Print this Article


භික්ෂුණී සමාජය ස්ථාපිත වූ බිනර පුර පසළොස්වක

භික්ෂුණී සමාජය ස්ථාපිත වූ බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ ඉතා සුවිශේෂී දිනයකි. භික්ෂුණී සමාජය ආරම්භ වීම එහි ප්‍රධාන හේතුවයි. බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සැදුම්ලත් එකකි.

සුදෝවුන් මහ රජතුමාගේ දෙවන අගබිසව වූ ද සිද්ධාර්ථ කුමරුගේ දෙවන මව්වූද, නන්ද කුමරුගේ මෑණියන් වූද මහාප්‍රජාපතී ගෝතමිය බිනර පුර පසළොස්වක පොහෝ දිනක පැවිදි උපසම්පදාව ලත් හෙයින් එයම භික්ෂුණී සමාජයේ අරැඹුම විය. නමුත් එම භික්ෂුණී සමාජයේ ආරම්භය ඉතා පහසුවෙන් ඇති වූ දෙයක් නොවේ. එම උතුම් අවස්ථාව කාන්තා පක්ෂයට උරුම වූයේ ඉවසීමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙනි. සංවිධානය වීමේ මෙන්ම දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ බව කාන්තාවන්ගේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම පිළිබඳ වංශ කථාවේ විස්තර වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට කිඹුල්වත්පුරයට වැඩම කොට සුදොවුන් මහරජතුමාට දේශනා කළ ධර්මය අසා මහා ප්‍රජාපතී ගෝතමිය උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියාය. එතුමියගේ පුත් නන්ද කුමරු බුදුපියාණන් ගේ මඟපෙන්වීම මත පැවිදි විය. මුනුබුරු රාහුල කුමාරයාද කුඩා අවධියේම සසුන්ගත විය. ඒ අතරතුර සුදොවුන් මහරජතුමාගේ අභාවය සිදුවිය. මෙවැනි සිදුවීම් ගණනාවක අතරමංව සිටි මහා ප්‍රජාපතී ගෝතමියට ද මෙසේ කල්පනා විය.

මාගේ සොහොයුරිය කලුරිය කළාය. ඇගේ පුත් සිද්ධාර්ථ කුමරුවෝ රජ සැප අතහැර පැවිදිව බුදු පදවි ලදහ. නන්ද සහ රාහුල දෙදෙනාද ඒ මග ගියහ. මාගේ සැමියාද ගිහි ගෙයිදීම රහත්ව පිරිනිවන් පෑහ. මටද මේ රජ සැප කුමකටද, මමද බුදුපියාණන් වහන්සේගෙන් ශාසනික දායාදය ලබා ගත යුතුයැයි සිතීය. මේ වන විට භික්ෂුණි සමාජය ආරම්භ කර නොතිබුණි. ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමිය පැවිදිවීමට බුදුපියාණන් වහන්සේගෙන් අවසර ලබා ගනු පිණිස අවස්ථාවක් බලමින් සිටියාය. මේ අතර කාලයේදි රෝහිණි නදියේ ජලය පිළිබඳ අරගලයකට ශාක්‍ය කෝලිය දෙපාර්ශ්වය සුදානම් වෙමින් සිටියහ. මෙම කනගාටුදායක සිද්ධිය දැනගත් බුදුපියාණෝ දෙපාර්ශ්වයේම සාමය උදෙසා කිඹුල්වතට වැඩම කළහ.උන්වහන්සේගෙන් බණ ඇසූ දෙපාර්ශ්වයම සමගිව එක් පාර්ශ්වයකින් දෙසිය පනහ බැගින් පන්සියයක තරුණ පිරිසක් සසුන්ගත වූහ. ඒ අයගේ බිරින්දෑවරු මහා ප්‍රජපාතී ගෝතමිය වටා ඒකරාශි වූහ.

මහා ප්‍රජාපති ගෝතමිය පන්සීයක් කාන්තාවන් සමඟ නිග්‍රෝධාරාමයට සමීප විය. එහි විවේකීව වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බැහැ දැක, වැඳ පුදා පැවිදිවීමට තමන් තුළ පවත්නා ඇල්ම දක්වා කාන්තාවන්ට පැවිදි වීමට අවසර පැතීය. මෙය එයට අවස්ථාව නොවන බව පවසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක. දෙවන තෙවන වතාවටත් කාන්තාවන්ට පැවිද්ද අයැද සිටියද ඒවාද ප්‍රතික්ෂේප විය. මේ සිද්ධියෙන් මහත් ශෝකයට පත් ප්‍රජාපතී ගෝතමිය තම අදහස අත්හලේ නැත. ඉවසීය. අධිෂ්ඨානශීලි විය. තම අනුගාමික පිරිස සමඟ මැනවින් සංවිධානය විය. හිස මුඩුකරගත්හ. කහවත් ඇන්දහ. මැටි පාත්‍ර අතැතිව සැරි සැරූහ.

