Print this Article


සසර අඳුරට ඇද දමන කර්ම විපාක

සසර අඳුරට ඇද දමන කර්ම විපාක

ස්වාමින් වහන්ස, සමාජයේ සමහර පිරිස් අධර්මයෙන් මුදල් උපයනවා. ධර්මයට පටහැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ අරමුණු ඉටුකරන ගන්න උත්සාහ කරනවා. මෙවැනි අයට අත් විඳින්න සිදුවන ප්‍රතිවිපාක මොනවාද?

අපේ ජීවිතය ගලන ගඟක් වගේ. බොහෝ දෙනා ගලන ගඟේ ගසාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගසාගෙන යන ගඟේ උඬුගං බලා පිහිනන්න ක්ෂේම භූමියක් කරා යන්නට උත්සහ කරන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණක් බව.

සමහර අය ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට, ගැටළුවලට බාධක වලට මුහුණ දෙනවා. බාධක මතින් ජීවිත ගමන නවත්වනවා. දියුණුවට තිබෙන මංමාවත් ඇහිරී යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ ඇරඹුවානම් ගමන යන්න. බලවත් ආරම්භය නො නවත්වා දිගටම කරගෙන යන්න. අපේක්ෂිත අභිමතාර්ථය ඉලක්කය කරා යන ලෙස උන්වහන්සේ අවවාද කරනවා. ඒ නිසා අදාළ කරන අපේක්ෂිත අරමුණු ජය ගන්න තුරුම උත්සාහය අඛණ්ඩව ගෙන යා යුතුමයි. මේ ජීවිතයේදී සමහර අය කෙටි මාර්ග වලින් තමන්ගේ ජීවිතේ තිබෙන ප්‍රශ්න විසඳාගන්න හදනවා. ධර්මයෙන් පිට පැන්න අඳුරු ජීවිත ලැබෙන්න හේතු වෙනවා. එවිට අඳුරු කර්ම, කළු කර්ම කර ගහගන්න වෙනවා. ඇසට රැවටුන නිසා ඇසෙන් වැරැදි කළා. කනට රැවටුන නිසා කනෙන් වැරැදි කළා. නාසයට රැවටුන නිසා නාසයෙන් වැරැදි කළා. දිවට රැවටුන නිසා දිවෙන් වැරැදි කළා. කයට රැවටුන නිසා කයෙන් වැරැදි කළා. මනසට රැවටුන නිසා මනසින් වැරැදි කළා. ඒ පිරිස දන්නේ නැහැ ධර්මයෙන් පිට පැන්න විට තිබෙන්නේ වැනසීමයි. එය බොහෝම ස්වල්ප වූ සැපයක් වුවත් වෙස් වළාගත් මහා දුකක් බව.

මේ සඳහා ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළා මහ අඳුරක, ඝන රාත්‍රියක විදුලියක් කෙටුවොත් ඒ ආලෝකය තිබෙන්නේ අසුරු සැණක් පමණයි. පුංචි නිමේෂයක් පමණයි. ඒ වගේ මේ සංසාරයම අඳුරු කර ගන්න නරකයි. එවිට අපේ සිතේ ලෝභය වැඩෙනවා. ද්වේශය, මෝහය වර්ධනය වෙනවා. සසරම අඳුරු වෙන්නේ පුංචි සැපයක් නිසායි. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මහා ඝන අඳුරක පැටලෙන්න පුංචි විදුලියකට රැවටෙන්න එපා කියා. ඒ නිසා ඔබ ස්වල්ප දෙයක් පතා මුළු සසරගත ජීවිතයම අඳුරට පෙරළා ගන්න එපා. පුංචි විදුලි ආලෝකයට ගිජුවෙලා මහ ඝනදුරක පැටලී ඔබේ ප්‍රශ්න ධර්මයෙන් පිට නොගොස් ධර්මය තුළින්ම ලිහාගෙන, සැනහෙන මාර්ගයට පැමිණෙන්න කියා අවවාද කරනවා.

