Print this Article


සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 02:  අවිද්‍යාව මලකඩකි

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 02: 

අවිද්‍යාව මලකඩකි

මෙම ලිපි මාලාවේ පළමු ලිපිය ඉකුත් ඇසළ පුර පසළොස්වක ජූලි 19 වනදා පත්‍රයේ පළවිය.

බුදුන් වහන්සේ අවිද්‍යාව මලකඩට උපමාකර තිබෙන ආකාරය විමසා බලමු.

මලා වෙ පාපකා ධම්මා
අස්මිං ලෝකේ පරමිභීච
තතො මලා මලතරං
අවිජ්ජා පරමං මලං

ලෝකයේ මෙලොවත්, පරලොවත්, නියම විදියේ මලකඩයක් තමයි පාපකර්ම. පව්කම් කිරීම ලෝකයේ තිබෙන ලොකු මලකඩයක්. ලෝකයේ තිබෙන ප්‍රකට මලකඩ වර්ගයක්. ඊළඟට ඊටත් වඩා ‘තතො මලා මලතරං’ ඊටත් වඩා ලොකුම මලකඩය තමයි අවිජ්ජා පරමං මලං - අවිද්‍යාව කියලා කියන, ඒ නොදැනුම කියලා කියන, චතුරාර්ය සත්‍යය නොදැනීම කියලා කියන ඒ මෝඩකම ඒ අඥානකම. සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ඒ අඥානකම. ඒක තමයි ලොකුම මලකඩය.

එතකොට මෙන්න මේ මලඩකය කපාහැරීමට තමයි බුදුපියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා වදාළේ. එතනත් අපට තිබෙන්නේ අනුපිළිවෙල වැඩපිළිවෙලක්. මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒක බොහෝ විට මෙතන තිබෙන වටිනාකම බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මහ පුදුම විදියේ ධර්ම මාර්ගයක් මෙතන තිබෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ අංග අටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වන්නේ.

මේක අප අපට තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ, ‘හරි දැකුම්’ එතන දැකුම කියලා කියන්නේ ඇහැට පේන දර්ශනය නෙවෙයි. ජීවන දර්ශනය පිළිබඳව, - ජීවිතය පිළිබඳව දැක්මයි. ලෝකය පිළිබඳ දැක්මයි. හරි දැකුම් කියලා කියන්න පුළුවන්. ඊළඟට සම්මා සංකප්ප කියලා කියන්නේ ‘හරි සිතුම් පැතුම්’ ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ ‘හරි කියුම්’ හරි වචන කියලා කියන එකයි. සම්මා කම්මන්ත කියලා කියන්නේ ‘හරි කෙරුම්’ සම්මා ආජීව කියලා කියන්නේ ‘හරි දිවි පැවතුම්’ ජීවිතය පවත්වා ගැනීම පිළිබඳව ක්‍රමය. ඊළඟට සම්මා වායාම කියන්නේ ‘හරි වෙර දැරුම්’ වීර්යයි. සම්මා සති කියලා කියන්නේ ‘හරි සිහි කෙරුම්’ නියම විදියේ සිහි කිරීමයි. සම්මා සමාධි කියලා කියන්නේ ‘හරි සිත් එකඟ කෙරුම්’ හරි විදියට සිත එකඟ කර ගැනීමයි. මේ එක එකක් ගැන දිග විස්තර කිරීමට කාලය මදි නිසා, කෙටියෙන් සඳහන් කළොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ, හැම කෙනාටම ජීවන දර්ශනයක් තිබෙනවා. අපරාධ කාරයාටත්, හැම කෙනාටම තියෙනවා යම්කිසි ජීවන දර්ශනයක්. පළඟැටියාටත් තියෙනවා ජීවන දර්ශනයක්. ඒක පිළිස්සීමෙන් කෙළවර වෙනවා. ඊළඟට ඒ විදියට ජීවන දර්ශනය යම් කෙනෙකුගේ හරි නම්, එතන ඉඳලාම දියුණුව කරා යන්න පුළුවන්. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය වැරැදි නම් එතන ඉඳලාම පරිහානියයි. එතකොට පළවෙනි පියවර තමයි ජීවන දර්ශනය කියන එක. ඒක ධර්මයේ දක්වලා තිබෙන්නේ - සම්මා දිට්ඨි කියලා. ඒ කියන්නේ, එක අතකින් දක්වනවා, නොගැඹුරු වශයෙන් දක්වනවා නම්, මේ සංසාරය ගැන පමණක් කල්පනා කරලා ප්‍රකාශ කරනවා නම්, හොඳ නරක පිළිබඳව වටහාගැනීම. කුසල් අකුසල් පිළිබඳව වටහා ගැනීම. ලෝකයේ දානමානාදියේ ආනිශංස ඇත. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත ආදි වශයෙන් කාරණා දහයක් හැටියට දක්වනවා. ඒ කුසල් කිරීමට, පින් කිරීමට උපකාර වන විදියේ යම්කිසි දර්ශනයක්, ඒක මේ සංසාරයේ දුගතියට නොගිහින්, සුගතියට යාමට උපකාර වන විදියේ දර්ශනයක්.

