කාලිංග බෝධි ජාතකය
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මහා ප්‍රාතිහාර්ය සිදු වූ ආනන්ද බෝධි රෝපණය පිළිබඳව දැන් ඔබ දැනුම්වත්. අද අප කථා
කරන්නේ ආනන්ද ස්වාමින් වහන්සේගේ පෙර ජීවිත කථාව ඇතුළත් “කාලිංග බෝධි ජාතකය” යි .
එයට පසුබිමත් ආනන්ද බෝධින් වහන්සේ මැ ය.
අපගේ ආනන්ද මහ තෙරුන් වහන්සේ රජවරු, සිටුවරු, සැදැහැවතුන් සමඟ එකතුව බෝධින් වහන්සේට
නොයෙකුත් උපහාර පුද පූජාවන් කරන්නට යෙදුණි. බුද්ධ උපස්ථානයෙන් පසු ඉඩ ලද සෑම විටකම
ආනන්දයන් වහන්සේ බෝධින් වහන්සේ ඇසුරු කළ සේක. අතුපතු ගාමින් වත් කළ සේක. සක්මන්
කරමින්ද, ඉඳගෙනද බෝ සෙවනේම බවුන් වැඩූ සේක.
මොකද? මේ ආනන්දයන් වහන්සේ
බෝධිය අසලම
ඉතින් සංඝයා අතර කථාවක් ඇතිවුණි. එනම් “හරි පුදුමයි නෙව. ආයුෂ්මතුනි, මේ ආනන්දයන්
බෝධින් වහන්සේට හරි සෙනෙහෙවන්තයි නෙව. බොහෝ වත් පිළිවෙතින් බෝධින් වහන්සේට පූජාවන්
පවත්වනවා නෙව, ආනන්දයන් වහන්සේ හරි ගුණ ගරුකයි නෙව” කියමින් සංඝයා දම්සභාවේ කථා
කරමින් සිටි අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළ සේක. මෙහිදී
භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි, අපගේ මේ ආනන්දයන් මේ ජීවිතයේ දී පමණක් නොවේ
මීට කලින් ජීවිතවලත් බොහෝ පිරිවර සමඟ නොයෙක් බෝධි උපහාර පවත්වා තිබේ” යනුවෙන් වදාළ
සේක. ඒ භික්ෂුන්ගේ ආරාධනය අනුව අතීතයේ අපූරු බෝධි උපහාර කතාවක් භාග්‍යවතුන් වහන්සේ
මෙසේ වදාළ සේක.
කාලිංග බෝධි ජාතකය
අතීතයේ කලිඟුරට දන්ත පුරයේ කාලිංග නමින් රජෙක් විය. ඒ රජුගේ මහා කාලිංග, චූල කාලිංග
නමින් පුත්‍රයන් දෙදෙනෙක් වූ අතර, නේමිත්ත පාඨකයෝ කියා සිටියේ චූල කාලිංග කුමරුගේ
පුතෙකු සක්විති වන බවයි. පිය රජුගෙන් පසු රාජ්‍ය හිමිවුණේ මහා කාංලිග කුමාරයාට ය.
නමුත් තමාගේ පුතෙකු සක්විති වන බව කියමින් චූල කාලිංග යුව රජු මාන්නෙන් සිටි
හෙයින්, මහා කාලිංග රජු ඔහුුව සිර කරන්න යැයි නියෝග කළේය. චූල කාලිංග කුමරා පැන
ගොස් වනයේ ආරාමයක් තනවා තාපස වේසයෙන් සැඟව සිටියේය.
