Print this Article


ඇසළ පෝදා දෙසූ දහමෙහි සුවිශේෂ ලක්ෂණ

ඇසළ පෝදා දෙසූ දහමෙහි සුවිශේෂ ලක්ෂණ

විජ්ජාචරණ යනු බුදුගුණයකි. එහි "විජ්ජා" යන්නෙන් උසස්ම දැනුම හෙවත් යථාභූත ඥානය අදහස් වෙයි. "චරණ" යනු උසස් හැසිරීම හෙවත් නිසි පිළිවෙතයි. බුදුරදුන් දක්නේ ධර්මය දක්නේය. ඒ අනුව මේ බුදුගුණය බුදුදහම මැ පිළිබිඹු කරයි. ජීවිතය හා ලෝකය පිළිබඳ උසස් දැනුම, අවබෝධය නොවේ නම් ඇත්ත ඇති හැටියෙන් දක්නා නුවණ (යථාභූත ඤාණ දර්ශනය) පිණිස මිනිසා යොමු කරලීම බෞද්ධ චින්තනයේ එක් අපේක්ෂාවකි.

උසස් චරණය, හැසිරීම නොවේ නම් නිසි පිළිවෙත හෙවත් ඉහත කී ඥාන දර්ශනය වෙත යන මාර්ගය පෙන්වා දීම බුදුසමයෙහි අනෙක් අපේක්ෂාව ය. මෙකී අපේක්ෂාවන් සාධනය කරගනු පිණිස වන විරාගී දර්ශනයක් හා විරාගී චරණයක් බුදුසමය තුළ දක්නා ලැබෙයි.

බුදුසමය වූ කලී සමකාලීන භාරතීය ආගමික හා දාර්ශනික චින්තාවන් අතර එයට ම ස්වාධීන වූත්, සුවිශේෂ වූත් ලක්ෂණයන්ගෙන් සමන්විත වූවකි. ලෝකයේ බොහෝ ආගමික චින්තාවෝ මූලික වශයෙන් ම දේව කේන්ද්‍රීය වෙති. එනම් කර්තෘත්වයද, දර්ශනය ද, මාර්ගය ද සර්වබලධාරී, සර්වතෝභද්‍ර දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ ගැළවුම්කාරයෙකු මුල් කොටගෙන ම උගන්වනු ලැබේ. එසේ ම ලෝකයේ බොහෝ් ආගමික චින්තාවෝ ආත්මවාදී වෙති. එනම් නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ ආත්මයක් ඇතැයි උගන්වනු ලැබේ. මෙම ප්‍රමුඛතම ආගමික ලක්ෂණයන්ගෙන් බැහැර වූ ලෝකයේ ප්‍රධානතම ආගමික චින්තාව ප්‍රකට වන්නේ බුදුදහමෙනි. එහි ලා සර්වබලධාරී දෙවියකු පිළිබඳ විශ්වාසයෙන් සපුරා බැහැර ව පැහැදිලිවම මානව කේන්ද්‍රීය වූ ධර්මයක් එනම් මිනිසා මුල් කොටගත් දහමක් ඉගැන්වෙයි. එසේම නිත්‍ය වූ ආත්මයක් පිළිබඳ විශ්වාසයෙන් සපුරා බැහැරව මිනිස් සිත මුල් කොටගත් දහමක් උගන්වන ලදී. මේ වනාහි ලෝකයේ ආගමික චින්තාවන් අතර බුදුසමය වෙතින් ප්‍රකට වන සුවිශේෂතාවයේ පදනම ය. මිනිසත් බවක් ලැබීම නම් දුෂ්කරය. දුර්ලභ යැයි උගන්වන බුදුසමය වූ කලී මිනිසෙකු වූ බුදුරදුන් විසින් මිනිසුන්ට ඔවුන්ගේම ජීවිතයේ යථාර්ථය හා විමුක්තිය පෙන්වා දෙනු පිණිස දේශනා කරන ලද්දකි. සියල්ලට සිත ප්‍රධාන ය. ලෝකය සිත විසින් ම ඇදගෙන යනු ලැබේ යැයි උගන්වන බුදුසමය ලෝකයේ ආගමික දර්ශනවාදයන් අතර අතිශයින් ම මනෝවිද්‍යාත්මකව ඉගැන්වීම යැයි විද්වත්හු පෙන්වා දෙති.

