Print this Article


පුද්ගලයාගේ ජීවිතය අර්ථවත් කරන මූලිකම බලවේගය උත්සාහයද? කර්මයද?

පුද්ගලයාගේ ජීවිතය අර්ථවත් කරන මූලිකම බලවේගය උත්සාහයද? කර්මයද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන බෞද්ධයාට ජීව්තයේ ලබන්නාවූ සියලු අත්දැකීම් , හරි වැරැද්ද තීරණය කිරීමට සිදුවනුයේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මයට අනුවයි. ඒ වගේම සමාජ සන්සිද්ධීන් පිළිබඳවත් බෞද්ධයකුට අර්ථකනය කිරීමට හැකියාව ලැබෙන්නේත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුවයි. ධර්ම ග්‍රන්ථ තුළ සදහන් වන න්‍යායන්ට අනුවයි. හරි වැරැද්ද හොඳ නරක, ගුණධර්ම තීරණය කිරීමට සිදුවනුයේ දහමට අනුවයි.

සියල්ල සිදුවන්නේ කර්මයෙන්ද? සියල්ල සිදුවන්නේ කර්මයෙන් යැයි කියා සමාජයේ ඇතැමුන් විශ්වාස කරනවා. තමන්ගේ ජීවිතය තුළ සිදුවන සියලුම සන්සිද්ධි කර්මයට බාරදෙනු ලබයි. ලෝකයේ සිදුවන සියලුම සන්සිද්ධි කර්මයට බාරදෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන පුද්ගලයකුට ලෝකයේ සිදුවන සියලු සිද්ධි පිළිබඳව අර්ථකතනය කරන්නට වන්නේ බුදු දහමට අනුවයි. ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය තුළ සිදුවන, සමාජය තුළ සිදුවන , ලෝකය තුළ සිදුවන සියලු සන්සිද්ධි පිළිබඳව අර්ථකතනය කරන විට සියල්ල කර්මයෙන් සිදුවනවාය කියන නිගමනයට පැමිණිම අපහසුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නා වූ කර්ම විග්‍රහය එයට හේතුවෙයි. බුදුරජාණන් වහන්සේ විවිධ සුත්‍ර ධර්මයන් තුළ එම කර්ම විග්‍රහයන් දක්වා ඇත. විශේෂයෙන්ම චුල්ල කම්ම විභංග සූත්‍රය මෙහිලා විශේෂ කොට සැලකිය හැකියි. චුල්ල කම්ම විභංග සූත්‍රය තුළ කම්මං සන්තේ විභජති, යදිධං හීනං පනීතතාය යනුවෙන් . පුද්ගලයා පහත් බවටත්, උසස් බවටත්, පත්කිරීමට එම පුද්ගලයාට බලපානු ලබන්නේ තමන්ගේ කර්මය බවය. කර්මය උත්සාහය තුළිනුත් ඇතිකර ගත හැකිය. උපතින්ම කර්මය උරුම කරගෙන එයි. ඇතැම් පුද්ගලයන් කර්මයයි, උත්සාහයයි දෙකම ඇතිකරගෙන සමාජය තුළ ජීවත්වෙනවා. මේ අනුව බලන විට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නාවූ ශ්‍රී සද්ධර්මයට අනුව කරන පැහැදිළි කිරීමට අනුකූලව පුද්ගල වර්ගී කරණයක් කර ඇත. ඇතැම් පුද්ගලයන් කර්මය උරුම කරගෙන එනවා. ඇතැම් පුද්ගලයන් කර්මයට වඩා උත්සාහය උරුම කරගෙන එනවා. ඇතැම් පුද්ගලයන් කර්මයත් උත්සාහයත් දෙකම උරුම කරගෙන එයි. ඇතැම් පුද්ගලයන් කර්මයත් නැති, උත්සාහයත් නැති පිරිස් වශයෙන් ජීවත් වෙනවා. මෙම පුද්ගලයා කරනු ලබන්නාවූ සියලුම සන්සිද්ධි සියලුම ක්‍රියාදාමයන්, ඔහුගේ පෙර කර්මයටම බාරදීලා විසඳුම් ලබාදීම ට නොහැකි බව බෞද්ධ මතයයි. මානසික වශයෙන් අවබෝධ පූර්වක පුද්ගලයකු වශයෙන් සිතන්නට පෙළඹිය නොහැකි සිතීම තුළින් අවබෝධ පුර්වකව වැඩ කළ නො හැකි පුද්ගලයකු වශයෙන් ඔහු කරනු ලබන්නාවූ යමි යම් ක්‍රියාවන්, ඔහු කරනු ලබන්නාවූ යම් යම් වාචසික ප්‍රකාශ මත මුල් කරගෙන ඇතිවන්නාවූ යම් යම් සන්සිද්ධි සහ අවුල් වියවුල් ඇති වේ. ඇතැම් අවුලක් වියවුලක් අධ්‍යයනය කර බලන විට ඒ සදහා එම පුද්ගලයාගේ නොදැනුවත්කම බලපා තිබීම එහි දක්නට ලැබෙන ප්‍රධාන කාරණාවයි. නොදැනුවත් කමින් කළ ප්‍රකාශ අවබෝධ යකින් තොරව කරනු ලබන්නාවූ ප්‍රකාශ අවුල් වියවුල් වලට බලපා තිබෙයි. හොඳ අවබෝධයකින් තොරව කරනු ලබන්නාවූ ක්‍රියාවන් අවුල්වලට බලපානු ලබයි. ලෝකය තුළ වැඩ කටයුතු සිදුවන නියමයන් කිහිපයක් තිබෙනවා. එය නියාම ධර්ම වශයෙන් හඳුන්වනු ලබයි. එම ලෝක න්‍යායන්ට අනුව එයට අනුකූලව ලෝකය තුළ වැඩ කටයුතු කරනු ලබනවා. කිසියම් බීජයක් රෝපණය කළාට පසුව එම බීජයට අනුව ඵලයක් හටගනී. එය බීජ නියාමයයි. . කම්ම නියාම, ධම්ම නියාම , ච්ත්ත නියාම සෘතු නියාම වශයෙන් නියාම ධර්ම කිහිපයකට බෙදනු ලබයි. මෙම නියාම ධර්ම තුළ සදහන් එකක් වශයෙන් කර්මය සඳහන් කළ හැකිය. කර්මය ප්‍රතික්ෂේප කළ නොහැකියි. තමන්ගේ කර්මයට අනුව යම් යම් දේ සිදුවන අතර එය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

