Print this Article


බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ පරම සැපය උදා කරන එකම මඟ

බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ පරම සැපය උදා කරන එකම මඟ

අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින්නා වූ සත්ත්ව ප්‍රජාවට දහම් ආලෝකය ලබා දෙමින් අවිද්‍යා අන්ධකාරයෙන් ගලවා ගනු ලබන එක ම විමුක්ති දායකයාණෝ බුදුරජාණන් වහන්සේය. කල්ප සිය දහස් ගණන් මැරෙමින් ඉපදෙමින් ජාති ජරා මරණ ආදී අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් භවයේ ගමන් කරන සත්ත්වයාට එකම රැකවරණ කාලය බුද්ධෝත්පාද කාලයයි.

අප දැන් ඉපදී සිටින මහා භද්‍ර කල්පය බුදුවරු පස් නමක් බුදුවන මහා වාසනාවන්ත කල්පයකි. මහා භද්‍ර කල්පයේ අප මේ කාලය ගත කරන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළයි. මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉපදීම මහත් වූ පුණ්‍ය විපාකයක් වන්නේ ය. මෙවැනි අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ ක්ෂණ සම්පත්තිය ලෙසය. ක්ෂණය යනු මොහොතින් ගෙවී අවසන් වන කාලයයි. වර්තමානයේ ජීවත් වන මිනිසාට නිවන් මගේ අප්‍රමාදීව ගමන් කිරීමේ ක්ෂණ සම්පත්තිය ලැබී ඇත. දුර්ලභ වූ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගතහොත් මෛත්‍රී බුද්ධ ශාසනය පවා අහිමි විය හැක. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වනුයේ කල්ප ගණනාවකිනි. ඇතැම් කල්පයන්හි බුදුවරු පහළ වන්නේ ද නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ හිස ගිනිගත් අයෙකු ඒ ගින්න නිවීමට උත්සුක වනවාටත් වඩා නිවන් අවබෝධ කිරීමට උත්සුක විය යුතු බවයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් වසර දෙදහස් හයසියයක් ඉක්මවා ගියද උන්වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය තවමත් විරාජමානව පවතී. ඒ ශ්‍රී සද්ධර්මය කාලයකට අයත් නොවූ අකාලික දහමකි. එය අනුගමනය කරමින් ඕනෑම කාලයක දී මග පල ලබා ගත හැකිය. එසේ නම් වර්තමාන මනුෂ්‍යයා කළ යුත්තේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමට නොපමාව කටයුතු කිරීමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ලැබෙන මේ උතුම් ම මොහොත අතහැර නොගන්නා ලෙසයි. එසේම මේ උතුම් මොහොත අතහැරුනොත් නිරයේ ඉපිද ශෝක කරන්නට වන බවයි. බොහෝ ගිහි පැවිදි පිරිසකගේ ආකල්පය වී ඇත්තේ මේ යුගයේ දී මාර්ගඵල ලැබිය නොහැකි බවයි. ඇතැමුන් මෛත්‍රී බුද්ධ ශාසනය පතනු දැකිය හැකිය. මෙම මතය නිරර්ථක එකක් බව බුද්ධ දේශනා අධ්‍යයනයේ දී පැහැදිලි වේ. ඕනෑම කාලයක දී අවබෝධ කළ හැකි ලොවෙහි පවතින සනාතන ධර්මතාවකි.

තවත් වර්තමානයේ පවත්නා මතයක් වන්නේ ගිහි ජීවිතය තුළ දී ධර්මය අවබෝධ කර මාර්ග ඵලවලට පැමිණිය නොහැකි බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ සඟ පිරිස පැවිද්දන්ගෙන් පමණක් නොව ගිහියන්ගෙන් ද සමන්විත ව තිබූ බව පෙන්වා දී ඇත. සංඝ යන්න කොටස් 2 කි. එනම්, භික්ෂු, සංඝ සහ ශ්‍රාවක සංඝයි. සංඝ යන්නට පුද්ගලයින් අටදෙනෙක් ඇතුළත් ය. එනම් සෝවාන් මාර්ගයේ සිටින පුද්ගලයා, සෝවාන් ඵලය ලබා ගත් පුද්ගලයා, සකදාගාමී මාර්ගයේ සිටින පුද්ගලයා, සකදාගාමී ඵලය ලබා ගත් පුද්ගලයා, අනාගාමි මාර්ගයේ සිටින පුද්ගලයා, අනාගාමී ඵලය ලබා ගත් පුද්ගලයා, අරහත් මාර්ගයේ සිටින පුද්ගලයා, අරහත් ඵලය ලබා ගත් පුද්ගලයා ලෙසයි. මෙම අටදෙනා පැවිද්දන් අතර සිටී නම් ඔවුන් භික්ෂු සංඝ වන අතර ඔවුන් ගිහියන් ලෙස සිටී නම් ශ්‍රාවක සංඝ වේ. මෙයින් මඟ ඵල ලැබූ ගිහි පිරිසක් සිටි බව සනාථ වේ. තව ද විශාඛා, සුමණා, නන්දමාතා, අණාථපිණ්ඩික සිටුතුමා ආදී අය බුද්ධ කාලයේ ගිහි ජීවිතය තුළ දී ම මාර්ගඵල ලැබූ අයට උදාහරණ වේ.

