Print this Article


ධම්මපදට්ඨ කථාවෙන්: නුවණැස් නැත්තෝ බුද්ධ ශ්‍රාවකයෝ නොහඳුනති

ධම්මපදට්ඨ කථාවෙන්:

නුවණැස් නැත්තෝ බුද්ධ ශ්‍රාවකයෝ නොහඳුනති

බුදුහිමියන් දෙව්රම වැඩ වසන කල්හි සැවැත්නුවර අපූරු යහළුවෝ දෙදෙනෙක් වාසය කළහ. එකෙක් සිරිගුත්ත වන අතර අනෙකා ගරහදින්න නම් වූහ. සිරිගුත්ත තෙරුවන් කෙරෙහි පැහැදි දැහැමි උපාසකයෙකු වන අතර ගරහදින්න නිගණ්ඨ ශ්‍රාවකයෙක් විය. නිගණ්ඪයන් නිතර නිතර බුද්ධශ්‍රාවකයන් පහදවා ගැනීම පිණිස විවිධ විවිධ උපක්‍රම, කුමන්ත්‍රණ දියත් කරන අතර ප්‍රඥාව දුබල මෝඩයෝ ඔවුන්ගේ දැලෙහි පැටලී මිථ්‍යා දෘෂ්ටික වෙති. සැබෑ සැදැහැතියෝ කිසිදිනෙක මිථ්‍යාදැලෙහි හසු නොවෙති.

ගරහදින්න නිගණ්ඨාරාමයට ගිය සෑම විටෙකම නිගණ්ඨයන් ඔහුට බල කර සිටින්නේ ඔහුගේ යහළු සිරිගුත්තයන් කෙසේ හෝ නිගණ්ඨාරාමයට රැගෙන විත් නිගණ්ඨ ශ්‍රාවකයෙකු බවට පත් කරගන්නා ලෙසයි. නිගන්ඨයන් හැම විටම හැසිරුනේ සුළු ලාභ ප්‍රයෝජන පෙන්වා තම අරම්වලට බුද්ධශ්‍රාවකයන් ගෙන්වා ගැනීමටයි. නූතනයේ ක්‍රියාත්මක අන්‍යාගමිකකරණ ක්‍රියාවලිය පුරාතනයේ ප්‍රබල ලෙස ක්‍රියාවට නැංවූවෝ නිගණ්ඨයෝ ය. මේ අනුව නිගණ්ඨයන්ගේ බස් අසා රැවටුණු ගරහදින්න නිතර නිතරම තම මිත්‍ර සිරිගුත්ත අමතා බුදුරදුන් ළඟට යාමෙන් ලැබෙන කිසිවක් නොවන බවත්, නිගන්ඨාරාම වෙත යන අය මේ මේ දෑ ලබන අයුරුත් ඔහුට කියා දෙයි. බුද්ධ ශ්‍රාවකයන්ට නිතර නිතර දන් දෙන සිරිගුත්තට ගරහදින්න කියා සිටින්නේ නිගන්ඨ ශ්‍රාවකයන්ටත් දන් පහන් දෙන ලෙසයි. හමුවූ හැම විටෙකම ගරහදින්න කළේ සිරිගුත්ත නිගණ්ඨාරාමයකට රැගෙන යාමටත් ඔවුනට දන් දීමටත් පෙළඹවීමයි. එහෙත් අචල ශ්‍රද්ධාවකින් යුතු සිරිගුත්ත නිගණ්ඨයන්ගේ මෙම මිථ්‍යා දෘෂ්ටීන් බැහැර කළේ ය.

තම මිතුරාගේ ඇවිටිල්ල ඉවසිය නොහී දිනක් සිරිගුත්ත යහළුවාගෙන් විමසන්නේ ඔබගේ ශාස්තෘ වූ නිගණ්ඨයන්ගේ ඉගැන්වීම කවරේද කියාය. එවිට ගරහදින්න ප්‍රකාශ කළේ අපේ නිගණ්ඨ ශ්‍රාවකයන් අතීතය දන්නා වර්තමානය දන්නා අනාගතය දන්නා කාය කර්මයෙන් වචී කර්මයෙන් මනෝ කර්මයෙන් මේ මේ දේ සිදුවන සිදු නොවන ආකාරයත් ඉතා හොඳින් දන්නා බවත් ය.

