Print this Article


ශ්‍රී මහා බෝධි පුරාණය-14

ශ්‍රී මහා බෝධි පුරාණය-14:  

පෙළහර පෑවාබෝ රජුනේ. . .

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දඹදිවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමට දේවානම්පියතිස්ස රජතුමා උනන්දු කිරීමත්, අරිට්ඨ නම් මහාමාත්‍යයා එක් දිනකින්ම පාටලීපුත්‍රයට සම්ප්‍රාප්ත වීමත්, ලක්දිව භික්ෂුණී සඟ පරපුර ආරම්භ කිරීම පිණිස සංඝමිත්තා රහත් තෙරණිය දැනුවත් කිරීමත්, ධර්මාශෝක රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවා ගැනීමට මහා බෝ සෙවනට සපැමිණීමත්, එහිදී බෝධින් වහන්සේ වෙන්කර ගන්නා අයුරුත් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයත් මහාබෝධි උපහාරය පිළිබඳවත් අප මීට පෙර කථා කෙළෙමු.

බෝධීන් වහන්සේ පිහිටන රන් කටාරම මැව්වේ විස්කම් දෙවියන්

රන් කටාරමක් කරවන්නට භාණ්ඩාගාරයෙන් රන් ලබා දුණි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රන්කරුවෙකු ගේ වේශයෙන් පැමිණ “දේවයන් වහන්ස, කටාරම තනවන්නේ කොයි ප්‍රමාණයට ද?” “තොප ම ප්‍රමාණය දැන කටාරම කරව” රජු කීය. රන් ගත් විස්කම් දෙව්පුතු එය සිය අතින් පිරිමැද්දේ ය. එසැණින් ම කටාරම නිර්මාණය කර පිටත්ව ගියේය. ඒ කටාරමේ වට රවුම රියන් නවයකින් යුක්තය. ගැඹුර රියන් පහකි.

විෂ්කම්භය රියන් තුනකි. අඟල් අටක ඝනකමින් යුක්තය. සුන්දරය. තරුණ ඇත් රජෙකුගේ සොඬය ප්‍රමාණයට කටාරමේ මුව විට තිබුණි. රජුන් ළා හිරු කාන්තියේ පැහැයෙන් බබළන ඒ රන් කටාරම මහබෝ සෙවනට මහා හරසරින් වැඩමෙව්වේය. එය භාග්‍යවතුන් වහන්සේට පැන වූ ස්වර්ණ පළඟක් සේ බැබලුණි.

රජ පිරිවර රහතුන් වහන්සේ පිරිවරා . . .

යොදුන් සතක් දිග් වූ, තුන් යොදුනක් පළල් වූ චතුරංගනී සේනාව, මහත් භික්ෂූ සංඝයා වහන්සේ් සමඟ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අසළට පැමිණ නොයෙක් අලංකාරයෙන් යුක්ත, නොයෙක් මාණික්‍යයන්ගෙන් විසිතුරු වූ,නොයෙක් ධජ පතාක නොයෙක් මල් මාලා, මෙන්ම මල්වලින් පූජා පවත්වා නොයෙක් තූර්ය නාදයන්ගේ පූජා පවත්වා සිවුරඟ සේනා පිරිවරාගෙන මහබෝධිය තිරයකින් වටකරන ලදී. මහා සංඝයා අතර මහා තෙරුන් වහන්සේ දහස් නමක් මුල්කොට, දඹදිව ප්‍රාදේශීය රජවරු ලෙස අභිෂේක ලැබූ දහසකට අධික රජ දරුවන් සමඟ ධර්ම අශෝක රජු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතා යහපත් ලෙස පිරිවරා ගෙන ඇඳිලි බැඳ වන්දනා කර මහා බෝධීන් වහන්සේ දෙස බලා සිටියේය.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ප්‍රථම ප්‍රාතිහාර්යය

එවිට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව සතර රියන් ප්‍රමාණයට කඳත් සමඟ ඉතිරි වී අනෙක් ශාඛා නොපෙනී ගියේය. මෙය රජු දුටු ප්‍රථම ප්‍රාතිහාර්ය ය. දුටුවන් සාධුකාර පැවත්වීය. ඒ ප්‍රාතිහාර්යය දුටු ධර්මාශෝක මහාරජු මහත් සතුටට පත් වී “මම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට මුළු දඹදිව රාජ්‍යය ම පූජා කරමි” කියා හඬ නැඟීය. මෙහිදී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පූජා කරමි යනු භූමිය පූජා කිරීම පමණක් නොවේ. “මහා ගණ්ඨිපදය” හි මෙසේ විස්තර වේ.

