Print this Article


නිවන් මඟ හෙළි කරන දන් සිල් භාවනා

නිවන් මඟ හෙළි කරන දන් සිල් භාවනා

පුඤ්ඤා, පාපා,කුසල, අකුසල යන වචන අපේ බෞද්ධයන්ට හො ඳට හුරු පුරුදු යි. සැදැහැති බෞද්ධයෝ ජීවිතය පවත්වා ගෙන යන කොට මේ වචනවල එන අර්ථය අනුව තමන්ගේ හැම ක්‍රියාවක් පිළිබඳවම හොඳ සිහියෙන් යුක්තව ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහවත් වෙනවා.

එයට හේතුව වන්නේ බෞද්ධයන් මූලික වශයෙන් කර්මය පිළිබඳ විශ්වාස කිරීමත්, මරණින් මතු නැවත අපේ භවයක් තිබෙනවා කියන මේ ඇඳහීමත් බොහොම හොඳ දැක්මක්. මොකද? එයින් සමාජයේ මනා වූ යහපත් පැවැත්මක් ඇති වෙනවා. එමෙන්ම බෞද්ධ ඉගැන්වීම්වල සඳහන් වන පරිදි හිරි (පවට ඇති ලජ්ජාව) ඔත්තප්ප (පවට ඇති බිය) ආරක්ෂාවීම තුළින් සමාජයද සදාචාරවත් වෙනවා. මෙම ඉගැන්වීම් ද බෞද්ධයෝ නිරන්තරයෙන් සිහියට නගා ගන්නවා.

අද අප විමසා බැලීමට උත්සාහ කරන්නේ ත්‍රිවිිධ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳව බුදුදහමේ ඉගැන්වෙන කරුණුයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙන සූත්‍රයක් අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එයට කියන්නේ “පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය” කියලයි. මෙම සූත්‍රයෙන් පැහැදිලිව පෙන්වාදෙන කරුණ වන්නේ පින්කම් කිරීමෙන් මේ මනුෂ්‍ය ලෝකයේ වගේම ඊටත් වඩා සැප සම්පත් ඇති තව්තිසා ආදි දිව්‍ය ලෝකයන්හි ඉපිද ඒවායෙහි ඉතා ඉහළ සැප සම්පත් විඳීමේ හැකියාව විස්තර කර දීමයි. ඉතින් කවුරුත් කැමැති සැපවත් ජීවිත ගත කරන්නටයි. ඒ විතරක් නොවේ අපේ බොහෝ බෞද්ධයෝ පින්කම් කරන විට පරලොව ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ සාහිත්‍යයේ පවා නොයෙක් කථා ප්‍රවෘත්තීන්වල පින්කම් කළ අය සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඒවා කියවන බොහෝ දෙනා ඒ සැපසම්පත් වලට ගිජු වී ඒ සඳහාම පින්කම් කරනවා වෙන්නත් පුළුවන්කම තිබෙනවා. එහෙම වුණත් බුදුදහමෙන් ඊට එහා ගිය දහමක් අපට කියා දෙනවා. මොකද? මේ පින්කම් කරලා පරලොව මනුෂ්‍ය ලෝකයේ පමණක් නොව ඊට ඉහළින් ඇති සදිව්‍ය ලෝකයන්හි ඉපිද ඒවායෙහි කොපමණ කලක් සැප වින්දත් එහි තෘප්තියකට පත් වීමක් සිදු වන්නේ නැහැ. ඒ විතරක් නොවේ එහි සදාකාලික සැනසීමකුත් නැහැ. ඒ නිසා බුදුදහමෙහි ඉගැන්වෙන පුණ්‍ය ක්‍රියාවන් අතර තවත් එකක් ලෙස “භාවනාව“ පෙන්වා දෙනවා. එය ප්‍රධාන ඉගැවීමක් ලෙස බුදුදහමෙහි සඳහන් වෙනවා. මේ නිසා ඉහත මා කියා දුන් පරිදි “පුඤ්ඤකිරියවත්ථු” සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ඉගැන්වීම කුමක්ද? ඔන්න කෙටියෙන් නමුත් අපි විමසා බලමු.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් පැහැදිලිවම දානමය, ශීලමය හා භාවනාමය වශයෙන් ඒ තුන පැහැදිලි කර දී තිබෙනවා. එහිදී මෙම පින්කම් තුනෙන් දානමය හා ශීලමය පින්කම් දෙක සුළුවෙන් සිදු කරන ඒ වුණත් භාවනාමය පින්කම නොකරන අය සමාජයේ ඉන්නවා. ඒ අය මරණින් පසු මිනිස් ලොව උපදින්නට හැම අතින්ම ඉඩ තිබෙනවා. එහෙම වුණත් මනුෂ්‍ය ලෝකයෙහි ඔහු දුර්භාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා. එහි සරුසාර බවක් නැහැ. කරලා තියෙන්නේ පින්කම් මඳ වශයෙනුයි.

