බෞද්ධ සංස්කෘතියේ අසිරිමත් සලකුණ
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
බෞද්ධ සංස්කෘතිය තුළ වැඩී වැවී ගිය විශිෂ්ටතම වාස්තු විද්‍යාත්මක හැකියාව ප්‍රකට
කරන්නකි. එසේ ම බෞද්ධ කලා ශිල්පියාගේ නිර්මාණශීලී නිපුණත්වය විදහා පාන්නකි. වාස්තු
විද්‍යාව හා කලා ශිල්ප ක්ෂේත්‍රය තුළ මෙන්ම සම්භාව්‍ය සාහිත්‍ය තුළ ද දාගැබ වැදගත්
තේමාවක් වූයේ ය.
සිංහල දෙබසින් ම ලියැවී ඇති ථූපවංශය මීට සාක්ෂි දරයි. එම කෘතිය රුවන්මැලි මහා දාගැබ
වර්ණනා කරයි. මේ හැමටම වඩා උස් අහසට විහිද ගිය මෙම තේජාන්විත ආකර්ෂණීය ආගමික
ගොඩනැගිල්ල වන දාගැබ ශ්‍රද්ධා භක්තිය ඇති සංවේදී බෞද්ධ මහජනයාගේ පරම පූජනීය ස්ථානය
වේ. ත්‍රිවිධ චෛත්‍ය අතුරින් වඩාත්ම උතුම් කොට සැලකෙන සියවස් ගණනාවක් මුළුල්ලේ පූජා
සත්කාරයනට භාජනය වූ ලොකු කුඩා දාගැබ් වටා ගොඩ නැගී ඇත. ජනපි‍්‍රය බෞද්ධ ඇදහිලි
විශ්වාසයන් ද පුරා කතාවන් ද දක්නා ලැබෙයි. සමස්තයක් වශයෙන් දැනට දැකගත හැකි දාගැබ්
මූලික ආකෘති කිහපයකින් යුක්තය.
1. ඝණ්ටාකාර - ඝණ්ඩාවේ හැඩය ඇති දාගැබ්
2. ඝටාකාර – කළගෙඩියක හැඩය ගත් දාගැබ්
3. බුබ්බුලාකාර – දිය බුබුලක හැඩය ගත් දාගැබ්
4. ධාන්‍යාකාර – ධාන්‍ය ගොඩක හැඩය ඇති දාගැබ්
5. පද්මාකාර – පියුමක හැඩය ඇති දාගැබ්
6. ආමලාකාර - නෙල්ලි ගෙඩියක හැඩය ඇති දාගැබ්
මෙයින් මුලින් දක්වා ඇති ආකෘති සතරට අදාළ දාගැබ් ලක්දිව බොහෝ විට දක්නා ලැබෙයි.
දාගැබ අංග රාශියකින් සමන්විතය. ඉන් සමහර අංග වඩාත් පැරැණි දාගැබ්වල පමණක් තිබූ බව
සැලකෙයි.
සාම්ප්‍රදායික ග්‍රාමීය ප්‍රජාවගේ භෞතික ආර්ථික අභිවෘද්ධිය උදෙසා වැව දායක වූ අතර
ඔවුන්ගෙන් ආධ්‍යාත්මික සාරධර්මීය අභිවෘද්ධිය පිණිස දාගැබ උපකාරී විය. පුද්ගලයා හා
සමාජය හුදෙක් භෞතික, ආර්ථික සුවපත්භාවයෙන් පමණක් සෑහීමට පත් නොවිය යුතු ය. එකී
අභිවෘද්ධිය තිරසාර වන්නේ ද ඵලදායී වන්නේද සැබෑ මානව අභිවෘද්ධියක් ලෙස සැලකිය හැකි
වන්නේ ද ඊට සමගාමීව ආධ්‍යාත්මික සදාචාරාත්මක අභිවෘද්ධිය ද අත්වැල් බැඳගත් විටය.
ආර්ථික අභිවෘද්ධිය හා ආධ්‍යාත්මික සදාචාරාත්මක අභිවෘද්ධිය ද එකිනෙකට උපකාරීය.
