Print this Article


වෙනස්වන ස්වභාවයට අනුගත සිත අනියත වටහා ගනී

වෙනස්වන ස්වභාවයට අනුගත සිත අනියත වටහා ගනී

සමස්ත ලෝකයේම දක්නා ලැබෙන එකම පොදු සාධකය වන්නේ විවිධත්වයයි. සෑම දෙයක්ම එකකට එකක් වෙනස් සේ පැවැත්ම හා වෙනසකට අනුගතවීම විශ්ව සාධාරණ සත්‍යයකි. ඒ තත්ත්වය තුරුලතා ආදී ස්වභාව පරිසරයේ ද, සතා සීපාවා ඇතුළු ජීව පරිසරයේ ද විවිධ පාට හා පරිසර සාධක සහිත මානව සමාජයේ ද දක්නා ලැබෙන ප්‍රකට සත්‍යතාවයි.

මේ ස්වභාවය වෙනස් කළ හැක්කක් නොවේ. යමෙක් එබඳු වෙනස්කමක් ගැන සිතන්නේ නම්, ඒ සිතිවිල්ල පවා ඔහුටත්, එබඳු සිතිවිලි පැතිරුණු සමාජයටත් මහත් සේ විපත්තිදායක වන්නක් බව ධර්මානුකූලව සිතන විට පෙනී යන්නකි.

මේ විවිධත්වය හා බැඳුනු අනිත් ස්වභාව සංසිද්ධියනම් ‘වෙනස්වීම’ හෙවත් නිත්‍ය නොවන තත්ත්වයයි. මෙනිසා මේ කාරණා දෙකම එකවිට සලකන්නට බුදුරජාණන් වහන්සේ දස ධම්ම සූත්‍රයේදී අනුදැන වදාළහ. ‘නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අභිණ්හං පච්ච වෙක්ඛිතබ්බං....’ ලෝකයේ පවත්නා නානාභාවය, විවිධත්වය හා වෙනස්වන ස්වභාවය නිතර සිහි කළයුතු කරුණක් බව එහිදී අවධාරණය කර ඇත. ඒ අනුව අප අවබෝධ කරගත යුතු වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් පවත්නා ත්‍රිලක්ෂණයේ එන ස්වභාව ධර්මයට මේ විවිධත්වය හා සෘජු ලෙසම සම්බන්ධව පවත්නා බවයි. එනම්, විවිධත්වය යනු අනිත්‍යතාවයේ ම එක් අවස්ථාවක් වන බවයි.

වසර 2600කට ප්‍රථම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන ලෝකයා දැනුම්වත් කළ මේ ස්වභාව සිද්ධාන්තය පසු කලෙක බොහෝ විද්වතුන්ගේ අවධානයට හා දැක්ම යොමුවීම වාසනාවකි. ඒ අතර ස්ටීවන් හෝල්කින් නමැති දාර්ශනිකයා විශේෂත්වයක් ගනී. ‘බුද්ධිමත්භාවය යනු ලෝකයේ පවත්නා විවිධත්වයට හා වෙනස්වන ස්වභාවයට අනුගතවීමය’ යනුවෙන් ඔහු එහි පවත්නා විද්‍යාත්මක ස්වභාවය පිළිබඳ සමාජය දැනුවත් කිරීමට උත්සුක වූයේ ය. එහෙත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ ඒ සත්‍යතාව පිළිනොගෙන මනෝමූලික රාජ්‍යයන් හෝ කල්ලිකණ්ඩායම් ගොඩනැංවීම සඳහා ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද ක්‍රියාකරන අඳබාලයන් නිසා සිදුවන විනාශකාරී ප්‍රතිඵලයන් ය.

ජාතික සමගිය උදෙසා බුදුසමයේ මෙහෙවර පිළිබඳ කෙරෙන මේ සාකච්ඡාවේ දී ඉහත සඳහන් කරුණු වැදගත් වන්නේ ජාතිය යනුවෙන් අප තේරුම්ගෙන තිබෙන සමාජ ඒකකයේ ස්වභාවය පැහැදිලි කරගැනීමටයි.

ජාතිය හෝ ජාතිකත්වය යනු පුද්ගලයාගේ උපතත් සමඟ ඔහුව හඳුනාගනු ලබන පොදු සංඥානාමයයි. ජාති යනු උපතයි. ඒ උපත සිදුවන ජන කණ්ඩායමට අනුව නව සාමාජිකයා ද ඒ ජාතියේ නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ හැර උපත ලැබූ තැනැත්තා විසින් තමා කිනම් ජාතියකට අයත්වියයුතු ද? යන්න තීරණය කරනු නොලැබේ. ඒ අනුව අප හැම දෙනාම යම් ජාතියකට අයත් වී තිබෙන්නේ ඉබේම හෙවත් ස්වං සිද්ධ ආකාරයකටයි.

