Print this Article


බුදුපිළිමයේ උපත - 26:  ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සාරානාත්හි බුද්ධ ප්‍රතිමා වහන්සේ

බුදුපිළිමයේ උපත - 26: 

ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සාරානාත්හි බුද්ධ ප්‍රතිමා වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසූමන් විජේතුංග 

පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය ලෝක සත්වයාට මහා මෛත්‍රියෙන් දෙසා වදාළ දිනය ලෙසින් ඇසළපුර පසළොස්වක දිනය ශාසන ඉතිහාසයෙහි සටහන් වී ඇති කරුණකි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය හෙවත් සාරානාත් පුදබිම බුදුදහමේ නිජබිම ලෙසින්ද සැළකිය යුතුව ඇත. බුදුසමය හා සම්බන්ධ සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය බුද්ධත්වය හා ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ පුදබිම යන මේ පුදබිම් තුනේම බුද්ධකාලයට පසුව ඒ ස්ථාන හඳුනා ගැනීම සඳහා සිය රාජකීය වන්දනා ගමන සිදුකළ මහා නරපතියෙක් ජම්බුද්වීපයේ උපත ලැබීම එකල පමණක් නොව මෙකල වාසය කරන ලොව හැමගේම භාග්‍යයක් ලෙසින් සඳහන් කළ යුතුය. ඒ නරපතියා නම් අසෝක අධිරාජයාය. අසෝක මහා අධිරාජයා මේ සියලුම පුදබිම්වල වන්දනාවෙහි නිරතවූවා පමණක් නොව අනාගත අප සඳහා ඒ පුදබිම් හඳුනා ගැනීම පිණිස ස්මාරක බෞද්ධ ශිලාලේඛන මෙන්ම බෞද්ධ කලාශිල්ප වලින් ඒ ස්ථාන අලංකාර කළේය. මේ නිසා අසෝක රාජ සමයට පසුව ඉතා විශිෂ්ටතම රාජ යුගයන් වු ක්‍රිස්තුවර්ෂ දෙවැනි සියවසේදී මෙකල පකිස්තානයට අයත් පේශවාර්හි රජවූ දෙවැනි ධර්මාශෝක කෙනෙකු ලෙසින් සළකන කණිෂ්ක රජතුමා (කුශාන රාජවංශික) විසින්ද ඊට සියවස් තුනකට පමණ පසු පුරාණ භාරත දේශයේ ගුප්ත රාජධානි සමයේදීද මෙම සාරානාත් පුදබිමෙහි මූර්ති හා මූර්ති කැටයම් ද ස්තූප ද ගොඩනංවන ලද බවට ඉතා වැදගත්ම සාක්ෂි පුරාවිද්‍යාඥයින්ට අද හමුවී ඇත. බුදුපිළිම නිර්මාණයට පෙර අසෝක රජතුමා විසින් සාරානාත් පුදබිමෙහි පිහිටුවන ලද ශිලා ස්තම්භයට අයත් ශීර්ෂයේ ඇති සිංහරූප සහ ධර්මචක්‍රය මගින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිව් දෙසටම කරන ලද සිංහනාදයක් ලෙසින් සංකේතවත් කර ඇත.

බුදුපිළිම නිර්මාණය ක්‍රි.ව. 2 වැනි සියවසේ දී ගන්ධාරය සහ මථුරා පුදබිම් ආශි‍්‍රතව කණිෂ්ක රාජයුගයේ දී සිදුවීමෙන් පසුව උදාවූ ගුප්ත රාජ යුගයේ නිමකරනලද විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා වහන්සේ (ධර්ම චක්‍ර, මුද්‍රාවෙන් නිරූපිත) මෙම පුදබිමෙහි නිර්මාණය කිරීමද බොදු හදවත් තුළ පමණක් නොව ඒ පුදබිම සංචාරයේ යෙදෙන්නන්ට ද ආකර්ෂණය වූවකි. බුදුදහමේ නිජබිම සාරානාත් බව පැවසීමට මීට වඩා තවත් උචිත වුද සුදුසු වූද මූර්තියක් බෞද්ධ ශිෂ්ටාචාරය ව්‍යාප්තවූ මානව ශිෂ්ටාචාරය තුළ මෙතෙක් හමු වී නැත.

මෙහි අතීත පසුබිම පිළිබඳ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණෝ මෙසේ සඳහන් කරති.