මහා බෝධිං පන යස්මිං දිවසේ රජ්ජේන පූජේසි
තස්මිං තස්මිං දිවසේ සකළ ජම්බුදීපේ
රජ්ජතෝ උප්පන්නං අයං ගහෙත්වා
මහා බෝධි පූජං කාරේසි

යම් දවසක ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පූජා ලබත් ද, ඒ ඒ දවසේ සකල දඹදිව රාජ්‍යයට ලැබෙන ආදායම බෝධින් වහන්සේ වෙනුවෙන් වෙන්කොට මහා පූජා පැවැත්වීම යනුයි.

රජුන් දඹදිව මහා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභිෂේක කළේය. නොයෙක් කල් ආදියෙන් මහාබෝධින් වහන්සේට පූජා පවත්වා තුන් වටක් ප්‍රදක්ෂිණා කර අට ස්ථානයකින් ඇඳිලි බැඳ වන්දනා කර, රන් කැටයමින් අලංකාර වූ නොයෙක් මැණික් වර්ගයන්ගෙන් සරසන ලද, සකස්කළ පීඨිකාවේ ඉතා පහසුවෙන් බිම සිට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව අසලට යාමට හැකි ලෙස ඒ පීඨිකාව මත රන් කටාරම තබා උතුම් දකුණු මහා බෝධි ශාඛාව වඩම්මවා ගැනීම පිණිස නැඟ අතට ගත් රන් පින්සලෙන් සිරිවල් ගෙන රේඛාවක් ඇඳ මේ ආකාරයට සත්‍ය ක්‍රියාවක් සිදු කළේය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන ප්‍රාතිහාර්යය

“ඉඳින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙතැනින් නික්ම ලංකාද්වීපයට වැඩම කළයුතුනම්, ඉදින් මම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි සැකයක් නොමැතිව සිටිනවා නම්, මේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ තමන් ම ඡේදනය වී මෙතැන තිබෙන රන් කටාරමෙහි පිහිටාවා! එවිට ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රේඛාව සටහන් කළ තැනින් තමන් ම ඡේදනය වී සුවඳ මඩ පිරවූ රන් කටාරමෙහි පිහිටා වදාළේය.

මෙය මහාබෝධින් වහන්සේගේ දෙවන ප්‍රාතිහාර්ය යි. රජුගේ මුළු ගතම පී‍්‍රතියෙන් පිනා ගියේය. සතුටු කඳුළු වැගිරීය. සාදු නාද පැවැත්වීය. සිරසේ දෑත තබාගෙන අපමණ බුදුගුණ පැවසුවේය. දෙවියන් මල් වරුසා වස්සන විට අපමණ ආශ්චර්ය දේ සිදුවීය.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තුන්වන ප්‍රාතිහාර්ය

රජතුමා බුද්ධිමත්ය. අතට ගත් රන් පින්සලින් සිරියල් ගෙන රෝපිත බෝධින් වහන්සේගේ මුලින් සටහන් කළ රේඛාවට උඩින් අඟල් තුනෙන් තුනට වන්නට සිරියල් රේඛාවන් දහයක් බෝධි ශාඛාව වටා ඇන්ඳවීය. මුලින් සටහන් කළ රේඛාවෙන් ලොකු මුල් දහයක්ද, අනෙක් රේඛාවලින් කුඩා මුල් දහය ගණනේ හටගෙන දැල් කවුළුවක් ලෙස එවලෙහිම පහතට කඩා හැලුණි. ඒ ප්‍රාතිහාර්ය දුටු රජු අතිශයින්ම පී‍්‍රතියට පත්වී වන්දනා කරගෙන මහ හඬින් පී‍්‍රතිඝෝෂා කළේය. හාත්පස සිටි මහා පිරිසක් පී‍්‍රතිඝෝෂා කළේය. මේ ආකාරයට මහජනයා ප්‍රසාදයට පත්කරවමින් ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මුල් සියයකින් යුක්තව ඒ සුවඳ මඩ පිරි රන් කටාරමේ මනාකොට පිහිටියේය.