බුදුපියාණෝ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයෙහි විසාලා මහනුවර කූටාගාර සාලා නම් ආරාමයේ වැඩ විසූහ. මෙකල මහාප්‍රජාපති ගෝතමිය සිය අනුගාමික පන්සීයක් කාන්තා පිරිස සමඟ කිඹුල්වත්පුර සිට විසාලා මහනුවරට, පා ගමනින්ම පැමිණියහ. දුරකතර මග ගෙවා පැමිණීමෙන් එතුමිය ඇතුළු පිරිසගේ පා ඉදිමී බිබිලි නැඟ තිබුණි. ඇතැම් බිබිළි තුවාල වී ලේ ගැලීය. දුවිලි වැදීමෙන් සිරුරේ පැහැය පවා වෙනස් ව තිබිණ, මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස කූටාගාර ශාලාව අබියස හඬමින් කඳුළු සලමින් සිටියාය. මේ දසුන ආනන්ද හිමියනට දක්නට ලැබුණි. ඈ කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය.අනඳ හිමි ඈ වෙත එළැඹ කරුණු විචාළහ. එවිට ඇය මෙසේ පිළිතුරු දුණි.

අනඳ හිමියනි, තථාගතයන් වහන්සේ කාන්තාවනට සසුන් ගත වන්නට අවසර නොදෙන සේක. මා තෙවරක්ම පැවිදි වීමට අවසර පැතුවද එය අසාර්ථක විය. අප පැමිණියේ එම ආයාචනය නැවත සිහිපත් කර වීමටයි.

ප්‍රජාපතී ගෞතමයිනි, මදක් ඉවසන්න, මම බුදුරජුන්ගෙන් එම අවසරය ලබා ගැනීමට උත්සාහ කරමි. ඉන්පසුව ආනන්ද තෙරණුවෝ බුදුපියාණන් වෙත ගොස් ස්වාමීනි, ඔබ වහන්සේ කුඩා කල හදා වඩා ආරක්ෂා කළ, සුළු මව මහා ප්‍රජාපතී ගෝතමිය සසුන් ගත වීමට අවසර නොලැබීම නිසා බලවත් කම්පාවෙන් කිඹුල්වත සිට පා ගමනින්ම පැමිණ සිටිනවා. එතුමියට පැවිදි වීමට අවසර ලබා දී භික්ෂුණී සමාජය ස්ථාපිත කරන සේක්වායි ඉල්ලා සිටියහ. ප්‍රථම වතාවෙන්ම එම ඉල්ලීම සාර්ථක නොවීය. දෙවන,තෙවන, සිව්වන අවස්ථාව දක්වාම යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුවිය. අවසානයේ ආනන්ද, පෙර බුදුවරු දවස කාන්තාවන් සසුන් ගත වීමේදි පිළිගත් සම්මත ගරු ධර්ම මහා ප්‍රජාපති ගෝතමියද පිළිගන්නේ නම්, පිළිපදින්නේ නම් එයම ඇයට මහණ උපසම්පදාව පිහිටීම පිණිස හේතු වන බව පෙන්වා දුන්හ. ඒ ගරු ධර්ම අට කවරේදැයි ආනන්ද තෙරණුවෝ බුදුරජුන්ගෙන් විචාළ කල්හි උන්වහන්සේ මෙම ගරු ධර්ම මෙසේ ගෙන හැර පෑහ.

1.භික්ෂුණිය උපසම්පදා වී අවුරුදු සියයක් ගත වී තිබුණද එදිනම උපසම්පදා වූ භික්ෂුවක් දුටුවිට හුනස්නෙන් නැගිට නමස්කාර කිරීම ආදි ගරු සැලකිලි දැක්විය යුතුය.

2.භික්ෂුණිය, භික්ෂූන් වාසය නොකරන ප්‍රදේශවල ආරාමවල වස් නොවැසිය යුතුය.

3.භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂු සංඝයා වෙත පැමිණ පොහොය විචාරීමද අවවාද අනුශාසනා ලබාගත යුතුය.

4.භික්ෂුණිය වස් වසා අවසානයේ භික්ෂු, භික්ෂුණී දෙපක්ෂය ඉදිරියේ පවාරණය කළ යුතුය.

