Print this Article


පිරිත් දේශනාවෙහි සමාජ විද්‍යාත්මක පසුබිම

පිරිත් දේශනාවෙහි සමාජ විද්‍යාත්මක පසුබිම

සංස්කෘත භාෂාවෙන් “පරිත්‍රාණ” යනුවෙන් ද පාලි භාෂාවෙන් 'පරිත්ත 'යනුවෙන්ද සිංහල භාෂාවෙන් 'පිරිත්' යනුවෙන් ද හඳුන්වනු ලබන්නේ හාත්පසින්ම ආරක්ෂාව, පිළිසරණ සලසන්නා වූ බවයි.

වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී පිරිත් දේශනාව විවිධ ආකාරයෙන් සමාජගතව පවතින ආකාරය හඳුනා ගත හැකිය. ඒ අනුව වරු පිරිත්, ගිහි පිරිත් හා භික්ෂූන් වහන්සේලා විසින් දේශනා කරන පිරිත් වශයෙන් වෙන්කොට දැක්විය හැක. එසේම විවිධ උත්සව අවස්ථාවන් කේන්ද්‍ර කොට ගනිමින් සමාජයේ විවිධ ස්ථරවල බෞද්ධයන් ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි පිරිත් සජ්ඣායනා කරවාගන්නා ආකාරය දැකිය හැකිය.

වත්මන් සමාජයේ බහුල ලෙස ගිහි පිරිත් දේශනා කිරීම දැකිය හැකිය. ඊට හේතුව වන්නේ වඩා පහසුවෙන් හා අඩු වියදමකින් එය සිදුකරවා ගැනීමට හැකි වීමයි.නමුත් බුදු දහමට අනුව පිරිත් දේශනාවෙහි නියම ගුණ ලබා ගැනීමට නම් ත්‍රිවිධ රත්නය නියෝජනය වන අයුරින්ම පිරිත් දේශනාවක් පැවැත්විය යුතුය. ගිහි පිරිතේදි බුද්ධ රත්නය වෙනුවට සධාතුක කරඬ¼ුව ද ධම්ම රත්නය වෙනුවට පිරුවානා පොත් වහන්සේද නියෝජනය වේ. එහෙත් සංඝරත්නය නියෝජනය වීමක් ගිහි පිරිතේදි සිදු නොවේ. නියමාකාරයෙන් පිරිතක් සර්ව සම්පූර්ණ වීම සඳහා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය නියෝජනය වීම අත්‍යවශ්‍යය. ඒ අනුව උතුම් වූ මහ රහතන් වහන්සේලාගෙන්, නියෝජනය වන්නා වු සංඝරත්නය වත්මනෙහි නියෝජනය වන්නේ මහා සංඝ රත්නයෙනි. එනිසා පිරිත් දේශනයකදී සංඝරත්නයේ සහභාගිත්වය අත්‍යවශ්‍ය සාධකයක් වේ.

“පරිසමන්ථතෝ තායතී රක්ඛතීති පරිත්තං” ලෙස අටුවා ග්‍රන්ථ වල සඳන් පරිදි ද පිරිත යනු හාත්පසින්ම ආරක්ෂාව, රැකවරණය, පිළිසරණ සපයන දෙයකි” පිරිත් දේශනාවක් සඳහා ආරාධනා කිරීමේදි සිදු කරනු ලබන්නා වු ආරාධනා ගාථාවේ ද පිරිතෙහි ආනිශංස දැක්වේ. එනම් සියලු දුක් නැසීම සඳහා ද සියලු භය හා රෝග නැසීම සඳහාද සියලු සම්පත් උදාකරලීම සඳහාද පිරිත් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටී. ඒ අනුව පිරිත් දේශනය තුලින් සියලු රෝග, දුක් හා බිය නැසීම පමණක් නොව සම්පත් උදාකර ගැනීමේ ශක්තියක් අන්තර්ගතව පවතින බව පැහැදිලි වේ.

පිරිත් දේශනයෙන් සිදු කරනු ලබන්නේ තෙරුවන් සතුව ඇති ගුණයන්හි සත්‍යයේ බලය කරණ කොට ගෙන සත්‍යග්‍රහණයෙන් ආශිර්වාද කිරීමද මෛත්‍රී බලයෙන්ද ආශිර්වාද කිරීම ද බුදුරදුන්ගේ ආඥාවේ බලයෙන් අමනුෂ්‍ය උපද්‍රව දුරු කරලීමද සත් බුදුවරුන්ගේ හා පසේ බුදුවරුන්ගේ ආශිර්වාදයෙන් කරදර විපත් දුරුකර ලීමද සිදුකිරීමයි. තුනුරුවනේ ගුණ අන්තර්ගත සුත්‍ර දේශනා අවසානයේ ද “මේ සත්‍ය වචනයේ බලයෙන් සියලු දුක්, රෝග හෝ බිය දුරු වී ජය මංගල්‍යයක් උදාවේවා”යි යන ප්‍රාර්ථනයෙන් ආශිර්වාද කරනු ලබයි. බුද්ධ කාලයේදි වෙන් වෙන් වශයෙන් භාවිත වු සූත්‍ර දේශනා ඇසුරින් චතුභාණවාර පාළි ග්‍රන්ථය සකස් වීමෙන් පසුව පිරිත පූජා චාරිත්‍රයක් ලෙස මෙරට ජනතාව අතර ප්‍රසිද්ධ විය.

