Print this Article


පහන් සිතක කවි

සදහම් සිසිලෙන් සුවඳ පිරේවා


හදවත මෙත් මල් උයනක් වේවා
සිත් තුළ කරුණා ගුණ ඉතිරේවා
මෙත් ගඟුලෙහි කිමිදේවා
පත් හැම දොස් උවදුරු දුරුවේවා
සත් ගුණවත් ජාතිය බැබලේවා
කුසලට දහමට සිත් යොමුවේවා
පවකට කිසි විට ඉඩ නොලැබේවා
සුමගට යොමුවී සිත් සැනසේවා
රටකට ඉන් යහපත සැලසේවා
හදවත මෙත් මල් උයනක් වේවා
සදහම් සිසිලෙන් සුවඳ පිරේවා
රොද බැඳගෙන කුසලට යොමුවේවා
බිඳ බව දුක නිවනට පැමිණේවා


පැතුම

බුදුන් දම් සඟ සරණ
ලබන්නට වන සරණ
දම් දැනුම බෙදා දෙන
දහම් ලොව සිතුමිණ
දම් පිපාසෙන් පෙළෙන
සැමට වන පිළිසරණ
එම පවස නිවාලන
නැත දෙයක් ලොවේ වෙන
දිනේවා මේ දෙරණ
පුවත් පත බුදුසරණ


මැදි මග ගමන් කරමු

බොල් පිළි තුලින් හිම හැළෙනා උදෑසන
මල් මත බඹර බිඟු ගුමුනද පැතිරයන
විල්තෙර තරග රැළි මත සුදු පිපෙන පෙණ
පුල් මහනෙල් පිපී දසතම සුවඳ දෙන

දැල්වූ දෙනෙත් දකිනා මෙම සොබාදම
මල් පිපි පිපී ඒ හැමතැන පෙති හැලුම
විල්දිය සිඳුන දවසට නැතිවෙනව හැම
දැල්වූ මනස මත දකිනෙමි දහම මෙම

අනිත දුක අනත් බවමයි දෙසු දහම
ජනිත වෙයි දුටුව විට වේ වළ කිරුම
ගනිති මුණි දහම මත මැදිගමන මෙම
දිනති ඒ මගින් කරනෙමු සසර නිම


රකියි සැම හැම උතුම් වස්තුවක් මෙන්....

තව්තිසා දෙව් ලොව දෙවියන් අතරේ
වැඳුමට පත් හා පුදසත්කාරෙන් හැම
එහි දෙවිවරු රකිමින් මැණිකක් ලෙස
එක් දළදාවක් තව්තිසා දෙවි ලොව

සතර බුදුවරු ස්පර්ශ කළ පින් බිම
බුදුවරු මුඛයෙන් පිටවුණ දම්කඳ
සැම සිත් නිවමින් පුදමින් රට තුළ
එක් දළදාවක් පුදයි ලක් වැසි ජනයා


සම්බුදු පියාණෙනි

තිලොවට තිලක මගෙ සම්බුදු පියාණෙනි
මලකට සුවඳ මෙනි ගෙන දුන් ඔවාමිනි
සිහිකොට කුළුණු ගුණ හද පිරි දයාවෙනි
නිවනට යන පිණිස බොමි දම් අමාපැණි

පාත්තරය ගෙන බැස මහ මගට පියේ
අතහැර නේද රජ සැප පිඬු පිණිස ගියේ
සම්පත් සලකමින් දූවිලි ලෙසට පයේ
ගුණ කඳ පමණි තැන්පත් කළ ධනය ලයේ

උපකාරය අවැසි අය දිව නැණින් බලා
පසුකර ගම් දනව් ගොස් නිසි උදව් කළා
නොමියන සතුට එයි මගෙ හදවතින් ගලා
අතුරමි සමිඳු පාමුල වන කුසුම් නෙළා


සැකය නම් වූ හලා හල විෂ

තලා හදවතක් නොම දුටු දෙය ගැනය
බලා වපර දෙනෙතින් පවසනු ඇතිය
හෙලා දෙනෙත් අවිනිශ්චිත ගති එඩිය
හලා හල විෂකි හිත තුළ ඇති සැකය

බුදුන් දෙසු දම් බණ කතාවල සැකය ගැන කියලා ඇතේ
කටින් කියනා දෙය නොපිළිගෙන සොයා බැලුවොත් හොඳ වෙතේ
නෙතින් නොදුටුව දෙයක් ඇත්නම් දකින තුරු සඟවා සිතේ
හොඳින් විපරම් නොකර සැකයට ඉඩක් නම් දිය යුතු නැතේ


අන්න පුතුනි නුඹේ පියා වඩිනවා

පුන්සඳවන් රන් මුහුණ දිලෙනවා
නෙත් මිණි පහනින් කැලුම් පෙරෙනවා
ඇත් රජිඳෙකු සේ පාද තබනවා
අන්න පුතුනි නුඹෙ පියා වඩිනවා

අඳුන් වගේ නිල් කෙහෙ දිලිසෙනවා
දේදුන්නක හැඩ දෙබැම කියනවා
රන් පටියක් සේ නළල පෙනෙනවා
අන්න පුතුනි නුඹෙ පියා වඩිනවා

රන්වන් සිරුරින් රැස් විහිදෙනවා
ඒ රැස් වැටිලා ලොව බබලනවා
සවි සත වෙත නිති සෙත සැලසෙනවා
අන්න පුතුනි නුඹෙ පියා වඩිනවා

රත් පියුමක් සේ පාද දිලෙනවා
දෙව් බඹ නරගෙන් වැඳුම් ලැබෙනවා
කැත් කුලයට මිණි පහනක් වෙනවා
අන්න පුතුනි නුඹෙ පියා වඩිනවා

මලක් වගේ ලොව සුවඳ ගෙනෙනවා
සඳක් වගේ ලොව සිසිල බෙදෙනවා
ඉරක් වගේ ලොව එළිය කරනවා
අන්න පුතුනි නුඹෙ පියා වඩිනවා


මතු භවයෙදි

සම්බුදු පියා ගිය මඟ යන සඟ රුවනේ
කසාවත දරා වඩිනා පින් ගමනේ
උපශාන්ත සුරුපයෙන් වඩින්නේ
ප්‍රිය මනාප ඉරියව්වෙන් වැඩ ඉන්නේ

සඟ රුවනේ දැක ඇති වූ සර්ධා වෙන්
පිණ්ඩපාතේ වැඩ ඉන්නට සිත සතුටින්
දානය පූජා කරන්න මග බලමින්
සිටියේ අවදි වූ වෙලේ සිටන්

රස බොජුනක්ම වෙන් නැහැ සැමදින
ලැබුණු දෙයක් දානෙට පූජා කරන
ලැබුණු දෙයෙන් සතුටු වෙන්නට සඟරුවන
බුදුහිමි දෙසුවෙ එහෙමයි අප සැමට බණ

දන් වළඳලා බණ දෙසුවා සඟරුවන්
එය පිළිගැන්වූ අප හරි සතුටු වුණේ
සිත පිරිසුදු කරන් සර්ධවෙන් ඉන්නේ
මතු භවයකදි ඇරෙන්ට දොර නිවනේ