බෞද්ධ සාහිත්‍යයේ එන උදාන
කෑ/ මාව ශ්‍රී විද්‍යාමංගල මහ පිරිවෙනේ පරිවෙනාධිපති
වල්දෙණිය ශ්‍රී පුෂ්පාරාමාධිපති
ශාස්ත්‍රපති
වල්දෙණියේ අරියජීව හිමි
" බුද්ධකාලය වන විට කාන්තාව බ්‍රාහ්මණ සමාජයේ විවිධාකාර අවතක්සේරුවලට පාත්‍ර වී සිට
ඇති බව ප්‍රකටය. කාන්තාවට ආගමික සාමාජික වශයෙන් කිසිවක් කළ නොහැකි බව බ්‍රාහ්මණ
අදහස් මඟින් ප්‍රකාශ වී තිබුණි. ‘ඉත්ථිභාවො කිං කයිරා’ ආදී වශයෙන් කාන්තාවනට කළ
හැක්කේ කුමක්ද? යන අදහස බ්‍රාහ්මණ දහමට අනුව මුල් බැස තිබුණි. එහෙත් එහි අභියෝගය
ඉදිරියේ බුදුසමයේ ආලෝකය ලැබීමෙන් සැනසීමට පත් තෙරණියන් තමන් පත් වූ එම තත්ත්වය
පිළිබඳව භාවාත්මක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් ප්‍රකාශ කළ අදහස් ථේරී ගාථාව පුරා
දක්නට ලැබේ."
බුදුදහමෙහි උදාන වශයෙන් නම් කර ඇත්තේ බුදුන් වහන්සේ විසින් යම්කිසි අවස්ථාවක් හෝ
සිද්ධියක් මූලික කරගෙන හදවතෙහි පැන නැඟුණු සොම්නස් සහගත ස්වභාවය ප්‍රකාශ කිරීම ලෙසට
උදාන අටුවාවෙහි සඳහන් කර ඇත. විශේෂයෙන් නවාංග සත්ථු සාසන සංදර්භයෙහි උදාන
සම්බන්ධයෙන් දක්වන අර්ථ කථනය නම් ‘සෝමනස්ස ඤාණමයික ගාථා පටිසංයුත්තා ද්වේ අසීති
සුත්තන්තා උදානන්ති වේදිතබ්බං’ යනුවෙනි. එහි අදහස් කර ඇත්තේ සමස්තයක් වශයෙන් උදාන
පාලිය ම බව පැහැදිලිය. උදානයෙහි ඇත්තේ සූත්‍ර හතළිස් දෙකක් නිසා එහි අඩංගු සියලු
සූත්‍ර බුදුරදුන්ගේ උදාන ගණයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ.
උදාන පිළිබඳව බෞද්ධ සාහිත්‍යයක් ගොඩ නැඟීමට ප්‍රථම වේද සංහිතාවන් තුළ ද උදානයන්
ගැබ්ව ඇති බව දැකිය හැකිය. මිනිසාගේ හදවතට නැඟුණ ස්වභාව සෞන්දර්යයේ විචිත්‍ර
අත්දැකීම් සමඟ තමතමන්ගේ අත්දැකීම් විදහා දැක්වීම ප්‍රකට කිරීම සිදුව තිබේ. ඔවුන්ගේ
එම සිතැඟියාවන් පද්‍යයට නඟා ගීතස්වරයෙන් රචනා කර ඇති ආකාරය වේද ග්‍රන්ථ තුළින්
දක්නට ලැබේ. යාගය යෝගය වැනි අවස්ථා මෙන්ම දේවත්වය බ්‍රහ්මත්වය සම්බන්ධයෙන්ද සිතෙහි
පැන නැඟුණු උදාර සිතිවිලි පද්‍ය තුළින් විකසිත කර ඇති බව දැකිය හැකිය. පසු කාලීන
සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයන්ද මෙම උදාන සන්දර්භය ඇතුළත් කොට රචනා වී ඇති ආකාරය එම
සාහිත්‍ය ඉතිහාසය තුළින් දැකිය හැකි ය.
