අනගාරික ධර්මපාල නම් වූ සිරි දේවමිත්ත මහා යතිවරයාණෝ
මහාචාර්ය
කොන්ගස්තැන්නේ ආනන්ද හිමි
ඔහුගේ දීප්තිමත් තීක්ෂණ දෙනෙත් ශ්‍රවණාගාරය සිසාරා යන අතර මුවින් පිටවෙන සෑම වදනක්
ම තව තවත් තහවුරු කිරීමට මෙන් දුඹුරුවන් සුරත චලනය කරවයි. සියලු දේශයන්හි බෞද්ධ
ජනතාව එකමුතු කරමින් ‘ආසියාවේ ආලෝකය’ බඳු, ‘බුදුදහම’ යුරෝපීය ජාතීන් අතර ප්‍රචලිත
කිරීමට පැමිණි තරුණ ධර්මපාල සැබවින් ම ව්‍යක්ත දේශකයෙකි. (1893 සැප්තැම්බර් 21
සෙන්ට් ලුවිස් ඔබ්සවර් සඟරාව)
අනාගරික ධර්මපාලතුමා ‘බෞද්ධ දර්ශනය’ මැනවින් ප්‍රගුණ කළ මහායතිවරයාණ කෙනෙක් වැනිය.
1893 සැප්තැම්බර් 18 වන දින ඇමරිකාවේ චිකාගෝ නුවර පැවැති ජගත් දෘෂ්ටි සම්මේලනයට
සහභාගි වී ආපසු පැමිණෙන එතුමාට, අතර මග හොනලුලු වරායේ දී එක්තරා ධනවත් කාන්තාවක්
මුණගැසිණ. ඇය ධර්මපාලතුමාගේ චතුර භාෂණයටත් ප්‍රෞඪ පෞරුෂත්වයටත් ආකර්ෂණය වූ මේරි
පෝස්ටර් මැතිනියයි. එතුමිය දිගු කලෙක සිට දැඩි වේදනාකාරී අසනීපයකින් පෙලෙන්නීය.
ධර්මපාලතුමාට අධිමානසිකත්වයක් ඇතැ’යි විශ්වාස කළ මේරි පෝස්ටර් මැතිනිය, තමා දිගු
කලෙක සිට පීඩා විඳින අසනීපයට සහනයක් ලබාදෙන ලෙස ධර්මපාලතුමාගෙන් ඉල්ලා සිටියාය.
අතීතයේ මහතෙරවරුන් මෙන් ම ධර්මපාලතුමාත්, කායික මානසික රෝග පීඩාවලින් පෙළෙන අය ධර්ම
නමැති ඖෂධයෙන් සුවපත් කිරීමට සමත් මහායතිවරයාණ කෙනෙක් වැනි ය. එනිසා ධර්මපාලතුමා
පෝස්ටර් මැතිනියට සරල භාවනාවක් උගන්වා රෝගය සුවපත් කළේ ය. එයින් ප්‍රසාදයට පත් මේරි
පෝස්ටර් මැතිනිය, දෙවෙනි මාතාවක් මෙන් ධර්මපාලතුමාගේ සේවාවන්ට උපකාර කළා ය.
ධර්මපාලතුමා විසින් ලංකාවේත් ඉන්දියාවේත් ඉදි කරන ලද පාසල්, රෝහල්, කර්මාන්තශාලා,
විහාරස්ථානවලට මෙන්ම ලන්ඩන් බෞද්ධ විහාරය ඉදිකිරීමටත් විශාල ධනයක් පරිත්‍යාග කරන
ලද්දේ පෝස්ටර් මේරි මැතිනියයි. තවද ධර්මපාලතුමාට හේවාවිතාරණ පරම්පරාවෙන් ලැබුණ
ධනයත් විවිධ රටවල ත්‍යාගශීලීන් ගෙන් ලැබුණු පරිත්‍යාගත් වියදම් කරන ලද්දේ බෞද්ධ
සංස්කෘතියත්, සිංහල ජාතියත්, බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමටත් දුකටපත් අයගේ දුක්ගිනි
නිවීම සඳහාත් පමණි. එහෙත් එකල සිටි පරාදීන මානසිකත්වයෙන් හා දීනගති ඇති
ආත්මාර්ථකාමී චින්තනයෙන් වැසීගිය මිනිස්සු සහ ආයතන, ධර්මාපාලතුමාට ලැබෙන
පරිත්‍යාගවල අයවැය ඉල්ලා සිටියහ. එයින් කියැවෙන්නේ දහනව වන ශතවර්ෂයේ අග භාගය වන විට
ලංකාවේ සිටි අය තුළ පැවැති දේශීය සංස්කෘතිය, රට, ජාතිය, ශාසනය පිළිබඳව පැවැති
අනවබෝධයයයි. ඉංගී‍්‍රසි පාලකයන්ගේ ගැත්තන් වී සිටි ඔවුන්ට අනගාරික ධර්මපාලතුමා සහ
එතුමාගේ චින්තනය අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් නොතිබුණු බවයි. එනමුත් ධර්මපාලතුමා,
තමාට ලැබුණු සියලුම ධනය, බලය, බුද්ධිය භාවිත කළේ ස්වාර්ථයට නොවේ. පරාර්ථයටය.
