දේශීය සංස්කෘතිය අර්ථවත් කළ
මිහිඳු සංස්කෘතිය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
' සංවිධානාත්මක බවින් තොර වූ ආගම් රැසකින් හෙබි සමාජයකට දෙලොවට වැඩ සැලසෙන
සංවිධානාත්මක ආගමක් ලෙසින් බුදුදහම ලක්දිව වැසියනට හඳුන්වා දෙනු ලැබුවේ මිහිඳු
හිමියන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම
විසිනි.
මහින්දාගමනය වසර දෙදහස් තුන්සිය ගණනක් මුළුල්ලේ අද්විතීය වු ඓතිහාසික සංසිද්ධියක්
ලෙසින් මෙන්ම මිහිඳු හිමියන් අනුබුදු මාහිමි නමක් ලෙසින්ද ශ්‍රී ලාංකේය ජනතාව
අනුස්මරණය කරනුයේ උන්වහන්සේගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය පදනම්කර
ගෙන ගොඩනැඟුණු මහා සංස්කෘතියක පහස ලබන්නන් නිසාවෙනි.
එතෙක් පැවැති දේශීය සංස්කෘතිය ගමන් කළ මන්දගාමිත්වයෙන් මුදා ගනිමින් දේශීය
සංස්කෘතිය ඉන්දීය සංස්කෘතිය හා බද්ධ කරමින් නව දේශීය සංස්කෘතියක් ගොඩනැංවීම සඳහා
මිහිඳු මාහිමියන් ගත් මඟ සදාකල් ශ්‍රී ලාංකේය ජනතා හදවත්වල තැන්පත්වීම පුදුමයට
කරුණක් නොවේ. මිහිඳු මාහිමියන් වහන්සේ විසින් පළමුව දේශපාලන අධිකාරිත්වයද සමාජගත
අනෙකුත් ජන කණ්ඩායම් ද මතවාදීව තම අදහසට නැඹුරුකර ගනිමින් ගොඩනඟන ලද ශක්තිමත් බෞද්ධ
සංස්කෘතිය දිනෙන් දින දියුණුවට මිස පසුබෑමකට ලක්නොවූ අතර ඉන් ඇති වූ ඵලදායිත්වය
පසුකාලීනවත්ම වඩාත් හරවත් ලෙසින් සමාජයට ලැබීම මත අනුබුදුවරයෙකු ලෙසින් මිහිඳු
මාහිමියන් වහන්සේ ජන හදවත් තුළ සනිටුහන් විය. සෑම වසරකම පොසොන් උදාවත් සමඟ තම ආගමේ
මෙන්ම දේශයේ ද ශ්‍රේෂ්ඨතමයාණන් වහන්සේ ලෙසින් වසර දහස් ගණනක් මුළුල්ලේ ලක්ෂ
සංඛ්‍යාත වූ ලක්වැසි බොදුබැතිමතුනන්ගේ පූජනීයත්වයට මෙන්ම වන්දනීයත්වයට ද උන්වහන්සේ
පාත්‍ර වූ සේක.
මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිස ක්‍රි.පූ. තෙවැනි සියවස ශ්‍රී ලංකා ඉතිහාසයේ
මෙන්ම ලක් සංස්කෘතියේ පැහැදිලි සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ආගමික හා සංස්කෘතික
පසුබිමට සාපේක්ෂව සමාජ, ආර්ථික, දේශපාලන ,සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අභිවර්ධනයක් වෙත
යොමුවීම ප්‍රමුඛ හේතුවක් වන අතර මහින්දාගමනය මෙම වෙනසේ ප්‍රමුඛාර්ථිත සාධකය බව
අවිවාදාත්මකව පිළිගැනීමට සිදුවේ.ධර්මදූතයන් වහන්සේලාගේ ලක්දිවට වැඩමවීම ස්ථිර හා
සංවිධානාත්මක වූ ආගමික පසුබිමක් ඇතිවීම කෙරෙහි ඉවහල් වූ අතරම ආගමික නායකත්වයක් යටතේ
සමාජය සංවිධානය කිරීමේ වගකීම ද උන්වහන්සේලා විසින්ම පවරා ගැනීම එතෙක් පැවැති දේශීය
ගමන් මඟ සීඝ්‍ර පරිවර්තනයක බඳුන් කරලීමට අතිශයින්ම වැදගත් විය. කණ්ඩායම ලක්දිවට
වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී අනුරාධපුර පාලක දේවානම්පියතිස්ස රජුට දහම් දෙසා
තෙරුවන පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම තුළින් ලක්දිව බුද්ධ ශාසනයේ ආරම්භක
පියවර සනිටුහන් කරයි. මිහින්තලයෙන් ආරම්භ කළ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන්
වහන්සේලාගේ ශාසනික මෙහෙය රජුගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සැමට සමානාත්මතාවයෙන්
පිරිපුන් ශාසනික හා සංස්කෘතික කාර්යදාමයක් සඳහා අවතීර්ණවීමට මං හෙළිකිරීමක් වූ අතර,
ලක්දිව ඉතිහාසය එතෙක් ගමන් කළ මඟ වෙනස් මාවතකට යොමු කිරීමට බලපෑ ප්‍රධාන එක්
සාධකයක් ද විය. මිහිඳු හිමියන් විසින් බුද්ධාගම පමණක් නොව මහා සභ්‍යත්වයක්ම ගෙන එන
ලද්දේය යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශය තුළින් මහින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතික
පුනරුදය කවරේද යන්න නිර්ණය කළ හැකිය.
සංවිධානාත්මක බවින් තොර වූ ආගම් රැසකින් හෙබි සමාජයකට දෙලොවට වැඩ සැලසෙන
සංවිධානාත්මක ආගමක් ලෙසින් බුදුදහම ලක්දිව වැසියනට හඳුන්වා දෙනු ලැබුවේ මිහිඳු
හිමියන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම විසිනි. බුදුසමයේ ආභාසයට ලක්වූ වැසියනට මෙතෙක්
තමා විශ්වාස කළ දේව, නාග, යක්ෂ හා මලවුන් පිදීම වැනි විශ්වාසයනට මෙන්ම ගස්, ගල්,
පර්වත සරණ ගොස් සිටි පිරිසට නව අර්ථකථනයක් යටතේ තමාගේ ස්වාමීත්වය ගැන විශ්වසනීයත්වය
වර්ධනය කර ගැනීමට මිහිඳු හිමියන් විසින් දේශනා කළ මුල් ධර්ම කොට්ඨාශ තුළින්ම හැකි
විය. පුද්ගල චරියාවේ වටිනාකම හා ආත්ම සංයමයේ උසස් බව වටහා දෙමින් සදාචාරාත්මක
මාවතකට පුද්ගල ක්‍රියාකාරිත්වය බද්ධකරන ආකාරය සිංහල සමාජයට හඳුන්වාදීමට මිහිඳු
හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම, කටයුතු කිරීම, කෙටිකලක් තුළ බුදුදහම ලක්දිව පුරා