මේ අතර මධුරට සාගල නුවර රජුගේ දියණියට උපදින පුතෙකු සක්විති වන බව නේමිත්ත පාඨකයෝ
කියා සිටි හෙයින් අවට රාජ්‍යය වලින් ඇය විවාහ කරන්නට රාජ කුමාරවරු පැමිණ යුද්ධයකට
සූදානම් විය. මේ අතර රජ යුවළ දියණියත් රැගෙන මාළිගාවෙන් පැනගොස් ඉහත කී වනයේම තාපස
වෙස්ගෙන සැඟව සිටියහ. පසු කාලයේ වනය තුළදීම චූලකාලිංග කුමරා මධුරාවේ කුමරියන් මුණ
ගැසී රාජ නම්ගොත් කතාකොට මාපිය අවසරයෙන් විවාහ වී වනයේම වාසය කළේය. ඔවුන්ට උපන්
කුමරා “කාලිංග” නම් වූ අතර, ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තිබිණ. පසුකාලයේ මහා කාලිංග රජු
මියගිය පසු වනයේ ජීවත් වූ “කාලිංග” කුමරාට රජකම හිමි විය. ඒ රාජයේ “කාලිංග
භාරද්වාජ” නමින් රාජ පුරෝහිතයෙක් වාසය කළේය. ඒ පුරෝහිතයාගේ මඟ පෙන්වීමෙන් දස සක්වත
පිරු පසු පහළවන “සක්විති චක්‍ර රත්නයෙන්” සියලු පෘථිවියටම එකම රජු ලෙස කාලිංග
සක්විති රජතුමා ධර්මයෙන්ම අභිෂේක ලැබීය. ඒ සක්විති රජ කුªමරාට හත්ථි රත්නය, අශ්ව
රත්නය, පරිනායක (පුත්‍ර) රත්නය, පුරෝහිත රත්නය, ඉත්ථි (ස්ත්‍රී) රත්නය, මණි රත්නය
හා මුලින් කී චක්‍ර රත්නය වශයෙන් සප්්ත රතන පහළ වූහ.
බුදුවරු නැති කාලවලදී බෝධි භූමිය
දිනක් තාපස වේෂයෙන් සිටින තම දෙමාපියන් බැලීමට “කාලිංග” සක්විති රජතුමා අහසින්
පිරිවර සමඟ යන අතරේ දී එක් තැනක අහසේම හස්ථියා නතර විය. අන් කිසිම දිනක එවැන්නක්
සිදු වී නැත. නො පෙනෙන, නොදන්නා කාරණා විෂයෙහි දක්ෂ කාලිංග භාරද්වාජ පුරෝහිත රත්නය
මේ ගැන විමසා බලා “මේ භූමිය සියලු බුදුවරු සර්වඥතා ඥානය ලබන බෝධි භූමිය බවත්, ශක්‍ර
දේවේන්ද්‍රයාටවත් මේ භූමිය උඩින් යා නොහැකි බවත්” දැන ඒ විස්තර කාලිංග රජුට පවසා
සිටියේ ය.
මහරජතුමනි, මේ භූමිය පෘථිවියේ නිශ්චල භූමිය යි. සියලු ලොව අවබෝධ කොටගෙන නිකෙලෙස්වන
සර්වඥයන් වහන්සේ පහළ වන්නේ මෙ තැනය. සියලු කෙලෙස් නසන්නේ මෙතැන ය. මේ අතිශයින්
පාරිශුද්ධ පුණ්‍ය භූමිය යි. රජතුමනි, ආකාශයෙන් බසින සේක්වා. මේ පින්බිමට වන්දනා කරන
සේක්වා. රජතුමනි, ඔය ඇතුට නොව සියලු ඇත් රජවරුන්ට වජ්‍රමය අංකුසයෙන් ඇන්නත් මේ
භූමියට ඉහළින් යා නො හැක්කේ ම ය. රජතුමා පුරෝහිතයාගේ කතාව පරීක්ෂා කිරීමට අංකුසයෙන්
අනිමින් ඇතු වෙහෙස කළත් යා නොහැකි විය. සක්විත් රජුගේ ක්‍රියාවෙන් දුකට පත්වූ සුදු
හස්තියා එවලෙහිම අහසේම මිය ගියේය. රජුගේ පින් බලයෙන් තවත් සුදු හස්තියෙක් පැමිණියේ
ය.
බුදුගුණ අසා සක්විති රජු පැහැදෙනවා
මේ ආශ්චර්යය සිද්ධිය දුටු කාලිංග සක්විති රජු අහසින් බැස ඒ උතුම් භූමිය ගැන තව තවත්
විස්තර විමසීය. ඒ මොහොතේ දිවැස් ඇති කාලිංග භාරද්වාජ පුරෝහිතයාගේ බුදුගුණ වැනුම අසා
රජතුමා ඉමහත් සතුටට පැමියේ ය. ඒ කාලිංග බෝධි රජතුමා උතුම් බුද්ධ භූමිය, බෝධි භූමිය
සුදුවැලි ඇතිරි ඇති සැටිත්, එකම තෘණ ශාඛයක් හෝ හට නොගෙන ඇති සැටිත්, අවට වෘක්ෂයන්ගේ
ශාඛා දක්ෂිණාර්ථව වන්දනා කරන අයුරින් කරකැවී ඇති සැටිත් දැක තවත් පුදුමයට පත්විය.
