Print this Article


භෞතික අභිවෘද්ධියටබෞද්ධ දිරිගැන්වීම

භෞතික අභිවෘද්ධියටබෞද්ධ දිරිගැන්වීම

පුද්ගලයෙකු සිය භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් සුඛිත මුදිත මෙලොව ජීවිතයක් ගත කිරීම බුදුසමය කවර හැටියෙකින්වත් පිටු දකින්නේ නැත. ඒ වූ කලි මානව අවශ්‍යතාවකි. එසේ භෞතික වශයෙන් අවශ්‍ය ප්‍රමාණවත් සංවර්ධනයක් නැති වීම දිළිඳුකමයි.

එය ගෘහ ජීවිතය ගත කරන්නාට මහ දුකකි. ඉන් අත්මිදෙනු පිණිස අදාළ මගපෙන්වීම්ද බුදුදහමෙහි ඇතුළත්ය. මිනිසාට නිබඳවම වැළඳෙන මහා රෝගය නම් කුසගින්නය. ලොව සියලු සත්වයෝ අහරින්ම යැපෙති. මෙකී මහා රෝගය සුව කරගැන්මට,ආහාර මෙන්ම සෙසු භෞතික අවශ්‍යතාවයන්ද සපුරා ගැන්මට නොයෙක් නයින් සැපයෙන අතිශයින්මැ ප්‍රායෝගික වූ සදූපදේශයන්ගෙන් බුදුදහම පොහොසත්ය. මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවූ, මෙලොව වශයෙන් තෘප්තිමත් නොවු පුද්ගලයෙකුට ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවද පරලොව සුගතියද නිර්වාණ සංඛ්‍යාත විමුක්ති ලාභය ද උදාකර ගත හැකි යැයි බුදුසමය පිළිගන්නේ නැත. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයෙකින් තොරව ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත ළඟා විය නොහැකි බව බුදුසමය පෙන්වා දෙයි. එම සංවර්ධනය වූ කලි අවශ්‍යයෙන්ම ලෞකික වශයෙන් සැපවත් දිවි පැවැත්මක් උදෙසාය. බුදුන් වදාළ පරිදි තමාට ප්‍රමාණවත් තරම් ධනය ඇතැයි තෘප්තිමත් වීම සැපයෙකි.

භෝග උපයා ගැනීම

උට්ඨාන වීර්යයෙන් බාහු බලයෙන් දහඩිය වගුරුවා දැහැමින් උපයාගත් භෝග මා වෙත ඇත්තේ යැයි සැපයට සතුටට පත්වීම මෙන්ම, එසේ උපයාගත් භෝග මම වළඳමි. පරිභෝග කරමි. පින් ද කරමියි සැපයට සොම්නසට පත්වීමද කවරෙකුට හෝ කුඩා වූද මහත් වූද ණයවීමක් නැතැයි සැපයට සොම්නසට පත්වීමද, මා තිදොරින්ම නිවැරැදි යැයි මෙම භෞතික අභිවෘද්ධිය තුළමැ සැපයට සොම්නසට පත්වීමද ගිහියෙකු ටවිසින් කල හැක්කකි. කළ යුත්තකැයි බුදුදහම උගන්වයි. භෝග උපයාගැන්ම හෙවත් භෞතික වශයෙන් සංවර්ධනය වීම පිණිස වීර්යයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව අවධාරණය කරන ඉගැන්වීම්වලින්ද බුදුදහම පොහොසත්ය. වීර්ය, අප්පමාද, බල පරාක්කම, උට්ඨාන , වායාම වැනි පදයෝජනයන් මගින් බුදුදහම උගවන්වන අනලස්ව කැපවීම වූ කලී හුදෙක් ආධ්‍යාත්මික සංවර්ධනය, විමුක්තිලාභය පමණක්ම අරමුණු කරගත්තක් නොවේ. මිනිසාට ආර්ථික සංවර්ධනය, ලෞකික වු සුවපත් බව උදාකර ගැන්මට අප්‍රතිහත ධෙර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුත් කාර්යාවලියක් අවශ්‍යයෙන්ම තිබිය යුතු බව බදුසමය නොයෙක් විට අවධාරණය කරයි. පුද්ගලයාගේ මෙලොව දියුණුවට පළමු කොට උත්සාහ සම්පත්තිය අවශ්‍යය. ගොවිතැන, වෙළෙඳාම, ගවපාලනය, දුනුවාකම, රාජ්‍ය සේවය හෝ වෙනත් ශිල්පයක්, කර්මාන්තයක් කරන්නේ නම් ගිහියා එහි දක්ෂ වීම,අනලස් වීම, උපායශීලි විමංසනය හැකියාව ඇත්තෙකු වීම, සංවිධානාත්මකව එය කිරිමට හා අනුන් ලවා කරවීමට සමත්වීම බුදුදහම අගය කරයි.සන්තානගත දුක මෙන්ම සමාජගත දුකද වීර්යයයෙන් යුතුව පැරදවිය යුතුය. නිසිලෙස සිය භෞතික සංවර්ධනය උදෙසා ක්‍රියා කරන්නා උත්සාහයෙන් ධනය රැස් කරයි. අලස කුසීත බව පිරිහීමේ දොරටුවකි. භෝග නමින් හැඳින්වෙන ධන සම්පත් පිරිහීමේ මුඛයෙකි.

