Print this Article


සුපසන් ජීවිතයකට 45 - සදිසා නමස්කාය යනු කුමක් ද ?

සදිසා නමස්කාය යනු කුමක් ද ?

සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අද මේ පොසොන් පසළොස්වක පොහොය දවසේ ඉදිරිපත් කරන්නේ දීඝ නිකායෙහි සඳහන් සිඟාලක සූත්‍ර දේශනාව එනම් බොහෝ දෙනා දන්නා අයුරින් සිඟාලෝවාද සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්ම කතා පෙළකි. සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙන් අප මෙහි දී සාකච්ඡා කරන්නේ සදිසා නමස්කාරය පිළිබඳවයි.

රජගහනුවර සිටි ‘සිඟාලක’ නම් තරුණ ගෘහපති පුත්‍රයා හිමිදිරි පාන්දර තෙත් වූ වස්ත්‍ර ඇතිව තෙත් වූ කෙස් ඇතිව දොහොත් මුදුන් තබාගෙන පෙරදිග, දකුණු දිග, නැගෙනහිර, බටහිර, උතුර, දකුණ, උඩ, යට ආදී වශයෙන් සදිසාවන්ට නමස්කාර කරනවා දැක තථාගත බුදුරජාණන් වහන්සේ බුදු සමයෙහි සඳහන් සදිසා නමස්කාරය කුමක්දැයි මෙම සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කරනවා.

සදිසා නමස්කාරයට පෙරාතුව සිඟාලෝවාද සූත්‍රයෙහි සතර කර්ම ක්ලේෂ නමින් ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන්දෙයක් ගැනීමෙන් වැළකීම, ඉන්ද්‍රියයන් වරදවා සතුටුකිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, ආදී වශයෙන් දක්වා තිබෙනවා. සතර කර්ම ක්ලේෂ නම් තමා ලැබූ ජීවිතය කිලිටි කරන කර්ම යන අදහසයි. ඒ වගේ ම සතර අගතියත් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා තිබෙනවා. ඡන්දය, ද්වේෂය, භය, මෝහය යනුවෙන් ඒ සතර දක්වා තිබෙනවා.

යම් කෙනෙක් ඡන්දයෙන් නම් වූ වඩා වැඩි කැමැත්තෙන් අගයතියට ගොස් කටයුතු කරනවා නම් ඒ පිරිහීමට කරුණක්, එනම් වැඩි කැමැත්තක් ඇති කරගෙන පව්කම් කරනවා නම් ඒ වගේම ද්වේෂය හෙවත් තරහවෙන් පව්කම් කරනවා නම් බියට පත්වෙලා තමාගේ ජීවිතයට හෝ වෙනයම් කරුණක් නිසා හෝ බියට පත්වෙලා පව්කම් කරනවා නම් මෝහයට පත්වෙලා මුලාවට පත්වෙලා “මමය, මාගේය” කියන වැරැදි දෘෂ්ටියට හසු වී පාප කර්ම කරනවා නම් එය හැඳින්වූයේ සතර අගතිය යනුවෙනුයි.

මී ළඟට සිඟලෝවාද සූත්‍රයෙහි අපාය මුඛ හයක් පිළිබඳව දක්වා තිබෙනවා. දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය අපට මුණගැසුණු මේ උතුම් බුදු සසුනෙන් ප්‍රයෝජනයක් නොගෙන ලැබූ මනුෂ්‍ය ජීවිතයත් මෙලොව වශයෙන් ම පරිහානියට පත්කරගෙන අපායට යන මාර්ග හදාගන්නා ක්‍රම හයයි. මෙහි පෙන්වා දෙන්නේ. එම මාර්ග හය මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීම, නොකල්හි වීදි සංචාරය කිරීම, නිතර නිතර නැටුම් ගැයුම්වලට යොමුවීම ඒ වගේ ම දූ කෙළියෙහි, සූදු ක්‍රීඩාවේ යෙදීම, පාප මිත්‍රයන් ආශ්‍රය කිරීම හා අලස බව කියන මෙන්න මේ කරුණු හයයි.

මෙයට අමතරව ආශ්‍රය නොකළ යුතු මිත්‍රයන් සතර දෙනෙක් හා ආශ්‍රය කළ යුතු මිත්‍රයන් සතර දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඔවුන් නම්

අඤ්ඤදත්ථුහර
වචීපරම
අනුප්පියභාණී

අපාය සහායක කියන මිත්‍රයන් සතර දෙනායි. මේ අය ඇසුරු නොකළ යුතු පුද්ගලයන් හැටියට ධර්මයේ පෙන්වා දී තිබෙනවා.

මෙහි දී අප විසින් සිහිපත් කළ යුතු කරුණක් පවතී. එනම් අප ආශ්‍රයට යම් කෙනෙක් සෙවීමේ දී අන් අයගේ හොඳ නරක සොයන්නට මත්තෙන් ධර්මානුකූලව අන් අයට අප ආශ්‍රය කළ යුතු අයෙක් ලෙස චරිතය සකස් කොටගෙන තිබේ දැයි නුවණින් මෙනෙහි කරගත යුතුයි. එයට හේතුව නම් තමාගේ බොහෝ වරද පවතිත්දී අනුන්ගේ අඩුපාඩු දකිමින් ආශ්‍රයට කෙනෙක් නැතැයි බොහෝ කෙනෙක් පැවැසීම නිසායි. පළමුව තමා අවවාදයේ පිහිටා ගුණයහපත් වූ ජීවිතයකින් පරිපූර්ණව තමාට ගැළපෙන ආකාරයෙන් කල්‍යාණ මිත්‍ර පිරිසක් සොයාගැනීම සුදුසු බවයි ඉන් අදහස් කරන්නේ.

“අඤ්ඤදත්ථුහර” මිත්‍රයා නම් - නිතර ස්වල්ප දෙයක් දී බොහෝ දෙයක් තම යහඵවන්ගෙන් මිතුරන්ගෙන් ලබන්නට බලාපොරොත්තු වන පුද්ගලයායි. ආශ්‍රය කරන්නේ තමාගේ කටයුතු කරගන්නට මිස යහළුවාට උපකාරයක් පිණිස නොවේ.

ඒ වගේ ම “වචීපරම” මිත්‍රයා නම් – මිත්‍රයාට හෝ මිතුරන්ට උපකාරයක් අවශ්‍ය වූ විට අතීතයෙන් සංග්‍රහ කරයි. අනාගතයෙන් සංග්‍රහ කරයි. නිරත්තර කතාවකින් සංග්‍රහ කරයි. ඒ වගේ ම වර්තමාන කටයුතුවල තිබෙන අවැඩ මතුකොට දක්වයි. එනම් වචනයෙන් ම කරන සංග්‍රහයක් විනා කිසිවිටකවත් ක්‍රියාවෙන් උපකාරයක් සිදුකරන්නේ නැහැ. නිදසුනක් දැක්වුවොත් යහළුවාට උපකාරයක් අවශ්‍ය වූ විටක ඊයේ හෝ පෙරේදා හෝ අතීතයේ කීවා නම් කරන්න තිබුණා යැයි පවසයි. එහෙම නැතිනම් හෙට දවසේ හෝ අනාගතයේ මම කරන්නට බලාපොරොත්තු වෙන්නම් යැයි පවසයි. කිසිවිටකවත් උපකාරයක් නොකරයි. ඒ “වචීපරම” මිත්‍රයාගේ ස්වභාවයයි.

“අනුප්පියභාණී” මිත්‍රයා - නම් ඔහු යහළුවා කරන කියන සිතන යහපත් වූ දෙයක් වුවත් අයහපත් වූ දෙයක් වුවත් ඒ සියල්ලම අනුමත කරයි. එයට හේතුවනම් යහළුවා තරහ කරගත්තොත් තමාට තියෙන වාසිය හෝ යහපත හෝ ලාභය නැතිවේය යන බියෙනි. පිනක් කරමුයි කීවත් එයට කැමැත්ත දෙයි. පාපයක් කරන්නට කැමැතියි යැයි කීවත් එයත් අනුමත කරයි. ඒ අනුප්පියභාණී පුද්ගලයාගේ ලක්ෂණයයි.

“අපාය සහාය” වූ පුද්ගලයාගේ ලක්ෂණය නම් – මත් වතුර පානය කිරීමේ පටන් නොකල්හි වීදි සංචාරය, නිතර නිතර නැටුම් ගැයුම් බලන්නට යෑම, දූ කෙළිය ඒ වගේ ම ප්‍රමාදයට මේ ආදී වශයෙන් පිරිහීමේ දොරටුවලටම අපාය දොරටුවලටම තම ආශ්‍රය කරන යහළුවාද කැඳවාගෙන යොමු කරන පුද්ගලයායි.

මේ ලෙසින් මෙම මිත්‍රයන් සතර දෙනාම සැබෑ මිත්‍රයන් නොවන බවත් ඕනෑම ජීවිතයකට පිරිහීම ගෙනදෙන බවත් සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙහි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ආශ්‍රය කළ යුතු මිත්‍රයන් හතර දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. මේ කරුණෙදිත් තමන් එවැනි සද්පුරුෂ වූ කල්‍යාණවන්ත වූ අයෙක් බවට පත්වී එයට ගැළපෙන හෝ තරමක හෝ සමානව පවතින යහළුවෙක් හෝ යහළුවන් ආශ්‍රය කරන්නට ලෞකික ජීවිතයේදීත්, ලෝකෝත්තර මාර්ගයේදීත් කල්පනාකාරී විය යුතුයි. මිතුරන් නිසා මෙලොව, පරලොව දෙලොවින් ම පිරිහුනු හා පිරිහෙන බොහෝ පිරිස් වර්තමාන පරිසරය තුළ දකින්නට ඇත.

බොහෝ මවුපියන් තම දරුවන් පිළිබඳව වඩාත් අවධියෙන් කටයුතු කරන්නේ තරුණ වයසට පත්වෙන නිසා යහළුවන් නිසා හෝ නොමඟට යා දෝ කියන බිය නිසාය. සැබවින් ම එය සත්‍යයකි. මැනවින් ඉගෙනගෙන ගුණ යහපත් ලෙස හැදුණු වැඩුණු තරුණ දරුවන් අයාලයේ ගමන් කොට මත් වතුරට, මත්ද්‍රව්‍යයන්ට පුරුදු වී හිරේ විලංගුවේ වැටී පිරිහුණු අවස්ථා බොහෝ සෙයින් වර්තමාන පරිසරය තුළ දැකගත හැකිවෙයි. ඒ විතරක් නොවෙයි විවාහක ජීවිතවල පවා යහළුවන් නිසා මත්වතුරට යොමුවී බොහෝ අපචාරවලට යොමු වී තම ජීවිතයත් ස්වාමිභාර්යා, දරුවන්ගේ පටන් පවුල් ජීවිත පවා විනාශ කරගත් බොහෝ චරිත දකින්නට පවතියි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආශ්‍රය නොකළ යුතු මිත්‍රයන් ගැන සැලකිලිමත් වී තමාත් ඒ ස්වභාවයට පත් නොවී ආශ්‍රයේ දී එවැනි අය ආශ්‍රය නොකරන්නට සිතාගත යුතු සේම යහපත් වූ මිත්‍රයෙක්ගේ ස්වභාවයට තමා පත්වී ආශ්‍රයට එවැනි ම යහපත් වූ මිත්‍රයන් සොයාගැනීම හෝ ආශ්‍රයට යොමුවීම නිරන්තරයෙන් ම කල්පනා කළ යුතු කරුණකි. එහෙත් මෙහි දී අප විසින් මතකයේ තබා ගතු යුතු කරුණක් තිබේ, එනම් ආශ්‍රයට සුදුසු නැති මිත්‍රයන් යැයි කිසිවෙකුත් අපට ඈත් කළ නොහැකිය. ඔවුන් සමඟ කතා නොකර සිටිය නොහැකිය. එයට හේතුව ගම තුළ පළාත තුළ ආයතන තුළ දී මෙවැනි සෑම ස්ථානයක දී මේ සියලු දෙනාම සිටින බැවිනි. අප එවැනි අය ආශ්‍රය කළත් ඔවුන්ගේ නරක ගතිගුණ අපේ චරිතවලට නොගත යුතු බවයි මින් අදහස් කරන්නේ. එසේ නොමැතිව පුද්ගලයන් ඈත් කිරීම බැහැර කිරීමම නොවේ කළ යුත්තේ.

පුංචි දරුවන්ට අවවාද දෙන විට නම් එවැනි අය ආශ්‍රය නොකිරීමට, එවැනි අය සමඟ කටයුතු නොකිරීමට උපදෙස් දිය හැකියි. එහෙත් වැඩිහිටියන් වූ අපට එදිනෙදා ජීවිතයේ දී ඔවුනොවුන් සමඟ ගැටෙමින් මේ පරිසරය තුළ කටයුතු කළ යුතුවන අතර ඔවුන්ගේ පාපී ක්‍රියාවන්ට තමන් යොමු නොවීමටත් ඒවා අනුමත නොකිරීමටත් ඒවා වෙනුවෙන් උනන්දු නොවීමටත් වග බලා ගත යුතුයි. එයයි මෙහි දී ආශ්‍රය නොකළ යුතු පුද්ගලයන් ආශ්‍රය නොකළ යුතු බවට ධර්මයේ අවවාද දීමක් සිදු කෙරෙන්නේ.