Print this Article


ඇසළ සඳේ වස් එළඹීම

ඇසළ සඳේ වස් එළඹීම

රත්මලාන රත්නාරාමාධිපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි

ඇසළ මස බෞද්ධ ප්‍රජාවට සුවිශේෂී මාසයකි. එය බෝසත් සිරිත, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, අසිරිමත් කරන සිදුවීම් රැසකින් සුපෝෂිතය. ඇසළ මස ඇසළ පුර පසළොස්වක පොහොය වැදගත් සිද්ධින් රැසක් සිහිපත් කරයි. සිදුහත් බෝසත්තුමා මව්කුස පිළිසිඳ ගැනීම නිසා මුළු ලොවක් සැනසුණි. මේ සිද්ධිය වුවද සිදුවූයේ අසිරිමත් ආකාරයටය.

මහාමායා දේවිය පෙහෙවස් සමාදන්වී රාත්‍රි නින්දට ගිය අවස්ථාවේ සුදු ඇත් පැටියෙක් සුදු නෙළුම් මලක් රැගෙන විත් දේවියගේ කුසට දකුණු පසින් ඇතුළු වීමේ සිහිනය දුටුවාය. මේ අන් කිසිවක් නොව සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීමේ අවස්ථාව සංකේතවත් කළ ආකාරයයි. මෙසේ මවුකුස පිළිසිඳ ගත් කුමරු හැදී වැඩී බිහිවී රජකුමරු සැප විඳ වසර විසි නවයක් ලෞකික සැප වින්දේය.

ඇසළ අසිරිය

සතර පෙර නිමිති දැකීමෙන් ගිහිගේ, ගැන කළ කිරී යශෝධරා දේවියට රාහුල කුමරු ලැබුණු දා රජ නිවසින් විමුක්තිය සොයා පිටත්ව ගියේ ඇසළ සඳ අහසේ දිළිසෙද්දීය. රාහුල කුමරු වැනි කුමරවරුන් සසරින් එතෙර කරනු පිණිස යශෝධරා දේවිය ආදී වනිතාවන් නිවන් සුවයෙන් සනසවනු පිණිස සිදුහත් කුමරු රජ සැප හැර ගිහි සැප හැර දෙමාපියන් හඬද්දී නිවසින් පිටවුණේ ඇසළ පුර පෝදාවීම විශේෂ කරුණකි.

ලෞකික සැප හැර ලෝකෝත්තර සැප ලබනු පිණිස අනේකවිධ දුක් ගැහැට විඳි සත්පුරුෂයාණෝ බෝසතාණෝය. උන්වහන්සේ සය වසරක් අතිශය දුෂ්කර වෘතවල යෙදෙමින් නිවන් සුවය සෙවූහ. අවසන්හි ශරීරයට ප්‍රමාණය ඉක්මවා දුක්දීමත් සැප දීමත් නිෂ්ඵලබව තේරුම් ගත් බෝසතාණෝ මැද මාවතේ ගමන් කර නිවන් පසක් කළහ. සත්‍යාවබෝධ ලැබූහ. තමන් වහන්සේ දුෂ්කරව අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට තීරණය කළේ කළගුණ සැළකීමේ මහා පාඩමද සමාජයට උගන්වමිනි. පිළිවෙලින් දුෂ්කර සමයේ තමාට උපකාර කළ පස්වග තවුසන් සොයාගොස් බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේද ඇසළ සඳ අහසේ දිලෙන දිනකය.

මෙවන් අසිරිමත් සිදුවීම් රැසක් සනිටුහන් වන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදත් බෞද්ධ ජනතාවට අතිශය වැදගත් ය.

හේමන්ත, ගිම්හාන, වස්සාන යන සෘතු තුනෙහිම එකල භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙහි සැරිසැරූහ. එවිට ඒ පිළිබඳව මිනිස්සු නොසතුට පළ කළහ. වෙනත් ශාසනවල ක්‍රියා කරන මිසිදිටු තවුසන් පවා වැසිසාරමස හුදෙකලාව සැරි සැරීමෙන් වෙන්ව ජීවත් වෙති. විවිධ පක්ෂීහු ද ගස්වල කූඩු සාදාගෙන එහි හැකිලී සිටිති. නමුත් භික්ෂුහු පමණක් එසේ නොවසති. මෙසේ භික්ෂූන්ගේ නුගුණ කතා කරති. මේ තොරතුරු භික්ෂුහු බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. ඒ අසා බුදුපියාණෝ මෙසේ වදාළහ.

