Print this Article


අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය 11

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය 11

15 අභ්‍යාසය

ප්‍රශ්නය:  ජපානයට බුදුදහම ලැබීමට පෙර එරට පැවැති ආගමික පසුබිම පැහැදිලි කොට එරටට බුදුදහම ලැබුණු ආකාරය දක්වන්න

පිළිතුර:

ජපානයට බුදුදහම ලැබීමට පෙර එහි පැවැති ජාතික ආගම වූයේ ස්වභාවධර්මයේ කල්පිත දෙව්වරු ඇදහීම සහ මළවුන් පිදීමයි. මෙය එතරම් ක්‍රමවත් නොවීය. කල්යාමේදී එය ෂින්ටෝ දෙවිවරුන්ගේ මාර්ගය නමින් හැදින්විණි. “ හිරු දෙවඟන” හෙවත් “අමතේරසු ඔමිකම් “ ෂින්ටෝ ආගමෙහි ප්‍රධාන දෙවඟන වශයෙන් සලකනු ලැබේ. “අමතේරසු ඔමිකම්” වන්දනාව ජාතික සංස්කෘතියේ මුඛ්‍යාංගය බවට පත්වී තිබුණි. මළවුන් ඇඳහීම හා භූත විශ්වාස වැනි නොදියුණු ගෝත්‍රික විශ්වාස පිළිගැනීම් තිබුණ ජපානයේ කොන්ෆියුසිස් තුමාගේ ඉගැන්වීම්ද පිළිගෙන තිබුණි. මෙවන් ආගමික පසුබිමක් තුළ ජපානයට බුදුදහම ලැබී තිබේ.

එරටට බුදුදහම ලැබී ඇත්තේ ක්‍රි.ව552දී කොරියාවේ කුදරාහි සෙයිමෙයි රජතුමාගේ මාර්ගයෙනි. කොරියාව සහ ජපානය අතර කලක් තිස්සේ යුද්ධයක් පැවතුණි. මෙම යුද්ධය නිසා දෙරටෙහිම දියුණුවට එය බාධකයක් විය. මෙම යුද්ධය නැති කර ගැනීමට කල්පනා කළ කොරියාව ශාක්‍ය මුණි බුද්ධ ප්‍රතිමාවක් ද මහායාන සූත්‍රවල පිටපත් කිහිපයක් හා ප්‍රසංසාත්මක ලියැවිල්ලක් කොරියානු ප්‍රධාන දූත පිරිසක් අත ජපානයට පිටත් කොට යැවූහ. ජපානයේ එවක පාලකයා වූ “කිම්මෙයි” අධිරාජ්‍යයා අලුත් ආගමක් එරටට ලැබුණ බැවින් මහත් ප්‍රබෝධයකට පත්ව එය කිනම් ආකාරයකින් පිළිගත යුතු දැයි තීරණය කර ගැනීමට නොහැකිව සිටියහ. ජපන් අධිරාජ්‍යයාට රටේ පාලනය ගෙන යාම සඳහා ප්‍රධාන ගෝත්‍ර තුනක් එනම්,

1. මොනෝනොබේ 2. නකතෝමි සහ 3. සෝගාවරුන් යන ගෝත්‍ර තුනක්

පාලන තන්ත්‍රයට සම්බන්ධ වී සිටියහ. මෙම ගෝත්‍ර තුනෙත් “සෝගාවරු” හැර සෙසු අය නව දහමෙහි සම්ප්‍රාප්තියට විරෝධතාවය දැක්වූහ. ඔවුන් ෂින්තෝ දහම ඇදහූ අය වූහ.