තව සමහරෙක් මිනිසුන් ඉන්නවා දාන හා සීල පින්කම් දෙක යම් පමණකින් මුලින් කී අයට වඩා සිදු කරනවා. හැබැයි, භාවනා පින්කම සිදු කරන්නේ නැහැ. ඒ අය මරණින් පසු මිනිස් ලොව ඉපිද සැපවත් ජීවිත ගත කරනවා.

තව අය ඉන්නවා දාන හා ශීල පින්කම් අධිකව කරනවා. භාවනාවක යෙදෙන්නේ නැහැ. ඒ අය මරණින් පසු චාතුම්මහාරාජික දෙව් ලොව පහළ වී රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පස් ආකාර ලෞකික සැප සම්පත් ලබා සතරවරම් දෙවිවරු බවටත් පත් වෙනවා. මේ ආකාරයෙන්ම අධිකව දාන, ශීල, පින්කම් කරන පිරිස් ඉන්නවා. ඒ අය තව්තිසා දෙව් ලොව පහළ වෙනවා. එයිනුත් විශේෂ වශයෙන් දානමය පින්කම් කළ කෙනෙක් වෙනවා නම් ශක්‍රයා බවට පත්වී සෙසු දෙවිවරුන් අභිබවා ඉහළම ලෞකික සැප සම්පත් අනුභව කරමින් තව්තිසා දෙව් ලොව සෙසු දෙවිවරුන්ට වඩා ඉහළ ජීවිතයක් ගත කරනවා.

තව පිරිසක් මනුෂ්‍යයෝ දාන හා ශීල පින්කම් ඉහළින්ම කරනවා. භාවනා පැත්තට යොමු වීමක් නැහැ. ඒ අය යාම නම් දෙව්ලොව පහළ වෙනවා. එහිදී ඒ අය අතරත් වැඩියෙන් දන් , සිල් , පින්කම් කළ අයෙක් වෙනවා නම් ඒ අය සුයාම නම් දිව්‍ය පුත්‍රයා බවට පත්ව එම දිව්‍ය ලෝකයෙහි අනෙකුත් දෙවිවරුන්ට වඩා ඉහළ මට්ටමින් දිව සැපත් අනුභව කරමින් වාසය කරනවා.

මේ මිනිස් ලෝකයෙහි තවත් පිරිසත් පෙර විදියටම දන්සල් පින්කම කරනවා. භාවනාවට යොමු වන්නේ නැහැ. ඒ අය තුසිත දිව්‍ය ලෝකයෙහි පහළ වී සියලු දිව සැපත් විඳිමින් එහි වාසය කරනවා. එහිදීත් අතිරේක වශයෙන් ඒ පිරිස අතර විශේෂ දන් , සිල්, පින්කම් කළ අය සන්තුෂිත නම් දිව්‍ය රාජයා වෙලා ඉපදිලා අනෙකුත් තුසිත දෙව්ලොව දෙවිවරුන් මැඩගෙන ජීවත් වෙනවා.

මේ ආකාරයෙන්ම දන් ,සිල්, පින්කම් පමණක් කළ අය නිම්මාණරතී නම් දිව්‍ය ලෝකයෙහි පහලව එහි දිව සැප විඳිනවා.

තව පිරිසක් මේ ආකාරයෙන්ම දන්, සිල්, පින්කම් කර භාවනාවට යොමු නොවී ජීවත්ව මරණින් පසු පරනිම්මිත නම් දෙව්ලොව පහළ වී එහි සියලු සැප සම්පත් අනුභව කරනවා. එහෙත් මිනිස් ලොව ජීවත් වූ කාලයෙහි වැඩි පිරිසක් දන්, සිල් පින්කම් කළ අය පරනිම්මිත වසවර්ති දෙව්රජව අනෙකුත් දෙවිවරුන්ට වඩා ඉහළින්ම සැප විඳිමින් කල් ගෙවනවා. ඔද තෙද ඇතිව වාසය කරනවා.