වත්මනේ බොහෝ බෞද්ධයින් මෙන්ම ඇතැම් භික්ෂූන් ද තමුන් පෘතග්ජන ලෙස හඳුන්වා දෙනු දැකිය හැකිය. සත්‍ය වශයෙන් ම පෘතග්ජන යන්නෙහි අරුත සොයා බැලිය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ අශ්‍රැතවත් පෘතග්ජනයා විස්තර කර ඇත්තේ මෙසේ ය. එනම් අශ්‍රැතවත් පෘතග්ජනයා බුදු පසේ බුදු මහරහත් උතුමන් ගැන අපහදින්නෙකි. උන්වහන්සේලා ගැන දැනුමක් නැති අයෙකි. (අරියානං අදස්සාවි) එසේම බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයට අදක්ෂයෙකි. (අරිය ධම්මස්ස අකොවිධො) තවද ආර්යයන් වහන්සේලාගේ ධර්මය තුළ හික්මී නැති අයෙකි. එනම් සිල්වත් නැති අයෙකි. (අරිය ධම්මො අවිනීතො) ආදී ලෙස විස්තර කරයි. එසේ නම් බෞද්ධයින් පෘතග්ජනයින් ලෙස හඳුන්වා ගැනීම කොතරම් නොගැළපෙන ක්‍රියාවක්යන්න එනයින් ම පැහැදිලි වෙයි.

මෙහිදී ප්‍රථමයෙන් ම කළ යුතු වන්නේ පෘතග්ජනභාවයෙන් මිදී ආර්ය ශ්‍රාවක බවට පත් වීමයි. ආර්ය ශ්‍රාවකයා යනු පෘතග්ජන භාවයෙන් මිදී බුදුන්, දහම්, සඟුන් සරණ ගිය පුද්ගලයා ය. ආර්යශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය හා මහා සංඝරත්නය ගුණ වශයෙන් හඳුනාගෙන සිටින්නෙකි. ඔහු කර්ම ඵල විශ්වාස කරයි. සියලු මිථ්‍යා දෘෂ්ටිවලින් මිදී ගිය කෙනෙකි. එනම් දන් දීමේ විපාක ඇත. පූජා සත්කාර කිරීමේ විපාක ඇත. වැඩිහිටියන්ට ඇප උපස්ථාන කිරීමේ විපාක ඇත. හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. ඕපපාතික ව උපදින සත්වයෙක් ඇත. මවට සැලකීමේ විපාක ඇත. පියාට සැලකීමේ විපාක ඇත. නුවණින් ජීවිතය අවබෝධ කර ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇත යන කරුණුවලින් ආර්ය ශ්‍රාවකයා සම්‍යක්දෘෂ්ටියට පත්වී සිටී. එනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පිවිසීමේ මූලික දොරටුව වන්නේ ආර්ය ශ්‍රාවක බවට පැමිණීමයි.

බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන ගිහි පිරිමි ශ්‍රාවකයින්ට වදාළේ ගිහි ජීවිතය තුළ ධර්මයේ හැසිරෙමින් චිත්ත ගෘහපති, හත්තාලවක පුත්ත සිටුතුමා වැනි අනාගාමී ගිහි ශ්‍රාවකයෙකු බවට පත් වන ලෙසයි. එසේම ගිහි ජීවිතය ගත කරන කාන්තාවන්ට වදාළේ ඛුජ්ජුත්තරා, වේලුකණ්ඨකී ගමේනන්ද මාතාව වැනි අනාගාමී ගිහි ශ්‍රාවිකාවන් බවට පත් වන ලෙසයි. එනම් ගිහි ජීවිතය ගත කරන තෙරුවන් සරණ ගිය ගිහි ශ්‍රාවකයින් ගිහි ජීවිතය තුළ දී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මාර්ගඵල ලබා ගැනීමට මහන්සි ගත යුතු බවයි. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට එම මාර්ගයේ ගමන් කරන ගිහි ශ්‍රාවකයා තුළ මෙම ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතුය. චතුරාර්ය සත්‍ය අවබෝධයට මූලික වන කරුණු කිහිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. එනම් කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාවයි.