Print this Article


දියුණුවේ දොරටුව 11:  දියුණුවේ කැඩපත උත්සාහයයි

දියුණුවේ කැඩපත උත්සාහයයි

දියුණුවට කවුරුත් කැමැතියි. ඒ සඳහා කවුරුත් උත්සාහයෙන් වැඩකටයුතු කළ යුතුයි. අපාය බය “පච්ච වෙක්ඛණතා” අපාය ගැන සිහිකරද්දී භය ඇතිවෙනවා. ඒ බය ඇතිවීමෙන් දියුණුවක් සකසාගන්න පුළුවන්. අපායේ ස්වභාවය අන්ත දුක් ලබාදෙන එකයි. අහවල් තැන හොඳයි කියලා කාටවත් කියන්න බැහැ. අපායේ ස්වභාවය දුකම ලබා දෙන එකයි.

සමහරවිට අතපය කපනවා. ලෝදිය පොවනවා . ගින්දරට දානවා. අතපය කෑලි කෑලිවලට කපලා දානවා. සීත නදිය නරකයට දානවා. කටුගස්වල නග්ගනවා, උල්වලින් අනිනවා. තිරිසන් සතුන් ඉන්න තැන්වලට දාලා හපලා කන්න දානවා. ඔය විදිහට දෙන්න තියෙන සියලුම දෙතිස් වධයම ලැබෙනවා. හැබැයි, ශරීරය කෑලි කෑලි කැපිල ගියත් මැරෙන්නේ නැහැ. ඒවා නැවත එකතුවෙලා තවත් දුක් දෙනවා. ඒ නිසා පින්වත්නි, කවදාවත් පවකට නම් හිත නැඹුරු කරගන්න එපා.

පස්පවින් වැළකුණොත් අපායගාමී නොවී මනුලොව, දෙවිලොව, බඹලොව වාසය කරන්න පුළුවන්. ඒකත් විශාල දියුණුවක්. අපායෙන් නිදහස් වෙනවා කියන එකම අපට ශාන්තියක්, යහපතක්, දියුණුවක්, ආරක්ෂාවක්. එහෙමනම් , බුදු ගුණ මෙනෙහි කරන්න, මෛත්‍රී භාවනා කරන්න, තුනුරුවන් වන්දනා කරන්න, මව්පියන්ට වැඩිහිටියන්ට , ස්වාමියාට, ස්වාමි දියණියට සලකන්න.

තරහ, වෛර, ක්‍රෝධ , ඊර්ෂ්‍යා, පළිගැනීම් දුරු කළොත් තමාගේ දියුණුව යහපත ඉබේම හැදිලා.

ඊළඟට උත්සාහයෙත් අනුසස් සැලකිය යුතුයි. “ආනිසංස දස්සාවිතා” උත්සාහයේ අනුසස් සලකනවිට ඉබේම දියුණුව හැදිලා. පාන්දර අවදිවෙන්න. රාත්‍රියට නිදාගන්න . අනෙක් කාලය දියුණුව සඳහාම කටයුතු කිරීම අවශ්‍යයයි. පින්දහම්වල යෙදෙන්න. මෙලොව දියුණුව, පරලොව දියුණුව සකසාගන්න. ඒවා වීර්යේ අනුසස් . උත්සාහයේ අනුසස් සිතුවොත් මේවා දියුණුකරන්නට පුළුවන්.

ඊළඟට ගමන් මඟ ගැන සිතන්න. “ගමන වීථි පච්චවෙක්ඛණතා” අප මේ යන්නේ දෙව්ලොවට යන මඟ, බඹලොවට යන මඟ , නිවනට යන මඟ කියලා සතුටු වෙද්දී පින, දියුණුව, උත්සාහය වැඩිවෙනවා.

