ජීවිත අරමුණු ජය ගැනීමට දිරිය ලබාදෙන
මහින්දාගමන පුනරාවර්ජනය
ගල්කිරියාගම ශී‍්‍ර වනසිංහ
රජමහා විහාරාධිපති,
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය,
අධ්‍යාපන අමාත්‍යාංශයේ
පිරිවෙන් අධ්‍යක්ෂක,
රාජකීය පණ්ඩිත
නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි
මහින්දාගමනය නමැති ඓතිහාසික සංසිද්ධිය දෙස විවිධ දෘෂ්ඨිකෝණවලින් බලන්නට හැකිය.
සමාජයේ ගිහි පැවිදි කාහටත් එයින් ගත හැකි ආදර්ශ බොහෝය. එබැවින් හුදෙක් අධ්‍යාපනික
අවශ්‍යතාවයක් හෝ සමාජ ආර්ථික පොදු අරමුණක් උදෙසා නොව පෞද්ගලිකව තම තමන්ගේ ජීවිත
අරමුණු සළුල කර ගැනීම උදෙසා මහින්දාගමනය පුනරාවර්ජනය කිරීම කෙතරම් ප්‍රයෝජනවත් දැයි
විමසා බැලීමට උනන්දු කරවීම අපෙගේ අරමුණයි.
ගිහි වුවත් පැවිදි වුවත් අප සැම දෙනා මනුෂ්‍යයෝ වෙමු. එනම් ඉතා දුර්ලභ වූ
මනුෂ්‍යාත්ම ලද්දෝ වෙමු. අප අතරින් බොහෝ දෙනෙක් මනුෂ්‍ය ආත්මයක් ලැබීමේ වටිනාකම
වටහා ගෙන නො සිටියත් එය ඉතා ම දුර්ලභ වූ තීරණාත්මක කාල පරිච්ඡේදයකි. ජීවත්ව සිටින
කෙටි කාලය තුළ හැකිතාක් පසිඳුරන් පිනවා සතුටු වියයුතු යැයි බොහෝ දෙනෙක් සිතති. එසේ
සිතන්නේ මේ ආත්මයෙන් චුත ව ගිය විට දීර්ඝ සංසාරයේ අත්විඳින්නට වියහැකි තත්ත්වය ගැන
නො තේරුම්කම නිසාය. අපට මනුෂ්‍ය ලෝකයේ ගත කරන්නට ඇත්තේ ඉතා කෙටි කාලයකි. බුද්ධිමත්
කිසිවෙක් අවසානයේ සිහිනෙන් ගෑ සුවඳක් පමණක් බවට පත්වන පසිඳුරන් පිනවීමට පමණක් ඒ
කෙටි කාලය විඩංගු නොකරනු ඇත.
මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කර ඇත්තේ වයස අවුරුදු 32 ක් පමණ වූ හොඳ යෞවන
වයසේදීය. ඒ වනවිට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්ව සිට ඇත. එනම් මනුෂ්‍යයෙකුට
ලෝකෝත්තර වශයෙන් ළඟා විය හැකි උපරිම තලයට පත්ව සිට ඇත. සැලසුම් සහගත දිවියක් නොවී
නම් හා රජ පෙළපතක සාමාජිකයෙක් වශයෙන් පසිඳුරන් පිනවීමෙහිම නිමග්ගන වී සිටියේ නම්
කිසිදා උන්වහන්සේට ඒ තත්ත්වය නො ලැබෙනු ඇත.
අනෙක් අතට රහතන් වහන්සේ නමක් යනු කළ යුතු සියල්ල කළ, නැවත නූපදින පුද්ගලයෙකි. එබඳු
උතුමනට තවදුරටත් පින්වල අවශ්‍යතාවක් නැත. එසේ තිබියදීත් මිහිඳු මාහිමියන්
ලක්වැසියන්ට බුදු දහම හඳුන්වා දීමේ භාරදූර ව්‍යාපෘතිය භාර ගෙන ඇත. එපමණක් නොව තමන්
භාර ගත් අරමුණ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගෙන ඇත. වේදිසාවේ සිටිමින්
ත්‍රිපිටක ධර්මය ඉගෙන ගෙන ගමනට සුදුසු පිරිසක් සංවිධානය කොට ගෙන නිසි කල් යල් බලා
ලක්දිවට පැමිණ ඇත්තේ එබැවිනි.
