Print this Article


ශ්‍රී ලාංකීය ජන හද බැඳගත් මිහිඳු මාහිමි දේශනා

ශ්‍රී ලාංකීය ජන හද බැඳගත් මිහිඳු මාහිමි දේශනා

,මිහිඳු මාහිමියන් අසන ලද ප්‍රශ්න සඳහා රජතුමා සපයන ලද පිළිතුරුවල ස්වරූපය අනුව එතුමා බුද්ධිමතෙකු බව වටහා ගත් උන්වහන්සේ රජතුමා ඇතුළු පිරිසට පළමුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසීය තිස් හත්වැනි (237) වර්ෂයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩම කළ බව දීපවංසය, මහාවංසය මෙන්ම සමන්ත පාසාදිකාව ද සඳහන් කරයි. මහින්දාගමනය ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියක ආරම්භ විය. මිහිඳු මාහිමියන්ගේ විචක්ෂණශීලි බව හා දේශනා කෞශල්‍ය නිසාවෙන් දේවානම්පියතිස්ස මහ රජතුමා ප්‍රමුඛ ලක්වැසි ජනතාව බුදුදහම වැළඳගෙන, පෝෂණය කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. විශේෂයෙන් මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ මනෝවිද්‍යාත්මක වූ ද සමාජවිද්‍යාත්මක වූ ද ඉතාමත් තාර්කික පදනමකින් ලක් වැසි ජනතාවට දහම් දෙසන්නට සූත්‍ර දේශනා තෝරාගෙන ඇති බව පෙනේ. ඒ පිළිබඳ අපගේ අවධානය මෙහිදී යොමු කෙරේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්වැනි ශතවර්ෂයෙහි මුල් භාගයෙහි පාටලී පුත්ත නගරයෙහි දී පවත්වන ලද තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ හා භික්ෂු මහා සංඝයා ද ශ්‍රී ලංකාවට වැඩම කොට එහි සම්බුද්ධ සසුන පිහිටුවන ලෙස ආරාධනා කළහ. එම ආරාධනාව පිළිගත් මිහිඳු මාහිමියෝ ඊට සුදුසු කාලය දැයි විමසා බැලූහ.

එදා ශ්‍රී ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලු රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලු රජ කෙනෙකුගේ අනුග්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ පුත් දේවානම්පියතිස්ස රාජ්‍යත්වයට පත් වන තුරු බලා සිටියහ. මෙයද සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රියාවකි. එසේම දේවානම්පියතිස්ස මහ රජතුමා හා ධර්මාශෝක අධිරාජ්‍යයා අතර පැවති සුවිශේෂි සබඳතා පිළිබඳව ඉතිහාසය සඳහන් කරයි.

මිහිඳු මා හිමියෝ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, යන මහ තෙරවරු ද වේ. අභිඤ්ඤාලාභි සුමන සාමණේර ද භණ්ඩුක උපාසක සමඟ ද ශ්‍රී ලංකාවට වැඩම කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. එම අවස්ථාවේ දී ශක්‍ර දේවේන්ද්‍රයා ද පැමිණි මිහිඳු මාහිමියන්ට ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීමට ආරාධනා කළේය. මිහිඳු මාහිමියෝ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආරාධනාවද පිළිගෙන ඉහත නම් සඳහන් කළ අනෙක් සදෙනාත් සමඟ වේදිසක පර්වතයෙන් අහසට නැග අනුරාධපුරයේ නැගෙනහිර දෙස පිහිටි පසු කාලයේ දී චේතිය පබ්බත නමින් හැඳින් වූ මිස්සක පව්වට වැඩම කළහ. උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දීය. එදින ලක්දිව ජෙට්ඨ මූල නක්ඛත්ත නම් උත්සව දවස විය. දේවානම්පියතිස්ස රජතුමා ද නක්ඛන්තය ප්‍රකාශ කර හතලිස් දහසක් පිරිවරාගෙන දඩයම පිණිස මිස්සක පව්වට ගියේය. මිස්සක පව්වට අරක් ගත් දේවතාවෙක් රජතුමාට මහ තෙරුන් දක්වමියි සිතා රෝහිත මෘග වේශයෙක් ගෙන නොදුරු තැනක තණපත් කන්නියක මෙන් හැසිරෙන්නීය. රජතුමා ඌ දැක දුනු දිය අමෝරාගෙන මුවා පසු පස ලුහු බැන්දේය. රජතුමා අඹතලය දක්වා කැඳවාගෙන ආ මුවා මහ තෙරුන්ට නුදුරෙහිම නොපෙනී අතුරුදන් විය.