එවක ජපානයේ අගමැතිවරයා වූයේ” ෂෝගානෝ ඉනාමේ” සිය නිල නිවස ඉදිරිපිට බුදුමැදුරක් කරවා බුද්ධ ප්‍රතිමාව හා ත්‍රිපිටක පොත් එහි තැන්පත් කොට පුද පූජා පැවැත්වූහ. මේ කාලය තුළ ජපානයේ දරුණු වසංගතයක් හට ගත්හ. නව දහමේ සම්ප්‍රාප්ත්ය එයට හේතු වී යයි. “මොනෝනොබේ” සහ “ නකතෝම් “වරුන් විසින් බුද්ධ ප්‍රතිමාව ගඟකට විසි කොට සිය විරෝධතාවය පළ කළහ. එම අවස්ථාව ජපානයේ ආගමික ගැටලුවල සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මෙසේ පැවැති අවස්ථාවක කොරියාවෙන් දෙවන වරටද දූත පිරිසක් ජපානයට පැමිණ ගඟට විසිකොට තිබූ බුද්ධ ප්‍රතිමාව නැවත ගොඩගෙන පුදපූජා පැවැත්වීමෙන් හා බුදු මැදුර ප්‍රතිසංස්කරණය කිරීමෙන් වසංගතය දුරු වී මහා වැසි ඇදහැළුණි.

නව දහමට විරෝධය දැක්වූ අය මෙම ආශ්චර්ය දැක බුදුදහම පිළිගෙන ක්‍රියාකරන්නට වූයෙන් නව ප්‍රබෝධයක් ජපානය තුළ ඇති විය. ජපන් රටට බුදු දහම ලැබී ඇත්තේ මේ ආකාරයෙනි.

ප්‍රශ්නය 2: ජපානයේ බුදු දහම ව්‍යාප්ත කරලීමට “ ෂෝතෝකුතෛෂී” කුමරුගෙන් ලැබුණු අනුග්‍රහය පැහැදිලි කරන්න.

පිළිතුර:

උමයාදෝ කුමරු හෙවත් ජපානයේ අශෝක නමින් “ශෝතෝකුතෛෂී” හඳුන්වා ඇත. ජපානයට ලැබුණු බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා මොහුගෙන් ලැබුණු සහයෝගය අති විශිෂ්ඨය. ක්‍රි.ව. 574 ත් ක්‍රි.ව 622ත් අතර කාලය මොහුගේ රාජ්‍යය සමය වන අතර එම කාලය ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් සේ සලකනු ලැබේ. මොහු ස්වකීය සුළු මව වූ “සුයිකෝ” අධිරාජනීය යටතේ රජයේ ප්‍රධානම පාලක තනතුරට පත් වූහ. ජාතිය එක්සේසත් කිරීමෙහිලා උපස්තම්භක වූ ව්‍යවස්ථා 17යුත් ව්‍යවස්ථා මාලාවේ දෙවන වගන්තිය අනුව බුදුදහමට ගරුකළ යුතු බව අවධාරණය කළහ. මොහුගේ කාලයේ සීඝ්‍ර ලෙස ජපානයේ බුදුදහම ප්‍රචලිත වූ අතර රාජ්‍යය ආගම බවට ද බුදු දහම පත්විය. මොහු චතුර කථිකයෙකි. එමෙන්ම ග්‍රන්ථ කතුවරයෙකි. දෙවන අශෝක ලෙස ජපන් වැසියන් ඔහු සැලකුයේ බුදු සමයේ ව්‍යාප්තියට කළ සේවය නිසාය. මොහු කළ සේවාවන් අතර,

1. ජපන් රටේ සෑම ස්ථානයකම විහාරස්ථාන ඉදි කිරීම

2. පන්සල් ආශ්‍රිතව පාසල් ආරම්භ කිරීම

3. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුව සැලසීම

4.බුද්ධ ප්‍රතිමා ඉදි කිරීමට රජය මගින්ම නියම කිරීම

5.මහායාන සූත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රසිද්ධ දේශනා පැවැත්වීම

6.සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ආර්ය ශ්‍රී මාලාදේවී සූත්‍රය, විමලකීර්ති නිර්දේශය වැනි මහායාන ග්‍රන්ථවලට අටුවා රචනා කිරීම.