සාපේක්ෂකය. ඒ දෙපැත්ත ම නොදකින්නා දෑස ම නැති අන්ධයෙකි. ඉන් එක පැත්තක් පමණක්
දකින්නා එක් ඇසක් පමණක් ඇත්තෙකි. දෑස ම ඇත්තෙකු විය යුතු යැයි බුදුදහම උගන්වයි.
මෙලොව අර්ථසිද්ධිය පරලොව අර්ථසිද්ධිය යන උභයාර්ථසිද්ධිය ම ළඟාකරගන්නා නුවණැති
තැනැත්තා පණ්ඩිතයෙකු යැයි කියනු ලැබේ යනු බුද්ධ වචනයයි.
මේ අනුව වැව අර්ථවත් කළ මෙලොව සැපත, ආර්ථික අභිවෘද්ධිය මෙන්ම දාගැබ අර්ථවත් කළ
පරලොව සැපත, ආධ්‍යාත්ම අභිවෘද්ධිය යන උභයාර්ථය සලසා ගැනීම බෞද්ධ සංස්කෘතිය තුළ
හික්මීම ලද හෙළ ගැමියාගේ ස්වභාවය වූයේ ය. වැවයි දාගැබයි එම උභයාර්ථ සංවර්ධනයේ සංකේත
වූයේ ය.
දාගැබ බුදුරදුන් වදාළ දහම් මග සංකේතාත්මකව පිළිබිඹු කරයි. එහි ඒ ඒ අංග සහ ඒවායින්
පිළිබිඹු කෙරෙන සංකේතාර්ථ මෑත කාලීන විද්වතුන් විසින් පහත දැක්වෙන පරිදි දක්වා
තිබේ.
1. මළුව - සත්ත්ව සමූහයා 2. ආසනය - සුවාසු දහසක් ධර්මස්කන්ධය 3. තුන් මහල් පේසා -
ත්‍රිවිධ රත්නය 4. ගර්භය - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම 5. සතරැස් කොටුව - සිව්වණක්
පිරිස 6. දේවතා කොටුව - සදිව්‍යාලෝක හා බ්‍රහ්ම ලෝක 7. කොත් කැරැල්ල – නවලෝකෝත්තර
ධර්ම 8. කොත – නිවනේ දෙයාකාරය 9. චූඩා මාණික්‍යය – නිවන
බෞද්ධ සංස්කෘතිය තුළ හැඩ ගැසෙන්නාවූන් විසින් අසා, දරා පිළිපැද්ද යුතු දහමත්, පසක්
කළ යුතු නිවනත් මෙසේ දාගැබ මඟින් සංකේතවත් වේයැයි පිළිගැනේ. එහෙත් මෙරට පොදු ජනයා
දාගැබ ප්‍රදක්ෂිණා කරමින් මල්පහන් පිදුවේ බුදුරජාණන් වහන්සේට කරනු ලබන උතුම්
ගෞවරයක් ලෙසය. උන්වහන්සේගේ ශාරීරික ධාතු එහි තැන්පත්ව ඇති බැවිනි. උස් අහසට නැගුණු
දාගැබ උතුම් වූ බුදු ගුණ සිහිපත් කර වූ බැවිනි. බුදු ගුණයෙහි බුදු නුවණෙහි උත්තරීතර
මහ බලය තේජාන්විතව සංකේතවත් කළ බැවිනි. ඒ වන්දනාමානාදියත් පූජා චාරිත්‍රාදියත්
තුළින් ඔවුහු අපමණ මානසික අස්වැසිල්ලක් ලදහ. ඔවුනට දහම් මඟට පිවිසීමට එම සැදැහැ සිත
ප්‍රවේශයක් වූයේ ය. බුදුරදන් දවස ශ්‍රාවක ප්‍රජාවද උන්වහන්සේ පිළිබඳ සැදැහැයෙන්
යුතුව ශීලාදී ගුණ දම් පිරූ බව පෙළ දහම නිබඳවම සඳහන් කරයි. ඒ ශ්‍රාවකයෝ බුදු ගුණයෙහි
පැහැදීමෙන් යුතුව උන්වහන්සේ වෙත සත්කාර ගරුකාර මානන පූජනාදිය කළෝ ය. උන්වහන්සේ වදාළ
මඟට ද පිවිසියහ.