බුදුදහම් අනුව සියල්ල පෙර කර්මයට ම භාරදීම, සියල්ල කර්මානුරූප යැයි සිතීම අනුවණකමක් වේ. එය ඉක්මවා යාමට පුද්ගලයාට හැකිය. එසේම සියල්ල සර්වබලධාරි ඊශ්වරයෙකුට භාරදීම, ඔහු විසින්ම දියුණුව හෝ පිරිහීම සලසන්නේ යැයි සැලකීමද බලවත් වරදකි. සියල්ල අහේතුකව අප්‍රත්‍යව ඉබේ සිදුවේ යැයි සිතිමද මහ අනුවණකමෙකි. ලෝකයේ කවර පුද්ගලයෙකුට වුවද ස්වාධීනව, ස්වතන්ත්‍රව සිතා විමසා බැලීමටත් තීරණ ගැනීමටත් ක්‍රියා කිරීමටත් හැකියාව තිබේ. මේ අනුව නොයෙක් නයින් පුද්ගලයාගේ භෞතික සංවර්ධනය,ආර්ථික සුරක්ෂිතතාව අගය කරන, එහි ආවශ්‍යකත්වය අවධාරණය කරනු සුඛිත මුදිත දිවි පැවැත්මක් සඳහා මිනිසුන් දිරිමත් කරන ඉගැන්වීම් බුදුදහම තුළ අනේක පරියායෙන් දක්නා ලැබෙයි.

ප්‍රජා සංවර්ධනය

ජන සමූහයක් වශයෙන්, ආර්ථික සංවර්ධනය උදෙසා එකමුතුව ක්‍රියා කිරීමද බුදුසමය අගය කරයි. ඒ සඳහා ඔවුනට අවශ්‍ය සම්පත් ලබා දීම පාලකයන්ගේ යුතුකම වන්නේය. ප්‍රජා සංවර්ධනයෙහි මූලික පදනම ආර්ථික සංවර්ධනයයි. චක්කවත්ති සීහනාද සූත්‍රාගත වෘත්තාන්තය අනුව අටවැනි සක්විති රජතෙමේ එහිලා සැලකිලිමත් නොවීය. දිළින්දන්ට ධනය නුදුන්නේය. මෙහි ධනය දීම යන්නෙන් අදහස් වන්නේ පැහැදිලිව ම නිර්ධනයනට ධනෝපායන මාර්ග සකසා දීමයි. එසේ නැතිව රාජ්‍ය භාණ්ඩාගාරයෙහි ඇති ධනය (මූල්‍ය සම්පත්) පිටතට ගෙන ඔවුන් අතර බෙදා දීම නොවේ. එසේ බෙදා දීමක් තුළින් සංවර්ධනයක් ළඟා කර ගත නොහැකිය. එවැනි ක්‍රියා මාර්ගයකින් උද්ගත වන අතිශයින්ම අහිතකර වූ ප්‍රතිඵලද එම වෘත්තාන්තයෙහිම දැක්වෙයි. එවිට නිෂ්පාදන මෙහෙවරකින් තොරවම තව .තවත් නීතිවීරෝධි ක්‍රියා කෙරෙමින් රජයෙන් ධනය ලබා ගැන්මකට නිර්ධනයෝ යොමු වෙති. ඒ අනුව ප්‍රජාවට ධනෝපායන මාර්ග සලසාදීම තුළින් සංවර්ධනය වෙත ළඟා වීමේ ආවශ්‍යකත්වය රජය විසින් සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණක් වේ.