කාලිංග රජුගේ බෝධි පූජාව
කාලිංග චක්‍රවර්ති රජතුමා මහත් වූ සේනාව ලවා බෝධි භූමියත්, ඒ අවට සෑම ස්ථානයක් ම
සරසා සුවඳින්, මලින්, පහනින්, ධජ පතාකවලින් තව තවත් සරසවා බෝධි භූමියේ සඳුන් කුඩු
ඇතිරවීය. පංචතූර්ය නාදයෙන් ශබ්ද පූජා පැවැත්විය. නැටුම් ගැයුම් පූජා පිණිස යෙදවීය.
මෙලෙස සතියක් නොයෙක් බෝධි පූජාවන් පවත්වා තනි රත්තරනින් දහඅට රියන් රන් කණුවක් බෝධි
භූමියේ තබවා සත් රුවන් වැලි අතුරා, රන්, රිදී, මුතු, මැණිකෙන් අලංකාර ප්‍රාකාරයක්
බඳවා, මනරම් ද්වාර තොරන් ආදිය බඳවා උපහාර පූජා කළේය. එදා පටන් සෑම දිනකම සැට අමුණක
මල්වලින් බෝධි භූමියට පුෂ්ප පූජා පැවැත්වීය. මෙසේ දිවි තිබෙන තුරු මහත් වූ බෝධි
පූජාවන් සිදුකළ සක්විති රජු මියගොස් තාවතිංස දෙව් ලොව උපන්නේය.
ඒ කාලයේ සක්විති රජු
ආනන්දයන් වහන්සේයි
ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, ඒ සා මහත් බෝධි උපහාර කළ සක්විති
රජතුමා මේ අපේ ආනන්දයන්. සසර පුරුද්දටයි බොහෝ පිරිස් පිරිවරා මේ ජීවිතයේදීත් බෝධි
උපහාර කරන්නේ. ඒ කාලේ ඒ සක්විති රජුට උපදෙස් ලබාදුන් කාලිංග භාරද්වාජ පුරෝහිතයාණන්
තමන් වහන්සේ බව භාග්‍යවතුන් වහන්සේ හෙළිකොට වදාළා. එසේනම් සසරේ හැටි මෙනෙහි කරන්න.
මේ ජාතක කතාව අනුව ආනන්දයන් වහන්සේ සක්විති රජවෙන විට පුරෝහිතයා වූයේ බෝධි
සත්ත්වයන් වහන්සේ යි.
මෙපමණක් වර්ණනා කළේ බෝධි භූමියට උපහාර කළ සිද්ධියක් පිළිබඳවය. අද වැඩ සිටින ජීවමාන
බෝධින් වහන්සේට පූජාවන් පැවැත් වූවොත් කෙතරම් පිනක් රැස් වෙන්නේ ද? කියා නුවණින්
විමසන්න.
අදවන විට ආනන්ද බෝධින් වහන්සේ
අදට වසර 2600 කට ආසන්න පුරාණ බෝධීන් වහන්සේ වැඩ සිටිති. වර්තමානයේ සැවැත්නුවර
ජේතවනාරාමයට ඇතුළු වීමේ දොරටුව ඇත්තේ බෝධින් වහන්සේගේ පැත්තෙන් නොවේ. ඒ විහාර භූමි
වෙනස් වී ඇත. නමුත් ආනන්ද බෝධින් වහන්සේ හොඳින් වන්දනා කර ගැනීමට බාධාවක් නැත.
සැවැත්නුවර ආනන්ද බෝධින් වහන්සේගේ බීජ වලින් අපේ රටෙත් බෝධීන් වහන්සේ නොයෙක්
ප්‍රදේශවල රෝපණය වී ඇත. ඒ බෝධීන් වහන්සේ සුවසේ වන්දනා කරගෙන සැදැහැ සිතින් බෝධි
උපහාර පූජාවන් පවත්වා සුගතිය, සැපය පිණිස පින් රැස්කර ගැනීම ඔබ සතු ගුණාංගයකි.
-
නයනා නිල්මිණි
|