නමුත් ඊටත් වඩා ගැඹුරට යන එක තමයි චතුරාර්ය සත්‍යය. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුන් විසින් ම දක්වා වදාරණ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මේ මුළු මහත් සාංසාරික පැවැත්මම, මේ පංචස්කන්ධයම, දුකක්. මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හා පිපාසය සංසිඳුවා ගත්තු කියන වැරැදිවලින් ඉවත් වෙන්න. පරපණ නැසීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කියන ඒවායින් වෙන් වෙන්න. ඒ තැනැත්තා උත්සාහ කරනවා. මේක සම්මා කම්මන්තයයි. සම්‍යක් කර්මාන්තයයි. ‘හරිකෙරුම්’ ඒකයි.

ඊළඟට එතනින් නවතින්නේ නැහැ. සමහර විට මේ කාලයේ බොහෝ දෙනාට තිබෙන ලොකු ගැටළුවක් තමයි දිවි පෙවෙත, ජීවන මාර්ගය පිළිබඳ ප්‍රශ්නය. අධර්ම මාර්ගයට ඇද හෙළීමට නොයෙකුත් තැන්වලින්, මේවාට ආධාර ලැබෙනවා. ඒකෙන් විශාල ලෙස බෞද්ධයාගේ ජීවිතය පරිහානිය කරා යනවා. එතකොට මිච්ඡා ආජීව කියන්නේ වැරැදි ජීවිකා ක්‍රම. ඒවා අතහරින්නට ඕන. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා, බෞද්ධ පින්වතෙකු විසින් නොකළයුතු දේවල් හැටියට, නොකළයුතු රැකියාවන් හැටියට අවි ආයුධ වෙළදාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළෙදාම, විෂ ද්‍රව්‍ය වෙළෙඳාම, ඊළඟට මත්පැන් වෙළෙඳාම ඔන්න ඕවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිකාවක් සකස් කරගන්න උත්සාහ වන්ත වෙන්නට ඕන. එහෙම නැතිනම් ඒ බෞද්ධ ජීවන මාර්ගය, ඒ ආජීවය කියන කාරණය, සම්පූර්ණ කරගන්න බැරිවෙනවා.