චින්තනයට මුල්තැන දුන් මානව කේන්ද්‍රීය වූ බුදුදහම අනුව සාංසාරික වූ මේ පැවැත්ම නම් දුක් සහිතය. මිනිසා ඉදිරියේ ඇති සියලු ප්‍රශ්න අභිබවා දුක් සහිත පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මූලික වෙයි. එනම් ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය ආදී අනේකවිධ ව්‍යසනයන්ගෙන් යුක්ත වන බැවින් අසාරය. සැප ලෙස සලකාගෙන විඳිනු ලබන සියල්ල තාවකාලිකය. ඇතිවීමක් නැති බැවින් අතෘප්තිකරය. එබැවින් ලෝකය දුක මත පිහිටියේ ය. එකී දුක් සහිත. අනිත්‍ය, අසාර පැවැත්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් බුදුසමය ප්‍රකට කරයි. එකී දුකින් අත්මිදෙනු පිණිස වන අනුපූර්ව ලක්ෂණයෙන් යුක්ත වූ මධ්‍යම ප්‍රතිපදාවක් බුදුසමය නිර්දේශ කරයි. ඒ වූ කලී අවශ්‍යයෙන්ම ආචාර විද්‍යාත්මක වූ ධර්ම මාර්ගයකි. පිළිවෙත් පිරීමකි. පුද්ගලයාගේ චරිත සංවර්ධනය පිණිස ආචාර ශික්ෂණය අත්‍යවශ්‍ය යැයි සලකනු ලැබීම ද බුද්ධ ධර්මයෙහි සුවිශේෂ ලක්ෂණයකි. බුද්ධ ධර්මයෙහි දැක්වෙන ධ්‍යාන, සමාපත්ති, අභිඥා මාර්ගඵල ආදී කවර ආධ්‍යාත්මික ප්‍රතිලාභයක් වුව ද ආචාර ධර්මයන් අනුපිළිවෙළින් පූරණය කිරීම මත රඳා පවත්නේ ය. භෞතික වශයෙන් මෙලොව ප්‍රගතිය උදාකර ගැනීමේදී ද ආචාර ධර්මානුකූල වීම අවශ්‍ය බව බුදුසමය උගන්වයි.

පාලි මූල ග්‍රන්ථයන්හි ‘අනුස්සව‘ ‘සුති’ යනාදී පද ව්‍යවහාරයන් මඟින් දැක්වෙන ආගමික මූල ග්‍රන්ථ හෙවත් පිටක සම්ප්‍රදාය ජීවිතය හා ලෝකය පිළිබඳ සත්‍ය ඥානය උදාකර ගැන්මේ ඒකායන මාර්ගය ලෙස ඇතැම් චින්තකයෝ බුදුරදුන් දවස පිළිගෙන සිටියහ. වේදය ප්‍රමාණත්වයෙන් ගත් බමුණන් මීට නිදසුනකි. බුදුසමය ශ්‍රැතියට ම වහල් වීමෙහි දොස් දකියි. පරතෝඝෝෂය, ධර්ම ශ්‍රවණය බුදුසමයෙහි සත්‍ය ඥානය ලබා ගැනීමේ එක ම මඟ ලෙස නොසැලකේ. එය හුදෙක් උපකරණයක් ලෙස පමණක් මඟ පෙන්වීම් වශයෙන් ප්‍රායෝගික ව අදාළ කරගත යුතු යැයි සැලකෙයි. පාලි මූල ග්‍රන්ථයන්හි ‘තක්ක’, ‘නය’ යනාදී පද ව්‍යවහාරයන්ගෙන් දැක්වෙන අනේකවිධ හේතු සාධක දක්වමින් භාෂාව මාධ්‍ය කොටගත් තර්කනය මගින් ම සත්‍ය ඥානය ලද හැකි යැයි සමකාලීන ඇතැම් චින්තකයෝ පිළිගෙන සිටියහ. සච්චකාදීන් මීට නිදසුන්ය. එසේ හුදු තර්කයටම වහල් වීමෙහි ද දොස් දක්නා බුදුසමය සහේතුක සකාරණ තර්කයෙහි ප්‍රාථමික සප්‍රයෝජනතාව පමණක් පිළිගනියි. එය ද භාවිත කළ යුත්තේ සම්මුතිය තේරුම් කරනු පිණිස උපකරණාර්ථයෙන් පමණකැයි උගන්වයි. මෙසේ පාරම්පරික සම්ප්‍රදායෙහි මෙන් ම භාෂාමය තර්කනයෙහි ද එල්බ නොගැනීම බෞද්ධ චින්තනයෙහි සුවිශේෂ ලක්ෂණයක් වෙයි.