අප හැම කෙනෙකුටම ආශාවන් ඇත. එහෙත් ඒ ආශාවන් යථාර්ථයන් බවට පත්කර ගැනීමට අවශ්‍ය කෙටි
කාලීන හා දිගු කාලීන අරමුණත් අරමුණට ළඟා විය හැකි ක්‍රමවේදයකුත් නොතිබීම අරමුණු
දිනා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවයි. මේ හැම දෙයකටම වඩා අභියෝග ජය ගැනීමට ඇති
ආත්ම විශ්වාසය හා කැපවීමේ අධිෂ්ඨානය නැතිකම හේතුවක් වී ඇත. වැඩි දෙනෙකුට ඇත්තේ
ආත්මාර්ථකාමී පෞද්ගලික අරමුණු පමණි. යම් තරමකට එකී අරමුණු සාර්ථක කර ගත හැකි වුවත්
ඒ සඳහා විශ්ව ධර්මතාවයෙන් හා බාහිර ලෝකයෙන් උපකාර ලැබෙන්නේ නැත. මිහිඳු මාහිමියන්ට
එදා ස්වභාව ධර්මයෙන් ද අදෘෂ්‍යමාන බලවේගවලින් ද ආශිර්වාද ලැබුණු බව අප විසින්
ආවර්ජනය කළ යුත්තකි.
උදාහරණයක් ලෙස ගොවිතැනක් කරන කෙනෙක් මුදල් හම්බ කිරීම හෝ තමන්ට කෑමට ගැනීමට වගා
කිරීම ම අරමුණු කරගෙන බාහිර ලෝකය අමතක කර වැඩ කළහොත් මුහුණ දීමට සිදුවන ආපදා බොහෝය.
එහෙත් යමෙක් අස්වැන්න තමන්ට අයිති වුවත් ලෝකයට උපකාරයක් කරමැයි සිතාගෙන වගාව කරන්නේ
නම් ඒ තැනැත්තාට ස්වභාව ධර්මයෙන්ද සහයෝගයක් ලැබෙනු නො අනුමානය.
මිහිඳු හිමියන් රාජකීය දූත කාර්යයක යෙදී සිටියත් සැප පහසුකම් හා ගෞරව සම්මාන
අපේක්ෂා කළේ නැත. පුරා දින 26ක් අනුරාධපුරයේ රැඳී සිටිමින් දිනපතා ම කල් ඇතිව
සූදානම් කර ගෙන සිටි සූත්‍ර මාතෘකා කොට ගෙන ධර්ම දේශනා කළහ. එදා රජතුමා ඇතුළු
පිරිසට ධර්මය අවබෝධ කරදුන් මිහිඳු මා හිමියන් රජ මැඳුරේ නොරැඳී ආපසු මිහින්තලාවට
වැඩම කර ඇත. එසේ වැඩම කර දේවානම්පියතිස්ස රජතුමා විසින් කණ්ටක චේතිය අවටින් සකස් කර
දුන් ගල් ලෙන්වල විසූහ.
එදා මිහිඳු මාහිමියන් ලක්වැසියන්ට ධර්ම දේශනා කර ඇත්තේ ලක්වැසියන්ගේ ම භාෂාවෙන් බව
අපේ වංශකථාවල සඳහන් වෙයි. එයින් පෙනෙන්නේ ලක්දිවට වඩින්නට පෙර මෙරට භාෂාව පවා
ප්‍රගුණ කර සිටි බවයි. මේ වනාහී වර්තමානයේ වැඩසිටින ධර්මදූත කාර්යය සඳහා විදේශ
රටවලට වැඩම කරණ බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ආවර්ජනය කළ යුත්තකකි. ධර්මදූත
කාර්යයක් යනු වෙනත් රටක පන්සලකට ගොස් ලක්වැසියන් සමඟ කටයුතු කිරීම නොව එරට
වැසියන්ගේ බසින් ඔවුන්ට ධර්මය දේශනා කිරීමය. ඒ සඳහා මිහිඳු මාහිමියන් ආදර්ශයට ගෙන
පූර්ව සූදානමක් වන්නේ නම් තමන්ටත් අනුන්ටත් කෙතරම් ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කළ
හැකිදැයි සිතනු වටී. වයස 32 දී පමණ ලක්දිවට වැඩම කළ මිහිඳුු මාහිමි වසර 80 ක් ආයු
වලදා පිරිනිවන් පා ඇත. එක් පුද්ගලයෙකුගේ ජීවිත කාලයක් තුළ ඔහු විසින් කර ඇති මෙහෙය
ගැන සිතීම පවා අපව ධෛර්යමත් කෙරෙනු නො අනුමානය. මහාවංශය වාර්තා කරන පරිදි සර්වඥ
ධාතුන් (දකුණු අකු ධාතුව හා පාත්‍රා ධාතුව) ගෙන්වා ගැනීම, ථූපාරාම චෛත්‍යය
ඉදිකරවීම, සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස වැඩම කරවා ගැනීම, මහාබෝධිය රෝපණය කරවීම,
භික්ෂුණී ශාසනය පිහිටුවීම, දිනෙන් දින සිය ගණනින් පැවිද්දන් හැටියට මෙරට ස්ත්‍රී
පුරුෂයන් ශාසනයට බඳවා ගැනීම, රජතුමා ලවා මහාපාලි දාන ශාලාව වැනි දන්හල් තනවා අසරණ
මිිනිසුන්ට සංග්‍රහ කරවීම වැනි දහසක් දේ උන්වහන්සේගේ මාර්ගෝපදේශයෙන් සිදුවී ඇත.