සීඝ්‍රයෙන් පැතිරයාමට හේතු වූ එක් කරුණක් විය. ගල්ලෙනක වෙසෙමින් පිණ්ඩපාතයෙන් ලත්
ආහාරයෙන් සිය ජීවිතය ගෙන යමින් පරාර්ථය සිය අරමුණ කොට සරල ජීවන මාර්ගයක ගමන් කළ
භික්ෂුව ශ්‍රී ලාංකේය සමාජයේ පරමාදර්ශි චරිතයක් ලෙසින් මෙරට සමාජගතවීම දේශීය
සංස්කෘතියේ පරිවර්තනයේ ආරම්භය සනිටුහන් කරයි. රජ මාළිගයේ රාජකීය පිරිසගෙන් ආරම්භ කළ
දේශන මාලාව අවසන් වූයේ ඈත පිටිසර ගම්දොරිනි. භික්ෂුව විසින් ගෙන ගිය සුචරිතවාදී
පිළිවෙත දේශීය ජන ජීවිතයේ අධ්‍යාත්මික පෝෂකත්වයට අදාළ වු අතර එය ප්‍රදර්ශනාත්මකව
සමාජය තුළ ඉස්මතුවීමට වැඩි කලක් ගත නොවීය. පංචශීලයෙන් ශික්ෂණය ලද ජනතාව අවිහිංසාව
සිය ජීවිතයේ පදනම කරගනිමින් කෘෂිකර්මයෙන් සිය ජීවනෝපාය සරු කරගත්හ. නොපෙනෙන දෙවියන්
වෙනුවට තිසරණය ජීවිතයට ළඟා කරගත් අතර ගස්, ගල් සරණ යාම වෙනුවට බුදුරජුන්ගේ පාරිභෝගක
වස්තූන් වූ බෝධියත්, චෛත්‍යයත් එම ස්ථානය හිමිකර ගැනීම එතෙක් පැවැති විශ්වාසයනට වඩා
අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට පදනම සැකසින. බුදුරදුන්ගේ ධාතුන් තැන්පත්
කරලීම පිණිස ස්තූප නිර්මාණය කරමින් බෞද්ධ පූජ්‍ය වස්තූන් උදෙසා ගොඩනැඟිලි ඉදිකිරීම,
ආරම්භ කිරීම ආගමික චින්තනයේ නවෝදයක් උදාකරලීමක් විය. මෙතෙක් කලක් මෙරට සමාජගතව
පැවැති මළවුන් පිදීම වැනි අංගයන් සඳහා නව අර්ථකථනයක් ස්තූප නිර්මාණය තුළින් ශ්‍රී
ලාංකේය ජනතාව විෂයෙහි ලබාදුන් අතරම ඒ හා බැඳුනු බෞද්ධ සංකල්ප රැසක්ම මෙරට වැසියනට
උරුමකරදීමට ද පියවර ගත්හ. මෙම අවස්ථාව බුද්ධාගම ජනතාව අතරට ගෙනයාමේ මුල් පියවරක් සේ
සැලකිය හැකිය.
ජන සමාජය තුළට අවිහිංසකත්වය මුල් කොටගත් සමාජ පදනමක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම
සකස් වුයේද මහින්දාගමනයෙන් පසුවය. නිරන්තරයෙන් භික්ෂුව පෙරමුණු කොටගත් පන්සිල්
සුරකින සමාජ චර්යා රටාවක් මෙන්ම සිරිත් විරිත් පද්ධතියක් ඇතිවීම මෙරට දේශීය
අනන්‍යතාව තවදුරටත් ඔපවත්වීම කෙරෙහි බලපෑ කරුණක් විය. සමානාත්මතාවය, පරාර්ථචරියාව,
කරුණාව මෛත්‍රිය බෞද්ධ ගුණාංගයෝ ජන සමාජය තුළ පැතිරීයාම නිසා සමාජ ඒකාබද්ධත්වයක්
මෙන්ම මානවහිතවාදී වූ සමාජයක් මෙරට ඇතිවීම කෙරෙහි ඍජුව බලපෑවේය. එමෙන්ම ජීවිතයේ
වැදගත් අවස්ථාවලදී මෙන්ම සමාජගත උත්සව සම්ප්‍රදායන්හි ද බෞද්ධ පදනම වඩාත් ඉස්මතු වූ
අතර ඒ මඟින් ජනසමාජය තුළ ශික්ෂණය වඩාත් තහවුරු වීම කෙරෙහිද බලපෑවේය. ආගමික
ක්‍රියාකාරිත්වයෙන් සරල දිවිපෙවෙතකට හුරු වු ශ්‍රී ලාංකේය ජන ජීවිතය තුළින් මතු වූ
සංයමය පරාර්ථචරියානුබද්ධ ජීවන ප්‍රතිපදාව නිසා ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු වූ
සංස්කෘතියක් බිහිවිය. ශ්‍රී ලාංකේයනට අලුත් ජීවන මාර්ගයක් පමණක් නොව ජීවත්වීමේ
අලුත් පරමාර්ථයක්ද මහින්දාගමනයෙන් ලබාදුන්නේය.