බුද්ධකාලීන භාරතය දෘෂ්ටි කෞතුකාගාරයකි. අනේකවිධ වූ ආගම්, දර්ශන, ලබ්ධි, ප්‍රතිපදාවන්ගෙන් ව්‍යාකූලත්වයට පත් වූ එකල විද්‍යාමාන වූයේ සත්‍ය බහුත්වයකි. නිරතුරුව ම මේ ආගමික දාර්ශනික අන්තවාදයන් දැඩි ව ගත්තවුන් අතර වාද විවාද උපන්නේ ය. එසේ අනේකවිධ වූ දෘෂ්ටිවාදයෝ මූලික වශයෙන් ම උභයාන්තයක් ඇසුරු කළෝ ය. එනම් ‘නිත්‍ය වූ, ස්ථිර වූ ආත්මයක් ඇත. ඒකාන්තයෙන්ම ආත්මය නිත්‍යය’ යන ශාස්වත දෘෂ්ටිය හා ‘එබඳු නිත්‍ය ආත්මයක් නැත සියල්ල මරණයෙන් කෙළවර වේ.’ යන උච්ඡේද දෘෂ්ටියයි. බුදුසමය මේ උභයාන්තය ම පසෙකින් තබයි. මෙයින් කිසිවටත් නොම එළඹෙයි. මැදුම් පිළිවෙතින් දහම් දෙසයි. (පටිච්ච සමුප්පාදය) පූර්වෝක්ත ශාස්වත චින්තනය ගත් මහණ බමුණෝ ආත්මයක් ඇතැයි සැලකුවෝ එම ආත්මය තැවීමේ පිළිවෙත අනුව ගියහ. පූර්වෝක්ත උච්ඡේද චින්තනය ගත් මහණ බමුණෝ ආත්මයක් නැත. ඇත්තේ මෙලොව පමණකැයි සලකා ගත්තෝ මෙලොව හැකිතාක් කම්සැප විඳිය යුතු යැයි ඉගැන්වූහ. එය කාම සුඛල්ලිකානුයෝගයයි. බුදුසමය එම උභයාන්තය ද බැහැර කරයි. මැදුම් පිළිවෙත ම උගන්වයි. (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මෙසේ දර්ශනයක් වශයෙන් මෙන්ම මාර්ගයක් වශයෙන්ද, මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා සිටීම ද බෞද්ධ චින්තනයේ සුවිශේෂතාවයක් වේ.

පාරම්පරික ශ්‍රැතිය ද, අන්ධ භක්තිය ද මුල් කොටගත් අවිචාරවත් ව වෛදික බ්‍රාහ්මණ ධර්ම මාර්ගයෙහි එල්බ සිටි සමාජයක පහළ වූ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයා බුදුන් වහන්සේ ය. නිදහස්, නිවහල් චින්තනයට, විමංසනයට වැටකොටු බැඳි යුගයක අවංක, අව්‍යාජ, බුද්ධිමත්, සත්‍ය ගවේෂීන්ගේ මනදොළ සපුරාලීමට බුදුසමය සමත් වූයේ ය. සිතීමේ හා විමසීමේ නිදහස ඉතා උසස් ලෙස ලබාදීම, විචාර පූර්වක බුද්ධි පරිපාකය ඇගයීම ඊට හේතු විය. යම් ප්‍රකාශයෙක සත්‍යාසත්‍යභාවය තමන් විසින්ම සිතා විමසා දැන දැක පසක් කරනු පිණිස මඟ පෙන්වීම මේ අනුව බෞද්ධ චින්තනයේ සුවිශේෂ ලක්ෂණයක් වෙයි.

