අනුරාධපුර කොක්කිච්චිය
සිරිසම්බුද්ධ ප්රාතිහාර්ය විහාරය
සේනපුර ඩී නිශ්ශංක
( අනුරාධපුර නැගෙනහිර සමූහ)
|
දහසක්
බුදුවරුන් විහාර මන්දිරය තුළ මෙසේ මූර්තිමත් කෙරේ. |
අනුරාධපුර, උතුරුමැද පළාතේ ප්‍රධාන අගනුවර බවට පත්වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. ඒ
1873 දීය. අනුරාධපුර පූජා නගරය ගැන කිසියම් තැකීමක් ඇතිවූයේ 1948 දී ශ්‍රී ලංකාවට
නිදහස ලැබීමෙන් පසුවය.
නව නගරයක් ඇතිකිරීමත්, පැරණි නගරය පූජා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, මින්
පසුව සිදු විය. පැරණි ස්මාරකයන් රැක ගැනීම හා ඒවා සංරක්ෂණය කිරීමට 1890 දී පුරා
විද්‍යා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී. මෙහි කැණීම් හා සංරක්ෂණ කටයුතු 1884 දී
ඇරඹිණි. එතැන් සිට මේ දක්වා පැවති රජයන්වල අනුග්‍රහය මත පූජා නගරයේ විවිධ සංවර්ධන
කටයුතු සිදු කෙරිණි. නමුත්, තත්ත්වය මෙසේ පවතිද්දී රජයේ හෝ වෙනත් කිසිදු මූල්‍ය
ආයතනයක අනුග්‍රහයක් නොලැබ දායක පිරිස්වල උදව් උපකාර ඇතිව පූජා නගරය ආසන්නයේම මහා ඝන
වනාන්තරයක් මධ්‍යයේ බුදුසිරිත විදහා දැක්වෙන ‘සිරි සම්බුද්ධ ප්රාතිහාර්ය විහාරය’
නමින් එළිමහන් පුදබිමක් නිර්මාණය කිරීමට අනුරාධපුර සිරිසඟබෝ භාවනා
මධ්‍යස්ථානාධිපති, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර ධර්ම ප්රභධීරානන්දාභිධාන’
ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක හා රජරට
පාර්ශවයේ උපාධ්‍යාය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අදහසක්
පහළ විය. ශාසනයට හා සමාජයට විශාල සේවාවක් කරමින් තම පුණ්‍ය අභිමතාර්ථයන්ද සඵලකර
ගැනීමට උත්සාහවන්ත වන භික්ෂු නමක් වන සද්ධාරංසි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ එම
අභිමතාර්ථයන් දැනටමත් සඵල වී ඇති අයුරු අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ ගමන් කරන
කාටවුවද දැකගත හැකිවේ.
|
ශාස්ත්‍රපති
අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමි |
අනුරාධපුර අසූමහාශ්‍රාවක සම්බුද්ධ විහාරයක් ඉදිකොට, අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ
නෙල්ලිකුලම නම්වූ වනගත පෙදෙසේ ‘සිරිසම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාම එළිමහන්
පුදබිම’ ඉදිකරවා ඉන් නොනැවති අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය නමැති
වනගත ප්‍රදේශයේද අක්කර දොළහක පමණ භූමි භාගයක ‘සිරි සම්බුද්ධ ප්රාතිහාර්ය විහාරය’
නමින් අභිනවයෙන් පුද බිමක් අරඹා දැනට එහි ඉදිකිරීම් කටයුතු දැන් ඉතා වේගවත්ව
සිදුවෙමින් පවතී. උන්වහන්සේ මෙම භාරදුර කාර්යයට අත ගැසුවේ පුදුම චිත්ත ධෛර්යකිනි.
මෙය නම් මහා විශ්වකර්ම වැඩකැයි බොහෝ දෙනා මවිතයෙන් යුතුව පවසති. මෙම භාරදූර කාර්ය
ක්‍රියාත්මක වන්නට වැඩි කලක් ගත වූයේ නැත. ‘සිරි සම්බුද්ධ ප්රාතිහාර්ය විහාරස්ථ
පුදබිමේ කටයුතු හා පුරා කියා අරඹන විට උන්වහන්සේ අත එතරම් මුදලක් තිබුණේ නැත.