ඒ නිසා උපතත් සමඟ සිදුවන මේ සංක්ලප ග්‍රහණය උසස් පහත් වශයෙන් වර්ග කරණය අසාධාරණ වූවක් බවයි බුදුදහමේ පවසන්නේ. එහෙත් සත්ව ලෝකයේ නම් උපතත් සමඟ සිදුවන වර්ගීකරණයට යම් සාධාරණ හේතූන් දැකිය හැකිය. ශරීර ප්‍රමාණය, හැසිරීම් රටාව, රුචි අරුචිකම්, වර්ණය හා ජීව විද්‍යාත්මක සාධක අනුව ඒ ඒ සතුන්ගේ ස්වරූපය විචිත්‍රය.

‘සුවිජානං සිගාලානං සකුන්තාංච වස්සිතං මනුස්සවස්සිතං රාජ දුබ්බිජානතරං තතෝ.....’

ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ සඳහන් වන එම ධම්ම පාඨයන්ට අනුව සත්ව ලෝකයේ ජීවීන් අතර පවතින ඒ ඒ විවිධස්වභාවයන්ට සාධාරණ වූ හේතු දැක්විය හැකිය. නමුත් මනුෂ්‍යයා සම්බන්ධයෙන් එවැනි සාධාරණ වර්ගීකරණයකට කිසිදු හේතුවක් ඉදිරිපත් කළ නොහැකිය. මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රයේ සාකච්ඡා කරන්නේ ද උපතත් සමඟ ආරූඪ කරගන්නා මහන්තත්ත්ව අර්ථ විරහිතවූත් අවිද්‍යාත්මක වූත් සංකල්පයක් බවයි. මිනිස් උපතක් සිදුවන ජීව විද්‍යාත්මක හා කර්මානුරූප සාධක පැහැදිලි කරමින්, එහිදී බුදුරජාණන් වහන්සේ අස්සලායන නමැති තරුණයා දැනුවත් කරති. මිනිස් ජීවියෙකුගේ උපතට පාදක වන කාලානුරූප ස්ත්‍රී, පුරුෂ සංභෝගය අවස්ථාවේ කර්මානුරූප ලෙස ගන්ධබ්බ නමැති සත්වයාගේ පැමිණීම සිදුවෙයි. මේ කර්මානුරූප සත්වයා කිනම් ජාතියකට අයත් ද?

“ජාන්ති පන සෝ ගන්ධබ්බෝ, ඛත්තියෝ වා බ්‍රාහ්මණෝ වා වෙස්සෝ වා සුද්ධෝ වා ති” යනුවෙන් එහිදී ප්‍රශ්න කෙරේ. ගන්ධබ්බ නමැති කම්ජ සත්වයා ඒ ඒ කර්මානුරූප ලෙස මවු කුසට සංයුක්ත වන්නේ කිසිදු ජාතියක් හෝ කුලයක් පිළිබඳ පූර්ව නිගමනයක් ඇතිව නොවේ. එතැන් පටන් කුස තුළ වැඩෙන දරුවාට ජාති, ජන්ම පුරුදු හෝ ආකල්ප ඇත්තේ ද නැත. දරුවා මෙලොවට බිහි වූ පසුව වැඩිහිටි සමාජය විසින් දරුවාගේ මනසට එන්නත් කරවන විෂ බීජයක් සෙයින් එතැන් පටන් ‘ජාතිදද්ධෝ’ යනු කී පිළිවෙළට ජාතිය හෝ ගෝත්‍රය පිළිබඳ ආත්මාභිමානය ඇතිකර ගනියි. එක්කෝ හීනමානයක් ඇතිකරගනියි. එයම පුද්ගලයා තුළ මිථ්‍යාදෘෂ්ටිගතියක් බවට පත්වන බව අස්සලායන සූත්‍රයේ සඳහන් ය. (පාපකං දිට්ඨිගතං උප්පන්නං)

ජාතික සමඟිය යන්න ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්ද වන්නේ ය. එයට හේතුව මනුෂ්‍ය ජීවියාගේ යහ පැවැත්ම හා දීර්ඝ කාලීන පැවැත්ම සඳහා එකම කරුණ සෘජු ලෙස ම බලපාන බැවිනි. එසේ ම ජාතික සමගිය යන්න සමාජය හා සදාචාරාත්මක අවශ්‍යතාවයක්ද වන්නේ ය. සමගිසම්පන්න ලෙස අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතු බියෙන් ත්‍රස්තවාදයෙන් තොර සමාජ වාතාවරණය බිහිවන්නේ එනිසාම වන බැවිනි. එමතු ද නොව ජාතික සමගිය යන්න දේශපාලන අවශ්‍යතාවයක්ද වන්නේ ය. දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිම ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරන, දේශසීමා හා බලසීමා පිළිබඳ නිරන්තර ගැටුම් හා ලේ වැගිරීම් ඇතිකරන හේතුව ජාතිකත්වය හෝ ගෝත්‍රිකත්වය පිළිබඳ පවත්නා දෘඪතර හැඟීම ම වන නිසා ය.