භික්ෂුන් වහන්සේට කියනවා “පිණ්ඩපාතා පචායනතා” පින්වතුන් , භික්ෂූන් වහන්සේට උපස්ථාන කරන්නේ කර්මඵල විශ්වාස කරගෙන, නිවන් පතාගෙනයි. ඒනිසා මා පින්රැස් කරන්න ඕන කියලා භික්ෂූන් වහන්සේගේ හිතට බලවත් හිතක් ලැබෙනවා. මේනිසා විශාල දියුණුවක්. යහපතක්, ආරක්ෂාවක්, සලසාගෙන කටයුතු කරන්න පුළුවන්. ඊළඟට ශාස්තෘන් වහන්සේ ගැන හිතන්න ඕන. එහෙම වුණොත් ඒ සිත දිියුණු වෙනවා. මෙලොව පරලොව දියුණු වෙනවා. සසර ගමන කෙටි වෙනවා. නිවනට පත් වෙනවා. බලන්න, කොපමණ දියුණුවක්ද? කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, කේතුමාලාලංකාර, සවණක් ගණ බුදුරැස් මාලාව, ආදියෙන් අනේකවිධ ශ්‍රී දේහයේ ලක්ෂණවලින් බැබළෙනවා. තෙසැත්තෑ ඥාන, සත් සැත්තෑ ඥාන, සධ් අසාධාරණ ඥාන, දසබල ඥාන, දස මහ විපස්සනා ඥාන, ඔය විදිහට කියාගෙන කියාගෙන යද්දී බුද්ධ ඥානවල සීමාවක් නැහැ. මේවා ගැන හිතද්දිත් අපේ හිත දියුණු වෙනවා. අපේ යහපත සැලසෙනවා. ඒ මඟින් විශාල ශක්තියක් ගොඩ නැගෙනවා. අන්න ඒ නිසා ශාස්තෘන්වහන්සේ ගැන කවුරුත් හිතන්න. මෙනෙහි කරන්න. “ජාති මහත්ත පචිච වෙක්ඛණතා” අපේ ජාතිය , වංශය ගැන හිතන්න. බුද්ධ වංශය, ශාක්‍ය වංශය මේවා ගැන හිතද්දිත් අපට දියුණුව හදාගන්න පුළුවන්. අප බෞද්ධ ආගමිකයෝ සිංහල ජාතිකයෝ, බුද්ධ වංශයට අයත් පිරිසක්. මේවා ගැන සිතද්දීත් සිතට ලොකු ශාන්තියක්. ලොකු දියුණුවක් ලැබෙනවා. පිනට දහමට ගුණයට නැඹුරු වුණහම තවත් දියුණුවක් සැලසෙනවා. මේ ගැන හිතලා කල්පනාකරලා ලොවුතුරා දහමට අනුව වැඩ කළොත් අති විශාල ශක්තියක් අපට ලබා ගන්නට පුළුවන්.

ඊළඟට “සබ්බ්‍රහ්මචාරී මහන්ත පච්ච වෙක්ඛණතා” සැරියුත් , මුගලන්, ආනන්ද, කාශ්‍යප ආදී මහ රහතන් වහන්සේලා ගැන සිතන්න. සිල්වන්තයෙක්, නැණවන්තයෙක්, ගුණ වන්තයෙක්, තේජවන්තයෙක්, පුණ්‍යවන්තයෙක් කියලා උන්වහන්සේගේ ගුණකඳ හිතද්දිත් අපට ලොකු දියුණුවක් ලැබෙනවා. අනේ, මමත් මේ මඟට යා යුතුයි, මමත් මේ විදිහට වැඩකළ යුතුයි, මේ උතුමන් ගැන සිතද්දී අනේ, මමත් දාන, සීල, භාවනා පින්කරන්න ඕන කියලා තමාට සිතක් පහළ වෙනවා.

