Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – පුරා පන්සාළිස් වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරාර්ථයයි. ඒ සඳහා උන්වහන්සේ වෙත තමා විසින් ප්‍රගුණ කළ , භාවිත බහුලී කෘත කරුණා මෛත්‍රි පිරී පැවැතුණි. සූත්‍රාගත දේශනා අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරමාදර්ශී ලෝක චර්යාව පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ ලෝකාර්ථ චර්යාවට ධර්මයේ සුභරතාවත් තථාගතයන් වහන්සේගේ විජ්ජාචරණ ගුණ සම්පන්නතාවත් එකසේ බලපෑ බව ඉහත සඳහන් සූත්‍රාගත තොරතුරු අනුවාදය මේ.

මහණෙනි, තථාගතයන් වහන්සේ්ට සැඟවිය යුතු නැති කරුණු 04ක් චෝදනා නොකළ හැකි කරුණු 03ක් තිබේ. සැඟවිය යුතු නොවන කරුණු හතර නම් තථාගතයන් වහන්සේ පිරිසුදු කාය සමාචාර ඇතිසේය. මාගේ කාය දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු වාග් සමාචාර ඇත. මාගේ අසවල් දෙය අනෙකා නොදැන වාග් දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු මනො සමාචාර ඇති සේක. මාගේ අසවල්දේ අනිකා නොදනීවා කියා සැඟවිය යුතු මනො දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු ආජීවය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු අපිරිසුදු ආජීවකයෙක් නැත.

තථාගතයන් වහන්සේ ස්වාක්ඛාත ධර්ම ඇත්තෝ නොවෙතියි කියාද තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බාන ගාමිනී පටිපදාව මැනවින් නොපවතින ලදී කියාද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරතියි කියාද මේ තුන් කරුණෙන් සකාරණව මට චෝදනා කළ හැකි දෙවියෙකු, මාරයකු, බ්‍රහ්මයකු හෝ වෙනත් කිසිවකු මම නොදකිමි. එබැවින් මම ක්ෂේමප්‍රාප්තව අභයප්‍රාප්තව විශාරදව වාසය කරමි.

බුදුරජාණන් වහන්සේගේ මෙම ශ්‍රී මුඛ දේශනාව අනුව මිහිපිට මිනිසකුට අකම්පිතව නොසැළී විශාරදව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්ම ශක්තිය මෙහි අන්තර්ගතය. ජීවනය, චර්යාව, කාර්යභාරය පිළිබඳ දුර්වලතා කම්පනය පසුබෑම පිණිස සාධක වෙයි. කාය, වාග්, මන සමාචාරයෙන් පවිත්‍රව ජීවන පාරිශුද්ධියෙන් පරිපූර්ණව යථාර්ථවත් සේවයක නිරතවන පුරුෂයකුට එවන් කම්පනයක් පසුබෑමක් නොවෙයි. බුද්ධ චරිතයෙන් එය ප්‍රකට වෙයි.

ප්‍රශ්නය - බුද්ධ ධර්මයේ දැක්වෙන පරිදි මිහිපිට බුද්ධිමත්ම සත්වයා වන මිනිසා උත්තරීතරය. මිනිසා තමාගේම ස්වාමියා තමාම වෙයි. ඔහුගේ ඉරණම විසඳීමෙහි යෙදී සිටින වෙනත් දෙවියෙක් බලවතෙක් හෝ බලයක් නැත්තේමය. පැහැදිලි කරන්න.

පිළිතුර - භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයනට දේශනා කළේ හැම පුද්ගලයෙකුම තමා ගැන තමාම වගකිවයුතුය. යන අදහස මුල්කරගෙනය. තමාට පිහිට තමාමය. වෙන කවරෙක් නම් පිහිට වන්නේද? යන දේශනාවෙන් (ධම්ම පද අත්තාහි අත්තනො නාථො) මේ කරුණ පැහැදිලි වෙයි. බුද්ධ ධර්මයට අනුව මනුෂ්‍යයාගේ තත්ත්වය උත්තරීතරය. තමාගේ ස්වාමියා තමාම වෙයි. ඔහුගේ ඉරණම විසඳීමෙහි යෙදී සිටින වෙනත් අයෙකු මෙම මිහිපිට නැත. අනුන්ගේ පිහිට නොපතනුයි. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයනට අවවාද කළසේක.

