Print this Article


සසල සිත නිසල කරවන දහම

සසල සිත නිසල කරවන දහම

බු දුරජාණන් වහන්සේ විසින් මංමුලා වූ සත්වයාට භයානක සසරින් එතෙරවිය හැකි ආශ්චර්යවත් ධර්මයක් වදාළ සේක. උන් වහන්සේ විසින් දෙසා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් ඒ සියලු දෙනාම දුකෙන් නිදහස් වෙයි.

ඒ වගේම නිතර නිතර සද්ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයාගේ සිත පාරිශුද්ධභාවයට පත්වෙනවා. සිත නිවැරැදි වෙනවා. සිත නිවැරැදි වනවිට මෙලොව ජීවිතය නිවැරැදි වීමට පටන් ගන්නවා. ජීවිතය නිවැරැදි වීම නිසාත්, කුසලයට නැඹුරුව ගමන් කිරීම නිසාත් සසර මඟ වරදින්නේ නැතිව නිසි පාර සොයාගෙන සුවපත්වීම කරා ගමන් කිරීමට භාග්‍යය උදාවෙනවා. ඒ නිසා මේ දහම සම්මා සතිය උපදවාගෙන, සතිය බලවත් කරගෙන සීලයෙන්, ප්‍රඥානුසාරීව විමසා බලන්නේ නම්, මහත් ආලෝකයක්, ආශිර්වාදයක්, ශාන්තියක් ලබා ගන්නට පුළුවනි.

ක්ෂණ සම්පත්තිය ලැබුණ විට

සිතුවම - ආර්. එම්. බී. එන්. රත්නමලල

අප මේ ගත කරන ජීවිතය වටිනා ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතය බුද්ධෝප්පත්ති කාලයක ලැබීම තවත් වටිනවා. බුදු බණට නැමුණ සිතක් උරුමවීම ඊටත් වඩා වටිනවා. ඒ සියල්ලට වඩා ඇස්, කන්, හොඳින් පිහිටා අංගවිකල නොවී ත්‍රිහේතුක උපතක් ලැබීමත් වටිනවා. ඉහත කරුණු හතර ඔබට ලැබුණා නම්, ඒ අවස්ථාව දුර්ලභයි. ඒ ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙනවා. ක්ෂණ කියන්නේ මොහොත. නමුත් මේ සම්පත්ති ලැබුණ අවස්ථාව වටිනා ගමනක් යන්න ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි පුද්ගලයෙක් වෙන්න සෝතාපන්න භාවය, සකදාගාමි, අනාගාමි, අරිහත්භාවය කරා ගමන් කරන්නට පුදුමාකාර ශක්තියක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළේ “අප්පමාදේනසම්පාදේථ” මෙතරම් වටිනා අවස්ථාවක් ලැබුණ විට පමානොවී ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි.

මෙගොඩින් එගොඩට

දිනක් බුදුරජාණන් වහන්සේ ගංගාවක් අසලට වැඩියා. ගඟ දෙස බලා සිටියා. සමහර අය ගංගාවෙන් ශරීරය පිරිසුදු කර ගන්නවා. තවත් පිරිසක් මෙගොඩ සිට එගොඩට පීනන්න උත්සාහ කරනවා. සමහර අය ගඟ මැද දක්ෂ ලෙස එකම ඉරියව්වෙන් ඉන්නවා. කිහිප දෙනෙක් ගඟ තරණය කර එගොඩට පිහිනා යනවා. මේ කාරණය උපයෝගි කොටගෙන බුදුරජාණන් වහන්සේ මේ සසර නමැති මහා ගඟ තරණය කිරීම හා ඒ ගමන අනුව පුද්ගලයන් හතර දෙනෙකු වෙන්කොට පෙන්වා වදාළා.

අනුසෝතගාමි පුද්ගලයා - අනුසෝතගාමි කියන්නේ සැඬ පහරට හසුවී සැඬ පහර යන පැත්තට තල්ලු වීමයි. සංසාරය නිතරම අප තල්ලු කරන්නේ නරකට, නපුරට, ප්‍රපාතයකට,හෝ හෙළටයි. එවිට මනුස්ස ජීවිතයෙන් අප ප්‍රයෝජන ගත් අය නොවේ. වැරැදි කරන සමාජයේ වැරැදි කරමින් පංච දුෂ්චරිතයේ යෙදෙන සමාජයේ ඒ ආකාරයට යෙදමින් සිටින පිරිස අනුසෝතගාමි පිරිසයි.

