Print this Article


බුදුපිළිමයේ උපත - 34: බිම්බිසාර රජු හමුවීමයි ආරාම පූජාවයි

බුදුපිළිමයේ උපත - 34:

බිම්බිසාර රජු හමුවීමයි ආරාම පූජාවයි

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

උරුවෙලෙහි කැමැති පරිදි වාසය කළ බුදුරජාණන් වහන්සේ ජටිල භික්ෂූන් වහන්සේලාත් සමඟ රජගහනුවර බලා වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ලට්ඨිවන උයන්හි නුගරුකක් මුල නතර වූහ. ඒ පුවත මගධාධිපති , බිම්බිසාර මහ රජුට ආරංචි විය. ඔහු මහ පිරිසක් සමඟ බුදුරජාණන් වහන්සේ, බැහැ දැකීමට ගියේය.

බුදුපියාණන් වහන්සේට අනේපිඬු සිටුතුමා විසින් ජේතවනාරාමය පූජා කිරීම මූර්තියකින් දැක්වෙන අයුරු

බිම්බිසාර රජුගේ මේ ගමනට විශේෂ වු හේතුවක් ඇත. එනම් වරක් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් රජුට හමු විය. ඒ උද්දකාරාම පුත්තගේ අසපුවෙන් පිටත්ව ප්‍රධන් වැඩීමට උරුවෙලාව බලා යමින් මගධ චාරිකාවේ යෙදුණු අවස්ථාවේය. එහිදී කළ සාකච්ඡාවෙන් එතුමන් පිළිබඳ තොරතුරු සියල්ල බිම්බිසාර රජු දනී. එදා බිම්බිසාර රජතුමා තමාගේ රජකම බෙදා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සත්‍යය සොයා යන බව ප්‍රකාශ කළ අන්දම මතකයට නැගුණි. ඒ ප්‍රකාශය පරිදි එතුමා සත්‍යය සොයා ගත්තේද? නැද්ද? කෙබඳු ආකාර ද? යන්න සිය හිතෛෂියාගෙන් දැන ගැනීමටද බිම්බිසාර රජුට කැමැත්තක් ඇතිවිය. මීට අමතරව බිම්බිසාර රජු සමඟ ගිය පිරිසටද මීට වඩා වෙනස් වූ සිතිවිලි ඇතිවිය. එසේ සිතුණේ බුදුරජාණන් වහන්සේ සමඟ ජටිල භික්ෂූන් ද සිටින හෙයිනි. ඔවුන්ට ඇති වු කුකුස වූයේ බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අනුගාමිකයෙක්ද නැත්නම් උරුවෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක්ද? යන කාරණය දැන ගැනීමට ඇතිවූ කැමැත්තයි. මෙතෙක් බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු නොදැන සිටි රජගහනුවරවාසීන් අසළ ප්‍රදේශයේ සිටි උරුවේල කාශ්‍යප ආදින් ගැන දැනගෙන සිටින්නට ඇත. ඒ අනුව උරුවෙල් වැසි ජනතාවගේ ඒ සැකය සාධාරණය. බුදුරජාණන් වහන්සේ සහ උරුවේල කාශ්‍යප තෙරුන් අතර ඇති වූ සාකච්ඡාවෙන් ජනතාවට බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැනගැනීමට අවස්ථාවක් ඇති විය. එපමණක්ද නොව උරුවේල කාශ්‍යප තෙරුන් තමන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවද ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප තෙරුන් අතර සංවාදයක්ද මෙහිදී සිදුවිය. ඒ මෙසේය.

“උරුවෙල කාශ්‍යපයිනි,පරහට ඔවා දෙන ඔබ කවරනම් කරුණක් දැක ගිණිපිදීම අත හැරීයෙහිද? ඔබගේ ගිණිපිදීම නතරවූ සැටි ඔබෙන් විමසමි.

යඥයෙන් (ගිනිපිදීමෙන්) රූප,ශබ්ද, රස යන මේ කාමවස්තු ලැබෙතැයි කියති. මේවා උපධි ආදියෙහි කිළිටි බව දැන යාගයෙහි නොඇලුණෙමි. ගිණිපිදීමේ නොඇලුණෙමි.