වස්සානය

මහණෙනි, කාලයෙහි වස් එළඹීමට අවසර දෙමි. මහණෙනි, පෙරවස් එළඹීමය, පසුවස් එළඹීම යයි වස් එළඹීම් දෙකකි. ඇසළ අව පෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි අව පෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතුය. මහණෙනි මේ වස් එළඹීම් දෙකයය. (මහාවග්ග පාලිය)

ඉහත සඳහන් බුද්ධ නියමය අනුව ඇසළ පෝයදාට පසුදින පෙර වස් සමාදන් වීම සිදුවිය. පසුවස් සමාදන්වීම නිකිණි මස පුර පසළොස්වක් පොහෝදිනට පසුදින සිදුවිය. පෙරවස් සමාදන් වූ භික්ෂුව පසු වස් සමාදන් විය යුතු නැත. පෙර වස් සමාදන් වීමට අපහසු වූ භික්ෂුවට පසුවස් සමාදන්වීමට අවසරය ලැබිණි. පෙරවස් සමාදන් වූ භික්ෂුව වප් පුර පසළොස්වක දින වස් පවාරණය කළ යුතුය. පසුවස් සමාදන් වූ භික්ෂුව ඉල් මස පුර පසළොස්වක පොහෝදින වස් පවාරණය කළ යුතු වේ.

උපසපන් වූ යම් භික්ෂූන් වහන්සේ නමක් මේ අවස්ථා දෙකෙන් එකකදී හෝ වස් සමාදන් නොවී වාසය කළොත් හෝ වස් කාලය තුළ වස් එළඹ චාරිකාවේ යෙදුණොත් හෝ වරදකි. (මහාවග්ග පාලි) නමුත් වස් එළඹෙන දිනයෙහි වෙනසක් සිදු කළ යුතු යයි රජතුමා යම් ඉල්ලීමක් කළහොත් එයට සවන් දෙන ලෙස බුදුපියාණෝ නියම කළහ. දිනක් බිම්බිසාර රජතුමා මෙවැනි ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේගෙන් කළ බවත් උන්වහන්සේ එයට සවන් දුන් බවත් මහා වග්ග පාලියෙහි සඳහන් වේ. සැදැහැති පාලකයාට භික්ෂුව බරක් නොවිය යුතුය යන බුද්ධ දේශනාව මෙවැනි අවස්ථාවලින් ප්‍රකට වේ.

චාරිකාවේ යෙදෙමින් බණ භාවනා කළ භික්ෂුවට වැසි සමයෙහි වස් වසන්නට ස්ථිර ස්ථානයක් නොවීය. ඒ නිසාම එක් භික්ෂුවක් විශාල ගසක බෙනයක වස් එළඹුණි. මේ සිද්ධිය දුටු ජනතාව දොස් නැගූහ. තවත් භික්ෂුවක් ගසක ලොකු රිකිලි අතරද, වෙනත් භික්ෂුවක් සොහොනෙහි මිනී තබන කුටිය තුළද නැතිනම්, විශාල සැලියක් යටද, තවත් විටක විශාල කුඩයක් යටද වස් වැසූහ. මේ හැම අවස්ථාවකදීම මිනිසුන්ගෙන් භික්ෂූන්ට දෝෂාරෝපණ එල්ලවූහ. ඒ නිසා මෙවැනි ස්ථානවල වස් වැසීම බුදුපියාණෝ තහනම් කළහ. (මහා වග්ග පාලිය)

ඉහත සඳහන් ස්ථාන තහනම් කළ නිසා භික්ෂුහු වෙනත් පියවර අනුගමනය කළහ. එක් භික්ෂුවක් එළිමහනේ වස් වැසූ අතර තවත් භික්ෂුවක් වස් එළඹුණේ එළිමහනේය. උන්වහන්සේ වැස්සෙන්, පින්නෙන්, සීතලෙන් ක්ලාන්ත වූහ. මේ හැම ක්‍රියාවක්ම මහජනතාව හෙළා දැක දොස් නැගූහ. ඒ නිසාම බුදුපියාණෝ එවැනි ස්ථානද වස් එළඹීමට නුසුදුසු තැන් ලෙස නම් කළහ.