ඊළඟට “දායජ්ජ පවන්ත පච්ච වෙක්ඛණතා” අපට ලොකු දායාදයක් ලැබුණා. සම්බුද්ධ ශාසනය නමැති දායාදය ලැබුණා. ශ්‍රද්ධා ආදී දායාදය ලැබුණා. අන්න ඒවා ගැන සිතමින් අපට විශාල දියුණුවක් සලසාගන්න පුළුවන්. ඒවා අපි පුළුවන්තරම් නුවණින්ම කල්පනාකරලා දියුණු කරගනිමු. ඒකත් අපේ දියුණුවට අපේ යහපත , අපේ අනාගත සුබ සිද්ධිය පිණිස හේතු වෙනවා. මිල, මුදල් , කෙත්වතු , යාන වාහන ගැන සතුටු වෙනවා වගේ අපට ලැබුණ උතුම් දායාදය බුද්ධ ශාසනයයි. නව ලොවුතුරා ධර්මය මෙන්ම මේ සියල්ල ගැන හිතලා සතුටට පත්වෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දායාදයක්.

”කුසීත පුද්ගල පරිවජ්ජණතා” කම්මැළි අය ආශ්‍රය කරන්න හොඳ නැහැ. පිනට දහමට ලැදි නැති , රැකියාව අධ්‍යාපනය හරියට නොකරන මන්දෝතසායී ගති, අලසගති ඇති අය ආශ්‍රය නොකළ යුතුයි. ඒ අය ආශ්‍රය කළොත් පිරිහීමක් විපතක් මිස දියුණුවක් නැහැ. ඒනිසා පාප මිත්‍ර ආශ්‍රය වගේම මේ කියන අසද්පුරුෂයා පාප මිත්‍රයා, අලස පුද්ගලයා ආශ්‍රය කිරීමෙන් වළකින්න කියලා බුදුපියාණන් වහන්සේ අපට දේශනා කර වදාළා.

”ආනන්ද විරිය පුද්ගල සේවනතා” උත්සාහවන්ත පුද්ගලයෝ ආශ්‍රය කරන්නැයි වදාළා. කල්වේලා ඇතිව නැඟිටිනවා. රාත්‍රී දහයට පමණ නිදා ගන්නවා. අනෙක් කාලය තමන්ගේ , රැකියාව, අධ්‍යාපනය, දාන ශීල ,භාවනා, පින්කම් ආගමික වැඩ , ජාතික වැඩ වෙනුවෙන් ක්‍රියා කරනවා. එවැනි අය ආශ්‍රය කරද්දී තමන්ට දියුණුවක්, ලොකු යහපතක් උදාවෙනවා. උත්සාහය පිළිබඳව දියුණුව පිළිබඳ බැසගෙන කටයුතු කරන්න කියනවා. ආපස්සට යන්න එපා. පැමිණි ගමන ඉදිරියටම යන්න. ඔය බොහෝ දෙනා උත්සාහය දියුණු කරගෙනයි දියුණුවක් ලැබුවේ. උත්සාහවන්තයාට මිස අන් අයට එවැනි ඉල්ක්ක කරා යන්නට බැහැ. ඒ අනුව බුදු දහම මෙලොව දියුණුව සකසාදෙන , පරලොව ජීවිත හදාදෙන , මෙලොව පරලොව සුගතිය හදාදෙන විශේෂ දහමක්.

බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ, පාරමි ගුණ දියුණු කරන කාලෙ දවසින් දවස දියුණු වුණා. ආපස්සට ගියේ නැහැ. පිරිහීමක් වුණේ නැහැ. ඒනිසා එවන් උතුමන් වහන්සේලා ඒ තත්වයන්ට පත්වුණා. ගෞතම මහ බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදි මා ලොවුතුරා බුදු බව ලබනවද , නිවන් සම්පත් ලබනවද කියල කල්පනා කළා. උන්වහන්සේට දීපංකර බුද්ධ ශාසයේදී නිවන් දකින්න පින තිබුණා. නමුත් ලෝක ජනතාව, ලෝක සත්වයා ගැන මහත් අනුකම්පාවෙන් බෝසතාණන් වහන්සේ තම කාලය දිගු කරගත්තා. “මම ලොවුතුරා බුදුබව ලබන්නෙමි” කියලා සිතීමම විශාල දියුණුවක්. ඒ හිත කාටවත් ඇති කරගන්න බැරිවුණත් මහ බෝසතාණන් වහන්සේ තමාගේ සිත ලොවුතුරා බුද්ධත්වය පිණිස යොමු කළා. ජීවිත පරිත්‍යාගයෙන් දාන, මාන , පින්කම් කරලා ලොකු දියුණුවක් සකසා ගත්තා. කවුරු බැන්නත්, කවුරු ගහන්න ආවත් , නින්දා අපහාස කළත්, ආපස්සට ගියේ නැහැ. ඉදිරියටම ගියා. අන්න ඒ පාඩම අප හැමෝටම ඉතාම වැදගත්. කරදර පීඩා මැඩගෙන ඉදිරියට යාම විශාල දියුණුවක්. මේ දියුණුව බුදු දහමෙන් ලබා ගන්නවා මිස වෙන ලබන්න තැනක් නැහැ. මේවාට අවවාද, අනුශාසනා ලබා දුන්නේ සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. උන්වහන්සේ නිසා කී දෙනෙක් යහපත් මඟ ට පත්වුණාද? පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී දේශනාවෝ අපේ දියුණුව, අපේ යහපත සඳහාම වදාළා. මේ මඟින් හැමෝම දියුණුවට පත් වුණා. එසේනම් සැවොම මේ ගමන් මග ඉදිරියටම යන්න. සැරියුත් මහා රහතන් වහන්සේගේ ජීවිතය මහා බල සම්පන්නයි. සෘර්ය සම්පන්නයි, ඥාන සම්පන්නයි. ඒ තත්ත්වය උන්වහන්සේට ලැබුණේ ගුණධර්ම දියුණු කළ නිසයි. ගුණධර්ම වලින්ම සකස් කරගත් ජීවිතයක්. මහා බුද්ධ පූජාවන්, බුද්ධ වන්දනා කළා. අන්න ඒ ආනුභාව සම්පත් තියෙන උතුමන් වහන්සේලාට විශාල දියුණුවක් ලැබුණා. ඒක අර්හත්වය දක්වාම දියුණු වුණා. සැරියුත් මහ රහතන් වහන්සේට සෙසු රහතන් වහන්සේ අතර ලොකු වෙනසකුත් තිබුණා. ශීලයෙන්, ගුණයෙන් , ජීවිතයෙන්, ධර්මයෙන් , තේජසින් ඉහළයි. සිව්පිළිසිඹියාලාභී කෙනෙක්. අනුබුදු වරයෙක්, බලන්න, මේ සාමාන්‍ය මනුෂයාගේ ජීවිතය ඉහළට ගෙනගිය ආකාරය. අන්න ඒකට දියුණුව කියනවා.

කන්දක් මුදුනට නැගපු කෙනාට පළාතම පෙනෙනවා වගෙයි බුදුරජාණන් වහන්සේටත් වටේම, පළාතම පේනවා. බුදුන් වහන්සේගේ සර්වඥතා ඥානයට, බුදු ඇසට, අනන්ත ලෝක පෙනුණා. බලන්න, ලෝකය දැක ගැනීමට මේ බුදු නුවණ ශක්තිමත් කරගත්ත හැටි. ඒකත් ලොකු දියුණුවක්. මේ බුද්ධ ශාසනය ලැබුණේ අපේ පිනට කියලා කවුරුත් කල්පනා කරගන්න. ඒ පිනට ලබාගත්ත ශාසනය දියුණු කරලා මෙලොව ජීවිතය හොඳට සකසාගෙන පරලොව ජීවිත පෙළත් හොඳින් සකසාගෙන පවින් වැළකී, දස පාරමිතා දවසින් දවස දියුණු කරලා, බෝධි පාක්ෂික ධර්ම දියුණු කරලා මෙලොව, පරලොව ජීවිත වාසනාවන්ත කරගෙන, සසර ගමන කෙටි කරගෙන, ඉතා ඉක්මන් භවයකදීම ශාන්ත ලක්ෂණ අමාමහා නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා තබා ගන්න.