තමන්ගේ කර්මයට අනුව වැඩ කටයුතු සිදුවුණත්, කර්මයට අනුව සත්ත්වයා උසස් පහත් වශයෙන් බෙදුවත්, එම කර්ම උරුමය අප හැම දෙනාටම තිබෙන්නාවූ දෙයක්. සියල්ල කර්මයෙන් සිද්ධ වීම කර්මයම බලපානු නොලබන බවට මෙහිදී අවධාරණය කළ යුතුයි. සියල්ල සිදුවනු ලබන්නේ නියාම ධර්මවලට අනුවයි. නියාම ධර්ම වලට අනුව , පුද්ගලයා අධ්‍යයනය කරන විට , සමාජය අධ්‍යයනය කරන විට, සියල්ල කර්මයෙන් සිද්ධ වන්නේ නැහැ කියන කාරණය පැහැදිළිවම දැකිය හැකිය. වර්තමාන සමාජය තුළ අප අත්දකින යම් යම් සන්සිද්ධි අධ්‍යයනය කර බලන විට අවබෝධයේ අඩුකම නිසා ඇතිකර ගනු ලබන්නාවු උවදුරු අපට දක්නට ලැබෙයි. අවබෝධයේ තිබෙන්නාවූ අඩුකම නිසා ඇතිකර ගනු ලබන්නාවු ප්‍රශ්න වැඩිපුරම සමාජය තුළ දක්නට ලැබෙයි. එම අවබෝධය අඩුකම නිසා ඇතිකර ගනු ලබන ප්‍රශ්න කර්මයට බාරදෙන්න පුළුවන්ද?සිද්ධිය සිද්ධ වුණාට පසුව උත්සාහයක් ගැනීමකින් තොරව නිරුත්සාහයෙන් ම සිදුවීමට ඉඩ ලබාදෙමින් ඒ දෙස බලා සිටින පිරිස පමණක් මේ මගේ කර්මයයි, යනුවෙන් ප්‍රකාශ කරනු ලබයි. නමුත් බුදු දහමට අනුව කර්මයයි, උත්සාහයයි කියන කාරණා දෙක ජීවිතයකට අත්‍යවශ්‍යයයි. කර්මයෙන් කටයුතු සිදුවනවා. උසස් පහත් බව කර්මය තුළින් තීරණය වෙනවා. එසේ වුවත් සියලු සන්සිද්ධින් සිදුවනු ලබන්නේ කර්මයටම අනුව නොවේ. කර්මානුරූපව සියල්ල සිදු නොවේ. කර්මයට අනුගතව නොවේ. බුදු දහමේ උගන්වන කාරණාවට අනුව උටිඨාන, බලය , වීර්යය, පරාක්‍රම යන වචන වල සමස්ත අදහසට අනුව උත්සාහය ඇතිකරගෙන ධෛර්යෙන් වීර්යයයෙන් කටයුතු කරන්න අවශ්‍යයයි කියන කාරණාව අවධාරණය කළ යුතුය. උත්සාහය ඇතිකරගෙන, ධෛර්යෙන් වීර්යයෙන් කටයුතු කරන්න යාමේදී විශේෂයෙන්ම ජීවිතය පිළිබඳව අවබෝධය, හෙවත් වටපිටාව පිළිබදව ලැබෙන අවබෝධය ඉතාමත් වැදගත් වෙයි. එම අවබෝධය වැදගත්වනු ලබන්නේ කර්මයෙන් එන දෙයට වඩා තමන්ගේ උත්සාහයත් සම්බන්ධ කරගෙන උත්සාහයත් සමග යාම නිසයි. එම නිසාම මූලික වශයෙන්ම පුද්ගලයාගේ ජීවිතය හැඩ කරන, පුද්ගලයාගේ ජීවිතය ආලෝකමත් කරන, පුද්ගලයාගේ ජීවිතය අර්ථවත් කරන, මූලිකම බලවේගය උත්සාහය මිස කර්මය නොවේ. කර්මයෙන් සියල්ල සිදුවන තුරු බලා සිටින පුද්ගලයා කම්මැළියාය. එබඳු පිරිසට බුදු දහම තුළ ඉඩක් නැත. එබඳු පිරිසට බුදු දහම තුළ ඇගයීමක් නැත. බුදු දහම තුළ ඉඩක් තිබෙන්නේ බුදු දහම තුළ ඇගයීමක් තිබෙන්නේත් උත්සාහය ඇතිකරගෙන උත්සාහය වඩවාගෙන මනසේ තිබෙන්නාවූ ථීනමිද්ධ ඉවත් කර උත්සාහය වඩවමින් වැඩ කටයුතු කරන පුද්ගලයකු වීමයි.