එතුමාගේ චරිත කතාවෙන් එය ප්‍රදර්ශනය වෙයි.
රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තත්ත්වයකට යා හැකි රැකියාවත්, ඩේවිඩ් යන නාමයත්, තරුණ වියේදී
ම හැරදැමූ ධර්මපාලතුමා, හෙන්රි ඕල්කට්තුමා සමඟ එක් වී පරමවිඥානාර්ථ සමාගමේ සේවයට
එක් වූයේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ජීවිතය කැප කිරීමටය. හෙන්රි ඕල්කට්තුමාගේ කතා
සිංහලට පරිවර්තනය කරමින් රටපුරා ගමන් කළ ධර්මපාල තරුණයාට, ඉංගී‍්‍රසීන්ගේ පාලන
ක්‍රමය නිසා ලක්වැසියන් ආර්ථික, සාමාජික, ආගමික වශයෙන් වැටී සිටි දිළිඳු තත්ත්වය
ප්‍රත්‍යක්ෂ විය. ශතවර්ෂ තුනක් පමණ විදේශිකයන් විසින් කරන ලද විනාශය නිසා
ස්වදේශිකයෝ තම මාතෘභූමියේ වහලුන් බවට පත් වී සිටියහ. එය මෙසේ විය.
1505 දී පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟ ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනයටත්, ජාතික
සංස්කෘතියේ සහ ශාසනයේ ආරක්ෂාවටත් තර්ජන වූයේ කෝට්ටේ ධර්මපාල රජතුමා, පෘතුගාලයෙන්
බෞතිස්ම වී කොළඹ කොටුවේ රූකඩපාලකයෙක් බවට පත්වීම නිසයි. අනතුරුව 1656 දී
ලන්දේසීන්ගේ ආගමනය සිදුවිය. ඔවුන්ගේ උදව් ඇතිව පෘතුගීසීන් පලවාහැරීමට සිතූ දෙවන
රාජසිංහ රජතුමාගේ ප්‍රයත්නය අසාර්ථක වූයේ ඉඟුරු දී මිරිස් ගත්තාක් මෙනි.
ලන්දේසීන්ටත් වඩා උපක්‍රමශීලීත්වයෙන් හා අධිරාජ්‍යවාදී චින්තනයෙන් ප්‍රබල වූ
ඉංගී‍්‍රසීහු, පෙරදිග රටවල් ආක්‍රමණය කළහ. 1796 දී ලක්දිවට ඉංගී‍්‍රසීන්ගේ
සංක්‍රමණයවීම, ලාංකික සංස්කෘතික දේහය ප්‍රබල වෙනසකට පත් කිරීමට හේතු වූ සාධකයක්
විය. පළමුවෙන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් ඉංගී‍්‍රසීහු, චරපුරුෂයන් ලවා,
කන්ද උඩරට පාලනය කළ තරුණ ශ්‍රී වික්‍රමරාජ සිංහ රජතුමාට සුරාව පෙවූහ. සුරාවට ලොල්
වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාට භික්ෂූන් වහන්සේලාගේ සහ නිළමෙවරුන්ගේ අවවාද
නුරුස්සන්නට විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කොළඹ සිටි ඉංගී‍්‍රසි පාලකයෝ, කන්ද
උඩරට රජතුමාත්, නිලමේවරුත්, භික්ෂූන් වහන්සේලාත් අතර භේදයක් ඇති කළහ. ශ්‍රී වික්‍රම
රජතුමාට අවවාද කළ ඇමතිවරුන්ට දඬුවම් කළේ ය. මද්දුම බණ්ඩාර, තමාට ඇහැළෙපොළ
කුමාරිහාමි වැනි අය මැරවීම නිසා රජතුමාට සියලු ම ජනතාවගේ අප්‍රසාදයක් වර්ධනය විය.
එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉංගී‍්‍රසීහු, බළලුන් ලවා කොස් ඇට බානවා’ සේ උපක්‍රම
ශීලීව නිලමෙවරුන් අතර භේද ඇති කරවා ගිවිසුමකින් මුළු රට ම අල්ලා ගත්හ.