පටිසෝතගාමි - මේ අය ගංගාවේ ඉහළට පිහිනාගත් අයයි. සැඬ පහරට විරුද්ධව ඉහළට ගිය අය. මේ ජීවිතය පාපයෙන් මුදවා පිනට හරවා ගන්නටත් ඒ පින කුසලයක් බවට පත්කර ගන්නටත් උත්සාහ කරනවා. ධර්ම ගංගාව සමඟ එකතුව උඬුගං බලා පිහිනීමක්. එය පටිසෝතගාමියි. පටිසෝතගාමි තලයෙන් උපරිමභාවයට පත් වූ උතුමන් වහන්සේ අපේ ශාන්ති නායකයාණන් වහන්සේ යි. අල්ලාගෙන, බැඳීගෙන ජීවත්වන සමාජයක අතහැරීම නො බැඳීම නො රැඳීම, නො ගැටීම පුරුදු කිරීමෙන් ජීවිතය සුවපත් කරන ලෙසයි උන්වහන්සේ වදාළේ. ඒ පටිසෝතගාමියි ජීවිතය යි.

ඨිතත්තතෝ - ගඟ මැද දක්ෂ ලෙස සිටින පිරිස වගේ. පහළට යන්නෙත් නැහැ ඉහළට යන්නෙත් නැහැ එක ඉරියව්වෙන් ගඟ මැද බොහෝ වෙලාවක් සිටිනවා. මේ ධර්මය හරහා සිත සමාධිගත කර ඒ අය බ්‍රහ්ම ලෝකවලට ගමන් කරනවා. නමුත් එතැනින් එහාට යන්නට උත්සාහයක් නැහැ. සමාධිය සුවයක් කරගෙන ජීවත් වෙනවා.

තින්නෝ පාරම්ගතෝ - මේ පුද්ගලයා ගඟට බැස ගඟ මැදට ගිහින් එගොඩ බලා පිහිනනවා. එහෙම අය අද සමාජයේ අඩුයි. ගඟ පැත්තට හැමෝම දිව්වාට නැවත ආ පස්සට හැරෙනවා. මේ ආකාරයට ගඟ තරණය කරන පුද්ගලයා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ඡා කියන සසරට අප බැඳ තබන සංයෝජන ධර්ම දහයම කඩා බිඳගෙන ගමන යන පුද්ගලයා යි. ඔහු නැවත සසරට වැටීමක් නැහැ.

විලයි - සිතයි

ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සිත ගැඹුරු නිහඬ විලකට උපමා කොට වදාළා. විලේ කෙතරම් මල් පිපිලා තිබුණත් කෙතරම් විශාල වුවත් විල කැලඹිලානම් ඒ විලේ තිබෙන මල්වල සුවඳ පැතිරෙන්නේ නැහැ. සුවඳට වඩා විල යට කැළඹුණ මඩවල දුගඳ විල පුරා පමණක් නොවේ පරිසරය පුරාද විහිදී යනවා. ඒ විලේ මාළු සිටියත්, විල පිරෙන්න වතුර තිබුණත් වැඩක් නැහැ ඒ විල කැළඹිලානම්, බොර වෙලානම්. ඒ වගේ අපට තිබෙන සිතත් විල වගේ. විලේ වතුර අපවිත්‍ර නොවී කැළඹෙන්නේ නැතිව නිසොල්මනේ තිබෙනවිට වචනයෙන් කියන්න බැරි ලස්සනක් තිබෙනවා. ඒ විලේ ඉන්න ලස්සන ලස්සන මාළු පවා පෙනෙනවා. මල්වල සුවඳ පැතිරෙනවා. ඒ පිරිසුදු වතුරෙන් විඩාවට පත් කෙනෙකුට සිහිල් වන්නට වුවත් පුළුවන්. කැළඹුණ විලේ වටිනාකමක් නැහැ. නො කැළඹීව පවතිනවිට ඒ විලේ වටිනාකමක් ලස්සනක් තිබෙනවා.

මනුස්ස සිතත් කැළඹෙනවා. ඇස හරවා රූප නමැති සුළඟ කන හරහා ශබ්දය නමැති සුළඟ, නාසය හරහා සුවඳ නමැති සුළඟ, දිව හරහා රස නමැති සුළඟ, කය හරහා ස්පර්ෂය නැමති සුළං වලින් සිත කැළඹෙනවා. මේ ආකාරයට දොරටු පහෙන් හමන විට අපේ සිත නමැති ලස්සන සිත කැළඹෙනවා. අරමුණු සිත තුළ විශාල ලෙස ගොඩ ගැසෙනවා. කැළඹුණ සිත විඩාවට, මහන්සියට, තෙහෙට්ටුව පත්වෙනවා. කැළඹුණ විල තුළ මඩ ගඳ හැම තැනම හමනවා වගේ කැළඹුණ සිතත් අපේ සිතේ සුවපත්භාවය නැති කරනවා. අරමුණු විසුරුණ විට ජීවිතය විඳවන්නට සිදුවෙනවා.