බුදුන් වහන්සේ පමණක් නොව තත් ශ්‍රාවකයන් වහන්සේලා ද උදාන කෙරෙහි විශේෂ සබැඳියාවක්
දක්වා ඇති බව පිටක සාහිත්‍ය තුළින් දැකිය හැකි ය. ථේර ගාථා, ථේරී ගාථා, සුත්ත නිපාත
උදාන වැනි ඛුද්දක නිකායාගත ග්‍රන්ථ තුළ මෙම උදාන පිළිබඳ බහුල වශයෙන් හැඟීම් දනවන
තොරතුරු ඇතුළත්ය. උදාන පාලිය මුළුමනින්ම බුදුන් වහන්සේගේ උදානවලට පමණක් සීමා වුවත්
එහි පාත්‍ර වර්ගයා වනුයේ වැඩි වශයෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ය. උදාහරණ වශයෙන් සංගාමජි
තෙරුන් පිළිබඳ කතා ප්‍රවෘත්තියත් දාරුචීරිය කතා ප්‍රවෘත්තියත් දැක්විය හැකිය. එහිම
සඳහන් වන බ්‍රාහ්මණවරුන් වෙනුවෙන් කරන ලද උදානයන් රජවරුන් ගෘහපතිවරුන් භික්ෂුණීන්
සිටුවරුන් ආදී අය පිළිබඳ උදානයන්ද නොඅඩුව දැකිය හැකිය.
පාලි සාහිත්‍ය තුළ අනෙක් සාහිත්‍යවල මෙන්ම භාව ගීතයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු
වී ඇති බව පැහැදිලි වේ. තමන්ගේ හදවතට නැගෙන අදහස් ගීත ස්වරයෙන් ඉදිරිපත් කිරීම
හැඟීම් ප්‍රකට කිරීම මෙම අංගයෙහිලා දැකිය හැකිය. භාව ගීත ප්‍රධාන වශයෙන් කොටස්
දෙකකට බෙදා දැක්විය හැකිය. ඒවා ලෞකික භාව ගීත හා ආගමික භාව ගීතය, ලෞකික භාව ගීත ලෙස
සාමාන්‍ය ජන ජීවිතයේ දී ඒ ඒ පුද්ගලයන් ලබන අත්දැකීම් මෙන්ම වින්දනයන් පිළිබඳව කරන
ප්‍රකාශනයන් ඇතුළත් කොට ඇත. පොදුවේ ඕනෑම කෙනෙකුට විවිධ අවස්ථාවන්හිදී මෙබඳු ආවේගයන්
මතුවිය හැකි අතර පාලි ත්‍රිපිටකයෙහි ද එබඳු අවස්ථාවන් දැකිය හැකි ය. ආගමික භාව ගීත
පිළිබඳව මෙහි දී අපගේ අවධානය විශේෂයෙන් යොමුවිය යුතු ය. එයට හේතුව වනුයේ විශේෂයෙන්
පාලි සාහිත්‍යය ගොඩනැගී ඇත්තේ බෞද්ධ ධර්මය හා සම්බන්ධ වටපිටාවක් හා කාර්ය
සංසිද්ධීන් අන්තර්ග්‍රහණය කරගෙනය. ඒ අනුව පාලි සාහිත්‍යයෙහි ඇතුළත්ව පවතින නිකාය
ග්‍රන්ථ අතරින් විශේෂයෙන් ඛුද්ධක නිකාය පරියාපන්න ග්‍රන්ථ කෙරෙහි විශේෂ අවධානය යොමු
වීමේ දී එහි දැක්වෙන සුත්ත නිපාත ථේර ගාථා ථේරී ගාථා ථේර අපදාන ථේරි අපදාන වැනි
අංගයන් භාව ගීතවලින් පරිපූර්ණ ඒවා බව සැළකිය හැකිය. ඒවා තුළ විශේෂයෙන් ඇතුළත් වන්නේ
තෙරුන් වහන්සේලා ථෙරණින් වහන්සේලා සිය ජීවිතය තුළින් ලද අත්දැකීම් ප්‍රකට කිරීමකි.