තමා වෙත පැමිණි රජතුමා දුටු මිහිඳු මාහිමියෝ ඔහුට තිස්ස තිස්ස යන නාමයෙන් ආමන්ත්‍රණය කළහ. සුන්බුන් පිළි දරන හිස මුඩු කරගත් කසාවත් හැඳ පෙර වු මෙතෙමේ මාගේ නම කියා අමතන්නේය මෙතෙමේ මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක්ද කවරෙක් හෝ වන්නේ දැයි සිතීය.එවිට මහා ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාව වදාළහ.

සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා -
තමෙව අනුකම්පාය –ජම්බුදීපා ඉධාගතා

‘මහ රජ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයන් වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියහ” යැයි වදාළහ.

දෙපාර්ශ්වය මුණ ගැසුන අවස්ථාවේ ඇති වු සංවාදය අතිශය බුද්ධිමත් වූවක් බව පෙනේ. මිහිඳු මාහිමියන් මුණ ගැසුන දේවානම්පියතිස්ස මහ රජතුමා, ස්වාමීනි, ඔබ වහන්සේලා කුමකින් වැඩියේ දැයි විචාල කල්හි මහ රජ දියෙන් නොම ආවෙමු. ගොඩින් නොම ආවෙමු යි වදාළ සේක. එකල්හි රජතුමා උන්වහන්සේලා අහසින් වැඩම කළ බව දැනගත්තේය. අනතුරුව මහ තෙරුන් වහන්සේ දෙවන පෑතිස් රජතුමා ප්‍රඥාවන්තයෙකු දැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගත් බුද්ධි පරීක්ෂණය ද අතිශයින් වැදගත් වේ.

රජතුමනි මේ ගස කුමක්ද? – අඹ ගසකි

මේ ගස හැර අන් අඹ ගස් ඇත්තේද – වෙනත් අඹ ගස් බොහෝ ඇත්තේය

මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර වෙනත් ගස් ඇත්තේද? – බොහෝ ඇත්තේය. ඒ අඹ නොවේ

ඒ අනුව අඹ ගස් ද අඹ නොවන ගස්ද හැර වෙනත් ගස් ඇත්තේද ? – ඇත ස්වාමීනි, ඒ මේ අඹ ගසයි

මහ රජතුමනි ඔබට නෑයන් සිටී ද? – බොහෝ නෑයෝ ඇත.

නෑයන් හැර නොනෑයන් සිටීද? –බොහෝ නොනෑයෝ ඇත.

මහ රජතුමනි, ඔබගේ නෑයෝ නොනෑයෝ හැර අන් කිසිවෙක් ඇත්තේද ? – එසේය ස්වාමීනි, ඒ මමම වෙමි.

මිහිඳු මාහිමියන් අසන ලද ප්‍රශ්න සඳහා රජතුමා සපයන ලද පිළිතුරුවල ස්වරූපය අනුව එතුමා බුද්ධිමතෙකු බව වටහා ගත් උන්වහන්සේ රජතුමා ඇතුළු පිරිසට පළමුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක. මෙය මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසකයේ සඳහන් සූත්‍රයකි. විශේෂයෙන් මෙම සූත්‍රය මගින් ආධුනිකයෙකු සඳහා තුනුරුවන්ගේ ගුණ හඳුන්වාදීමක් සිදු කරයි. පිලෝතික පිරිවැජියා හා ජාණුස්සෝනිය බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයක් ඇසුරින් චුල්ලහත්ථී පද උපමා කොටගෙන බුදුපියාණන් වහන්සේගේ සුවිශේෂත්වය පැහැදිලි කරන අතරම ධර්ම රත්නයේ හා සංඝරත්නයේ ගුණයන් පිළිබඳ හඳුන්වා දෙයි. ආධුනික කණ්ඩායමකට තෙරුවන් ගුණ හඳුන්වා දිය යුතුම වේ. ඒ බව අවබෝධ කරගත් මහින්ද මහ රහතන් වහන්සේ පළමුව එම කාර්යය ඉටු කළ සේක. සූත්‍ර දේශනාව අවසානයේ රජතුමා ඇතුළු හතළිස් දහසක් වූ කණ්ඩායම තෙරුවන් සරණ ගියහ.