"විනය මහාවග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට බුද්ධත්වයට පත්වි සති හතක් ඉක්ම ගිය පසු තම අතීත මිත්‍රයන් වූ පස්වග තවුසන්ට ධර්මාවබෝධය ලබාදීම සඳහා පා ගමනින් බරණැස බලා වඩින අතරමගදී හමුවූ ආජීවකයෙකු උන්වහන්සේගෙන් ගුරුවරයා කවරෙක්දැයි ආදි වශයෙන් අසනලද ප්‍රශ්නවලට පිළිතුර වශයෙන් තමන්වහන්සේ බුදුබවට පත්වූ බවත්, ගුරුවරයෙකු නොමැති බවත් ප්‍රකාශකර ඇත. එසේම “ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං” යනුවෙන් ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමට බරණැසට වඩින බවක් පැහැදිළි කළහ.ඒ අනුව උන්වහන්සේ ධර්මය හඳුන්වා ඇත්තේ චක්‍රයකටය. මෙහි චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධර්මයේ අණසක කිසිදු වෙනසකින් තොරව ලෝකයෙහි පැවැත්වීමයි.අනෙක් අතින් මෙම සූත්‍රයට ඇතුළත් චතුරාර්ය සත්‍යය තිපරිවර්ත ද්වාදසාකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී ඇත. මේ අනුව චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලාශිල්පවල යොදාගෙන තිබුණද ප්‍රථම ධර්මදේශනා අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය බවට පත්ව ඇති බව සාංචි, අමරාවතී, ගන්ධාර හා භාරුත් වැනි පුදබිම්වල මූර්ති කැටයම් වලින් දැකගත හැකිය. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි. – පි. 5-6 (2010 සරසවි ප්‍රකාශකයෝ)

සාරානාත් හි ඇති ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දේශනා විලාශය සංකේතවත් කරන්නකි. ආසියාවේ විවිධ රටවල දක්නට ලැබෙන මෙම මුද්‍රාව සහිත ප්‍රතිමාව ද භාරතීය මූර්ති කලාවේ විශිෂ්ටතම ප්‍රතිමාව ලෙසින්ද භාරතීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය වූ ගුප්ත රාජ යුගයේදී නිර්මාණය කරන ලද මූර්තියකි. (දඹදිව සිව්මහ පුදබිම් සිරිසමන් විජේතුංග පි. 69(2011)

ධර්මචක්‍ර මුද්‍රාව හඳුනාගතහැකි ප්‍රධාන ලක්ෂණය නම් දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන එහි දබර ඇඟිල්ලේ සහ මාපට ඇඟිල්ලේ තුඩුදෙක කවනයක් සැදෙන සේ එකට තබා ඇතුළතට හැරුණූ වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවතීමයි.

සුප්‍රසිද්ධ සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ දක්නට ලැබෙන්නේ මේ ආකාරයයි. (බුදුපිළිමය මුද්‍රා සහ ආසන අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි. පි. 31 1999) සහ ඉහත සඳහන් ග්‍රන්ථය පි. 69)

ධර්මචක්‍ර මුද්‍රාව බුද්ධප්‍රතිමා නිර්මාණයන්හි දක්නට ලැබෙන හස්ත මුද්‍රාවකි. මෙයින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය සංකේතවත් කෙරේ.

මෙම බුද්ධ ප්‍රතිමාව ඒ අනුව ක්‍රි.ව. 5-6 සියවස්වලට අයත් වේ. මෙම ප්‍රතිමා වහන්සේ සංයමයෙන් හා මන්ද ස්මිතයෙන් (මද සිනහවකින්) යුක්තව නෙළා තිබේ. බුද්ධ ශීර්ෂය වටා රැස්වළල්ලද සියුම් කැටයමින් අලංකාර කර තිබේ. දෙපා භාරත දේශයේ බොහෝ බුදුපිළිමවල මෙන් පද්මාසන ක්‍රමයට නෙළා ඇත. මෙහි ප්‍රතිමාවේ පහතින් ඇති රූප පහක් හිස්මුඩු කොට සිටිනසේ නෙළා තිබේ. එයින් පස්වග මහණුන් වහන්සේලා නිරූපිත යැයි ද අනික් රූප දෙකෙන් දැක්වෙන්නේ මෙම මූර්ති කරවූවන් යැයිද සමහර විද්වතුන්ගේ මතයකි.

මෙම ප්‍රතිමාවද සාරානාත් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.


පසුගිය සතියෙන්:-  බුදුපිළිමයේ උපත - 25:   සාරානාත් පුදබිම