දෙමාපියන්ට ගරු කිරීම, ආදරය කිරීම, ගෞරව කිරීම අපේ සමාජයේතිබෙන ගුණ ධර්මයක්. නමුත් යම් යම් අවස්ථාවල පුංචි පුංචි දේ තුළින් මව්පියන්ට තිබෙන ගෞරවය සැලකීම ඇතැම් අඩුවී යනවා. එකටෙක කියනවා. මේ වගේ කුඩා කුඩා දේ සාංසාරික අඳුරකට හේතු වෙනවාද?

අප කරන සෑම දෙයක්ම කුසල් වැඩෙන දේද? අකුසල් වැඩෙන දේද කියා මුලින්ම තෝරා බේරා ගන්න ඕන. ඒ පිළිබඳව සතිමත් වෙන්න ඕන. රාත්‍රි නින්දට යනවිට අපට පුළුවන්නම් අද දවස පුරාවටම මගේ අතින් වැඩිපුර සිදුකෙරුණේ කළු කර්මද? සුදු කර්මද? කියා විමසා බලනවා නම්, අනෙක් දවස සුළුවෙන් හෝ හොඳ වැඩකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා කළු කර්ම ශීලාචාර සමාජයකට පාර කියන්නේ නැහැ. පොඩි දේ පවා විපාක ගෙන දෙනවා. මේ සඳහා බුද්ධ කාලයේ සිදු වූ උපදේශක කතාවක් මෙසේ සඳහන් කරන්නම්.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ උත්තර නමින් තරුණයෙක් ජීවත් වුණා. ඔහු බුද්ධිමත් තරුණයෙක්. රජතුමාගේ ප්‍රධාන රාජ අනුශාසක වූ වස්සකාර ඇමැතියාගෙන් මේ තරුණයාට තමන්ගේ දියණිය විවාහ කර ගන්නා ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මේ තරුණයා ඒ විවාහයට අකැමතිව ගොස් පැවිදි වූවා. සාරිපුත්ත මහරහතන් වහන්සේයි ගුරුවරයා වුණේ. කාලයක් යද්දී මේ උත්තර සාමණේරයන් රෝගාතුර වුණා. ප්‍රතිකාර සඳහා ගිතෙල් අවශ්‍ය වුණා. උන්වහන්සේ ගිතෙල් ලබා ගැනීමේ අදහසින් එක ගමකට පිඬුසිඟා වැඩියා. ඒ ගමේදී උන්වහන්සේගේ ලෙඩේ උත්සන්න වූවා. වැව් බැම්මේ පාත්තරය තබා ශරීරයේ තිබූ දැවිල්ල දාහය නිවා ගැනීමට උන්වහන්සේගේ වැවට බැස්සා.

මේ අතර සොරු කණ්ඩායමක් පිටුපස්සේ ගමේ මිනිසුන් එළවාගෙන එමින් සිටියා. සොරුන් කළේ කුමක්ද? ඔවුන් ළඟ තිබු රත්තරන් බඩු සහ මුදල් වැව් බැම්මේ තිබූ පාත්තරයට දමා දිව ගියා. දුවගෙන ආ මිනිසුන් පාත්තරයේ තිබෙන රත්තරං දුටුවා. බැලුවා වැව දෙස. කෙනෙක් නානවා. සිතුවේ මේ සොරා කියායි. රජතුමා ළඟට ඇදගෙන ගියා. රජතුමාගේ ප්‍රධාන අනුශාසක අර වස්සකාර ඇමැතියායි. ඔහුට පෙර සිදුවීම සිහිපත් වුණා. රජතුමා වෙත ඉදිරිපත් කළේ එක දෙක කරමින් රජතුමා උල තබන්න නියෝග කළා. උල තිබ්බේ විශේෂ උලක. ඒ කොහොඹ උලක්. වහා දුකක් උරුම කරන මාරාන්ති ක උලක්. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ සිද්ධිය ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ සමඟ උල උඩ සිටින සාමණේරයන් වහන්සේ වෙත වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා. උත්තර, ඔබ මේ ජීවිතයේ කිසිදු සොරකමක් කළේ නැහැ. කිසිම පාපයක් සිදුකරපු කෙනෙක් නොවේ. නමුත් ඔබ පෙර ජීවිතයක කරපු විපාකයක් මේ ගෙවන්නේ. ඔබගේ අම්මා අවවාදයක් සිදුකළ විට ඔබ කියා සිටියේ “මට අවවාද කරන්න එපා. මම දන්නවා කරන්න ඕන දේ. අම්මා උල තියන්න ඕන” කියායි. බැලූ බැල්මට එය විශාල අකුසලයක් නොවේ. කට වචනයකට කිව්වේ. ඒ පුංචි දේ භව ගණනාවක් සැඟ වී තිබුණේ අළු යට තිබෙන ගිනි පුපුරු වගේ.