පසු දින රජ මාලිගාවට වැඩම කළ මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායම දන් වළඳා අවසන පේතවත්ථුව විමාන වත්තුව හා සච්ච සංයුක්තය ප්‍රධාන කොට ගෙන දහම් දෙසූහ. පස් පව් දස අකුසල් ආදි අකුසල කර්මයන්ගේ විපාකයන් පේතවත්ථුවේ දී මනාව පැහැදිලි කරයි විශේෂයෙන් බොරු කීම, කේළාම් කීම, සොරකම් කිරීම, පර පුරුෂ පර ස්ත්‍රී සේවනය ආදි ළාමක පහත් ක්‍රියා සිදු කිරීම නිසා විඳින්නට සිදු වූ කටුක අප්‍රසන්න වේදනා පේත වත්ථුවේ විස්තර කරයි. එසේම දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, දයාව, කරුණාව මෛත්‍රිය, ධර්මානුකූල නිවැරදි ජීවන පුරුදු පුහුණුූ කිරීම නිසා සසර ජීවිතයේ විඳින්නට සිදු වූ සැප විපාක පිළිබඳ උසස් වර්ණනාවත් විමාන වත්ථුව තුළ අන්තර්ගතය. ඒ අනුව දෙවනුව මිහිඳු මහරහතන් වහන්සේ සිදු කොට ඇත්තේ පුද්ගල ආචාරශීලි ඇවතුම් පැවතුම් වැඩි දියුණු කරලීම සඳහා බෞද්ධ ඉගැන්වීම තුළ සාකච්ඡා කරන කර්ම විපාක සංකල්පය සරලව හඳුන්වා දීමකි. එසේ සච්ච සංයුත්තයේ අන්තර්ගත සූත්‍ර බොහොමයකම පුද්ගල ආචාර ධර්ම පිළිබඳව උගන්වන අතර ජීවිත විසුද්ධියට අවශ්‍ය ගමන් මගද හෙළි කරනු ඇත. එම දේශනාව අවසානයේ පන්සියයක් ස්ත්‍රීහු සෝතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කළ බව සඳහන් වේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායමේ වැඩම වීම කන වැටුණූ වැසියෝ රජ මාලිගයට රැස් වූහ. රජමාලිගාව එම මහා ජනගහණයට ප්‍රමාණවත් නොවුයෙන් රජතුමාගේ ඇත්ගාල සකස් කරවා අසුන් පනවා එම මහා ජනකායට දහම් අසන්නට අවස්ථාව සලසා දී ඇත. ඇත්ගාලට රැස්වූ ජනතාව වෙනුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවදූත සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ. මෙය මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසකයේ අන්තර්ගත සූත්‍රයකි. මෙම සූත්‍රයේදි කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුශ්චරිතවලින් ඉවත්ව කාය සුචරිතය , වාග් සුචරිතය, මනෝ සුචරිතය වැඩි දියුණුූ කරගන්නට අවශ්‍ය දහම් උපදේශන ලබා දෙයි. අනතුරුව ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි අවස්ථාවන් ජීවිතයේ යථාර්ථ බව අවබෝධ කරගැනීමට පැමිණි දේවදූතයන් සේ සලකා ජීවිත යථාර්ථය විග්‍රහ කරනු ඇත. අනතුරුව දුගතියේ විඳින්නට සිදු වන දරුණු විපාකයන් පිළිබඳ විග්‍රහයක්ද දක්වයි. මෙම සූත්‍රය මගින්ද සුචරිතවත් සමාජ සාමාජීක පිරිසක් ඇති කරමින් ජීවිතය දකින්නට අවශ්‍ය මග හෙළි කොට ඇති බව පෙනේ. මෙම සූත්‍ර දේශනාව අසා දහසක් දෙනා සෝවාන් මාර්ගඵලාබෝධය ලබා ගත් බව සඳහන් වේ.

