පින වැඩෙන
බෝධි වන්දනාව
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
අප කථා කරමින් සිටින්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පුරාණ කතාවයි. ඇසතු වෘක්ෂය
බෝධින් වහන්සේ නමක් වූ ආකාරය අප කථා කළේය. අද එතැන් සිට. . . .
අපගේ බෝධීන් වහන්සේගේ පරම්පරා විස්තරය ඉතාමත් සුන්දරය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්ව සති හතක් බෝධීන් වහන්සේ ඇසුරු කොට ඒ අවට නොයෙක්
සමාපත්තිවලින් වැඩ සිටි සේක. ඒ සත් සතිය වන්දනා කරන ගාථාව මෙසේය.
පඨමං බෝධි පල්ලංකං - දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං - චතුත්තං රතනාඝරං
පංචමං අජපාලංච - මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනිසේවිතං
පළමු සතියේ බෝ සෙවනේද, දෙවන සතියේ අනිමිස ලෝචන පූජාවද, තුන්වැනි සතියේ රුවන්
සක්මනේද, සතරවන සතියේ දෙවියන් මවා පෑ රතන කුටියේද, පස්වන සතියේ අජපාල නුගරුක මුලද,
සයවන සතියේ මුචලින්ද නාග දරණයේද, සත්වන සතියේ රාජායතන කිරිපළු රුක මුල ද වැඩ සිටි
සේක. අපගේ මුනින්ද්‍රයන් වහන්සේ සේවනය කළ ඒ උතුම් ස්ථාන වන්දනා කරමි. ඉහත ගාථාවේ
තේරුම යි.
ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ බෝ මැඬදී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට
දෙවියන්ට සම්බුද්ධත්වය පිළිබඳව සැකයක් ඇතිවිය. ඒ දෙවියන්ගේ සැකය දුරු කිරීම පිණිස
භාග්‍යවතුන් වහන්සේ යමාමහා පෙළහර පෑ සේක. ඒ අසහාය ප්‍රාතිහාර්යය පළමුවෙන් සිදුවූයේ
බෝධීන් වහන්සේ අසළය. බුදු සිරුරෙන් විහිදෙන ගිනිදැල් හා ජල දහරාවේ පහස බෝධීන්
වහන්සේට ලැබුණ අතර, බෝධීන් වහන්සේ තව තවත් පූජනීය විය.
බෝධි පොත්තකට කළ වන්දනාව
මේ සිදුවීම වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීම ය. උන්වහන්සේ ගයාවෙන්
පිටත්වී අමාදම් බෙදමින් අන් අයට යහපත පිණිස චාරිකාවේ වැඩි සේක. නැවත බෝධි භූමිය
වැඩි බවට විස්තරයක් බුද්ධ දේශනාවල හමු නොවේ. නමුත් ගිහි පැවිදි කා අතරත් උතුම් බෝධි
භූමිය ගැන දැනුවත් වීමක් තිබුණි. වන්දනා කරන්න බොහෝ දෙනා පැමිණි අතර, බොහෝ පුද
පූජාවන්ද පැවැත්වුණි. එක් දිනක ඉතාමත් ශ්‍රද්ධාවන්ත අඹුසැමි යුවලක් බෝධීන් වහන්සේ
වන්දනා කිරීමට පැමිණ අධිෂ්ඨානයක් ලෙස සිදුකළේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ
අධිෂ්ඨානය මේ පින්බිමේ සඵල වූවාසේ අපගේ ප්‍රාර්ථනාව ද සඵල වේවා. අපට ද පින්වත්
දරුවෙකු ලැබේවා කියා ප්‍රාර්ථනා සිදුකොට වන්දනා කළේය. වන්දනාව අවසානයේ ඔවුන් දුටුවේ
බෝධීන් වහන්සේගෙන් ගැලවී ගිය පොතු කැබැල්ලක් වැටී ඇති ආකාරය යි. ඔවුන් එය රැගෙන
නිවසට ගොස් සුවඳ කැවූ මඤ්ජුසාවක තැන්පත් කළේය. එයට දිනපතාම වන්දනා කරති. කාලයකදී
ඔවුන්ට පුත් රුවනක් ලැබුණි. ඔහු රන්වන් පාටයි. පින්වත් දරුවෙක්. ඔවුන් චාරිත්‍රයක්
ලෙස පොහෝ දිනයේදී අර මඤ්ජුසාවේ පියන විවෘත කොට ධර්මය සජ්ඣායනා කරති. ශ්‍රද්ධාවන්ත
මේ දෙපළ භාග්‍යවතුන් වහන්සේ ජීවිතය ගැන කියා දෙන ධර්මය මතක තබාගෙන එය සජ්ඣායනා
කළේය. ඒ කාලයේ මිනිසුන්ගේ ප්‍රඥාව, නුවණ හොඳින් වැඩී තිබුණි.
පෙර ජීවිතය සිහි වීම
දැන් පුංචි පුතාට අවුරුදු හතකි. ඔහුත් මාපියන් සමඟ පොහෝ දිනට “බෝධි පොත්ත” තැන්පත්
මඤ්ජුසාව එළියට ගත්විට වන්දනා කරති. ධර්ම පාඨ අසාගෙන සිටිති. දිනක් ඔහුගේ සිත එකඟ
විය. එහෙනම් මේ දරුවා සංසාරයේ සමාධිය පුරුදු කළ කෙනෙකි. සසර පුරුද්දට එසේ විය.
එසේ වූයේ කෙසේද?
මේ දරුවා බොහෝ කාලයකට පෙර හිමාලයේ නාරද කියා සෘෂිවරයෙකි. ඔහුට සමාධි සිත ඔස්සේ
සියල්ල සිහිපත් විය. ගෝලයෝ තිස් දහසක් සිටි අතර, සියලුම දෙනා මේ තාපසයාට නමස්කර
කරති. සත්කාර සම්මාන කරති. මේ තාපසයා දිනක් කල්පනා කරන්නේ් මේ සියලුම දෙනා
වන්දනාමාන කරන්නේ මටයි. මමත් කාට හෝ වඳින්න පුදන්න ඕන කියා කල්පනා කළේය. ඔහු
අතීතයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා තිබුණි. ඒ බුදුවරු උදෙසා සිත පහදවා ගති. ඒ
අසපුව ළඟින් “අමෙරිකා” නමින් ගංඟාවක් ගල බසී. ඒ ගංඟාවේ ඉවුරේ වැලිවලින් සෑයක් සාදා
බුදුරජාණන් වහන්සේ යැයි සිතා ඒ සෑයට වන්දනා මාන කරති. දිනක් ඔහු සෘර්ධියෙන් රන්මල්
තුන්දහසක් මවා සෑය සරසා වන්දනා කළේය.
ගෞරවයයි වැලි සෑයයි
දැන් මේ තාපසින් වහන්සේට හිතට අකුසලයක් ආ විට “මම බුදුරජාණන් වහන්සේගේ සෑයක් ඇසුරු
කරන කෙනෙක් නේ” කියා සිතා ඒ අකුසලය බැහැර කරති. එහෙනම් ඒ වැලි සෑයට ඔහුගේ තිබුණ
ගෞරවය අප්‍රමාණ නොවේද? අකුසල් හිතට ගරහමින් කුසල් සිත රැකගනිමින් වසර තිස්දහසක්
තවුස්දම් රැක තිබේ. කාලයකදී මොහු මියගොස් බඹලොව ඉපදුනි. ඉන් චුතවයි මේ මිනිස් ලොව
අර දරුවා ලෙස ඉපදී ඇත්තේ. මේ විස්තර දරුවාට සිහිවුණි. මාපියන් බෝධීන් වහන්සේට බුදු
කෙනෙකුට වගේ පුද සත්කාර කරනවා වගේම මමත් වැලි සෑයකට පිදුවනේ කියා මහත් පී‍්‍රතියක්
ඇතිවුණි. සිත බලවත්ව සමාධිමත් වුණි. දැන් මාපියන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
ප්‍රතිසංයුක්ත ධර්මය සජ්ඣායනා කරනව විට මේ පින්වත් දරුවාට එය වැටහුණි. පුංචි වයසේම
ගිහි ඇඳුම දරමින්ම ඒ ආසනයේම අරහත් ඵලයට පත්වුණි. ඉන්පසු සංඝයා ළඟ පැවිදිවූ බව ආපදාන
පාලියේ පුලිනථූපීයෙථිරාපදානයේ විස්තර වේ.
