Print this Article


විධ චෛත්‍යයෙන් ප්‍රතිමණ්ඩිත වන මල්වාන ශ්‍රී ශාක්‍යසිංහාරාමය

ත්‍රිවිධ චෛත්‍යයෙන් ප්‍රතිමණ්ඩිත වන මල්වාන ශ්‍රී ශාක්‍යසිංහාරාමය

ශ්‍රී සම්බුද්ධ ශාසනය ලක්දිව ස්ථාපනය වීමෙන් අනතුරුව තත් දර්ශනය සකල දීපවාසීන් උදෙසා රට පුරා ව්‍යාප්ත කිරීමට රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ පටන් කුදු මහත් ජනතාව දිවි හිමියෙන් කැප වී කටයුතු කළ බවට ලාංකීය ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. සබරගමු පළාතේ ද එදා මෙදා තුර ඓතිහාසික සාධක විමසා බැලීමේදී කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි වන්නේද අද්විතීය ස්ථානයකි. බුදු දහම සඳහා සිදුවන අනගිභවනීය සේවය යාවත්කාලීන කරමින් එහි විවිධ වූ පූජනීය ස්ථාන, විහාරාරාම ගොඩනැන්වීම නිරන්තරයෙන් සිදුවන්නෙකි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුකොළදෙණිය ග්‍රාම නිලධාරී වසමට අයත් මල්වාන ඉපැරැණි සුන්දර ගම් පියසකි. ගැමි සංස්කෘතිය තවමත් රැඳි තිබෙන මේ ප්‍රදේශය කාගෙත් සිත් ගන්නේ රමණීය පිහිටීම නිසාය . සුන්දර කඳු පන්තිවලින් පරිෂිප්ත මේ ප්‍රදේශය සොබාදහමේ දායාදයන්ගෙන් සුපෝෂිතය. ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර ඇතැම් අය රජයේ රැකියා, ස්වයං රැකියා සහ තවත් විවිධ ජීවනෝපාය ක්‍රමයන්ගෙන් මෙහි වැසියෝ තම දිවි සරි කර ගනිති. වර්තමානය වන විට ආර්ථික, සාමාජීය, දේශපාලනික හා ආගමික වශයෙන් ශක්තිමත් වූ ග්‍රාමයක් ලෙස මෙය හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

ගමක් අංග සම්පූර්ණ වන්නේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද සශ්‍රීක වුවහොත් පමණි. විහාරස්ථානයක් කේන්ද්‍රකොට ගත් ගමක පවතින ස්ථාවරත්වය සහජීවනය කෙබඳු ද යන්න ලක් ඉතිහාසය සාක්ෂි දරයි. ගමක් අංග සම්පූර්ණ වීමට විහාරස්ථානයක් හා අත්‍යන්ත බැඳීම ඉවහල් වීම ලාංකීය සංස්කෘතියේ අනන්‍ය සාධකයෙකි. මෙය පසක් කරගත් ප්‍රදේශවාසීන්ට මල්වානට ද බෞද්ධාමික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය දැනෙන්නට විය. ඒ අනුව අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වය පිහිටුවා වදාළ අමරපුර ගණ ප්‍රධාන සංඝනායක උක්කට්ඨ මහා තිස්ස සිරි අරියවංශාලංකාර මහා කවිධජ “හිස්හෝලිනස්” ශ්‍යාමරාජදන්ත නාමෝපලක්ෂිත පාලි මහා චක්‍රවර්ති පණ්ඩිත ශිරෝමණී වැලිතර ඥානතිස්ස හිමියන් වෙත කළ ආරාධනය කාරුණිකව භාරගෙන 1985 වර්ෂයේදී මල්වාන ශ්‍රී ශාක්‍යසිංහාරාමය නමින් මෙම විහාරස්ථානය ආරම්භ කරන ලදී.

එවක් පටන් සතර පේරුවේ දායකකාරකාදීන්ගේ අප්‍රතිහත ධෛර්යෙන් හා නොමසුරු කැපවීමෙන් මෙම විහාරස්ථානය ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වන්නට විය. අනු හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව තුන්කොරල මහා දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය පූජනීය කණ්නදෙනියේ මහින්ද නාහිමියන් වෙත මෙම ස්ථානය භාර විය. ඉන්පසු උන් වහන්සේ සහ ශාස්ත්‍රපති අරන්දර විජිතනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 2007.05.20දින අරන්දර ඥානානන්ද පොඩි හාමුදුරුවන් වෙත විහාරස්ථානයේ කටයුතු භාරවිය. ඒ වන විට බෝධීන් වහන්සේත්, කුඩා බුදු කුටියකුත්, ගණ්ඨාර කුළුණත් ප්‍රතිසංස්කරණ මට්ටමේ පැවැතිණි. ධර්ම ශාලාව හා සංඝාවාස ගොඩනැගිල්ල පමණක් මෙහි විය. මෙම ස්ථානය භාරගත් අරන්දර ඥානානන්ද කුඩා හිමියන් උසස් අධ්‍යාපන ලබන අතරම, උපසම්පදාවද ලැබූහ. උන්වහන්සේගේ නොමද කැපවීම මත වර්තමානයේ පවතින භෞතික සංවර්ධනය ද, අධ්‍යාත්මික සංවර්ධනය ද ඇති වී යැයි පැවසීම යුක්ති යුක්තය. විහාරස්ථ සුජාතා දහම් පාසල ප්‍රදේශයේ දූදරුවන්ගේ දහම් දැනුම් මෙන්ම ආධ්‍යාත්මික ගුණ වගාව සංවර්ධනය කරන මනා තෝතැන්නකි.

එදා මෙදා තුර සිදුවන දැවැන්ත සංවර්ධනයේ සුවිශේෂී අංගයක් වූයේ මිලියන 7පමණ වියදමින් ඉදිකළ සම්බුද්ධ මන්දිරය හා ප්‍රදේශයේ දානපතියෙකු වන නාඩි වෛද්‍යාචාර්ය ගුණසේන ජයලත්, ආයුර්වේද වෛද්‍ය ජයසිංහ ජයලත් හා එම මහත්මිය යන සුපින්වතුන්ගේ උරුම භූමිය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය සඳහා සඟ සතු කොට එහි පසළොස් රියන් චෛත්‍යරාජයාණන් ඉදිකිරීමයි. ඒ සමඟම මෙම පූජා භූමිය ත්‍රිවිධ චෛත්‍යයෙන් සමලංකෘත පාරිශුද්ධ පුණ්‍ය භූමියක් බවට පත්විය.

මෙම සම්බුද්ධ මන්දිරයේ වැඩ හිඳින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ චෛත්‍යයේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය 2016 ජූලි මස 14වන දින අමරපුර මහා නිකායේ චූලගන්ඨි පාර්ශ්වයේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ගංතුන උල්ගල පුරාණ විහාරාධිපති ගංතුනේ අස්සජී මහා නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සබරගමු ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා ප්‍රධාන දේශපාලන අධිකාරිය, නාඩි වෛද්‍යාචාර්ය ගුණසේන ජයලත්, ආයුර්වේද වෛද්‍ය ජයසිංහ ජයලත් සහ එම මැතිනිය, වයි. එන්. වීරසූරිය මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් යුතුව අති උත්කර්ශවත් අන්දමින් සිදු කෙරේ.