5.භික්ෂුණිය අතින් ගරුක ආපත්ති නමින් හැඳින්වෙන දැඩි වරදක් සිදු වූ විට එම වරදින් මිදීම පිණිස භික්ෂු, භික්ෂුණී යන දෙපක්ෂය ඇසුරු කර මානත් නම් විනය කර්මය කළ යුතුය.

6.භික්ෂුණිය උපසම්පදාවීමට ප්‍රථමයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අවුරුදු දෙකක් පුරුදු පුහුණු කළ යුතුය.

7.භික්ෂූණිය කිසිඳු කරුණක් නිසාවත් භික්ෂුවකට ඇනුම් බැනුම් දෝෂාරෝපණ නොකළමනාය.

8.භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතුය. භික්ෂුව භික්ෂුණීන්ට අවවාද අනුශාසනා කළ යුතුය. භික්ෂුණිය ඒවා පිළිපැදිය යුතුය.

ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ වෙතින් අෂ්ට ගරු ධර්ම උගෙන මහා ප්‍රජාපති ගෝතමිය වෙත ගොස් එම ගරු ධර්ම අට පිළිගන්නේ නම් මහණ උපසම්පදාව පිහිටන බව පැවසීය. එහිදී මහාප්‍රජාපති ගෝතමිය, ස්වාමීනි, අලංකාරයට කැමැති පිරිමියෙකු වේවා කාන්තාවක වේවා උපුල් දෑ සමන් මල් මාලාවක් ලද විට එය දෑතින්ම ගෙන හිස මත පැළැඳැ ගන්නාසේ මම ද මෙම අෂ්ට ගරු ධර්ම හිස් මුදුනින් පිළිගන්නෙමි’යි ප්‍රතිඥා දුණි. එම උතුම් ගරු ධර්ම අට පිළිගැනීමත් සමඟම මහාප්‍රජාපති ගෝතමියගේ පැවිදි උපසම්පදාව සම්පූර්ණ විය. ඒ බව ආනන්ද හිමි බුදුපියාණන්ට දැන්වීය. බුද්ධ නියමය පරිදි සෙසු ශ්‍රාවිකාවන්ද භික්ෂූන් වහන්සේලා වෙතින් පැවිදි උපසම්පදාව ලැබ ගත්හ.

බිනර පුර පෝදා සිදුවු මෙම අසිරිමත් ඓතිහාසික ආරම්භය ඇතැම් අය භික්ෂුණී සාසනයේ නැතිනම් මෙහෙණි සසුනේ ආරම්භය ලෙස වැරැදි අන්දමින් අර්ථ දක්වති. එහෙත් බිනර පුර පෝදා සිදුවූයේ භික්ෂුණි සමාජයේ හෙවත් මෙහෙණි සමාජයේ ආරම්භයයි. භික්ෂු සමාජය, භික්ෂුණී සමාජය කියා නිවැරැදිව අවබෝධ කර ගැනීම වැදගත්ය. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂු ශාසනයත් හෝ භික්ෂුණී ශාසනයත් බුදුපියාණෝ පිහිටුවා නැත.

පැවිදි උපසදම්පදා තත්වයට පත් මහා ප්‍රජාපති ගෝතමිය තථාගතයන් වහන්සේ කරා එළඹ වැඳ නමස්කාර කර උන්වහන්සේ වෙතින් බණ අසා නොබෝ දිනකින්ම රහත් තත්වයට පත් විය.

බිනර පෝය වස් තෙමසට අයත් වේ. වස් කාලය යනු ගමයි පන්සලයි යා කරන පාලමකි. ගමේ විහාරයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා ඇසළ මස වස් සමාදන්ව බෙහෙවින් ආගමික කටයුතුවල නිරතවන කාලපරිච්ඡේදයකි. ගිහි පැවිදි දෙපාර්ශ්වයට තම තමන්ගේ අධ්‍යාත්මය සුවපත් කර ගනු වස් විවිධ දාන, සීල, භාවනා වැඩසටහන් වල නිරත වෙති. වස් සමයට අයත් බිනර පෝය ශාසනික වශයෙන් මෙන්ම සාහිත්‍ය වශයෙන්ද වැදගත් වේ. සාහිත්‍යකරුවන් සරත් කාලයෙහි විවිධ සාහිත්‍ය නිර්මාණද කර ඇති බවට වාර්තා ලැබේ. එබැවින් බිනර පුර පසළොස්වක පොහොය භික්ෂුණි සමාජයේ ආරම්භය සිදුවීම නිසා ශාසනික ආගමික වශයෙන් ඉතා වැදගත් දිනයක් බව සිත්හි තබාගෙන කය, සිත , වචනය මෙහෙයවමින් පින්කම් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

තෙරුවන් සරණයි