ඒ විදියට දිවි පැවතුම අමාරුවෙන් හරි, යම්කිසි පරිත්‍යාගයකින් හරි, කෙනෙක් සකස් කරගත්තා නම් ඒක අපතේ යන්නේ නැහැ. ඒ සඳහා යොදන උත්සාහය තුළින් තමයි, ඊළඟට, ඒ උත්සාහය තුළින් ඒ තැනැත්තා යෝගාවචර භූමියට, භාවනා භූමියට, ඉබේම ඇතුල් වෙනවා. ඉබේම ඒ තැනැත්තාට ඒ ඇතුල්වීමේ සුදුසුකම ලැබෙනවා. මොකද, අර තමන්ගේ දිවි පැවතුම් සකස් කරගැනීම සඳහා දරණ උත්සාහ තුළින් ඒ තැනැත්තා කරන්නේ මොකක්ද, හිත ඇතුලේ කෙරෙන්නේ මොකක්ද ඒකට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ‘හරි වෙර දැරීම’ නියම වීර්යය ඒකයි. ලෝකයේ කෙරෙන වීර්යයක් නෙවෙයි ඒක. සිත ඇතුලේ කෙරෙන වීර්යයක්. මොකක්ද ඒ වීර්යය. නූපන් අකුසල් ධර්ම නූපදවීම සඳහා යොදන වීර්යය. උපන් අකුසල් ධර්ම නෙරපා හැරීම සඳහා යොදන වීර්යය. නූපන් කුසල් උපදවාගැනීම සඳහා යොදන වීර්යය. ඊළඟට උපන්නා වූ කුසල්, ආරක්ෂා කරගැනීම, තහවුරු කරගැනීම සඳහා යොදන වීර්යය. කෙටියෙන් සළකා ගත්තොත් එතකොට මෙන්න මේ සතර ආකාරය වීර්යය තුළ තිබෙනවා විශාල වටිනා භාවනාවක්. ඒ භාවනාව දිගින් දිගට යාම තුළින් තමයි ඒ තැනැත්තා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහි කෙරුම, හොඳ සතියක් ඇති වෙන්නේ. හරියට මුරකාරයෙකුට වැඩක් දුන්නා නම්, මෙතනට නරක අය වද්දා ගන්න එපා, නරක අය ඉන්නවා නම් මෙතනින් පන්නන්න, හොඳ අය ළං කරගන්න, ඒ අයට හොඳට සළකන්න කියලා මුරකාරයෙකුට වැඩක් දුන්නා නම්, ඒ තැනැත්තාට නිදිනැතිව, ප්‍රමාදයට වැටෙන්නේ නැතිව , ඒ තැන නිවනයි. ඒ නිවනට ඇති මාර්ගයම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය ඒ විදියට සකස් කරගත්තා නම්, ඒ තැනැත්තා තුළ ඇතුළතින් ම යම්කිසි පරිවර්තනයක් ක්‍රමානුකූලව ටිකෙක් ටික, මොහොතින් මොහොත ඇතිවෙන්න පටන් ගන්නවා. හරියට අර පළමුවෙනි පඩියට නැග්ගාම, එක අඩියක් තිබ්බාම, අනෙක් කකුළ ඉස්සෙනවා වගේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන මේ දර්ශනය, ජීවන දර්ශනය යම් කෙනෙකු තුළ ඇති වුණා නම්, ඒ තැනැත්තා තුළ ක්‍රමික වශයෙන් ක්‍රමානුකූලව සිතුම් පැතුම් පිළිබඳව, යම්කිසි සියුම් පරිවර්තනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක දක්වලා තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෙක්ඛම්ම කියලා කියන්නේ, මේ ගිහිගෙයින් නික්මීම කියන අදහස, ගිහිගෙයින් නික්මීම පිළිබඳ අදහස. මේක කියන කොට මේ සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් කියලා හිතන්න නරකයි. ගිහිගෙයින් නික්මීම කියලා කියන්නේ මේ සංසාරයය දුකයි. දැන් සමහර විට ගිහි පින්වතුනුත් කලබල අවස්ථාවල ප්‍රකාශ කරනවා මහණ වෙන්න ඕන කියලා. යටත් පිරිසෙයින් යටි හිතේ හෝ තිබෙනවා ඒ මහණවීම පිළිබඳව මේ බෞද්ධ පින්වතුන් තුළ යම්කිසි නැඹුරුවක්. ඒකට උපකාර වෙනව සංඝයා වහන්සේලාගේ දර්ශනය, සංඝයා වහන්සේලා ඇසුරු කිරීම් ආදිය. අන්න එබඳු අවස්ථාවල මේ පින්වතුන්ට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්පයයි. නික්මීම පිළිබඳ අදහසක්. ඒක කුසල් අදහසක්. ඒක කුසල සිතක්. අති දීර්ඝ කාලයක් නික්මීම පිළිබඳ සිතිවිලි ඇති වීමෙන් තමයි කෙනෙකුට පැවිදි වෙන්න පවා ශක්තියක් ලැබෙන්නේ. ඒ විදියට ‘නෙක්ඛම්ම සංකල්පයට සිත නැඹුරු වෙනවා.

තවත් කොටසක් නිකිණි පුර අටවක (අගෝස්තු 10) දා පත්‍රයේ,