සූත්‍රවල වෙන් වෙන් වශයෙන් ගුණ අන්තර්ගත වේ. ඒ අනුව මහා මංගල සූත්‍රයෙහි මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය සලසන මංගල කරුණු තිස්අටක් අන්තර්ගත වේ. රතන සූත්‍රයෙහි තුන් බිය දුරුකර ගැනීම සඳහා උපචාර විධි සහිත තෙරුවන් ගුණ සජ්ඣායනා කොට සෙත් පතන අයුරු විස්තර වේ. කරණීය මෙත්ත සූත්‍රයෙහි දේව, භූත. පේ‍්‍රත, අමනුෂ්‍ය කොටස් වලින් සිදුවන උපද්‍රවලින් වැළකෙන අන්දම සඳහන් වේ. මෙත්තානිශංස සූත්‍රයෙහි මෛත්‍රි භාවනාවේ ආනිසංශ එකොළහක් උගන්වනු ලැබේ. ගිරිමානන්ද සුත්‍රයෙහි ලෙඩ රෝග සුවවෙන ආකාරය විස්තර වේ. ආටානාටිය සූත්‍රයෙහි යක්ෂ ව්‍යසනයකදී ආරක්ෂක මන්ත්‍රයක් ලෙස භාවිත වේ. ධජග්ග සූත්‍රයෙහි වෙනත් කිසිවකගෙන් දුරු කරගත නොහැකි අමනුෂ්‍යය බිය, සංත්‍රාසය දුරුකර ගැනීමට උපකාර වන සුවිසි මහා ගුණ විස්තර වේ.

පිරිත් දේශනාවක් සිදුකර ගැනීමේද ී ඒ සඳහා වෙනම වූ සුවිශේෂී මණ්ඩපයක් සකස්කර ගනු ලැබේ. පිරිත් මණ්ඩපයේ අට කොණ ආරක්ෂා සහිතව සකස් කරන අතර බාහිරින් සතර වරම් දෙවිවරුන් උදෙසා මල් පැලක් ද බුදුන් වහන්සේ වෙනුවෙන් වෙනම පහනක් දැල්වීමද සිදුකරයි. මණ්ඩපයේ හරි මධ්‍යයේ සිට කෙලවරට වීමට කප්රුක හෙවත් ඉන්ද්‍ර කීලයක් පිහිටවා ගනු ලබයි. මෙය වෛදික යුගයේ සිට පවතින චාරිත්‍රයකි. මෙය බෞද්ධ සම්ප්‍රදායේ දී බෝධිමණ්ඩපය සංකේත වත් කිරීම සඳහා යොදා ගනුලැබේ. වර්තමානයේ මෙම ඉන්ද්‍රකීලය සංකේතවත් කිරීම සඳහා භාවිත කරන්නේ අමු සූර්යය ලීයකි. එනම් පුවක් පැළයකි. මෙහි මුදුනේ වටාපතක් සේ සරසා බඳින ලද කොටස, බුද්ධාසනය හැඟවීම පිණිස සම්ප්‍රයාදානුකූලව භාවිත කරන ධර්ම චක්‍රය සංකේතවත් වේ. එම ධර්ම චක්‍රයේ මැද ගැටගසන ලද වළල්ලකට පිරිත් හුයේ නූල හා කොත්වහන්සේ ගේ නූල එකට සම්බන්ධ කොට මණ්ඩපය වටා එතීමෙන් හා ධාතු කරඬුවට ගැටගැසීමෙන් අනතුරුව පිරිත් පැන් කළයට ගැට ගසනු ලබයි. පිරිත් හුයේ ඇති නූල භික්ෂූන් වහන්සේලා විසින් අල්ලාගනු ලබන අතර ඊට ගැට ගැසූ තුන් නූල් කරන ලද කපු නූල පිරිත් අසන්නන් විසින් අල්ලා ගනු ලබයි. ඉන්ද්‍ර කීලයෙන් මෙසේ සංකේතවත් වු බෝධිමණ්ඩපය තුළ බුද්ධරත්නය නිරූපණය කිරීමෙන් ධාතු කරඬුවද ධර්මය නිරූපණය කරමින් පිරුවාණා පොත් වහන්සේද සංඝ රත්නය නිරූපණය කරමින් මහා සංඝයාද වැඩ සිටී. ඒ අනුව පෙර දිගට මුහුණලා නිම කළ පිරිත් මණ්ඩපය තුළ තුනුරුවන් බෝධි මූලයේ වැඩ සිට සෙත්පතනු ආකාරයක් නිරූපණය වේ.

පිරිත් දේශනය සඳහා භාවිත කරන අනෙක් පූජාමය ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් අනතුරු,උපද්‍රව දුරු කරන ද්‍රව්‍ය හා සෞභාග්‍යය ළඟා කරන ද්‍රව්‍ය වශයෙනි. ලදපස්මල්, අබ, ඊතන, හා පුවක් මල් අයත් වන්නේ අනතුරු, උපද්‍රව දුරු කරන ද්‍රව්‍ය ගණයටය. සෞභාග්‍යය ළඟා කරන ද්‍රව්‍ය ලෙස පොල් මල්, පුන් කලස් හා සමන්පිච්ච ගත හැකිය. එසේම ජලයද පුජාමය ද්‍රව්‍යයක් වශයෙන් වැදගත් වේ. පිරිත් පැන් අමනුෂ්‍ය උපද්‍රව දුරු කරන ඖෂධීය බලයකින් යුතු බව විශ්වාස කෙරේ. එසේම බුදු ගුණ තුළින් ජලය ශක්තිමත් වන බවටද විශ්වාසයක් පවතී. එය විද්‍යාත්මකව ද තහවුරු වී තිබේ. එමෙන්ම කපු නූල් හරහාද ශබ්දය ගමන් කරන බැවින් ඒ තුළද බුදුගුණ අන්තර් ගත වන බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. එම හේතුන් නිසා පිරිත් පැන් පානය කිරීමට හා පිරිත් නූල් බැඳ ගැනීමට ජනතාව මහත් උනන්දුවක් දක්වනු ලැබේ.