ප්‍රශ්නය - බුදුන්වහන්සේ කොසොල් රට කේසපුත්ත නමැති නියම් ගමට වැඩියහ. මේ නියම්ගමේ මිනිස්සු ‘කාලාම’ යන පොදු නමින් ප්‍රකටව සිටියහ. භාග්‍යවතුන් වහන්සේ තම නියම් ගමට වැඩම කර සිටින බව අසා උන්වහන්සේ හමුවට ගිය කාලාමයෝ මෙසේ කීහ. ‘ස්වාමීනි, කේසපුත්තයට පැමිණි වෙන ඇතැම් මහණ බමුණෝ තමන්ගේ වාදයන්ම විස්තර කරති. පැහැදිලි කරති. අනුන්ගේ වාදයන් හෙළා දකිති. මෙසේ වරින් වර මෙගමට එන මහණ බමුණෝ සියලු දෙනාම අනුන්ගේ වාදයන් හෙළා දකිති. තථාගතයන් වහන්සේ කේසපුත්ත ග්‍රාමවාසීන්ට දුන් පිළිතුර කුමක්ද?

පිළිතුර - (අං.නි. කාලාම සුත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. කාළාමයෙනි, ඔබ සැක කිරීමත් විමතියට පැමිණීමත් සුදුසුමය. ඔබගේ සැකය ඇතිවූයේ සැක සහිත තැනකමය. කාලාමයෙනි. ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ ‘මෙහෙමලු’ යන කට කතා නිසා හෝ මේ අපගේ පිටක සම්ප්‍රදාය යයි සිතීමෙන් හෝ තර්ක හේතුවෙන් හෝ මෙය අප සිතා බලා සතුටින් පිළිගත් දෘෂ්ටියට ගැළපේයැයි සිතීමෙන් හෝ මොහු අපගේ ගුරුය යන හැඟීමෙන් හෝ නොපිළිගන්න. යම් විටෙක මේ දේ අයහපත්ය. අකුසලය වරදයැයි ඔබටම වැටහෙන්නේද එවිට එය අත්හරින්න. එසේම යම් විටෙක මේදේ යහපත්ය. කුසලය. නිවැරැදි යැයි ඔබටම වැටහෙන්නේද එවිට එය පිළිපදින්න. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වුවද ශ්‍රාවකයන් විමසා බැලිය යුතු ය. ශාස්තෘවරයා සම්‍යග් සම්බුද්ධ ද නැද්දැයි වටහාගත හැක්කේ එසේ කිරීමෙනැයි. උන්වහන්සේ වදාළහ.

ප්‍රශ්නය - බුදුන් වහන්සේගේ ආගමික සහනශීලීත්වය පිළිබඳව උත්තම ආදර්ශය බුද්ධචරිතයෙහි එන අවස්ථාවකින් පැහැදිලි කරන්න.

පිළිතුර - ජෛන මහාවීර නිගණ්ඨනාථ පුත්තයන්ගේ ප්‍රධාන ගෘහස්ථ ශ්‍රාවකයෙකු වූ ‘උපාල’ නම් ධනවත් ගෘහපතිවරයෙක් වරක් මහාවීරයන් විසින්ම බුදුන් වහන්සේ හමුවට පිටත්කර හරින ලදී. කර්මවාදය තම මතයට වෙනස් වූ හෙයින් භාග්‍යවතුන් වහන්සේ තර්කයෙන් පැරදවීමේ බලාපොරොත්තුවෙන් එසේ යැවීය. වාදයෙන් සිදුවූයේ උපාලි ජෛන ශ්‍රාවකයා බුදු සව්වෙකු වීමය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ‘ඔබවැනි ප්‍රකට පුද්ගලයන් සිතා බලා වැඩකළයුතු බවත් ඉක්මන් නොවිය යුතු බවත් වදාළහ. නැවත නැවතත් උපාලි ගෘහපති තමා බුදු සව්වෙකු වීමට කැමැති බව පළකළවිට පෙර පරිද්දෙන් ඒ පූර්ව ශාස්තෘවරයාට සත්කාර සම්මාන කළයුතු යැයි ඔහුට අවවාද කළහ.