UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම:


ප්‍රශ්නය: පරම විමුක්තිය කැමැති පුද්ගලයෙකු විසින් එකසේ වැඩිය යුතු ගුණධර්ම දෙකක් ධර්මයෙහි උගන්වනු ලබයි. ඒ ගුණධර්ම දෙක මොනවාද?

පිළිතුර:

නිර්වාණාවබෝධය (කර්ණිය අත්ථකුසලෙන) සඳහා කැම ැති පුද්ගලයා වැඩිය යුතු ගුණධර්ම දෙක කරුණාව හා ප්‍රඥාවයි. කරුණාව යන්නෙන් මෙහි සඳහන් වන්නේ හදවතට අයත් සංවේදී ගුණ හෙවත් භාවමය ගුණයයි. හඳුන්වන ලබ න දයාව - පරිත්‍යාගය, ඉවසීම ආදී උතුම් ගතිගුණයයි. ප්‍රඥාව යන්නෙන් සඳහන් වන්නේ බුදුරදුන්ගේ අපරිමිත ගුණ සමූහයයි. බුද්ධිමය අංශය ගැන නොතකා භාවමය අංශය දියුණු කරනුයේ ගුණවත් මෝඩයෙකු බවට පත්වෙයි. එපරිද්දෙන් ම භාවමය අංශය ගැන නොතකා බුද්ධිමය අංශය පමණක් දියුණු කරනුයේ පරහිත කාමීත්වයෙන් ඈත් වූ ආත්මාර්ථකාමී කපටි පුද්ගලයෙකු නිර්මාණය වෙයි.

ප්‍රශ්නය: බුද්ධ ධර්මයේ දැක්වෙන පරිදි මිහිපිට බුද්ධිමත්ම සත්වයා වන මිනිසා උත්තරීතරය. මිනිසා තමාගේම ස්වාමියා තමාම වෙයි. ඔහුගේ ඉරණම විසඳීමෙහි යෙදී සිටින වෙනත් දෙවියෙක් බලවතෙක් හෝ බලයක් නැත්තේමය. පැහැදිලි කරන්න.

පිළිතුර:

භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයනට දේශනා කළේ හැම පුද්ගලයෙකුම තමා ගැන තමාම වගකිව යුතුය. යන අදහස් මුල්කරගෙනය. තමාට පිහිට තමාමය .වෙන කවරෙක් නම් පිහිට වන්නේද? යන දේශනාවෙන් (ධම්මපද අත්තාහි අත්තමෝනාථො) මේ කරුණ පැහැදිලි වෙයි. බුද්ධ ධර්මයට අනුව මනුෂ්‍යයාගේ තත්ත්වය උත්තරීතරය. තමාගේ ස්වාමියා තමාම වෙයි. ඔහුගේ ඉරණම විසඳීමෙහි යෙදී සිටින වෙනත් අයෙකු මෙම මිහිපිට නැත. අනුන්ගේ පිහිට නොපතනුයි. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අවවාද කළ සේක.

ප්‍රශ්නය: බුදුන් වහන්සේ කොසොල් රට කේසපුත්ත නමැති නියම් ගමට වැඩියහ. මේ නියම් ගමේ මිනිස්සු ‘කාලාම යන පොදු නමින් ප්‍රකටව සිටියහ. භාග්‍යවතුන් වහන්සේ තම නියම්ගමට වැඩම කර සිටින බව අසා උන්වහන්සේ හමුවට ගිය කාලාමයෝ මෙසේ කීහ. ‘ස්වාමීනි කේසපුත්තයට පැමිණෙන ඇතැම් මහණ බමුණෝ තමන්ගේ වාදයන්ම විස්තර කරති. පැහැදිලි කරති. අනුන්ගේ වාදයන් හෙළා දකිති. මෙසේ වරින් වර මෙගමට එන මහණ බමුණෝ සියලු දෙනාම අනුන්ගේ වාදයන් හෙළා දකිති. තථාගතයන් වහන්සේ කේසපුත්ත ග්‍රාමවාසීන්ට දුන් පිළිතුර කුමක්ද?

පිළිතුර:

(අං.නි. කාලාමසූත්‍ර)

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. කාලාමයෙනි ඔබ සැක කිරීමත් විමතියට පැමිණීමත් සුදුසුමය. ඔබගේ සැකය ඇතිවූයේ සැක සහිත තැනකමය. කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ ‘මෙහෙමලු’ යන කටලු කථා නිසා හෝ මේ අපගේ පිටක සම්ප්‍රදාය යයි සිතීමෙන් හෝ තර්ක හේතුවෙන් හෝ මෙය අප සිතා බලා සතුටින් පිළිගත් දෘෂ්ටියට ගැළපේයැයි සිතීමෙන් හෝ මොහු අපගේ ගුරුය යන හැඟීමෙන් හෝ නො පිළිගන්න. යම් විටෙක මේ දේ අයහපත්ය. අකුසලය වරදයැයි ඔබටම වැටහෙන්නේද එවිට එය අත්හරින්න. එසේම යම් විටෙක මේ දේ යහපත්ය. කුසලය නිවරැදියැයි ඔබටම වැටහෙන්නේද එවිට එය පිළිපදින්න. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වුවද ශ්‍රාවකයන් විමසා බැලිය යුතුය. ශාස්තෘවරයා සම්‍යග් සම්බුද්ධද නැද්දැයි වටහාගත හැක්කේ එසේ කිරීමෙනැයි උන්වහන්සේ වදාළහ.

ප්‍රශ්නය: බුදුන් වහන්සේගේ ආගමික සහනශීලිත්වය පිළිබඳව උත්තම ආදර්ශය බුද්ධචරිතයෙහි එන අවස්ථාවකින් පැහැදිලි කරන්න.

පිළිතුර:

ජෛන මහාවීර නිගණ්ඨනාථ පුත්තයන්ගේ ප්‍රධාන ගෘහස්ථ ශ්‍රාවකයෙකු වූ “උපාලි’ නම් ධනවත් ගෘහපතිවරයෙක් වරක් මහාවීරයන් විසින්ම බුදුන් වහන්සේ හමුවට පිටත්කර හරින ලදී. කර්මවාදය තම මතයට වෙනස්වු හෙයින් භාග්‍යවතුන් වහන්සේ තර්කයෙන් පැරදවීමේ බලපොරොත්තුවෙන් එසේ යැවීය. වාදයෙන් සිදුවූයේ උපාලි ජෛන ශ්‍රාවකයා බුදුසව්වෙකු වීමය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ “ඔබ වැනි ප්‍රකට පුද්ගලයන් සිතා බලා වැඩ කළ යුතු බවත් ඉක්මන් නොවිය යුතු බවත් වදාළහ. නැවත නැවතත් උපාලි ගෘහපති තමා බුදු සව්වෙකු වීමට කැමැති බව පළ කළවිට පෙර පරිද්දෙන් ඒ පුර්ව ශාස්තෘවරයාට සත්කාර සම්මාන කළ යුතු යයි. ඔහුට අවවාද කළහ.

ප්‍රශ්නය: චතුරාර්ය සත්‍යය ධර්මයේ පළමුවන ආර්ය සත්‍යයෙහි සඳහන් සංඛාර දුක්ඛ (සංස්කාර දුක්ඛ) පැහැදිලි කරන්න.

පිළිතුර:

මේ සඳහා ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය” එන සටහනකින් වඩාත් පැහැදිලි කරගත හැකිය. බුදු දහමට අනුව “සත්වයා” ‘මම’ යන මේ වචනවලින් කියවෙන්නේ මොහොතින් මොහොත වෙනස් වන සුලු කායික, මානසික වේග හෙවත් ‘ශක්ති’ පිළිබද සමවායයක් පමණෙකි. මේ සියල්ල කොටස් පහකට (පංචස්ඛන්ධ) බෙදා දැක්විය හැකියි. (සංඛිත්තෙන පංචුප්පාදනක්ඛන්ධා දුක්ඛා) කොටින්ම මේ පංච උපාදානස්කන්ධයම දුක් සහිතය. දුක්ඛය, පංචස්ඛන්ධය යනු දෙකක් නොවන බවද සමස්ත පංචස්ඛන්ධයම දුකයයි බුදුහු වදාළහ. සත්ව නමින් පොදුවේ ගන්නා මේ පංචස්ඛන්ධයන්ගේ එක්වීමම (සමවායමා සංඛාර දුක්ඛයයි. මේ හැර පංචස්ඛන්ධය තුළ රුදු දුක් අනුභව කරන සත්වයෙක් හෝ යමෙක් ඇත්තේම නැත.

වි.සු. අටුවාවෙහි බුදුගොස් හිමියන්

දුකම වෙයි දුකට පැමිණියෙක් නොවේ.

කිරිය වෙයි යලි කරන්නෙක්ද නොවේ

දුක්ඛ මෙවහි න කොච් දුක්ඛිතො කාරකො න කිරියාව විජ්ජති

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]