7. බෞද්ධ පොත්පත් ජපන් බසට පරිවර්තනය කිරීමට කටයුතු සැලැසීම

8. බුදුදහම රාජ්‍ය ආගම යැයි ප්‍රකාශයට පත් කිරීම

9. “දයිඛත්සු” නමින් ලෝහමය බුදුපිළිමයක් ඉදි කිරීම

10. “හොර්යුජි” ආරාමය වැනි පැරැණි දැවමුවා ගොඩනැගිලි ඉදි කිරීම

11. විශාල ශිල්පායතන, අනාතමඩම් , විශ්‍රාමශාලා, ගිලන්හල් ඉදිකිරීම

12. “නාරා” නමැති ප්‍රදේශය මුල්කරගෙන ත්‍රිපිටකය පිටපත් කිරීම, අටුවා ග්‍රන්ථ රචනා කිරීම, බෞද්ධ උත්සව ආරම්භ කිරීම මොහුගේ කාලයේදී බුදු සමයට සිදු වූ විශේෂ සේවාවන්ය.

ප්‍රශ්නය 3: ජපන් සංස්කෘතියට බුදුදහමින් ලැබුණු ආභාශය පැහැදිලි කරන්න.

පිළිතුර:

ක්‍රි.ව 552දී ජපානයට බුදුදහම ලැබීමත් සමඟ එරට පැවැති “ෂින්තෝ “ ආගම හා ගැටීමක් ඇතිවිය. නමුත් බෞද්ධ ඉගැන්වීම් එරට ජනතාව අතර ක්‍රමයෙන් ප්‍රචලිත වන්නට විය. බුදුදහමේ අගය හා දාර්ශනික සංකල්ප ජපන් වැසියෝ තේරුම් ගත්හ. මෙලොව ප්‍රගතිය සලසා ගැනීම පිණිස බුදුදහමේ ඉගැන්වීම් ඉතා අගය කොට ඔවුහු සැලකූහ. අප්‍රමාදීව ක්‍රියා කිරීම, උත්සාහය, අනලස් බව, ආර්ථික සුරක්ෂිතතාව වැනි උසස් පිළිවෙත් ජපන් වැසියන් වෙසසින් අගයනු ලැබේ. ජීවිතයේ කුදු මහත් සෑම අවස්ථාවකදීම විහාරස්ථානය ඔවුහු සම්බන්ධ කර ගත්හ. ආගමෙන් තොර ජීවිතයක් නැති තරම්ය. සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය වූ අතර අධ්‍යාපනය බෞද්ධ අධ්‍යාපනය විය. ආර්ථිකය ද බෞද්ධ ආර්ථිකයක් විය. විනෝදාංශය වූයේ බෞද්ධ උත්සව, පෙරහර, නාට්‍ය, සංගීත ආදියයි. ප්‍රසිද්ධ ජපන් උත්සව අතර “ඔබෝන්” (මළවුන්ගේ

උත්සවය) “ගැන්ජින්සු” (අලුත් අවුරුදු උත්සවය) “හනමන්සුරි” (සිදුහත් උපත සැමරීම) වැනි උත්සව මෙන්ම “සෙන් දහම” නිසා ජපන් සංස්කෘතියට එකතු වූ නවතම උත්සව වශයෙන් “ඉකෙබෙනා” (මල් උත්සවය) “වානෝයු” (තේ උත්සවය) “ නො ඩ්රාමා” (නාට්‍ය උත්සවය) ආදියද එම සංස්කෘතියේ කැපීපෙනෙන උත්සවයන්ය.

මළවුන්ගේ දිනය ඔවුන් “ඔබෝන” නමින් සිදු කරනු ලැබීය. ඒ සඳහා තමන්ගේ ගෘහයේ ඇති බුදු කුටියේ මළගිය ආත්ම වෙනුවෙන් පුද පූජා සිදු කරනු ලැබීය. අප්‍රේල් 8වන දින ඔවුහු සිදුහත් උපත සමරති. සැරසිලි කිරීම් හා ආලීක පූජා පවත්වා විහාරස්ථානවල විශේෂ පූජා උත්සව සංවිධානය කරනු ලැබේ. සිදුහත් කුමරුගේ පිළිරුවක් සුවඳ පැණින් නැහැවීමෙන් මෙම දිනය සමරනු ලැබීය. එමෙන්ම සකුරා මල් බෝසත් පිළිමවලට පළඳවා වීදි දිගේ සංවාරය කරනු ලැබේ. මෙවැනි සංස්කෘතික ලක්ෂණ ජපන් බුදුසමය තුළ දක්නට ලැබේ.


පසුගිය සතියෙන්:   අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය 01