UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂු අධ්‍යාපනය

භික්ෂු අධ්‍යාපනය

පොසොන් සඳ ශ්‍රී ලංකා ධරණී තලයට ඉහළ ආකාශයේ දැනට දෙදහස් තුන්සියය වතාවකට ද අධික වාරයක් පායා ඇත. වසරකට වරක් පෑයූ සොළොස් කලාවෙන් සපිරි මේ සඳ ලක්වැසියනට සිහිපත් කළ දෑ බොහෝය. ඒ සිහිපත් කළ දෑ කුමක්ද? එනම්, විජය රජු මෙරටට පැමිණ වර්ෂ 236 කට පසුව එක්තරා සඳ රැසින් වොරඳුණු දිනයක මිහිඳු මහරහතන් වහන්සේ බවය.

ශ්‍රී ලංකාවේ භික්ෂු අධ්‍යාපනය ආරම්භ වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමක් සමඟය. එනිසා වසර 2250 කට වැඩි ඉතිහාසයක් ඇති ලාංකේය භික්ෂු අධ්‍යාපනය පිළිබඳ ඓතිහාසික තොරතුරු වංශකථා, සාහිත්‍ය ග්‍රන්ථ හා ඓතිහාසික ලේඛනවලත් ඇතුළත් වේ. එම විස්තර ස්ඵුට කෙරෙන පුරාවස්තු අනුරාධපුර ,පොළොන්නරුව, දෙවුන්දර ,මුල්කිරිගල, පලාපද්ගල, දඹදෙණිය, කෝට්ටේ ආදි විවිධ ප්‍රදේශවල ඇත.

මුල්ම භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ අනුරාධපුර මහා විහාරයයි. පසුව අභයගිරිය, ජේතවන විහාරය, ඇතිවිය. පොළොන්නරු, දඹදෙණි යුගවල දී අෂ්ටායතන නමින් ප්‍රසිද්ධ භික්ෂු අධ්‍යාපන ආයතන අටක් පැවතුණි. ඒවායින් උතුරුමුල ගලතුරුමුල මහනෙක්පාමුල ආදිය කෝට්ටේ යුගයේ දීත් ප්‍රසිද්ධ භික්ෂු අධ්‍යාපන, ආයතනයෝය. පසුව පෘතුගීසි ,ලන්දේසි ,ඉංගී‍්‍රසි යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ දී වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් භික්ෂු අධ්‍යාපනයේ පුනරුදයක් ඇති වුවත් රටේ අභ්‍යන්තර සහ බාහිර දේශපාලන අරගල නිසා ආර්ථිකයත්, අධ්‍යාපනයත් පරිහානියට පත්විය. නැවත භික්ෂූ අධ්‍යාපනය ප්‍රබෝධමත් වූයේ දහ හත්වන ශතවර්ෂයේ අගභාගයේ දී ආරම්භ වූ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන, කැලණිය විද්‍යාලංකාර පිරිවෙන, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ප්‍රධානවරට පුරා ආරම්භ වූ පිරිවෙන්වලින්ය. ඒවා ද බටහිර අධ්‍යාපනය සමඟ මිශ්‍රවෙමින් පිරිවෙන් අධ්‍යාපනය නමින් වර්ධනය විය. 1956 දී ලංකාවේ සිදු වූ දේශපාලන වෙනස්වීම් සමඟම සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිවිය. එහි ප්‍රතිඵල වශයෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්කිරීම කරන ලද්දේ , රටේත් සංස්කෘතිකයේත්, සංවර්ධනය අපේක්ෂා කරමින්ය. එහෙත් ප්‍රධාන පිරිවෙන් දෙකක් විශ්වවිද්‍යාල බවට පත්කිරීමෙන් භික්ෂු අධ්‍යාපනයේ සංවර්ධනයක්, ලබාගත නොහැකි බව කෙටි කාලයකින්ම රටේ ප්‍රභූන්ට අවබෝධ විය. එයට පිළිතුරු වශයෙන් භික්ෂු අධ්‍යාපනය උසස් තත්වයට පත්කර ගැනීම සඳහා භික්ෂු විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ යුතුයැයි යෝජනා විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආරම්භ කෙරිණ, වසර කීපයකට පසුව එහි ඇති වූ අඩුපාඩු සකස්කරමින් පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය ආරම්භ විය. තවද භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය දියුණු කිරීමට භික්ෂු විද්‍යා පීඨ, පිරිවෙන්, ගුරු අභ්‍යාස විද්‍යාල, පිරිවෙන් විද්‍යායතන මහපිරිවෙන්, මූලික පිරිවෙන්, සාමණේර ආයතන ඇත. මෙම සියලුම අධ්‍යාපන ආයතන ඇසුරින් බිහිවෙන භික්ෂුවගේ සමාජ සක්‍රිය දායකත්වය ඉහළ මට්ටමක පැවැතියත් සාම්ප්‍රදායික භික්ෂූ චරිතයේ පරිහානියක් දකින්නට ඇත. එය සමස්ත සමාජ දේහයේම දක්නට ඇති ලක්ෂණයක් යැයි කෙනෙකුට පිළිතුරු දිය හැකි වුවත් එවැනි පිළිතුරකින් ‘භික්ෂු අධ්‍යාපනයේ පරිහානියට හේතු මොනවාද?” යන ප්‍රශ්නයට පිළිතුරු නොලැබේ. එනිසාම මේ ප්‍රශ්නයට විවිධ කෝණවලින් විවිධ පිළිතුරු දියහැකි වුවත් අධ්‍යාපනයේ දුර්වලතාවක් නිසා භික්ෂු චරිතය මෙන්ම ගිහි සමාජයත් අසංවර බවට පත්වී ඇති බව කිවයුතුය.