දාගැබ අනුක්‍රමයෙන් ඉහළ සිට ඉහළට නැගෙන සුවිසල් ගොඩනැගිල්ලකි. පහළ මහ පොළොව පිහිට
කොට ආරම්භ වන එය කෙමෙන් ඉහළට යයි. එහි පාදම වට ප්‍රමාණයෙන් විශාලය. පොළොව බදාගෙන
සිටී. එහෙත් පේසා වළලු ඇරඹෙන තැන් පටන් කෙමෙන් එහි වටය කුඩා වෙයි. ගර්භය මත ඉදි වූ
හතරැස් කොටුව ගර්භයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. ඒ මත ඉදි වූ දේවතා කොටුව ඊටත් වඩා කුඩා
වන අතර කොත් කැරැල්ල තවත් කුඩා වෙයි. කොත ඊටත් වඩා කුඩාවන අතර චූඩා මාණික්‍යය තවත්
කුඩා වී මුදුනතින් අවසන් වෙයි. එසේ සුවිසල්ව ඇරැඹි ඉහළට නැගෙත්ම කෙමෙන් කුඩා වන
දාගැබ නිදහස් අහස ස්පර්ශ කරන්නේ ය. බුදුරදුන් විසින් උගන්වා වදාළ නිවන් මගද
අනුපූර්ව ලක්ෂණයෙන් යුක්තය.
එය ද පහළ සිට ඉහළට නැඟෙන්නකි. අනුපූර්ව ශික්ෂාවකි. අනුපූර්ව චරණයකි. අනුපූර්ව
ක්‍රියා පිළිවෙතකැයි බුදු වදනෙහි ම දැක්වෙයි. එම අනුපූර්ව මාර්ගය අවසන් වන්නේ නිවන්
පසක් කිරීමෙනි. බුදුරදුන් විසින් දහම් දෙසන ලද්දේ ද අනුපූර්ව වශයෙනි. බුදුරදුන්
වදාළ පිළිවෙතහි හැසිරෙන බෞද්ධයා ද පහළ සිට ඉහළට යන්නෙකි. හෙතෙම සීලයෙන් සමාධියටද
සමාධියෙන් ප්‍රඥාවට ද, ප්‍රඥාවෙන් නිවනට ද ළඟාවෙයි. එය අනුක්‍රමික අනුපූර්ව ගමනකි.
දාගැබ සිහිපත් කරවනුයේ ඒ ගමන් මඟයි. චාම් බවද දාගැබෙහි දක්නා ලැබෙන විශේෂත්වයකි. එය
විවිධ විචිත්‍ර වර්ණාදියෙන් ද, නොයෙකුත් මල්කම් ලියකම් සහිත කැටයමින් ද තොරය.
අල්පේච්ඡතාවයෙන් උපදනා චාම් සරල දිවි පැවැත්ම බෞද්ධ සංස්කෘතිය තුළ ද දක්නා ලැබෙයි.
බුදුරජාණන් වහන්සේ ද උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂුහු ද චාම් සරල දිවි පැවැත්මෙහි
පරමාදර්ශය වෙති. බ්‍රහ්මචාරී බව, එක් වේලේ වැළඳීම, හිස මුඩු කිරීම, කසාවත් දැරීමාදී
පැවතුම් තුළින් ඒ බව පිළිඹිබු වෙයි. ලද පමණකින් සතුටු වන බැවින් ද, පහසුවෙන් පෝෂණය
කළ හැකි බැවින් ද, කාර්ය බහුල නොවන බැවින් ද, සැහැල්ලු පැවතුම් ඇති බැවින්ද,
සන්සුන් ඉඳුරන් ඇති බැවින්ද, බෞද්ධ දිවි පැවැත්ම චාම්ය. සරලය. බුදුරදුන් වදාළ
සාරෝපමාව අනුව ලාභසත්කාරාදියෙහි ගිජු නොවිය යුතු ය. අරියවංස පටිපදාව නමින් දක්වා
ඇත්තේ ද ඒ අපිස් පැවැත්මයි.