අන්තයට යාම අගතියයි

අද අප සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන “අගතිගමන” සූත්‍රයයි. අගතිය කියන්නේ පහළට වැටීමයි. එහෙම නැත්නම් යම් දෙයක කොනක් අල්ලාගෙන ඒ පිළිබඳවම සොයමින් සිටීමයි. එවිට අගතිගාමි වෙන්න එපා යැයි අප කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අගතිගාමි වීමත් සමඟම දෘෂ්ඨිගාමි වෙන බව. යම් දිට්ඨියකට අප හසුවෙනවා. බුුුද්ධ කාලයේදී දෘෂ්ඨි කාන්තාරයක් තිබුණේ. මිනිසුන් එයට ග්‍රහණය වෙලා සිටියා. ඒ වගේම විකාර ලෙස දෘෂ්ඨින්ගෙන් ආකූල වෙලා සිටියා. වැරැදි දර්ශන ඔස්සේම ගමන වරදවා ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ හොඳ අවදිමත් කෙනෙක් වන්න. ආලෝකමත් කෙනෙක් වන්න. සසර ගමන හඳුනාගන්න. ඒ සඳහා අගතිගාමි නොවී සිටින්න. මහණෙනි, මේ අගතිගාමි නොවී සිටීමේ ක්‍රම හතරයි. කැමැත්ත, ද්වේශය, මුලාව හෝ මෝහය, භය නිසාත් අගතියට පත්වෙනවා.

අටුවාවේදී අගතිය කියන දේ මෙසේ විස්තර කරයි. යම් අන්තයකට කොණකට යාම අගතියයි. නො කටයුත්ත කරයි. සතර අගතියට ඇලුනාම අප කරන්නේ පාපකර්මයි. අකුසල මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා අටමහා නිරයට ඇද දමන කරුණු කාරණා හඳුනාගන්න කියා අගතිගාමි සූත්‍රයේ සඳහන්.

ඡන්දය (කැමැත්ත)අගතියට යෑමේදී යම් දෙයක් පිළිබඳව කැමැත්තක් ඇතිවුණාම ඒ කැමැත්ත නිසාම අප වැරැදි සිදු කරනවා. මේ කැමැත්ත නිසා සුදුස්සා නුසුදුස්සා වෙනවා. නුසුදුස්සා සුදුස්සා වෙනවා.

ද්වේශයෙන් අගතියට යාමත් අප ධර්ම මාර්ගය ප්‍රමාද කරනවා. නිතරම ද්වේශයෙන් ජීවත්වෙනවිට ලේ ධාතුව නරක් වීම නිසා ලෙඩවීමත් වැඩියි. නිරෝගිව සිටින්නටනම් සිත සුවපත්ව තිබෙන්න ඕන.

ඒ වගේම මෝහයත් අප විපතට පත් කරනවා. ඔහු ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ. ශ්‍රවණය කළත් ධර්මය වැටහෙන්නේ නැහැ. ගුරු උපදේශයක් නැහැ. මේ සඳහා ධර්ම සාකච්ඡා කිරීම, ගැටළු තැන් ගුරුවරයෙකුගෙන් අසා දැනගැනීම ආදිය සිදුකිරීමෙන් මෝහය දුරුකරගත හැකියි. මෝහයෙන් මුලා වූ විටත් අගතියට වැටෙනවා.

සමහර අය භය වූ විටත් ඕනෑම වැරැද්දකට පෙළෙඹෙන්න පුළුවන්. භයෙන් අගතියට යනවා. එයින් සසරට වැටෙනවා.

මේ කරුණු හතරට කෙනෙක් යොමු වුණොත් ඔහුට සසරේ ගමන් කිරීමටත්, අට මහ නිරයට වැටෙන්නටත් සිදුවෙනවා. ඒ නිසා මේ කරුණු හතර අවබෝධ කොට එයින් වැළකිය හැකිනම් සසර සුවපත් කරගත හැකි බව බුද්ධ දේශනාවයි.