කාශ්‍යපයිනි ලොව රූප – ශබ්ද රසවල ඔබගේ සිත නොබැඳුණේ නම් කොතැනක ඔබේ සිත බැඳුණේ ද? කියා පවසන්න.

කාමභවයෙහි නොඇලුණු උපධිරහිත වෙනසකට නොපත්වන තමන්ම අවබෝධ කළ යුතු ශාන්තපද නම් වන නිවනෙහි ඇලී යාගයෙහි නොඇලුනෙමි. ගිනි පිදීමෙහි නො ඇලුනෙමි. (මහා වග්ගපාලි – මහාබන්ධක –පි. 76)

මෙම සාකච්ඡාවෙන් උරුවෙල කාශ්‍යප සිය ශිෂ්‍යභාවය පිරිසට ප්‍රකාශ කළේය. අනතුරුව තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළහ. ධර්මය වටහාගත් බිම්බිසාර රජ සෝවාන් විය. පිරිස තිසරණ ගත උපාසකත්වය ලැබූහ. මේ හැරුණු විට ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් දෙකක් රජගහනුවර චාරිකාවේදී දක්නට ලැබේ. එයින් එකක් ආරාම පිළිගැනීමය. අනෙක අග්‍රශ්‍රාවක දෙනම හමුවීමය.

අප මෙහිදී පළමු වැනි කරුණ වූ බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගැනීම හෙවත් බුදුරජාණන් වහන්සේට ආරාම පූජා කිරීම ගැන විමසා බලමු.

බිම්බිසාර රජ බුදුරජාණන් වහන්සේගේ වාස පාසු පතා කලන්දක නීවාප නම් වේළුවන උයන පූජා කළේය. බුදුරජාණන්වහන්සේට මෙවැනි ආරාම පුජාවක් කළ ප්‍රථම අවස්ථාව මේ බව ශාසන ඉතිහාසයේ සඳහන් වී ඇත.

“ඒ අනුව භික්ෂූන්ට ආරාම පිළිගැනීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. මෙතෙක් ආරණ්‍ය ,රුක්ඛ මූලගිරි ගුහා ආදිය වාසස්ථාන වශයෙන් පි‍්‍රය කළ ශ්‍රාවක සංඝයා ආරාම ප්‍රතිග්‍රහණය පටන් ගත්තේ මින් පසුවය. මෙය ඓතිහාසික සිද්ධියකි. චාරිකා චරණය මගින් සිදු කළ ධර්මාධ්‍යාපනය ආරම්භගතව සිදුකිරීමේ අවස්ථාව මින් උදාවිය.

ජේතවන ආරාමය පූජාව මූර්තියකිනි

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලයේදී බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ඉතා ප්‍රකට සිදුවීමක් ලෙසින් අනේපිඬු සිටාණන් විසින් බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කිරීම සඳහන් වේ.

එම ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කිරීම පිළිබඳ පුවත මූර්තිමත්කර ඇති කැටයමක් (වෘත්තාකාර ඵලකයක) ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඇති භාරුත් පුදබිමෙන් හමු වී ඇත.

එම මූර්ති ඵලකයේ වම්පස කොටසේ කරත්තයකින් රන්කාසි බිමට බාන අන්දමත් ඒවා ජේතවනාරාම භූමියේ අතුරන අන්දමත් මූර්තිමත් කර තිබේ. මෙහි මැද අනේ පිඬුසිටාණන් පැන් කෙණ්ඩියක් අතින්ගෙන බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කරන අන්දම නිරූපණය කර ඇත. බුදුරජාණන් වහන්සේ මානව රූපීව මෙහි නිරූපණය කර නැත. ඒ වෙනුවට ශී‍්‍ර මහා බෝධිය එහි මූර්තිමත් කර ඇත. ඊට හේතුව භාරුත් මූර්ති නිර්මාණය කරන කාලයේ දී ක්‍රිස්තු පුර්ව 2 වන සියවසේදී බුදුපිළිම නිර්මාණය කිරීම නොතිබුණු හෙයිනි. මෙය ඉතා ප්‍රකට මූර්තියකි. මෙය අල්ප උන්නතව නෙළා ඇත. ශුංග කලා සම්ප්‍රදායට මෙය අයත් වේ.

භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පි. 10 (2006)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 33: ජටිල දමනය සහ භික්ෂු සමාජයේ වර්ධනය