රන් කටාරමේ පිහිටි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ

ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේගේ කඳ රියන් දහයක් ව තිබුණි. මනරම් අතු පහක් තිබුණි. ඒ හැම අත්තක් ම රියන් සතරක්ව තිබුණි. ඒ හැම අත්තකම බෝ ගෙඩි පහ බැඟින් තිබුණි. ඒ බෝ අතුවල ඉතා කුඩා ශාඛා දහසක් පමණ තිබුණි. මේ ආකාරයට ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මනස්කාන්ත ශ්‍රීයෙන් ශෝභමාන ව වැඩ සිටියේය. කප්රුකක් මෙන් ශෝභමාන වුණි. රිදී කඳක් මෙන් මනහර සිරියෙන් යුක්ත වුණි. ඒ හා සමාන වෙනත් රුකක් නැත.

ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රන් කටාරමේ වැඩහුන් සැණින් ම මහා පොළොව කම්පා වුණි. නොයෙක් ප්‍රාතිහාර්යයන් ඇතිවුණි. දෙව්ලොව, මනුලොව තිබුණු ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයන් ඉබේම වාදනය වීමට පටන් ගති. දෙව් බඹුන් ගේ සාධු හඬ ගිගුම් දුනි. මහා වලාකුළු නැඟී අහස ගිඟුම් දුනි. සිව්පාවුන් නාද කළේය.

පක්ෂීනුත් නාද කළේය. යක්ෂ අසුරාදීනුත් පී‍්‍රති නාද පැවැත්වීය. පොළොවත් ගිඟුªම් දුනි. එකම මහා ඝෝෂාවකින් නින්නාද වුණි. මේ ආකාරයට අපමණ ප්‍රාතිහාර්යය සිදුවුණි. ගණනින් කියන්නට අපහසුය.

අපමණ බෝධි ප්‍රාතිහාර්යය

ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේගේ ඵල පත්‍රයන්ගෙන් විහිදී ගිය සුන්දර වූ ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන් මුළු සක්වලම ශෝභමාන වුණි. ඒ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ රන් කටාරමත් සමඟින් අහසට පැන නැංඟේය. සත් දිනක්ම හිම වළා ගැබ තුළ නොපෙනී වැඩ සිටියේය.

රජු පීඨිකාවෙන් බිමට බැස ඒ දවස් හතේ ම එතැන වාසය කරමින් නිරන්තරයෙන් නොයෙක් අයුරින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජාවන් පැවැත්වීය. සත් දිනක් ගෙවී යද්දී සියලු හිම වළාවනුත් සියලු සවණක් ඝන රැස් මාලාවෙනුත් ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ තුළට උරා ගත්තේය. වළාකුළු රහිත පිරිසුදු අහසේ රන් කටාරම් වැඩහිඳින අපගේ මනරම් ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ එතැන සිටි සියල්ලටම දැක ගන්නට ලැබුණි.

ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ නා නා ආකාරයෙන් ප්‍රාතිහාර්යය දක්වමින් මහජනයා විස්මයට පත් කරමින් මහා පොළොවට බැස රන් පිඨිකාව මතට වැඩ වදාළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් පිළිබඳව අප කථා කළේය. ඒ ප්‍රාතිහාර්යය, ඒ අධිෂ්ඨාන ඒ ආකාරයටම සිදුවුණි.

අනුරාධපුර උඩමළුවේ වැඩසිටින අපගේ උතුම් දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට නමස්කාර වේවා.


පසුගිය සතියෙන්: ශ්‍රී මහා බෝධි පුරාණය-13:  දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම