UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රථම ධර්මදේශනයට පසුබිම සැකසීම

බුදුපිළිමයේ උපත - 22: 

ප්‍රථම ධර්මදේශනයට පසුබිම සැකසීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ඒ බෝධිසත්වයන් වහන්සේ බුදුවූ ස්ථානයේ පටන් ගත වූ සත් සතියෙහි භාග්‍යවතුන්වහන්සේ කිසිදු අහරක් නොවැළඳූ සේක. ඵලසමාපත්ති-යෙන්ම කාලය ගත කළ සේක. සත්වන සතිය අවසන්හි සමවතින් නැගී සිටි භාග්‍යවතුන්වහන්සේට සක්දෙව් රජාණෝ දැවටු දඬු ද මුව දෝනා පැන්ද බෙහෙත් අරළු ද ප්‍රදානය කොට ගියහ. බුදුරජාණන් වහන්සේද දැහැටි වළඳා මුව දොවා කිරිපලුරුක්මුල වැඩහුන් සේක.

සාරානාත් පුදබිමෙහි අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ස්ථම්භයේ ශීර්ෂය

මේ සමයෙහි උත්තල ජනපදයෙන් වෙළෙඳාමෙහි යන තපස්සු භල්ලුක නම් සහෝදර වෙළෙන්දෝ (වෙළෙඳ දෙබෑයෝ) දෙදෙනෙක් පන්සියයක් පමණ ගැල් පදවාගෙන ඒ පෙදෙසට බටහ. වියළි බිම එරුනාක් මෙන් වීමෙන් ගැල් පැදවිය නොහැකි විය. ගැල් (කරත්ත) තිබූ තැනින් මදකුත් සොළවන්නට අසමත් වූහ. මෙසේ ඔවුන් කරදර වන අතර දෙව්දුවක් අතවැසි පුරුෂයෙකුට ආවේශවී බුදුරජුන් ඒ වනයෙහි කිරිපලු රුක්මුල ඉන්නා බව කියා ඔවුන් (වෙළෙඳ දෙබෑයන්) දන්දීමෙහි මෙහෙය වූහ. වෙළෙන්දෝ දේවතානුශාසනය පරිදිම භාග්‍යවතුන්වහන්සේ කරා එළැඹ විළඳ සහ මී පැණියෙන් උන්වහන්සේට පූජා කළහ. එය පිළිගන්නට භාග්‍යවතුන් වහන්සේට කිසිදු භාජනයක් නොවීය. කිමෙකින් මෙය පිළිගනිමිදැයි උන්වහන්සේට සිතක් පහළ විය. උන්වහන්සේගේ සිතිවිල්ල දැන ගත් සතරවරම් දෙවිවරු (සෙල්මුවා) ගල්වලින් සාදන ලද පාත්‍රා සතරක් පූජා කළහ.