මේ අනුව අපට පෙනෙන වැදගත්ම කාරණය වන්නේ වත්මන් සමාජය පීඩිතව සිටින්නා වූ දහසකුත් එකක් කරුණු කාරණා අතර ජාතිකත්වය හෝ ගෝත්‍රිකත්වය පිළිබඳ කරුණු ඉදිරියෙන් ම සිටිනා බව ය. එසේනම්, මිනිස් සමාජයේ යහ පැවැත්ම මෙන්ම, ජීව අජීව පරිසරයේ යහ පැවැත්ම ද අපේක්ෂා කරන විද්වතුන්ගේත්, පාලකයන්ගේත්, සියලුම සංවේදී පුරවැසියන්ගේත් ප්‍රධානතම වගකීම වන්නේ මිනිස් සන්තානගතව කාලාන්තරයක් තිස්සේ ජානගතව තිබෙන මේ ජාතිවාදය, ගෝත්‍රවාදය නමැති විෂ බීජය ඉවත්කරලීමයි. ඒ සඳහා වූ ක්‍රමවේදයක් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමයි. ඒ සඳහා අධ්‍යාපනය, ආගම ධර්මය, සමාජ උපදේශනය ආදී සෑම ක්‍රමවේදයක් ම ප්‍රායෝගික ලෙස යොදා ගැනීමයි.

මේ මහා සමාජ යුතුකමෙහි ලා බුදු දහමේ කාර්ය භාරය කුමන ආකාරයද යන්න වටහා ගැනීම සඳහායි අප මෙතෙක් වේලා සංක්ෂේපයෙන් යුතුව කරුණු ගෙනහැර දැක්වූයේ. සමස්ත මානව සමාජ දේහය වසා පැතිරීගෙන යන මාරාන්තික පිළිකාවක් බඳු ජාතිවාදයේ භීෂණාත්මක ස්වරූපය තේරුම් ගැනීමට අටුවාටීකා වැනි වැඩිමනත් විස්තර වර්ණනා අනවශ්‍ය ය. ප්‍රවර්තන වර්තමානයේ (වත්තමානෙන යාපෙන්ති) සිහි කල්පනාවෙන් යුතුව (සති සම්පජඤ්ඤය) ජීවත්වන ඕනෑම දරුවෙකුට වුවද මේ භයානක තත්ත්වය මැනවින් තේරුම් ගත හැකිව ඇති බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.

ජාතිවාදයේ විනාශකාරී ස්වරූපය බුදුරදුන් ධරමාන කාලයේම මැනවින් අත්දුටහ. ශාක්‍ය කෝලිය සටන එහිලා දැක්විය හැකි වැදගත් උදාහරණයකි. විඩූඪභ නමැති නාස්තිවාදී පාලකයාගේ පළිගැනීම් සහිත දරුණු ආක්‍රමණයට ගොදුරු වූ ශාක්‍ය වංශයට අත් වූ ඛේදජනක ඉරණම සමස්ත මානව ඉතිහාසයටම වැදගත් පාඩමක් උගන්වා ඇති බව පැහැදිලිය. ස්වකීය ජාතිකත්වය හෙවත් කුල වංශය පිළිබඳ අතිමානයෙන් පෙලුණු ශාක්‍ය ප්‍රභූන්ගේ අදූරදර්ශී, මිථ්‍යාවාදී, ධර්මවිරෝධී අතිධාවනකාරී ක්‍රියාමාර්ගය ඔවුන්ගේ ජීවිත කාලය තුළ දීම ව්‍යසනකාරී ප්‍රතිඵල අත්කරදුන් බව එහිදී අපට පැහැදිලි වූ සත්‍යයකි.

බුදුරජාණන් වහන්සේ පුන පුනා දක්වා සිටි කාරණාවන්හි යථාර්ථය වටහා ගැනීමට සමාජය අසමත්වනතාක් කල් එදා ඒ සිදුවුණු විනාශය පුනරාවර්ථනය වනු නිසැකය. යළි යළිත් අනන්තරවම සිදුවනු ඇත.

ජාතිද්ථද්ධො ධනද්ථද්ථෝ
ගොත්තද්ථද්ධෝව යෝ නරො
සංඤ්ඤාතිං අති මඤ්ඥේති
තං ජඤ්ඤා වසලෝ ඉති’

මේ වසල සූත්‍රාගත ගාථාවෙන් හෙළි කරන්නේ ජාතිය, කුලය හෝ ගෝත්‍රය පිළිබඳ සංඥාවේ හෝ අදහසේ වරදක් නොවේ. වැරැද්ද වන්නේ ඒ අදහස මුල් කරගෙන පුද්ගලයා තුළ පහළ කරගන්නා තද්ධ භාවයයි. හෙවත් දැඩි බව. උද්ධච්ච බව, අනම්‍ය බව ඇතුළු නිශෝධාත්මක මානසික තත්ත්වයි. මේ තත්ත්වය පුද්ගලයාගේත්, එවන් පුද්ගලයන් වෙසෙන සමාජයේත් පරිහානියට හා විනාශයට පාදක වන බව බුදුදහම අපට පෙන්වා දෙයි.