Print this Article


බුදුපිළිමයේ උපත - 28: සාරානාත් පුදබිම හා එහි අතීතය

බුදුපිළිමයේ උපත - 28:

සාරානාත් පුදබිම හා එහි අතීතය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

පුරාණ භාරතයේ (ජම්බුද්වීපයෙහි) ක්‍රි.ව. 399 සිට 414 තෙක් සංචාරයේ යෙදුණු ඉතා ප්‍රකට චීන භික්ෂූන් වහන්සේ නමක් වු ෆාහියන් හිමියෝ සාරානාත් පිළිබඳ සිය වාර්තාවල සඳහන් කරති. ඒ අනුව සාරානාත්හි තිබුණු ස්තූප හතරක් ගැන සදහන් කරති. වෙහෙර විහාර දෙකක්ද දුටු බව උන්වහන්සේගේ වාර්තාවල දැක්වේ. එම විහාරවල භික්ෂූන් වහන්සේලා ද වාසය කර ඇත. ෆාහියන් හිමියන්ගේ සංචාරයෙන් පසුව ආක්‍රමණිකයන් නිසා සාරානාත් ඉතා දැඩි විනාශයකට ලක් වූයේය.

භාරත දේශයේ අවසාන බෞද්ධ අධිරාජයා වූ හර්ෂ රජු දවස (ක්‍රි.ව. 606-647) දී භාරත දේශයේ බුදුසමය ඉතා දියුණු තත්ත්වයක පැවතුණි. ඒ රජුගේ රාජ්‍ය කාලයේදී තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියෝ ක්‍රි.ව. 638 දී සාරානාත්හි සංචාරය කළහ. අසෝක රජු මෙහි ඉදිකළ අසෝක ස්තම්භයද අප ඉහතින් සඳහන් කළ ධමෙක් ස්තූපය හා ධර්මරාජික ස්තූපය ද තමා දුටුබව හියුංෂාං හිමියෝ වාර්තාවල සඳහන් කරති. මූලගන්ධකුටි විහාරය ගැනද හියුංෂාං හිමියෝ ඉතා දීර්ඝ විස්තරයක් කර ඇත.

ප්‍රධාන නටබුන් පිහිටි ප්‍රදේශයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් බරණැස සාරානාත් මාර්ගයෙහි හමුවන විශාල පස් ගොඩැල්ලක් වේ. ඒ මත අටපට්ටම් කුළුණකි. මෙම ස්ථානය දැනට චෞඛන්දි යන නාමයෙන් හැඳින්වේ.

පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හෙළි වී ඇති අන්දමට එකින් එක කුඩා වන ලෙසින් සකසන ලද තට්ටු තුනක් (මහල්) සහිත පන්සලකි. මෙහි විස්තරද චීන ජාතික හියුංෂාං හිමියෝ සිය වාර්තාවල සඳහන් කරති. ආරාමයෙන් දකුණු පස අඩි 300 පමණ උස ස්තූපයක් ඇති බව උන්වහන්සේ සඳහන් කරන අතර මෙහි පාදම (අත්තිවාරම) පළල්ය. ගොඩනැගිල්ල විවිධ මුර්ති කැටයම් වලින් අලංකාර කර තිබේ. වහල මුදුණට ඉහළින් නංවන ලද කණුවක් ඇතත් එහි සීනු සාදා නැත. මේ ගොඩනැගිල්ල අසළ කුඩා ස්තූපයකි.

මෙම ගොඩනැගිල්ල අසළ දී පස්වග තවුසන් විසින් බුදුරජාණන් වහන්සේ දුර වැඩම කරවන බව දුටු බවද සඳහන් වේ.

පස්ගොඩැල්ල මත පිහිටුවා ඇති මෙකල දක්නට ලැබෙන අටපට්ටම් කුළුණ හුමායුං නම් මෝගල් අධිරාජයා මෙම ස්ථානයට (1588 වර්ෂයේදී) පැමිණීම සිහිපත් කිරීමට සාදා ඇත

සාරානාත් පුදබිමේ විනාශය

ඝෂ්ණි හි මොහමඩ් සහ ඔහුගේ හමුදාව විසින් ක්‍රි.ව. 1017 දී මෙම පුදබිම විනාශ කරන ලදී. එසේ වුවද ඉන් පසු ඉතා ඉක්මණින්ම මෙහි වූ වෙහෙර විහාර නැවත ප්‍රතිසංස්කරණය කළේ බෞද්ධ අධිරාජයන් ලෙස ප්‍රකට පාල රාජවංශික රජවරුන් විසිනි. පාල රාජවංශික මහිපාල රජුගේ සොහොයුරන් දෙදෙනා වූ ස්තිරපාල සහ වසන්තපාල යන රජවරුන් දෙදෙනා විසින් ක්‍රි.ව.1026 දී ඉහත සඳහන් කළ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරවන ලදී. ඒ සමඟම ධර්මචක්‍ර ස්තූපය සහ ධර්මරාජික ස්තූපයද සංරක්ෂණය කරන ලදී. ශිලාමය විහාරයක්ද මෙහි ඒරජවරුන් විසින් ඉදිකරවන ලදී.