බුදු සසුනෙහි සාරවත් බව තේරුම් ගෙන ගිහි ජීවිතයෙහි දුක් කම්කටොලු පිළිබඳ අතිශයින්
කලකිරීමට පත්ව විමුක්තිය ලබා ගැනීම සඳහා උත්සාහ කළ තෙරුන් සහ තෙරණින් තුළින්
ගිලිහුණු හැඟීම් ද විමුක්තිය ලැබීමෙන් අනතුරුව ගෘහ ජීවිතයත් විමුක්ති ලාභීත්වයත්
සංසන්දනය කරමින් ලබන ලද අත් දැකීම් ද භාව උද්දීපනය වන ආකාරයෙන් අදහස් ප්‍රකට කර
තිබීම විශේෂයෙන් ඉහත සඳහන් ග්‍රන්ථ තුළින් විකසිත වී ඇති බව ප්‍රකට කෙරේ. තෙරුන් සහ
තෙරණියන් පිළිබඳ තමන් ලැබුවා වූ නිර්වාණ ශාන්ත සුඛයේ වින්දනීය තත්ත්වය මෙසේ එළි
දක්වා තිබීම ඉහත කෘති තුළින් උපුටා දැක්වෙන බව සමහර නිදර්ශනය තුළින් අපට දැකිය හැකි
ය.
ථේර ගාථාවෙහි ප්‍රකාශ වනුයේ එක් එක් භික්ෂූන් වහන්සේලා රහත්වීමෙන් අනතුරුව තමා තුළ
පහළ වූ භාවික හැඟීම් පද්‍ය මාර්ගයෙන් ප්‍රකාශ කිරීමයි. රහත් භාවයට පත් වූ භික්ෂූන්
වඩාත් විවේක සුන්දර පරිසරයන් හි වාසය කරමින් භාවනාවෙහි නියැලී කෙලෙස් නැසූ අවස්ථා
පවතී. එබඳු අවස්ථාවන්හි දී සිය කාර්යය සඳහා පරිසරය තමාට උපකාරී වූ බව තමාගේ සිත ඒ
පරිසරයෙහි අලවන අයුරු සාකච්ඡා කර තිබේ. බුදු සමයේ එන සෞන්දර්යය සංකල්පය සම්බන්ධව
වඩාත් වැදගත් අදහස් ප්‍රකාශන රාශියක් ථේරගාථා ආශ්‍රයෙන් ලබාගත හැකි බව පෙනේ. ඒ අනුව
සෞන්දර්යයට සම්බන්ධ ථේර ගාථා ප්‍රකාශනයන් අතර ශාරිපුත්ත ථෙරගාථාවෙහි රුක්මුල් ඇසුරු
කොට සඟල සිවුර පොරවා ගත් හිස මුඬු කළ උපතිස්ස තෙරුන් ධ්‍යාන වඩමින් සිටින්නේ යැයි
සාරිපුත්ත ථෙරගාථාවෙහි මෙසේ දැක්වේ.
රුක්ඛ මූලං ච නිස්සාය – මුණ්ඩෝ සංඝාටි පාරුකො
පඤ්ඤාය උත්තමෝ ථෙරේ – උපතිස්සො ච ජායති.
(සාරිපුත්ත ථේර ගාථා)
මෙහි දැක්වෙන ආකාරයට පැවිද්දෙක් කවර පරිසරයක ධ්‍යාන භාවනා ආදිය කිරීම සඳහා ගත කළ
යුතු ද? යන්න ප්‍රකාශ වී තිබේ. එසේම කිසියම් වෘක්ෂයක් ඇසුරු කොට හිස මුඬු කොට
සිවුරු පොරවා ගත් තෙරනමක් සිටින සුන්දර පරිසරයක් මෙයින් මතුකර දක්වනු පෙනේ.