භික්ෂූන් වහන්සේලා මෙසේ තැන තැන වැඩ විසුවේ මේ වන විට භික්ෂූන්ට ආරාම පිළිගැනීමට අවසර ලබා නොදී තිබූ බැවිනි. භික්ෂුහු රාත්‍රියේ විවිධ දුෂ්කර ස්ථානවල රාත්‍රිය ගෙවා උදෑසන සන්සුන් ගමනින් වීථි සංචාරය කළහ. මේ මනරම් දර්ශනය දුටු රජගහ නුවර සිටුවරයා උන් වහන්සේලාට ආරාමයක් තනවා පූජා කිරීමට කැමැත්ත පළ කළහ. එහෙත් ඒ සඳහා බුදුපියාණන්ගේ අවසරය ලැබී නැති හෙයින් කැමැත්ත පළ නොකළහ. මේ බව බුදුරජාණන් වහන්සේට දැන්වීමෙන් අනතුරුව ඒ සඳහා උන්වහන්සේගේ අනුමැතිය ලැබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැදැහැතියෝ ආරාම කරවා භික්ෂූන් එහි වස් වසවා ගත් අවස්ථා වාර්තා වේ. වර්තමානයේත් නව නිවසක් තනවා එය තුනුරුවන්ට පූජා කර භික්ෂූන් වහන්සේ නමක් වස් වසවා ගැනීමට කැමති අය දක්නට ලැබේ. වත්මන්හි සුප්‍රසිද්ධ මහ පිරිවෙනක් වන මාළිගාකන්ද විද්‍යෝදයද හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට වස් වැසීමට නියම කළ නිවසකි. වස් අවසානයේ කඨින පින්කම සමඟ මේ නිවස මහාසංඝරත්නයට පූජා කළ බව වාර්තා වේ. මෙවැනි අවස්ථා ශ්‍රී ලංකා ශාසන ඉතිහාසය තුළ විරලය.

අවශ්‍යතාවය පරිදි ගොපල්ලන් සමඟ වුවද, ගැල් සාත්තුකරුවන් සමගද, මුහුදු ගමනකදී නැවකද වස් එළඹිය හැකි බව දක්වා ඇත.

මෙසේ අවස්ථානුකූලව වස් වැසූ භික්ෂූන්ට විවිධ කරදර, හිරිහැර, බාධක, අවහිරතාවලට මුහුණ පාන්නට සිදුවිය. සමහර තැනක සිව්පාවුන්ගෙන්ද, සර්පයන්ගෙන්ද සොරුන්ගෙන්ද, එවැනි බාධා පැමිණි බව මහාවග්ග පාලියේ වස්සුපනායිකක්ඛධකයෙහි සඳහන්ය. විටක වස්විසූ භික්ෂූන්ගේ ගොදුරු ගම ගින්නෙන් විනාශ විය. නැතිනම් ජලයෙන් යටවිය. මෙවැනි ස්වභාවික විපත්වලින් මෙන්ම සමහර අවස්ථාවලදී සොරුන් විසින්ද විනාශ කළ අවස්ථාද ඇත.

මෙවැනි අවාසනාවන්ත අවස්ථාවලදී භික්ෂූන්ට වස් විසූ ස්ථානයෙන් බැහැර යන්නට බුදුහිමියෝ අනුදත්හ. එසේ යාමට පෙර සිහිපත් කළයුතු වාක්‍යයක්ද උන්වහන්සේ ඉගැන්වූහ. එය ‘සත්තාහ කරණය’ යනුවෙන් හැඳින්වේ. එසේ යාමෙන් යම් විධියකින් වස් බිඳුනොත් වරදක් සිදුනොවන බවද බුදුපියාණෝ පෙන්වා දුන්හ. මෙවැනි විපත් අවස්ථාවක් නොවුවද යම් හෙයකින් පිණ්ඩපාතය සඳහා හෝ විශේෂ කටයුත්තක් යෙදුන අවස්ථාවලදී සත්තාහකරණයෙන් බැහැර යා හැකි බව ධර්මයෙහි සඳහන්ය. ‘සත්තාහ කරණය’ යනු වස් විසූ භික්ෂුවට එම ස්ථානයෙන් බැහැර වීමට අවශ්‍ය නම් මේ වාක්‍ය සිහිකර පිටත්වීමයි. එසේ බැහැර යන වස් විසු භික්ෂුව සත්වැනි රාත්‍රිය ඉක්මවීමට පෙර නැවත වස් විසූ ස්ථානයට වැඩම කළ යුතු ය. එයින් වස් බිඳීමක් සිදු නොවේ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස අගෝස්තු 02 වනදා ඇසළ අමාවක පෝදා පළවේ.