වර්තමාන ලංකාවේ සක්‍රිය අධ්‍යාපනයේ මූලික අභිමතාර්ථය වන්නේ ශිල්පීය දැනුම හා ශාස්ත්‍රඥානය ලබාදීමයි. එය රැකියාවලට සුදුස්සන් බිහිකෙරෙන වෘත්‍යාභිමුඛ අධ්‍යාපනයේ පරමාර්ථයයි. රටේ ආර්ථික සංවර්ධනයට රැකියා අභිමුඛ කරගත් අධ්‍යාපනයේ ප්‍රයෝජනයක් ඇතත් භික්ෂු අධ්‍යාපනයට එය ඵලදායි නොවේ. එනමුත් වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේත් වැඩි බර ඇත්තේ වෘත්‍යාභිමුඛ අධ්‍යාපනයටයි. දැනට ක්‍රියාත්මක වන්නාවු පිරිවෙන් අධ්‍යාපනයේ ආරාමික ශික්ෂණයට වඩා භාෂා ශාත්‍රඥානය ලබා දීමට වැඩි අවධානයක් යොමු වී ඇත. එයින් ආධ්‍යාත්මික සංවරයෙන් තොර ශිල්ප හා ශාස්ත්‍රඥානයෙන් යුත් නොසන්සුන් භික්ෂු පිරිසක් බිහිවිය හැකිය. එවැනි තරුණ භික්ෂු පිරිසකගෙන් මූලික භික්ෂු විනයට අදාළ ශික්ෂණයක් අපේක්ෂා කළ නොහැකිය. සමාජයේ පූර්වා දර්ශි චරිතයක් වන්නා වූ භික්ෂුවගේ විනය සමස්ත ලාංකික සමාජයටම බලපාන්නේය. එනිසා භික්ෂුව මනා සංවරයෙන් යුක්ත වූ පූර්වාදර්ශි කෙනෙක් විය යුතුය. සුසංයුත පරම පූර්වා දර්ශි චරිතයක් වශයෙන් භික්ෂුවක් සකස් කෙරෙන අධ්‍යාපනයක් වර්තමාන භික්ෂු අධ්‍යාපනයෙන් නොලැබෙන බවට උදාහරණ සියගණනින් නිතර ම ලැබේ. එනිසා භික්ෂු අධ්‍යාපන ක්‍රමය සංස්කරණය විය යුතුය. විනයෙන් තොර වූ අසංවර සමාජයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී බාහිර සංස්ථාගත සංස්කරණවලින් පමණක් කළ නොහැකිය. අවශ්‍ය වන්නේ ආධ්‍යාත්මික සංවරයෙන් පිරිපුන් ,සකි‍්‍රය සමාජ ගැටලුවලට පිළිතුරු සැපයිය හැකි නිර්මාණශීලි බුද්ධියක් ඇති ගුණයෙන් සහ නුවණින් ආදර්ශවත් පුද්ගලයන් බිහිකෙරෙන භික්ෂු අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකි. වර්තමාන භික්ෂු අධ්‍යාපනයේ එවැනි ලක්ෂණ ඇත්තේ ස්වල්ප වශයෙනි. එයට ප්‍රධාන හේතුවක් වශයෙන් පෙනෙන්නේ, ආධ්‍යාත්මික සංවරයට අත්‍යවශ්‍ය වූ ආරාමික අධ්‍යාපනයට වඩා ශිල්ප ශාත්‍රඥානයට ප්‍රධානත්වය දෙන භික්ෂු අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරීමයි.

තාක්ෂණික මෙවලම්වල සංවර්ධනයත් සමඟම පරිභෝජනවාදී සමාජයක් බිහිවී ඇත. එනිසා කෙසේ හෝ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා ම උත්සාහ ගනිති. එහි අවසාන ඉලක්කය වන්නේ ඉන්ද්‍රියන් පිනවීමයි. පසිඳුරන් පිනවීම හෙවත් ආසාවන් සඵල කරගැනීමට පමණක් ක්‍රියාත්මක වෙන මිනිසාගෙන් සමාජයේ සහ ස්වභාව ධර්මයේ විනාශයට බොහෝ දේ සිදුවිය හැකිය. එවැනි පරිසරයකට ගමන් කරන මිනිසාට උපදෙස් දෙන භික්ෂුව , ගුණනුවණින් පිරිපුන්, ස්වාර්ථ හා පරාර්ථ සාධනයෙහි සමත් ආදර්ශවත් කෙනෙක් විය යුතුමය. ඒ සඳහා සුදුසු අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපදේශකයන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුමය.


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]