එසේ නම් නිගණ්ඨ ශ්‍රාවකයන්ගේ මෙම ඤාණානුභාවය පිරික්සන්නට සිතා ඔවුන්ට තම නිවසට දානයක් සඳහා ආරාධනා කළ හැකිදැයි ඇසීය. එවිට ගරහදින්න ඒ බව නිගණ්ඨ ශ්‍රාවකයන්ට පැවසීය. ඔවුහු ඉතා සතුටට පත්ව තමන්ගේ අරමුණ, ඉටු වූ බව දැන මෙතෙක් කලක් බුද්ධ ශ්‍රාවකයන්ට දුන් දානමාන සියල්ල මෙතැන් පටන් නිගන්ඨාරාම වෙත ලැබෙනු ඇතැයි සිතා ආරාධනාව පිළිගත්හ.

සිරිගුත්ත නිගණ්ඨයන්ගේ අතීත වර්තමාන අනාගත නුවණ, පරීක්ෂා කිරීම පිණිස උපක්‍රමයක් යෙදීය. එනම් තම නිවෙස් දෙක අතරෙහි දිග පළල මහ වළක් කණවා අශූචිවලින් පුරවා ඒ දෙකෙළවර කණු සිටුවා ලණු ඇද ඒ ලණු මත ඇතිරිලි වසා පාවාඩයක් සේ සැකසීය.අනතුරුව අශුචි වළ ඉදිරියෙන් ආසන පනවා සෑම ආසනයකම කකුල් ලණුවලින් ගැට ගසා ඈතින් බැඳ තැබීය. ලොකු වළන් සෝදා ඒවායේ කැඳබත් කැවිලි පෙවිලි පුරවන්නාක් මෙන් පෙනෙන ලෙස හිස් භාජන පෙළක් ද තැබීය. ගරහදින්න උදෑසනම මිතුරාගේ ගෙට පැමිණ තම ශ්‍රාවකයන් පිළිගන්නට යාළුවා බොහෝ සේ මහන්සි වී ඇති අයුරු දැක තුටුපහටුව නිගන්ඨාරාම වෙත ගොස් නිගණ්ඨයෝ පන්සිය දෙනෙකු රැගෙන පැමිණියේ ය.

එවිට සිරිගුන්ත ඔවුනට වඳිමින් ඔබ වහන්සේලා අතීත, වර්තමාන, අනාගත ක්‍රියාවන් හා කාය කර්ම, වචීකර්ම මනෝ කර්ම යනාදී දන්නා ඥානයකින් යුතු බව මගේ මිතුරා කියයි. එසේ දන්නේ නම් පමණක් මෙම දාන ශාලාවට ඇතුළු වන ලෙසත් නොදන්නේ නම් ඇතුළු නොවන ලෙසත් ඉල්ලා සිටියේ ය. හිස උදුම්මාගත් නිගණ්ඨ ශ්‍රාවකයෝ සියල්ල දන්නෝ මෙන් සිතා තමන් අශුචි වළක වැටෙන්නට යන බව නොදැන පැනවූ අසුන්වල ඉඳගත්හ. පුටු කකුල් ලණුවලින් ගැටගසා තිබූ හෙයින් ඒ බව නොදැන ඉඳගත් ශ්‍රාවකයෝ සියලු දෙනාට එක්වර හිස පාතට හැරී අශුචි වලෙහි වවැටුණහ. එවිට මිථ්‍යාවෙන් ජනතාව රවටන මොවුනට මෙවැනි සංග්‍රහ හැර කවර දානයක්දැයි විමසා පොලු මුගුරු ගෙන පහරදී එලවා දැම්මේ ය.