සමාජ දැක්මේ වෙනසක්
භික්ෂු, භික්ෂුණී උපාසක හා උපාසිකා යන සිවුවනක් පිරිසකගෙන් සැදුම් ලත් සමාජ
ස්තරායනයක් මහින්දාගමනයෙන් පසු ලක්දිව නිර්මාණය වූ අතර කුලය, බලය හා ධනයට වඩා
මානුෂිකත්වයට හා ගුණවත් බවට සමාජ තලය තුළ ප්‍රමුඛත්වයක් හිමි විය. එමෙන්ම කාන්තාවගේ
සමාජ අයිතීන් සුරක්ෂිතවීම කෙරෙහි මහින්දාගමනයෙන් ඇති කළ බලපෑම සුළුපටු නොවේ. මිහිඳු
හිමියන්ගෙන් ධර්මය අසා මහණවීමේ අභිලාෂයක් දැක් වූ අනුලා බිසව ඇතුළු පිරිසකගේ
ඉල්ලීමට මෙහෙණි සසුන ආරම්භ කරනු වස් සිය නැඟණිය වූ සංඝමිත්තාව ලක්දිවට වැඩම කරවීමට
අවශ්‍ය පියවර ගැනීමට මිහිඳු හිමියන් කටයුතු යෙදීම කාන්තා හඬට කන්දීමක් සේ සැලකිය
හැකිය. මෙරට කාන්තාවට සම අයිතීන් ලබාදෙමින් කාන්තා නිදහස වෙනුවෙන් තැබූ ප්‍රථම
ඓතිහාසික පියවර ලෙසින්ද පෙන්වාදීම සාවද්‍ය නොවේ. මිහිඳු හිමියන්ගේ ඉල්ලීම මත
සංඝමිත්තාවගේ ලංකාගමනය ලක්දිව කාන්තාව ලත් විශිෂ්ට ජයග්‍රහණයකි. භික්ෂුණී ශාසනය තුළ
පැවිදි වීමට පමණක් නොව අධ්‍යයන හා අධ්‍යාපන කටයුතු තුළින්ද ඉදිරියට ඒමට මං හෙළිවූයේ
මෙම සංස්කෘතික පසුබිම තුළය. විහාරමහාදේවිය, සෝමාදේවිය වැනි ජාතියේ විරෝධාර
කාන්තාවන් මේ දෙරණ තුළ බිහිවූයේ මිහිඳු සංස්කෘතියෙන් ඇති කරගත් ශක්තිමත් පදනම නිසා
බව කිව හැකිය.