ධමෙක් ස්තූපයට නැගෙනහිර දෙසින් හමු වූ නටබුන් අතර තිබී හමු වී ශිලාලේඛන කැබලි හයක් අනුව මෙම පුදබිම ක්‍රිස්තු වර්ෂ එකොළොස්වන (11) සියවස තෙක්ම බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම් ලද පුණ්‍ය භූමියක් ලෙසින් පැවතුණි. ක්‍රි.ව. 1058 වර්ෂයේදී මහායාන භික්ෂුන් වහන්සේ නමක් විසින් සද්ධර්ම චක්‍රප්‍රවරත්න මහා විහාරයෙහි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාට ‘අෂ්ට සහශි‍්‍රකා’ නම් මහායාන ග්‍රන්ථයත්, තවත් පූජා භාණ්ඩක් පූජා කළ බව ඉහත සඳහන් ශිලාලේඛන කැබලිවල සඳහන් කර ඇත.

සාරානාත් පුදබිම සඳහා අවසාන වශයෙන් පුරාණ කාලයේදි අනුග්‍රහය දක්වන ලද්දේ ගොවින්ද චන්ද්‍ර (ක්‍රි.ව. 1114 -1154) ගහඩවාල රාජවංශික රජුගේ බිසව වූ කුමාරදේවිය විසිනි. එම විහාරය සාරානාත්හි ධර්මරාජික ජින විහාරය’ නමින් ප්‍රකට වූයේය. ඉන්පසුව සාරානාත් පුදබිම විනාශයට පත්වූයේය. එතැන් සිට අවුරුදු හයසීයක් (600) පමණ කාලයක් මේ පුදබිම නොතකා හැරියා පමණක් නොව, කැලෑවෙන් වැසී තිබුණේය. තවද, සාරානාත් පුදබිම ජනතාවගේ මතකයෙන්ද ගිලිහී තිබුණි.මේ නිසා ධර්මරාජික ස්තූපයට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය උපයෝගී කර ගෙන එකල බරණැස පාලකයා වූ ජගත්සිං විසින් තමාගේ නමින් කොළණියක ගෙවල් සෑදීම සඳහා 1794 දී යොදා ගන්නා ලදී. (දඹදිව සිව් මහ පුදබිම් සිරිසමන් විජේතුංග (පි. 75-76 (2011)

ජගත් සිංගේ සේවකයන් විසින් ඔහුගේ නියමය පරිදි ධර්මරාජික ස්තූපය බිඳ දමන අවස්ථාවේ දී එම ස්තූපය මීටර් 8.25 කැණීම් කරන විට රවුම් ශිලා මංජුසාවක් හමු විය. ඒ ශිලා මංජුසාව තුළ කොළපාට මාබල් ධාතු කරඬුවක් හමු විය. එහි මුතු මැණික් හා රන්පත් කීපයක්ද හමු විය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මෙම ධාතු කරඬුවෙහි තැන්පත් කර තිබුණි. අසෝක රජතුමා විසින් මෙම ධාතු කරඬුව මෙම ස්තූපයෙහි තැන්පත් කරන ලද්දකි. ඒවා සියල්ලම ජගත් සිං පාලකයා විසින් ගංගානම් ගඟට විසි කළ බව වාර්තා වී ඇත.

මෙම විනාශය මෙසේ සිදු කළ බව බරණැසෙහි එවක ඉංගී‍්‍රසි පාලකයා වු ජොනතන් ඩන්කන් මහතාට දැන ගැනීමට ලැබුණි. ක්‍රි.ව. 1798 දී ‘ආසියානු පර්යේෂණ’ නමින් වු සංවිධානය මෙම සාරානාත්හි පුරා වස්තු පිළිබඳ ජනතා අවධානයට ඔහු විසින් යොමු කරන ලදී. සාරානාත් පුදබිම ගැන විශේෂ අනුග්‍රහශීලි අවධානයක් යොමුකළ ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා වූයේ කර්නල් සී. මැකන්සි මහතාය. සාරානාත්හි 1815දී මැකන්සි මහතා විසින් පුරා විද්‍යාගවේෂණයක් කරන ලදී. එම ගවේෂණවලදී හමු වූ මූර්ති කැටයම් ඉන්දියාවේ කල්කටා කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබේ. ඉන්පසු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරාවිද්‍යාඥයා විසින් සාරානාත්හි පුරාවිද්‍යා කැණීම් 1835-36 විවෘත කරන ලදී. ධමෙක් ස්තූපය එහිදී ඔහු විසින් විවෘත කරන ලදී. සර්වඥ ධාතුන් වහන්සේලා සහ ශිලාලේඛනයන්ද හමුවිය. ඒවා සියල්ලම ඔහු කල්කටාවේ කෞතුකාගාරයට යැව්වේය.

මේ අතරේ සාරානාත් හි ඊළඟ විනාශය සිදු වූයේ ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාගේ ගවේෂණ හා කැණීම් වලින් පසුවය.

(Buddhist Shriwes in India Devapriya Valisingha Genaral Secretary-Mahabohdi Society of India And Ceylon p.p 89-90  (1948) දඹදිව සිව් මහ පුදබිම් – සිරිසමන් විජේතුංග පි. 75-77 (2011)

පසු සටහන

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහමින් ආලෝකවත්වූ ඒ දේශය අද වන විට බුද්ධගයාව සාරානාත් ඇතුළු පුදබිම් බෞද්ධ ජනතාවට පමණක් නොව සියලුම මානව වර්ගයාටම වැඳුම් පිදුම් කිරීමට ඉඩ කඩ ලබා දීමේ මහා පුණ්‍ය කර්මය සිදු කළ මේ රටේ සුජාත පුත්‍රයෙකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාද මෙහිදී නැවතත් සිහිපත් කළ යුතුව ඇත.


පසුගිය සතියෙන්:- බුදුපිළිමයේ උපත - 27 : අනගාරික ධර්මපාලතුමා සහ නව මූලගන්ධකුටි විහාරය