තිබුණේ චිත්ත ධෛර්යය පමණි. සද්ධාරංසි නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදි කෙරෙන
මෙම නවතම පුද බිම සිත් පහන් කරවන සුළු වේ. ‘මෙය වනාන්තරයක්. එම වනාන්තරය මධ්‍යයේ
එළිමහන් විහාරයක් ලෙසයි මෙය ඉදිවන්නේ. මෙයින් ගහකොළවලට සතා සිව්පාවාට කිසිදු
හිරිහැරයක් සිදුවන්නේ නැහැ. බුදුසිරිතේ එන අසිරිමත් සිදුවීම් මෙහිදී දැකබලා ගන්න
පුළුවන්. ඒ සිදුවීම් මිනිස් ශරීරයේ ප්‍රමාණයෙන් යුක්තව මූර්තිමත් කර තිබෙනවා.
පොතෙන් කියවා සිතෙන් මවා ගත් දේවල් හැබැහින් දැකබලා ගන්නට ඉඩ සැලසීමයි මෙහි අරමුණ.
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කෙරෙන ආයෝජනයක් මේ’ යැයි සද්ධාරංසි නාහිමියෝ පැවසූහ.
බුදුසමයේ අසිරිය විදහාපාන කතා වස්තූන් දහයකට වැඩි ප්‍රමාණයක් දැනටමත් මූර්තිමත් කර
තිබීම විශේෂත්වයකි. වන වදුලට කිසිදු හානියක් නොවන අයුරින් ඒ ඒ කතා වස්තු තනි තනිව
ඉදිකොට ඇත. තවත් ඉදිකිරීම් රැසක් මේ වසර තුළ නිම කිරීමට කටයුතු කර තිබේ.
‘සිරිසම්බුද්ධ ප්රාතිහාර්ය පුදබිම’ තුළ තවත් සුවිශේෂී වූ දර්ශනීය විහාර මන්දිරයක්
ඉදිකෙරේ. එහි කටයුතුද දැනට බොහෝ දුරට නිමවෙමින් පවතී. දහසක් බුදුවරුන් බුදුවු වග
මෙම විහාර මන්දිරය තුළ මූර්තිමත් කෙරේ.
මේ මනුෂ්‍ය ලෝකයේ පහළවන සම්බුදුරජාණන් වහන්සේලාගේ ගණන අපරිමිතය. උන්වහන්සේලාගේ
උතුම් බුදුගුණ මනසින් සිතමින්, ප්‍රතිනිර්මාණයකින් සියැසින් දකිමින් මලක් පහනක් හෝ
සැදැහැ සිතින් පුදා වන්දනාමාන කර අපමණ පින් සිදුකර ගත හැකිය.
අසිරිමත් බුදුන් සංකල්පය විදහා පාමින් බුද්ධ ප්‍රතිමා දහසක් සහිතව ඉදිවෙන මෙම
සුවිශේෂී විහාර මන්දිරය මෙතෙක් ලක්දිව ඉදිනොවූ ආකාරයෙන් ඉදිකෙරේ. මේ දෙමහල්
ගොඩනැගිල්ලෙහි මනරම් බුද්ධ මන්දිරය ඉදිවෙන අතර, බිම් මහල ධර්ම ශාලාවක් තැනේ.
‘සද්ධාරංසි නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා සැදැහැවතුන්ගේ ආධාර උපකාරයෙන් තැනෙන
කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්රාතිහාර්ය විහාර මන්දිරය’ කොටස් දහසකින් සමන්විත වේ.
|
|
ඛේමා
බිසව බුදුන් දැකීමේ කතා පුවතද මූර්තිමත් කර තිබේ.
|
දහසක්
බුදුවරුන් මූර්තිමත් කෙරෙන දෙමහල් විහාර මන්දිරය ඉදිවෙමින්
පවතින අයුරු.
|
|