බුදුරජාණන් වහන්සේ එම පාත්‍ර හතරම අධිෂ්ඨාන බලයෙන් එකක් කොටගෙන වෙළෙඳ දෙබෑයන් පූජා කළ විළඳ සහ මී පිඬු වැළඳූ සේක. බුදුරජාණන් වහන්සේ ඒවා වැළඳීමෙන් පසුව වෙළෙඳුන්ට පින් අනුමෝදනා කළහ. බණ ඇසූ ඔවුහු ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේත් ධර්මයත් සරණ ගියෙමු. අද පටන් දිවිහිමියෙන් බුදුන් සහ දහම් සරණගිය උපාසකයින් ලෙසට සළකන සේක්වායි පැවසූහ. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් වැඳුම් පිදුම් කිරීමට වෙළෙඳ දෙබෑයෝ ඉල්ලූහ. අනතුරුව බුදුරජාණන්වහන්සේ කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රන් කරඬුවකින් එය ගෙන සිය ජාත භූමිය වූ අසිතංජන පුරයෙහි චෛත්‍යයක් කොට පිදූහ. (ශාක්‍යමුනීන්දාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ පිටු 77 – 78 (1986) මෙම වෙළෙඳුන් දෙදෙනා පිළිබඳ මෙන්ම කේශධා-තුන් නිධන් කිරීම ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කර ඇත. මේ වෙළෙඳුන් දෙදෙනා මේ කේශධාතු කරඬුවක තැම්පත් කරගෙන තමන් යන යන තැන ගෙන යන බවත් ඔවුන්ගේ එක් වෙළෙඳ ගමනකදී ඔවුන් ලංකාවේ කිසියම් වෙරළබඩ ස්ථානයකට ගොඩබට බවත් පූජාවලියෙහි සඳහන් වේ. ආහාර පිසීම අවශ්‍ය වූයෙන් තමන් ආරක්ෂා සහිත යැයි සිතූ ගලක් මත ධාතු කරඬුව තබා ඔවුහු දර සෙවීමට ගියහ. ආහාර පිස වළඳා අවසන් වූ පසුව තම වෙළෙඳ කටයුතු සඳහා මුහුදු ගමන ඇරඹීමට නැවට යනු පිණිස ඔවුහු ධාතුකරඬුව තබා තිබූ තැනින් ඉවතට ගැනීමට ගියහ. එහෙත් සිදු වූයේ ප්‍රාතිහාර්යයකි. කෙතරම් වෙහෙස දැරුවද ධාතු කරඬුව තිබූ තැනින් ඉවත් කිරීමට නොහැකිවිය. මේ ප්‍රාතිහාර්යයේ අරමුණ වෙළෙඳුන්ට අවබෝධ විය. ඔවුහු බුදුරජාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර තිබුණු කරඬුව පිහිටි තැන තමන්ට හැකි පමණින් කුඩා ස්තූපයක් ඉදිකරවා පිටත්වී ගියහ. කේශධාතු ස්තූපයේ නිදන් විය. ඉහත කී ප්‍රාතිහාර්යය සිදුවූයේ ලංකාවේ ගිරිහඩු නමැති ස්ථානයේ බව පූජාවලියේ සඳහන් වෙයි. ඒ නිසා තිරියායේ සංස්කෘත භාෂාවෙන් ලියන ලද (ක්‍රිස්තුවර්ෂ අටවැනි සියවසට අයත්) පුදබිම මෙය විය හැකිය. තිරියායේ (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගිරිහඬු සෑය) මේ ස්තූපයම යැයි සැලකීම සාධාරණය. බුදුරජාණන් වහන්සේගේ ලද ප්‍රථම ධාතුන්වහන්සේ මෙම ස්තූපයේ නිදන්වී ඇති බව ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේ දී ලංකාවේ මේ පළාතේ බෞද්ධයන්ද ඇදහූ බව පෙනේ. (පුරාවිදු පරියේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 207 – 208 (1970) භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යළිත් අජපාල නුගරුක වෙත වැඩි සේක. ඒ රුක් මුල වැඩසිටිනා බුදුරජාණන් වහන්සේට මෙසේ කල්පනාවක් ඇති විය. මා අවබෝධ කළ මේ සිව්සස් දහම් ගැඹුරුය. සුවසේ දැක්ක නොහැකිය. මා අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය ශාන්තය, ප්‍රණීතය. තර්ක මාත්‍රයෙන් බැස යා නොහැකිය. ශූක්ෂ්මය මනාව පිළිපන් නැණතියන් විසින්ම දත හැකිය. මේ සත්වයෝ තෘෂ්ණයෙන් බැඳී ගියෝ එයින් මිදීමට තැත් නොකොට එයින්ම තෘප්තියට පැමිණ ඉදින් ඤණන්ධ වූ මොවුන් විසින් ප්‍රත්‍යයාකාර ධර්මයද නිවනද දත නොහැක්ක ඤාණාන්ධව ඉන්නා තුරු එය මොවුන්ට දෙසීම නිෂ්ඵල වෙහෙසීමෙකි. මා ඉතා පරිශ්‍රමයෙන් අවබෝධ කළ ගැඹුරු ධර්මය දෙසීමට තවම යෝග්‍ය නොවේ. (ඉහත සඳහන් ශාක්‍යමුනීන්දාව දානය පි 78 ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ විසින් මෙම ධර්මය මිනිසුන් අතරෙන් පළමුව කාට දේශනා කරන්නේදැයි සිතූහ. ආළාර තවුසා සහ උදුක යන දෙදෙනාම සුදුසු වුවත් ඔවුහු දැන් ජීවතුන් අතර නොවූහ. පස්වග තවුසන් දැක ඔවුන් කොහි සිටීදැයි බුදුරජාණන් වහන්සේ දිවැසින් බැලූ සේක. බරණැස (වාරානසී) හි මිගදායේ ඉසිපතන ආරාමයෙහි දී සිදු කළ ප්‍රථම ධර්ම දේශනය බෞද්ධ මූර්ති කලාවේ පුද්ගලයන් වෙනුවට සංකේත භාවිත කළ මුල් අවධියේ ප්‍රධාන තේමාවක් වූයේ ය. මෙම ප්‍රථම ධර්ම දේශනය ‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’ නමින් ප්‍රකටය.

‘ධර්මචක්‍රය හැමවිටම ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ ප්‍රධාන සංකේතය බවට පත්වී ඇත. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම නිරූපණය කරන මෙම සංකේතය සාරානාත්හි අසෝක ස්තම්භයෙහිද ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී භාවිතා වී ඇති අන්දම දැක ගත හැකිය. මෙම අසෝක ස්තම්භ ශීර්ෂය ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයයි.


පසුගිය සතියෙන්:- බුදුපිළිමයේ උපත - 21:  දැක බලා වැඳ පුදා ගත යුතු ස්ථාන හතරකි

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]