ධර්මය ‘ඒහි පස්සික’ ය. ‘එව, බලව‘ යි පෙන්විය හැකිය. එය විවෘතය. එම මාර්ගයෙහි ගමන් කිරීමෙන් තම තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කොට අධිගම වශයෙන් සත්‍යය පසක් කළ යුත්තේ ය. යනු බුද්ධ වචනයයි. මෙසේ හුදු මතවාදී දැනුම්බරක් වශයෙන්ද නොව, හුදු ඇදහිල්ලක්, විශ්වාස මාත්‍රයක් ලෙසින් ද නොව ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ම ජීවිතය හා ලෝකය පිළිබඳ යථාභූත ඥාන දර්ශනය ලබා ගැන්මේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීම ද බෞද්ධ චින්තනයෙහි සුවිශේෂ ලක්ෂණයකි.

බෞද්ධ චින්තනය වූ කලී සමාජ. ආර්ථික, දේශපාලන ප්‍රස්තුතයන් පිළිබඳ ව උදාසීන වූවකැයි ඇතැම් විචාරකයෝ කල්පනා කළහ. එහෙත් ඒ වූ කලී අවශ්‍යයෙන්ම අසාධාරණ අදහසකි. බුදුසමය තුළ උසස් සමාජ දර්ශනයක් ද ඇතුළත් වෙයි. සමාජ ප්‍රභවය, පරිණාමය, සමාජගත සම්බන්ධතා, ආර්ථිකය, දේශපාලනය ආදී විවිධ ප්‍රස්තුතයන් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ද බුදුසමයෙහි දක්නා ලැබෙයි.

ජීවිතය හා ලෝකය අරබයා ඒකංගදස්සී වීම බුදුසමයට අනභිමතය. එනම් එක් පැත්තකින් පමණක් දැක ගැටලු විසඳීම, තීරණ ගැනීම බුදුරදුන් විසින් අනුමත නොකරන ලදී. උන්වහන්සේ පෙන්වා දුන්නේ ඒකංගදස්සී වූවන් තම තමන්ගේ මතයෙහි, තීරණයෙහි හෝ ස්ථාවරයෙහි ඇලී එහිම එල්බගෙන විවාදාපන්න වන සැටිය. ලෝකය බෙහෙවින් ම ද්වය නිශි‍්‍රතය. එනම් දෙපිළෙන් එක පිළකට වැටී අනෙක් පිළ සමඟ ගැටෙන්නේ ය. වාද විවාද කරන්නේ ය. සමකාලීන ශ්‍රමණ බ්‍රාහ්මණයන් එසේ ද්වය නිශි‍්‍රතව අනේකවිධ තර්ක විතර්ක ගෙනහැර පාමින් ‘තම තමන් පිළිගත් දෘෂ්ටිය ම සත්‍යය, ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය අසත්‍යයැ’යි විවාදපන්න ව සිටි පරිසරය තුළ බුදුරජාණන් වහන්සේ අද්වයවාදී වූහ. මධ්‍යම චින්තනයක් මත පිහිටා මධ්‍යම ප්‍රතිපදාවක් ඉගැන්වූහ. මධ්‍යස්ථ තැනැත්තා ඒකංගදස්සී නොවේ. ඔහුට එල්බ ගත්, පිළිගත් අන්තවාදී මතයක් නැත. කිසිදු මතයකට පක්ෂ ද, විපක්ෂ ද නොවන හෙතෙම විවිධ පැතිවලින් ගැටලු අධ්‍යයනය කරයි. එමගින් ඇති තතු ඇති සැටියෙන් දකියි. බුදුරජාණන් වහන්සේ ඒකසංවාදී නොවන බව ද, විභජ්ජවාදී වන බව ද පෙළ දහමෙහි සඳහන් වෙයි. එනම් බෙදා විග්‍රහ කොට ජීවිතය හා ලෝකය පිළිබඳ ප්‍රස්තුත පැහැදිලි කරන බවය. බුදුදහම පරියාය ලක්ෂණයෙන් යුක්තය. එනම් එකම ආකාරයකින් නොව විවිධාකාරයෙන් විවිධ පැතිවලින් එක ම කරුණ පැහැදිලි කිරීමයි.