වැවත්, දාගැබත්, ගමත් පන්සලත් පදනම් කරගත් නව සංස්කෘතියකට පදනම සකස් වූයේ
මහින්දාගමනයෙන් පසුවයි. වැවෙන් ලත් ජලයෙන් ආර්ථිකය සරු කරගත් කෘෂිකාර්මික සමාජය
පන්සලේ ආභාසයෙන් ආධ්‍යාත්මික සංවර්ධනයට මග හෙළි කරගත්හ. භික්ෂුව සමාජයේ ගුරුවරයා
මෙන්ම උපදේශකත්වයට ද පත්වීම දේශීය සමාජය ධාර්මික අරමුණු කරා ගෙනයාමේ ව්‍යායාමයට
මහත් ආශිර්වාදයක් වෙති. පාලක පන්තියේ සිට රටවැසියා දක්වා වූ පැතුරුණු සමාජයකට
අනුශාසක වූ භික්ෂුවගේ ක්‍රියාකාරිත්වය සැමට සාධාරණ හා ආදර්ශමත් වූයේය.පාලක පාලිත
දෙපක්ෂය අතර සම්බන්ධතාව තහවුරු කරලීමේ සම්බන්ධිකාරකත්වයට භික්ෂුව පත්වීම මත ආගම
ධර්මය පදනම් කරගත් පාලන තන්ත්‍රයක් ඇතිකර ගැනීමට මං හෙළිකර ගැනීමටත් දැහැමි පාලන
රටාවක් වෙත පාලක පක්ෂය යොමු කරලීමටත් අවස්ථාවක් ලැබුණි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා රැසක් සනිටුහන් වූයේ මහින්දාගමනයෙන් පසුව බව
සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි තුළින් සනාථ වේ. පන්සල අධ්‍යාපන කේන්ද්‍රස්ථානය
වු අතර භික්ෂුව ජාතියේ ගුරුවරයා විය. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට අයත් කළ හැකි
බ්‍රාහ්මි අක්ෂර කීපයක් දැනට අනුරාධපුර ගෙඩිගේ තුළ කළ කැණීම් මඟින් මතු වුවද
ව්‍යාප්ත වූ අක්ෂර රටාවක් ගැන තොරතුරු ලැබෙනුයේ කි‍්‍රස්තු පූර්ව තෙවැනි සියවසින්
පසුව බව අභිලේඛන සාක්ෂි තුළින් පෙනීයන කරුණකි. දීපව්‍යාප්ත අක්ෂර රටාවක් මෙන්ම
භාෂාවක් හඳුන්වාදීමේ ගෞරවය මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්ෂුනට හා භික්ෂුණීන්ට හිමිවන
බව පැහැදිලිය. ඒකීය වර්ණමාලාවක් සහිත භාෂාවක් ජනතාව අතර ව්‍යාප්ත කරලීමට භික්ෂූන්
මූලිකත්වය ගැනීම ජාතීන් වශයෙන් හා පළාත් වශයෙන් බෙදී සිටි පිරිස් එක්සත් සංස්කෘතික
රාමුවක් වෙත යොමු කරලීමට මහත් අනුබලයක් විය. එලෙසින් ගොඩනැගුණ එක්සත් සංස්කෘතික
පසුබිම හා මානසික ස්ථාවරත්වය දේශීය අනන්‍යතාවය පෝෂණය කරලීමට මහත් දායකත්වයක් ලබා
දුන් බව පැහැදිලි කරුණකි.
එමෙන්ම සිංහල සාහිත්‍යයේ වර්ධනයේ මුල් අවස්ථාව ද මහින්දාගමනයත් සමඟ සනිටුහන් වේ.
මිහිඳු හිමියන් දීප භාෂාවෙන් එනම් ලක්දිව භාෂාවෙන් දේවානම්පියතිස්ස ඇතුළු පිරිසට
ප්‍රථමයෙන් ධර්ම දේශනා කොට ඇත. එමෙන්ම මාගධි භාෂාවෙන් පැවැති අටුවා හා ටීකා හෙළ
භාෂාවට නැඟීම හා පවත්වාගෙන යාමේ සම්ප්‍රදායයේ ආරම්භය ද මහින්දාගමනය හා සම්බන්ධ
වේ.එබැවින් සාහිත්‍යාංගයන්හි වර්ධනය, ඵෙතිහාසික පුවත් විහාරාරාම ආශි‍්‍රතයෙන්
පවත්වාගෙන යාම නිදහස් අදහස් සාහිත්‍යාංග තුළින් ඉදිරිපත් කිරීම වැනි සාහිත්‍ය හා
බැඳුනු කටයුතුවල ආරම්භය හා මාර්ගෝපදේශකත්වය මහින්දාගමනයත් සමඟ මෙරට ජනතාව වෙත
ලැබුණු සංස්කෘතික දායාදයන් සේ සැලකීම නිවැරදිය. |