නිගණ්ඨයෝ තම උපස්ථායක ගරහදින්නගේ නිවසට ගොස් තමන්ට කළ මේ අපහාසය පිළිබඳව හඬන්නට වූහ. ගරහදින්න සිරිගුත්ත කළ මෙම ක්‍රියාව රජුට පැමිණිලි කොට ඔහුගෙන් දඩ අයකර ගන්නැයි ඉල්ලීය. රජු ඔහු කැඳවා එසේ කළේ ඇයි දැයි විමසා ඔවුන්ගේ ඥානය පරීක්ෂා කරන්නටැයි කී විට රජතුමා ගරහදින්නටම දඩ නියම කළේ ය. යහළුවා කළ මේ අපහාසය විඳ ගත නොහි ගරහදින්න කාලයක්ම සිරිගුත්ත නොදැකම සිටින්නට කල්පනා කොට මේ සඳහා හොඳම දඬුවම තම නිවසෙහි බුද්ධ ශ්‍රාවකයන්ට දනකට ආරාධනා කොට ඔවුන්ද අශුචි වළෙක දැමීම යයි සිතීය. සිතා ඒ සඳහා සිරිගුත්ත මිත්‍ර කර ගැනීමට කල්පනා කොට ඔහුගේ නිවසට ගොස් ගියදේ ගියාවේ අපේ මිතුරුකම රැක ගත යුතු බව කියා සිටියේ ය.

කාලයක් ආශ්‍රය කොට නැවත පෙර සේම මිතුරු වූ ගරහදින්න දිනක් සිරිගුත්ත වෙතින් ඔබේ ශාස්තෘ බුදුහිමියන් දන්නේ කුමක්දැයි ඇසීය. එවිට සිරිගුත්ත කියා සිටියේ මාගේ බුදුරජාණන් වහන්සේ සර්වඥ බවය. සියල්ල දත් බවය. උන්වහන්සේ නොදත් කිසිවක් නොමැති බවය. එසේ නම් උන්වහන්සේ සහ ශ්‍රාවකයා තම නිවසට කැඳවා දන් දෙන්නට කැමැතියැයි කියා සිට හෙට දිනට ආරාධනා කරන්නැයි කියා සිටියේ ය. සිරිගුත්ත බුදුහිමියන්ට මෙම ආරාධනාව කොට තමන් කළ දේද දන්වා මෙය පිරිසුදු සිතින් දෙන දානයක් නොවිය හැකි බව කියා සිටියේ ය. ගරහදින්න ද සිරිගුත්ත සේම නිවාස ඉදිරිපිට මහ වළක් කැණ කිහිරි දර දමා ගිනි දල්වා අඟුරු බවට පත්කොට එය ඇතිරිල්ලකින් වසා ආසන පැනවීය. සිරිගුත්ත මෙන්ම හිස් භාජන තබා ආහාර පුරවා ඇති ලෙස පෙනෙන්නට සැලැස්වීය.

දෙවන දවසෙහි බුදුරදුන් පන්සියයක් ශ්‍රාවකයන් සමඟ ගරහදින්නගේ නිවසට වැඩම කළහ. ගරහදින්න පසඟ පිහිටුවා වැඳ සිටිමින් ඔබ වහන්සේලා සියල්ල දන්නා බව මගේ යහළු සිරිගුත්ත කියන බවත් එසේ සියල්ල දන්නේ නම් පමණක් මාගේ දාන ශාලාවට ඇතුළු වන්නැයි කීය. බුදුහිමියන් අගුරු වළ ළඟට වැඩම කොට පා ඔසවනවාත් සමඟම උන්වහන්සේගේ දෙපා පිළිගන්නට මිහිකත නෙළුම් මල් මැවීය. සියලු දෙනා වහන්සේම අනතුරකින් තොරව දාන ශාලාවෙහි වැඩ සිටි විට ගරහදින්නගේ ශරීරය දැවෙන්නට විය. එයින් බලවත් අපහසුවට පත්වන අයුරු දුටු බුදුහිමියෝ ගරහදින්න කැඳවා ඔහුට දහම් දෙසූහ. බුදුහිමියන් වදාළේ බුද්ධ ශ්‍රාවකයන්ගේ ගුණ නොදන්නෝ නුවණ නමැති ඇස් නැති අන්ධයෝ යැයි වදාරා දහම් දෙසූහ. එය ඇසූ ගරහදින්න සහ සිරිගුත්ත දෙදෙනාම සෝවාන් වූහ. එබැවින් නිවැරදි උපාසකයා වනාහි අචල ශ්‍රද්ධාවෙන් තෙරුවන් ගුණ දන්නා පුද්ගලයා බව වටහා ගත යුතු ය.