නිවනට මඟ පෑදුවේ
බෝධි පූජාව
දැන් ඒ දරුවාගේ සිත නිවනට මඟ පෑදුවේ බෝධීන් වහන්සේගේ පොත්තකට කළ වන්දනාව නොවේද? මේ
ලෙස අප්‍රකට කථා තව කොතරම් නම් ඇද්ද? ඒ කාලේ ශ්‍රද්ධාවන්ත පිරිස් බෝධීන් වහන්සේගෙන්
ගිලිගී වැටෙන පත්‍රය පවා පූජනීය ලෙස සැලකුවේය. එනිසා ඔබ අදත් බෝධින් වහන්සේ නමකට
ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්නේනම් එයත් විශාල පිනකි.
භාරහාර
ස්තූපවලටත් වඩා බෝධීන් වහන්සේ ළඟ මිනිසුන් භාරහාර වේ. එය අදටත් දකින්නට ලැබේ. සාරා
අසංඛෙය්‍ය කල්ප ලක්ෂ ගණනක් පෙරම්පුරා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ වජ්‍රමය
ප්‍රාර්ථනාව සඵල කර ගත්තේ බෝ සෙවනේ නිසා බොහෝ අය බෝ සෙවනේ නොයෙක් ප්‍රාර්ථනා කරති.
ඒවා ඉෂ්ඨ නොවෙනවානම් මේ තාක් ඒ චාරිත්‍ර පැවත එන්නේද නැත. නමුත් නිවැරැදි ලෙස බෝධි
පූජාවක් කරන අය නම් සීමිත බවයි අපගේ අදහස. ඒ ගැන ඉදිරියේදී අප කථා කරන්නෙමු. පහත
ගාථා රත්නය ඉතා පැරැණි බෝධි වන්දනාවකි. එය පාඩම් කරගෙන ඔබ නිතර වන්දනා කරන්න පුරුදු
වුවොත් එයින් සෙත සැලසේවි.
වජිර සංඝාත සරීරෝ - වජිර ඤාණ නමාකරෝ
යෝ බුද්ධෝ බෝධි මූලම්හි - නිසින්නෝ වජිරාසනේ
පඨමේ පුබ්බේනිවාසං - මජ්ක්‍ධිමේ දිබ්බචක්ඛුකං
පච්ජිමේ සබ්බසංඛාරේ - සම්මස්සං ලක්ඛකෝටියං
ඡත්තිංසාය කෝටි සතසහස්ස - මුඛේන පච්චයං
ඕතාර මහා වජිරේන - සුසම්බුධාවක්ඛයං
බුද්ධභූමි නිට්ඨංයෝ - සෝ මහා වජිරාඤාණසා
බෝධතෙයියෝ සුඛෝධෙත්වා - බෝධේසිතං නමාමහං
(සිංහල තේරුම)
වජිරාසන මත වැඩහිඳ- විදුරු නැණබලින් සපිරුණ
නුවණ විහිද වූ මුනිඳුන් - සදා වඳිමි මම්
බෝධි මූලයේ සෙවනේදී - පුදා දිවි උතුම් නිවනට
පරදා සේනා ඇති මරු - පින් බලය මතු කළේ
සොයාගත් නිවන් මඟ තුළ - සම්බෝධිරාජ බවට පැමිණ
පුබ්බේනිවාස ඤාණය ලැබ – ප්‍රථම යාමයේ
සුගති දුගතියෙහි ඉපදෙන - ලෝ සතුනගේ දුක දැනගෙන
දිවැස් නුවණ ලැබූ සේක – මැදුම් යාමයේ
සියලුම සංස්කාර ලොවේ – නුවණින් විමසා බලමින්
ලක්ෂ කෝටි වාර ගණන් – එය මෙනෙහි කළේ
සතිස් කෝටි සිය දහසක් - හේතුඵල දහම් විමසා
මහා විදුරු නැණ බලයෙන් – ඇති තතු වටහා
සම්මා සම්බුදු බව ලැබ – නසා හැම කෙලෙස් පිරිසිඳ
දිනු සේක මෙහි වැඩහිඳ – බුද්ධ භූමියේ
මහා විදුරු නුවණින් යුතු - සම්බුද්ධරාජ මුනිඳුන් ලොව
නුවණැති දෙව් මිනිසුක් තුළ - නිවන මතුකළේ
ඒ උතුම් බෝධි නුවණට මම් – නැමී වැඳ වැටී සිරසින්
පහන් වූ සිතින් හැමවිට – වන්දනා කරම්
- නයනා නිල්මිණි
|