ඉතින්, බුදුරජාණන් වහන්සේ ඉහත ප්‍රභේද අටක් සහිතව පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් දන් , සිල් , පින්කම් කිරීමෙන් මොන මට්ටමෙන් හෝ මනුෂ්‍ය හා දිව්‍ය සම්පත් විඳින ආකාරයයි.

මෙම සූත්‍ර දේශනාව දිහා බලන විට මෙහි කියවෙන පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ කෙනෙක් පහළ වී වසවර්ති දිව්‍ය රාජයා බවටත් පත්වීමට පුළුවන්. ඒ සඳහා හේතු වන්නේ උච්චතම වශයෙන් කළ පින්කම් වන්නේ දානමය හා ශීලමය පින්කම්ය. එහෙම වුණත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සංසාරයේ අවසානය එසේත් නැතිනම් බෞද්ධයාගේ අවසාන විමුක්තිය එය නොවේ. ඕනෑම අයෙක් මේ කියන පරනිම්මිත වසවර්ති දිව්‍යලෝකයෙහි පහළ වී එම පුණ්‍ය මහිමයේ විපාක විඳීමෙන් අවසානය වූ විට නැවත කර්මානුරුපව වෙනත් මිනිස්, තිරිසන් හෝ ප්‍රේත වැනි අත්බවක ඉපදිය හැකිය. ඒ නිසා නැවත නැවතත් සසර අප්‍රමාණ දුක් විඳීමට ඉඩ තිබේ. එවැනි කථා පුවත් රැසක් අපට ප්‍රේතවස්තු හා විමාන වස්තු ප්‍රකරණ දේශනාවන්ගෙන් වුවත් දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. විමාන වස්තු ප්‍රකරණයෙහි එන “භික්ෂාදායිකා කථාවස්තුව“ ට අනුව සසර අකුසල් කළ ස්ත්‍රියක් මරණයට ආසන්න වෙමින් ජීවත්වන අයුරුත්, මරණින් පසු සැවත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඥානයට දැනී උන්වහන්සේ පෙරවරුවෙහි එම ස්ත්‍රිය සිටි පෙදෙසට පිණ්ඩපාතය පිණිස වැඩම කළා. පාත්‍රය අතැතිව වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේ නිවසට වැඩමවා පිණ්ඩපාතය පූජා කිරීමෙන් කීප දිනකට පසු ඇය ඒ දන්දුන් පින නිසා ඇති වූ ප්‍රීතියෙන් මිය ගොස් තව්තිසා දෙව්ලොව උපන්නා. ඒ දානමය පින්කමක විපාකයේ ස්වභාවය.

ඒ වගේම තවත් අවස්ථාවක් නිදසුනක් වශයෙන් ගත්තොත් ශීලමය පින්කමක් ලෙස කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, එසේත් නැතිනම් පතිව්‍රතා ධර්මය මැනවින් ආරක්ෂා කරපු කාන්තාවක් ගැන මෙම විමාන වස්තු ප්‍රකරණයෙහි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දවස දෙව්රම් වෙහෙරෙහි උන්වහන්සේ වැඩ වසද්දී මෙම ස්ත්‍රිය ද එම ආසන්නයෙහි ජීවත් වුණා. තම ස්වාමි පුරුෂයා කෙරෙහි මහත් භක්තියෙන් පතිව්‍රතාව ආරක්ෂා කරන මේ කාන්තාව සරාගි සිතකින් වෙනත් කිසිදු පුරුෂයෙකු දෙස කවර දිනකවත් බැල්ම හෙළා නැහැ. මෙම ශීලමය ප්‍රතිපදාව නිසා ඇය මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නා. එහෙම වුණත් මෙතැන තිබෙන එකම අඩුපාඩුව තමා මේ කිසිවකින් සංසාර විමුක්තිය උදාකර ගැනීමක් සිදු නොවන බව. එයට අවශ්‍ය වන්නේ විදර්ශනා නුවණට හුරුවීමයි. දන්, සිල් , පින්කම්වල යොමුවී එයින් සෑහීමකට පත් නොවී එම පින්කම් දෙකම තුළින් ශික්ෂණයක් ලබාගෙන භාවනාමය පින්කම් කිරීමෙන් සසර විමුක්තිය ලද හැකි බව, ඒ නිසා සසර ගමන කෙටි කර ගැනුමට දන්, සිල්, පින්කම් කර භාවනා මග තුළින් අලෝභ, අදෝස, අමෝහ යන කුසල චේතනා දියුණු කර ගැනීම ඉතා වැදගත් වෙනවා.