බුද්ධඝෝෂ අටුවාචාරීන් සඳහන් කරන පරිදි පාලි අටුවා සහිත ත්‍රිපිටකය ලක්දිවට ගෙනවුත්
එකී ග්‍රන්ථ, හෙළදිව් වැසියන්ගේ බසට නඟා ඇත්තේ මිහිඳු මාහිමියන් විසිනි. පසු කලෙක
පාලි අට්ඨකථා හැටියට ප්‍රකාශයට පත්ව අද දක්වාත් අප පරිහරණය කරන්නේ එකී ග්‍රන්ථාගත
ධර්මයයි.
අප රටේ බොහෝ ගිහි පැවිදි පිරිස් විවිධ රටවල සංචාරය කරති. ඒ ඒ රටවල මිනිසුන්ගේ ජන
ජීවිත, ගම්, නගර මංවාවත් ඇතුළු බොහෝ නිර්මාණ දැක බලා ගනිති. එහෙත් අවසානයේ ඔවුන්
විසින් නිෂ්පාදනය කළ යමක් මිලදී ගෙන එනවා මිස මෙරට දී ක්‍රියාත්මක කළ හැකි අදහසක්
රැගෙන එන්නේ කලාතුරකින් කෙනෙකි.
මිහිඳු මාහිමියන් එකල මගධ රාජ්‍යයේ පැවැති දියුණුව සියැසින් දුටු කෙනෙකි. සිය
පියාණන් වූ අසෝක රජතුමා විසින් පාටලීපුත්‍ර නගරයේ ඉදිකළ අශෝකාරමය, මෑණියන් විසින්
විදිසාවේ චේතිගිරියෙහි ඉදිකළ වර්තමාන සාංචි ස්තූපය දැක සිටි මිහිඳු මාහිමි ලක්දිවට
පැමිණීමෙනේ පසුව අලසව නොසිට ඒවා එකින් එක මෙරටට හඳුන්වා දීමට ක්‍රියා කළහ. මෙමඟින්
ධර්මය පමණක් නොව සෑම ක්ෂේත්‍රයකින්ම ලක්දිව වේගවත් සංවර්ධනයක් කරා ගෙන යන්නට
හැකිවිය.
අප සෑම දෙනෙකුටම මිහිඳු මාහිමි දෙසූ ධර්මයෙන් පමණක් නොව චරිතයෙන් ද ගත හැකි ආදර්ශ
බොහෝ ය. අද ජීවත්වන අපට මෙන් ගමනාගමන හා සන්නිවේදන පහසුකම් කිසිවක් නොතිබූ යුගයක
ජීවත් වූ බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් විසින් කර ඇති අප්‍රමාණ මෙහෙය පුනරාවර්ජනය
කරන්න. ආත්මාර්ථකාමී ව හොඳින් හෝ නරකින් තමන් සැපයේ ජීවත් වීම ප්‍රමාණවත් යයි සිතන
සිතුවිල්ල පසෙක ලා අනලස්ව පරාර්ථකාමීව කටයුතු කිරීමෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණි ගමන
සාර්ථක කර ගන්නට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.
|