දැහැමි නීත්‍යානුකූල හා විධිමත් වූ ධනෝපායන මාර්ග ප්‍රජාවට මතුකොට දීමද එයින් ධනෝපායන ක්‍රමවල නිරතව සිටින්නවුනට හා සේවා සම්පාදනය කරන්නවුනට අවශ්‍ය අනුග්‍රහ දැක්වීමද ඔස්සේ සැලසුම් සහිතව සංවර්ධනය වෙත ළඟා වීමේ අවශ්‍යතාවයද කූටදන්ත සූත්‍රය පෙන්වා දෙයි. එහි ද පුරාණෝක්තියෙක ස්වරුපයෙන් පැහැදිලි කරනුයේ නිෂ්පාදන කාර්යයකට හා එමගින් ධනෝපායනයකට යොමු නොකරන ලද ශ්‍රමිකයන් සොරකමට, මං පැහැරීමට පෙළඹවීමක් එයින් ප්‍රජාවට සිදු වූ පීඩනය හා ඒ අතර රජු විසින් ප්‍රජාවගෙන් බදු අය කිරීම නිසා අර්බුදය තව තවත් උග්‍ර වීමත් සිදු වු අකාරයයි. එහිදි “දස්සුඛීල’ නම් වූ එම නිර්ධනයන්ගේ කැරැල්ල අවිබලයෙන් මැඩ පැවැත්විය නොහැකි බවද ඔවුන් සංවර්ධනය කරලීම පිණිස විධිමත් සැලැස්මක් අනුව නිෂ්පාදන මෙහෙවරට යොමු කෙරෙන ක්‍රියා මාර්ග රජය විසින් ගත යුතු බවද පුරෝහිත බ්‍රාහ්මණයෙකු මගින් දක්වනු ලැබේ. එකි සැලැස්ම තුන් ආකාරය.

1.ගොවිතැනෙහි හා ගව පාලනයෙහි නිරතවූවන්ට බීජ ලබාදීම –ආහාර ලබාදීම, මෙමගින් අදහස් වන්නේ නිෂ්පාදන කර්මාන්තවල නිරතව සිටින්නවුන්ට අවශ්‍ය පහසුකම්, අනුබල ලබාදීමය, එමගින් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට පිටවර ගැනීමය. (සමකාලීන සමාජ ආර්ථික තත්ත්වය අනුව මෙහිලා නිෂ්පාදන කර්මාන්ත දෙකක් පමණක් දක්වා ඇතත් මෙය වඩාත් පුළුල් අර්ථයෙන් සලකා ගත යුත්තකි)

2.වෙළෙඳාම් කටයුතුවල නිරතව සිටින්නන්ට අවශ්‍ය මූල්‍යාධාර සැපයීමෙන් අනුග්‍රහ දැක්වීම මෙමඟින් කියැවෙනුයේ නිෂ්පාදනයක් තුළින් ප්‍රජාවට නිසි ඵල ලැබෙන පරිදි වෙළෙදාම ඔස්සේ සිදුවන මිලදී ගැනීම් හා විකිණීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමය, (එමගින් නිෂ්පාදකයන්ගේ යහපත සලසාලමින් එම නිෂ්පාදන ප්‍රජාව අතර බෙදා හැරීම සිදුවෙයි)

3.රාජ්‍ය සේවයෙහි සුදුස්සන් සුදුසු පරිදි යොදවා ඔවුන්ගේ සේවයට සරිලන සේ බත් වැටුප් ලබාදීම, –මෙමඟින් අර්ථවත් වන්නේ ප්‍රජාව හා ආර්ථිකය සමඟ බැඳුණු පරිපාලනයට විධිමත් කිරීමයි. එවැන්නක්ද අවශ්‍යයෙන්ම ප්‍රජා සංවර්ධනයට අදාළ වෙයි.

රටක ආර්ථිකයෙහි ස්ථාවරත්වයටත් වර්ධනයටත් ජාතික ධනය රැක ගැනීමටත් ප්‍රාග්ධනය ක්‍රමවත්ව සැලැසුම් කර ඵල ප්‍රයෝජන ලැබෙන අයුරින් අර්ථවත්ව ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීමේ වැදගත්කම බුදුසමය වටාගෙන තිබූ බවද ඉහත සඳහන් කතා පුවත්වලින් හෙළිවෙයි. .තවද රටක ශ්‍රම සම්පත් ප්‍රයෝජනවත් අයුරින් වැඩෙහි යෙදවීමේ ඇති ආර්ථිකමය වැදගත්කම පිළිබඳව බුදුන් වහන්සේ දැන සිටි බවද ඉහත කී සඳහන්වලින් පෙනී යයි. මෙහිලා සැකෙවින් දක්වන ලද්දේ ආර්ථික සංවර්ධනය විෂයෙහි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හා විවිධ ක්‍රියාවලියද අරබයා බුදසමය දක්වන පුළුල් අවධානයයි.ආර්ථික කටයුතු සංවිධානය කිරීම පාලකයාගේ වගකීම බව පිළිගන්නා ලද්දේය. පාලි ග්‍රන්ථයන්ගෙන් පිළිබිඹු වන හැටියට භාරතිය සමාජයෙහි පාලකයා රජතුමාය. අසාධාරණයට හා අසන්තුෂ්ටියට තුඩුදෙන හේතු පාලකයා විසින් ඉවත් කළ යුතුය. බෞද්ධ මතයට අනුව එසේ කිරීමට ශක්තිය ඇත්තේ ඔහුටය. ප්‍රමාණවත් වැටුප් හා ආහාර සැපයීම සහතික කළ යුතු අතර හැම දෙනාටම රැකියා ලැබෙන පිළිවෙතක් පවත්වාගෙන යා යුතුය.