ඇත්හල ද රැස් වූ ජනතාවට ප්‍රමාණවත් නොවුයෙන් නන්දන විනෝද්‍යානයෙහි අසුන් පනවා රැස් වූ ජනතාවට දහම් අසන්නට අවස්ථාව සලසා දී ඇත. එහි දී මිහිඳු මහ රහතන් වහන්සේ රැස් වූ මහ ජනතාව වෙනුවෙන් ආසිවිසොපම සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ. මෙය සංයුක්ත නිකායේ ආසිවිස වර්ගයේ ඇතුළත් සූත්‍රයකි. මෙම දේශනාවේ දී ජන ජීවිතයට ඉතාමත් සමීප වූ උපමා රැසක් උපයෝගී කරගනිමිනි. ගැඹූරු දහම් කරුණු අර්ථවත් කර දීමක් සිදු කරයි. දහම් කරුණු ගැඹූරුවුවද ජන ජීවිතයට ඉතාමත් සමීප උපමා යොදා ගනිමින් කෙරුණූ විග්‍රහයක් බැවින් එම සූත්‍රදේශනාවද ජන ජීවිතයට කිඳා බැස ඇති බව පෙනේ. මෙම සූත්‍රයේ දක්වන උපමා හා දහම් කරුණු කෙටියෙන් මෙසේ පෙන්වා දිය හැකිය.

දරුණු විෂ ඇති සර්පයෝ සිව් දෙනා – පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයෝ

සතුරු වූ පස් වැදෑරුම් වධකයෝ – පඤ්ච උපාධානස්ඛන්ධයෝය

ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති භය වන වධකයා – නන්දිරාගය හෙවත් තණ්හාව වේ.

හිස්ගමයනු – චක්ඛු , සෝත, ඝාණ, ජීව්හා, කාය, මන යන ආධ්‍යාත්මක ආයත සය වේ.

ගම් පහරන සොරු යනු – රූප,ශබ්ද, ගන්ධ ,රස, ස්පර්ශ, ධම්ම යන බාහිර ආයත සය වේ.

මහා ජලාසය යනු – කාම ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ වේ.

සැක සහිත බිය සහිත මෙතෙර යනු –සක්කාය දිට්ඨිය වේ

පරතෙර යනු – නිවන වේ

මෙම සූත්‍ර දේශනාවසානයෙහි දහසක් දෙනා සොතාපත්තිඵලයට පත්වූ බව සඳහන් වේ.

මහා මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නය විෂයෙහි අත පැන් වත් කර මහමේවනා උයන පූජා කිරීමෙන් අනතුරුව රජ මාලිගයෙන් දන් වළඳා නන්දන උයනටම වැඩම කොට රැස්ව සිටි පිරිසට අනමතග්ගිය සංයුත්තයෙන් දහම් දෙසූ සේක.

අනමතග්ගිය සංයුත්තවෙහි පඨම වග්ග, දුතිය වග්ග යනුවෙන් වර්ග දෙකකි. මෙම වග්ග දෙකෙහි සූත්‍ර විස්සක් ඇතුළත්ව පවතී. එම සූත්‍ර දේශනා තුළ ද පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය සඳහා අදාළ උපදේශන මෙන්ම ජීවිත විශුද්ධිය සඳහා වූ ගමන් මගද පැහැදිලි කරයි. ඉන් අනතුරුව උන්වහන්සේ අග්ගික්ඛන්ධොපම සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රය සංයුක්ත නිකායේ මහා වග්ගයෙහි ඇතුළත් සූත්‍රයකි.