චිත්ත සංවරය සඳහා ඇසුරු කළයුතු සෞන්දර්යාත්මක පරිසරයක් පිළිබඳව තොරතුරු තාලපුට
ථෙරගාථාවෙහි මෙසේ ප්‍රකාශ වනු පෙනේ.
කදා මයුරස්ස සිඛණ්ඩිනො වනේ
දිජස්ස සුක්ඛා ගිරිබ්බජෙ රුතං
පච්චුට්ඨහිත්වා අමතස්ස පත්තියා
සංචින්ති යේතං නු කදා භවිස්සති
(තාලපුට ථේර ගාථාව)
මෙයින් ප්‍රකාශ වූ ආකාරයට තාලපුට හිමියන් විමුක්තිය සම්බන්ධව සිය අපේක්ෂාව මුදුන්
පමුණුවා ගැනීම සඳහා ක්‍රියා කිරීමට ලැබෙන සුන්දර අවස්ථාවක් ගැන සිහිපත් කරනු පෙනේ.
එතුමන් එම කාර්ය සඳහා පුරුදු වනුයේ පර්වතයේ සිටින සිල් බරින් යුත් මයුරයාගේ කෙකාරව
නාදයයි. භාවනාවෙහි යෙදෙන පරිසරයෙහි, සෞන්දර්ය ප්‍රකාශ වන අවස්ථා රාශියක් තාලපුට
ථේරගාථාවේ තවදුරටත් සඳහන් වේ. එහි සඳහන් වනුයේ මේඝ නාදය හෙවත් අහස ගිගිරුම් දීම
හේතු කොටගෙන නාද කරන්නා වූ පර්වතවල වෙසෙන විසිතුරු පියාපත් ඇති පක්ෂීන් ධ්‍යාන
වඩන්නාගේ සිත් අලවන බවයි. මෙයින් පරිසරයෙහි ඇතිවන මේඝ නාදයත් ඒ අනුව පක්ෂීන්ගේ
නාදයත් ධ්‍යානයට බාධාවක් වශයෙන් නොව වඩාත් එයට යොමු කරන සෞන්දර්යාත්මක අවස්ථාවක්
ලෙස ප්‍රකාශ කර තිබෙනු පෙනේ. බාහිර ලෝකයෙහි තිබෙන සියලු හැඟීම්වලින් වෙන් වී
භාවනානුයෝගි ජීවිතය ගත කරමින් සිටි සප්පක තෙරුන් වහන්සේ කරනු ලබන වර්ණනාව තුළින්
තමන්ගේ හදවත ඒ අසළ පිහිටි අජකරණී නදිය විසින් රමණය කරන ලද බව සඳහන් කරන්නේ පහත
සඳහන් ආකාරයටය.
යදා බලාකා සුචිපණ්ඩ රච්චිදා
කාලස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලේහීති ආලය මාලයේ සිනි
තදා නදී අජකරණී රමේතිමං
(සප්පක ථේර ගාථා)
සුදෝ වන් තටු විහිදාගෙන හැසිරෙන කොක් පෙළ ද මේඝය උදාවෙන අවස්ථාවේ දී බියට පත්
වෙමින් උන් සිටින ආකාරය ද තමන්ගේ සිතට ආනන්දනීය ස්වභාවයක් ගෙන දීමත් ඒ සියල්ලටම වඩා
අජකරණී නදියෙහි ගලා යන ජල දහරාවන් තම හදවත පුබුදු කරවීමට සමත් වූ බවත් මෙහි දී
පිළිඹිබු කෙරේ. එපමණක් නොව බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා
කාලුදායි තෙරුන් වහන්සේ විසින් කරන ලද මාර්ග වර්ණනාවද අතිශයින් භාවප්‍රබෝධනයට හේතු
සාධක වී ඇති බව පැහැදිලිව දැකිය හැකි ය.
බුද්ධකාලය වන විට කාන්තාව බ්‍රාහ්මණ සමාජයේ විවිධාකාර අවතක්සේරුවලට පාත්‍ර වී සිට
ඇති බව ප්‍රකටය. කාන්තාවට ආගමික සාමාජික වශයෙන් කිසිවක් කළ නොහැකි බව බ්‍රාහ්මණ
අදහස් මඟින් ප්‍රකාශ වී තිබුණි. ‘ඉත්ථිභාවො කිං කයිරා’ ආදී වශයෙන් කාන්තාවනට කළ
හැක්කේ කුමක්ද? යන අදහස බ්‍රාහ්මණ දහමට අනුව මුල් බැස තිබුණි. එහෙත් එහි අභියෝගය
ඉදිරියේ බුදුසමයේ ආලෝකය ලැබීමෙන් සැනසීමට පත් තෙරණියන් තමන් පත් වූ එම තත්ත්වය
පිළිබඳව භාවාත්මක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් ප්‍රකාශ කළ අදහස් ථේරී ගාථාව පුරා
දක්නට ලැබේ. එසේ ස්ත්‍රී භාවය අවඥාවට ලක් කළ ද එම ස්ත්‍රී භාවය තුළ සිට තමන්
උදාරත්වයට පත්ව සිටින අයුරු ප්‍රකාශ කළ සෝමා තෙරණිය මෙසේ ප්‍රකාශ කරයි.
ඉත්ථි භාවෝ කිං කයිරා
චිත්තම්හි සුසමාහිතෝ
ඤාණං ච වත්තමානම්හි
සම්මා ධම්මං විපස්සතෝ
(සෝමා ථේරී ගාථා)
සිත අරහත් මාර්ග සමාහිත වූ මොනවට සමාහිත කල්හි රහත් මාර්ගය පවත්නා කල්හි සිවුසස්
දහම් මොනවට වටහා ගත් කල්හි ස්ත්‍රී භාවය තමාට කුමක් කරන්නේද යනුයි. පුණ්ණා දාසිය
පිළිබඳ දැක්වෙන පුවතෙහි ද වැදගත් භාව ප්‍රකාශයන් දැකිය හැකිය.
උදකමාහරිංසිතේ
සදා උදක මාතරිං
අය්‍යානං දණ්ඩ භය භීතා
වචා දෝස භයට්ඨිතා (ථේරි අපදාන)
පුණ්ණා දාසියකි. ඇය ගිහි කල තම ස්වාමිවරුන්ගෙන් ලද විවිධ වේදනාවන් සහ ඒවායින්
මිදුණු පසු එම සිද්ධීන් සිහිපත් කරමින් උදම් ඇනීමත් පුණ්ණා ථේරී අපදානය තුළින්
ප්‍රකට කෙරේ.
සුභා තෙරණියගේ කතාව ද ආවේගශීලි භාව ප්‍රකාශනයක් බව පැහැදිලි ය. ස්ත්‍රී ධූර්තකයෙක්
තම කාමාශාවන් සංතර්පණය කරගැනීම සඳහා සුභා තෙරණිය පුබුදු වන ආකාරයේ වචන මාලාවන්ගෙන්
ඇගේ රූපය වර්ණනාවක් කරයි.
රූපඤ්ච පවන්ති සබ්බසෝ
කුසුමං රජේන සමුට්ඨිතා දුමා
පඨම වසන්තො සුඛෝ උතු
එහි රමාමසේ සුප්පිතේ වනේ
(සුභා ථේරී ගාථා) මෙයින් කෙරෙන වර්ණනාව ධූර්තයා කවර ස්වභාවයක පුද්ගලයෙක් ද යන්න
මතුකර දක්වන අතර ඔහුගේ නියම ස්වභාවය සුභා තෙරණිය තම ඇස ගළවා දීම දකිනවාත් සමගම
ස්ඵුට වන බව පැහැදිලිය. සුභා ථේරී ගාථාව තුළ දැක්වෙන එම උද්වේගකර බිහිසුණු අවස්ථාව
රසවත් භාව ගීතයක් වශයෙන් ථේරී ගාථාව තුළ විද්‍යාමාන වේ.
අම්බපාලිය සිය තුරුණු වියෙහි ශරීරයෙහි එක් එක් අංගයන් කවි සමයෙහි එන කාන්තා
සෞන්දර්යය ප්‍රකාශ කරන ලක්ෂණයන්ගෙන් යුක්තව පැවති ආකාරය ප්‍රකාශ කරමින් එම
සෞන්දර්යය කාලයාගේ ඇවෑමෙන් අනිත්‍යතාවය අනුව ගිලිහී ගොස් ඇති අයුරු ප්‍රකාශ කර ඇත.ඒ
අනුව කවි සමයෙහි කාන්තා කේශ කලාපයෙහි සුන්දරත්වය ප්‍රකාශ වූයේ දැඩි කළු බවකිනි. එම
කළු බව අත් බඹරුන්ගේ වර්ණයට සමාන යැයි උපමා කොට ඇත. එසේ තිබූ තමාගේ කාල වර්ණ කේශ
කලාපය ප්‍රථමයෙන් බඹර වර්ණව පැවති අයුරු දක්වා අනතුරුව බුදුන් දේශනා කළ අනිත්‍යතාව
පිළිබඳ සත්‍ය වචනය තහවුරු කරමින් එළු ලෝම ස්වභාවයට පත්ව ඇති අයුරු කියයි.
කාළකා භමරවණ්ණ සාදිසා
වෙල්ලිතග්ගා මම මුද්ධජා අහූ
තේ ජරාය සාණවාකසාදිසා
සච්චවාදි වචනං අනඤ්ඤථා
(අම්බපාලි ථේරී ගාථා)
මේ ආකාරයෙන් නාසය තොල් කන් ගී‍්‍රවය ආදියට ද කවි සමයේ එන උපමා සඳහන් කරමින් ඒවා
තුරුණු වියෙහි පැවති ආකාරයත් පසුව ජරාව විසින් ආක්‍රමණය කර ඇති අයුරු නිදසුන් සහිතව
ප්‍රකාශ කර තිබේ.
(අම්බපාලි ථේරී ගාථා)
ශරීරයේ එක් එක් අංගයක සරාගී සුන්දරත්වය ගිලිහී ගොස් ඇති ආකාරය දිගින් දිගටම
අම්බපාලි ථේරී ගාථාවලින් ප්‍රකාශ වන අතර තුරුණු බව ප්‍රකට කළ සරාගී සෞන්දර්යය හා
බැඳුණු කටහඬ වැනි දෑ ද අනිත්‍ය විසින් ජරාවට පත් කර ඇති අයුරු ප්‍රකාශ කර තිබේ. ඈත
මහා වනයේ හැසිරෙන කෝකිලාවකට බඳු මිහිරි කට හඬක් තිබූ තමාගේ කටහඬ ජරාවට ගොදුරුවීම
තුළින් ශබ්දය කැඩි කැඩී හඬනැගෙන බව විරාගය දනවමින් මෙසේ ප්‍රකාශ කරයි.
කානනම්හි වනසණ්ඩචාරිනී
කෝකිලාව මධුරං නිකුජිතං
තං ජරාය ඛලිතං තහිං තහිං
සච්චවාදි වචනං අනඤ්ඤථා
(අම්බපාලී ථේරී ගාථා)
බෞද්ධ සාහිත්‍යය තුළ විශේෂයෙන් ථෙර ගාථා ථේරී ගාථා උදාන සුත්ත නිපාත ධම්මපද වැනි
කෘති තුළ ලෞකික මෙන්ම ලෝකෝත්තර රසාස්වාද ජනනය කරන සෞන්දර්යයෙන් හෙබි භාව ගීතයන් සහ
උදාන සංකල්පයන් ඉහත අයුරින් උපුටා දැක්විය හැකි අතර පෞරාණික සාහිත්‍ය කෘති වශයෙන්
එම ග්‍රන්ථවල පැනෙන මෙම භාව ප්‍රකාශයන් අගය කළ හැකිය.
|