධයෙන් නිදහස් වේ. එනම් දුකෙන් නිදහස් වේ. නැවත
ඉපදීමක් නොමැත්තෙකු වේ.
මෙලෙස ධර්මය අවබෝධය තුළින් පංච උපාදානස්ඛන්ධයකින් උත්තමා මහරහත් තෙරණියෝ නිදහස්ව
පංචස්ඛන්ධයක් පමණක් දරන මහරහත් තෙරණියක බවට පත්වූ සේක. මහත්වූ කුසල් සිතකින්
පිරිසුදුව සිල්පද ආරක්ෂා කර දිව්‍ය ලෝක සම්පත් බුක්තිවිඳ සියල්ල අතහල උත්තමා මහරහත්
තෙරණින් වහන්සේ වීර්යවන්ත ජීවිතයකට මහත්වූ ආදර්ශයක් වන්නේය. ඒ රහත් ගුණ සිතන සිතට
අප්‍රමාණ ආශ්වාදයක් නිරාමිස පී‍්‍රතියක් ඇති වනු නොඅනුමානය. |