ඉංගී‍්‍රසින්ගේ ‘යටිකූට්ටු ව්‍යාපාරය’ සිංහලයන්ට අවබෝධ වන විට අත්සන් කර හමාරය. එහි
භයානක ප්‍රතිඵල නිසා රටත්, ජාතියත්, සාසනයත් අනතුරට පත් වූ බව දැනගත් භික්ෂූන්
වහන්සේලාත් ජනනායකයෝත් ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කැරලි ගැසූහ. 1818 සිට
රටතුළ නැගී ආ සියලුම ජාතික බලවේග කඩුවෙන් මර්දනය කරමින් ජනනායකයන් සහ දහස් ගණනින්
ඝාතනය කළහ. වැව් අමුණු කඩා දැමූහ. ගෙවල් ගිනි තැබූහ. ආර්ථික හා ආධ්‍යාත්මික වශයෙන්
ජනතාව අද වැටිණ. පරාදීන මානසිකත්වයකින් සිටි සිංහලයෝ ඔවුන්ගේ බැලමෙහෙවරකම් කළහ.
ඔවුන්ගේ ආර්ථිකය හෝ ආධ්‍යාත්මය සංවර්ධනයට සුදුපාලකයෝ කිසිවක් නොකළහ. එය අවබෝධ කරගත්
ධර්මපාලතුමා මෙසේ කීවේ ය.
‘පරසුද්දන් සිංහලයන්ට අරක්කු පොවන්න හදනවා විනා කිසිම සිල්පයක්, විද්‍යාවක්
උගන්වන්නෙ නැහැ. උන්ට ඕනෑ කර තියෙන්නෙ උන්ගෙ වෙළෙඳාම දියුණු කරගන්න පමණි.
සුරාවට ලොල් වී දිළින්දන් වූ ස්වදේශිකයෝ ඉතාම දුර්වල තත්වයකට පත් වූහ. මිසනාරී
අධ්‍යාපනය ලැබූ අයට රජයේ රැකියා සහා නම්බුනාම ලැබුණි. එනිසා කළු සුද්දන් පිරිසක්
බිහි විය. ඔවුහු සිංහල භාෂාව කතා කිරීමටත්, සිංහල සිරිත් විරිත් අනුගමනය කිරීමටත්
සිංහලයෙක් යයි කීමටත් ලැජ්ජා වූහ. ඔවුහු යුරෝපීය ගති ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් බොල්
සිංහලයෝ වූහ. මෙම පරගැති භාවයෙන් සිංහලයන් මුදාගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් බව අවබෝධ
කරගත් අනගාරික ධර්මපාලතුමා නිදාසිටි ජාතියක් පිපිදීමට විශාල වෙහෙසක් හා කැපකිරීමක්
කිරීමට අනගාරික ධර්මපාලතුමාට සිදුවිය. එතුමා ගම්නියම්ගම්වල ඇවිදිමින් සිංහලයන්ගේ
අතීත උරුමයන් හා බැඳුණු උදාර සංස්කෘතියේ වටිනාකමත් විදේශිකයන් විසින් ඒ අතීත
දායාදයන් විනාශ කරන ආකාරයත් ගම්වැසියන්ට පැහැදිලි කර දුන්නේ ය. ඕල්කට්තුමා සමඟ රට
පුරා පාසල් හා කර්මාන්ත ශාලා ආරම්භ කළේ ය. ගම්වල පාසල් ආරම්භ කිරීමට භික්ෂූන්
වහන්සේලාත් උනන්දු කරවීය. එනිසා රට පුරාම ධර්ම, ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති විය.
බුද්ධ ශාසනයේ ආරක්ෂාවටත් අභිවෘද්ධියටත් කැපවුණු අනගාරික ධර්මපාලතුමා, දඹදිව
බුද්ධගයාව, බරණැස ඉසිපතනාරාමය (සාරානාත්) ආදී ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන බේරා
ගැනීමට ක්‍රියා කළේ ය. එතුමාට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ඇතුලු ලංකාවේ භික්ෂූන්
වහන්සේලාත් සැදැවතුන් හා ලෝකයේ විවිධ රටවල බෞද්ධ ජනතාවත් උදව් කළහ. මහාබෝධි සමාගම,
සිංහල බෞද්ධයා පත්‍රය, මහාබෝධි, ආදිය ආරම්භ කිරීමෙන් අනගාරික ධර්මපාලතුමා විසින්
ලෝකවාසී ජනතාවට ම විශාල මෙහෙවරක් කරන ලදී. එතුමාට කෙරෙන උසස් ම උපහාරය නම්
ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද සත්ව්‍යාපාර ඉදිරියටත් කරගෙන යෑමයි. |