Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය:

අං.නි. සත්ත භරියා සූත්‍ර දේශනාවට අනුව ගෘහ ජීවිතය අතිශයින් වගකීම් සහිත වූවකි. පවුල යනු සමාජයට නව සාමාජිකයන් එක් කරන ආයතනයයි. එම නව සාමාජිකයන් නිරෝගී මානසික තත්ත්වයකින් යුතුව සමාජයට එවීමේ මූලික වගකීම මව්පියන් වෙත පැවරෙයි. එබැවින් ඔවුන්ගේ (අඹු+සැමි) අන්‍යෝන්‍ය ගෞරව පූර්වක පැවැත්ම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. ඒ ගෞරවය වෙනුවට එකිනෙකා (විතුදන්තා) හෙළා දැකගන්නා පවුල් තුළින් සමාජයට පිවිසෙන දරුවෝ විෂමාචාර පැවැත්මක් ඇති අයහපත් පුරවැසියෝ වෙති. ළදරු කාලයේ වැටෙන පදනම මුලු ජීවිතයෙහිම සමාජ හිතවාදී පදනම වෙයි. මෙහිදී බිරිඳකගේ වගකීම අතිමහත්ය . බුදුරජාණන් වහන්සේ මෙම පවුල් සමාජ ඒකකය පිළිබඳව දැක්වූ ආකල්පය “සත්ත භරියා” සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වර්ගීකරණයෙහිදී උන්වහන්සේ පළමුවෙන්ම වධක භාර්යාව පිළිබඳව කළ විවරණය කුමක්ද?

පිළිතුර: – පදුට්ඨ චිත්තා – නිතර ද්වේෂ සහගත සිතින් ක්‍රියා කරන – සිය ස්වාමියා පහත්කොට සිතන.

අතිමඤ්ඤතෙ පතිං– අනුකම්පාවෙන් තොරවූ “අහිතානු කම්පී” අන් පුරුෂයන් කෙරෙහි ඇලුණු

අඥේඤ සුරත්තා – ස්වාමියා වධයට පත් කිරීමට නිරතුරුව උත්සාහ වන වධාය උස්සුක තැනැත්තිය – වධක භාර්යාව වශයෙන් හඳුන්වා ඇත .

ප්‍රශ්නය: – බුදු දහම ආධ්‍යාත්මික අභිවෘද්ධියත් භෞතික සමෘද්ධියත් සමාන්තරව සමාන්තරව ගමන් කරන (සබ්බත්ථ අපරාජිත) දහමක් . එකක් අනෙකාට පටහැනිව ගමන් කිරීමක් නැත. භෞතික දියුණුවහා ආධ්‍යාත්මික පාරිශුද්ධිය එකට ගමන් කරන දහමකි. බුද්ධ දේශනා මගින් තහවුරු කරන්න

පිළිතුර: – අං. නි. තික නිපාතයේ අන්ධ චක්ඛු (ද්විචක්වූ ) සූත්‍රයට අනුව මිනිසාගේ ත්‍රිවිධාකාර ප්‍රභේදයක් දක්වයි. “ අන්ධ එක චක්ඛු – ද්විචක්ඛු” යනුවෙන් හඳුන්වන සූත්‍රය. ඇස් දෙකම නොපෙනෙන තැනැත්තා”අන්ධො” එක් ඇසක් පමණක් පෙනෙන තැනැත්තා එක චක්ඛු නම් වෙයි. අනෙකා දෑසම පෙනෙන “ද්විචක්ඛු” නම් වෙයි.

මිනිසාට තිබිය යුතු ඇස්දෙක නම් එකක් නොලක් භෝග ලබා ගැනීමටත් ලද භෝග වැඩිදියුණු කර ගැනීමටත් දන්නා බවය. අනෙක කුසලා කුසල, සාවද්‍ය නිරවද්‍ය ධර්ම , හීන ප්‍රණීත ධර්ම, කෘෂ්ණ ශුක්ල ධර්ම දන්නා බවයි. (පව්, පින්) මෙම සූත්‍ර අවසානයෙහි එන බුද්ධානුසාසනය වෙසෙසින් අවධානය යොමු කළ යුතුයි. “අන්ධංච එක චක්ඛුංච

ආරකා පරිවජ්ජයෙ

ද්විචක්ඛු පන සේවෙථ

සෙට්ඨං පුරිස පුග්ගලන්ති

අන්ධයා ද එකැස් ඇත්තා ද දුරින් දුරු කළ යුතුය. (ඇසුරට නොයා යුතුය ) දෑස් ඇත්තා ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයාය. ඔහු ඇසුරු කළ යුතුය.