ඒ වගේම තවත් ජීවිතකදී ඔබ සෙල්ලමට මෙන් ගසක සිටි මැස්සෙක් අල්ලාගෙන උල තබන්නේ මෙන්න මෙහෙමයි කියමින් කොහොඹ ගසක කීරක් අරගෙන මැස්සා උල තබා අනෙක් අයට පෙන්නුවා. එය ප්‍රාණඝාත පාපයක් වුණා. ඒ සාමණේරයන්ට ප්‍රබල පුණ්‍ය කර්ම තිබූ නිසාත් පව පිනෙන් වසන්න පුළුවන් නිසාත් භව ගණනාවක් ඒ කර්ම දෙක සැඟවි තිබුණා. අන්තිම භවයේදී “කටත්තා කර්ම”යක් ලෙස එය විපාක දීමට ඉදිරිපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ උල උඩ සිටි භික්ෂුවට ධර්මය දේශනා කළා. කොහොඹ උල උඩම උන්වහන්සේ අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මගේ ශ්‍රාවකයන් අල්ප වූ පාප කර්මයක්වත් සිදු නොකළ යුතුයි කියා.

ඒනිසා ඔබත් තේරුම් ගන්න අම්මාට, තාත්තාට විහිළුවට හෝ වැරැදි වචන පාවිච්චි කරන්න එපා. ගරහන්න, උපහාස අපහාස කරන්න එපා. කයින් වැරැදි ආකාරයට ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්න එපා. ඒ විපාක පන්න පන්නා අප පසුපස ලුහුබඳිනවා. අපේ ජීවිතවලට අඳුර ගෙන එනවා. දරුවන් කේන්ති ගියාම කියනවා අම්ම තාත්තා මොනවද මට කළේ? අරයටනේ වැඩිපුර දුන්නේ? කියා. නමුත් අම්මා, තාත්තා අපට සුගති ලොවක් වූ මේ මනුස්ස ලෝකයට එන්න අවස්ථාව දීපු එක කෙතරම් දෙයක්ද? අතපය නොකඩා හදා වඩා ලේ කිරි කර පොවා අප උස්මහත් කළ දේට කළගුණ සලකා නිම කළ හැකිද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ මව්පියන් මහ බ්‍රහ්මයාට සමාන කළේ. ආනන්තරීය පාප කර්මයක මුලින්ම සිටින්නේ අම්මා සහ තාත්තා. ඉන්පසුවයි බුදුරජුන් සහ රහතන් වහන්සේට සිදුකරන කර්ම තිබෙන්නේ. ඒ නිසා ඔබත් මේ කෙරෙහි සිහිය නුවණ යොදා තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් සිදුවන සෑම කළු කර්මයක් දෙසම ප්‍රත්‍යවේක්ෂා කරමින් ටිකෙන් ටික එයින් ඈත්වී සංසාර දුකෙන් අත මිදෙන්න උත්දාහ වෙන්න.