දාගැබ නම් මහ මළුවෙක ඉදි වූ විවෘත ආගමික ගොඩනැගිල්ලෙකි. එය සැඟවුණු ඉදිකිරීමක්
නොවේ. විවෘතය. බිත්ති ආදියෙන් වටකොට නැත. මෙකී විවෘත බවද බෞද්ධයෙකු තුළ තිබිය යුතු
ගුණයෙකැයි දහමෙහි දක්වා තිබේ. බුදුරදුන් විසින් විවෘත ලෙස දහම් දෙසන ලද්දේ ය. ඒ දහම
සඟවා ගත්තක් නැත. එහි හික්මවෙන්නවුන්ද විවෘත ගති පැවතුම් ඇත්තවුන් වනු දැකීම
උන්වහන්සේගේ අපේක්ෂාව විය. පැවිද්දාට අදාළ සම්මා ආජීවය පැහැදිලි කළ බුදුරජාණන්
වහන්සේ වංචනික ක්‍රියා මඟින් දායකාදීන් රැවටීම (කුහනා) රැවටිලි බස් කීම (ලපනා)
විවිධාකාර ඉඟි පෑම (නෙමිත්තිකතා) මදි පුංචිකම් කිරීම (නිප්පේසිකා) ලාභයෙන් ලාභ
සෙවීම (නිජිගිංසනා) ආදී ක්‍රියා මගින් සිව්පසය උපයා ගැන්ම පැවිද්දාගේ මිච්ඡා ආජීවය
නම් වේ යැයි වදාළහ. මෙබඳු කුහකකම් කළ භික්ෂූන් කිහිප දෙනෙකු පිළිබඳ පුවත් අභිධර්ම
අටුවාවෙහි ද දැක්වෙයි. මෙකී සංවෘත වූ දිවි පැවැත්ම හෙවත් කුහකකම බුද්ධඝෝෂ හිමියෝ
විවිධාකාරයෙන් විවරණය කරති.
දාගැබ ද වැව මෙන්ම ස්වභාවික පරිසරය සමඟ මැනවින් ගැළපී යයි. එය ඒ නිසා ම ස්වභාව
සෞන්දර්යයේ අංගයක්ද වේ. බොහෝ ප්‍රධාන දාගැබ් ඉදිකොට ඇත්තේ වැව් පසුබිම් කොටගෙනය.
නොඑසේ නම් වැව් කන්ද මතය. වැව පසුබිම් කොටගත් සුදෝ සුදු උස් දාගැබ සහිත වූ නිල්වන්
තුරුලතා වටකොටගත් පරිසරය සැබවින්ම මනස්කාන්තය. සෞන්දර්යාත්මකය. බුදු දහම වූ කලී
සුන්දරත්වය පිටු දකින එහිලා විරෝධාකල්පයක් ඇති දහමක් නොවේ. සිදුහත් බෝසතුන්ගේ
උප්පත්තිය සිදු වූයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ ලුම්බිණි සල් උයනෙහිය. බුද්ධත්වය
සුසිනිඳු වැලිතලාවන් ද, සුපිරිසුදු දිය දහර ද ඇති නිල්වන් වන ගහණය පසුබිම්කොටගත්
නේරංජනා නදී තීරයෙහිද, පරිනිර්වාණය කුසිනාරාවෙහි උපවර්තන නම් වූ සොඳුරු උයනෙහි ද
සිදුවිය. බුදුරජාණන් වහන්සේ බොහෝ විට දිවා රැය ගත කළේ ද දහම් දෙසුවේ ද එබඳුම සොඳුරු
වනපෙත්, ගිරි කඳුරු, කෙත් යාය, පොකුණු අතර ඇසුරු කොට ගෙනය. එසේ වැඩ සිටිමින් දෙසූ
දහම ද සොබාදහමින් උපුටාගත් විවිධ උපමා, උපමේය සහිත විය. ‘ලෝකයේ සුන්දරත්වය යනු කාමය
නොවේ. එය පහත් සංකල්පනාවෙකි. ලොව විචිත්‍ර බව වූ කලී යථාර්ථයෙකි. නුවණැත්තෝ එය තමා
සතුකර ගැන්මට නොයතියි’ බුදුරජාණන් වහන්සේ වදාළහ. එබැවින් ම සොබා සිරිය ඔපවත් කළ
ස්වභාවික පරිසරයට අනුගත වූ වැව ද දාගැබද බෞද්ධ සංස්කෘතිය හා සමීප වූයේ ය.
|