ප්‍රශ්නය:

බෞද්ධ ආර්ය ශ්‍රාවකයාගේ ඓහ ලෞකික සහ පාරලෞකික (මෙලොව පරලොව ) අභිවෘද්ධිය පිළිබඳව බුද්ධ දේශනාවෙහි විවිධ දේශනා අතුරෙන් කිහිපයක් සලකා බලන්න.

පිළිතුර:

අංගුත්තර නිකායාගත සීල සූත්‍රයත් මෛත්‍රියෙහි අනුහස් දක්වන මෙත්තානි සංස සූත්‍රයත් සලකා බැලීම පමණක්ම ප්‍රමාණවත් වෙයි. දුස්සීල බවේ විපාක පහකි. සිල්වත් බවෙහි අනුසස් පහකි. දුස්සීල බව නිසා ඇතිවන ප්‍රමාද හේතුවෙන් භෝග විනාශ වේ, පාපී පුද්ගල දිවිය අපකීර්තියට පත්වෙයි, පිරිස් මැද පැමිණීමට මැළිකමක් දක්වයි. (අසම්මුල්හෝ කාලංකරොති) සිහිය නැතිව මරණය සිදුවේ, මරණයෙන් මතු අපාගත වෙයි.

සිල්වත් බව නිසා අප්‍රමාදය නිසා භෝග විපුලත්වයට පත්වේ. , යහපත් වූ කීර්ති රාවයක් පැන නැගී, අභීතව පිරිස් මැදට පැමිණිය හැකිය, සිහියෙන් කළුරිය කරයි, මරණින් මතු සුගතිගාමී වෙයි. මෙහි දැක්වෙන පළමු ප්‍රථිඵල (ආනිසංස) හතර ඓහ ලෞකිකය පස්වැන්න පමණක් පාර ලෞකිකය.

ප්‍රශ්නය:

සියලු ආකාරවල දුක්වලටත් සත්වයන් පුන පුනා ඉපදීමටත් හේතුවනුයේ නොයෙක් ආකාර රූපවලින් පෙනී සිටින මේ තෘෂ්ණාවමයි. ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර:

නැවත ඉපදීමට හේතුවන (පොනොභවිකා) නන්දි රාගයෙන් යුක්ත වන නන්දිරාග සහගතා– ඒ ඒ ඒ තන්හි ඇලෙන සුලු (තත්‍රතත්‍රාභි නන්දිනී ) යම් තෘෂ්ණාවක වේද එයයි. එනම් කාම තණ්හා පංචකාමය පිළිබඳ තෘෂ්ණාව, නැවත නැවත ඉපදීමත් පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව, භව තණ්හා නැවත ඉපදීමත්, නොපැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව විභව තණ්හාවයි.

ප්‍රශ්නය:

පුරා පන්සාළිස් වසක් මුලුල්ලේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය ලොකාර්ථ චර්යාවයි. ඒ සඳහා උන්වහන්සේ වෙත භාවිත බහුලීකෘත මහා කරුණාව හා මහා ප්‍රඥාවෙන් පිරි චරිතාපදානයත් ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහාත්ම ශක්තියක් හේතුභූත විය. ඒ ශක්තිය ගොඩනැගීමට හේතුකාරක වශයෙන් උන්වහන්සේගේ චරිතය පිළිබඳව සැඟවිය යුතු නැති (අනාවරණය වූ ) චෝදනා නොකළ හැකි කරුණු තුනකුත් ඇතිබව තථාගත ශ්‍රී මුඛ දේශනාවන් පෙළ පොත්වල සඳහන්වෙයි. බුද්ධ චරිතාපදානයෙහි ඇති මේ තොරතුරු පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර:

තථාගතයන් වහන්සේට සැඟවිය යුතු කරුණු 04ක් වෙයි. එනම්

1. සුපිරිසුදු කාය , වාග් , සමාචාර ඇතිබව

2. කාය දුශ්චරිතයෙන් තොරබව

3. වාග් දුශ්චරිතයෙන් තොරබව

4. මනො දුශ්චරිතයෙන් තොරබව

මේ සියල්ල එක්තැන් වූ සම්‍යග් ආජීවයක් ඇතිබව වදාළ සේක.

චෝදනා නොකළ හැකි කරුණු 03කි.

1. තථාගත ධර්මය ස්වාක්ඛාත නොවේ යැයි චෝදනා කළ නොහැක.

2. තථාගත ධර්මය නිර්වාණාගාමී නොවේයැයි චෝදනා කළ නොහැක.

3. තථාගත ධර්මය ප්‍රතිපදා මාර්ගයක් වශයෙන් මැනවින් නොපනවන ලැදැයි චෝදනා කළ නොහැක.