Print this Article


මිහින්තලේ පූජනීය සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්මාරක

මිහින්තලේ පූජනීය සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්මාරක

උතුරුමැද පළාතේ ඓතිහාසික අනුරාධපුර

නගරයට කිලෝමීටර් 15 ක් නැගෙනහිරින් පිහිටි මිහින්තලේ කඳුගැට හතරකින් සමන්විත වෙයි. මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද,ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද ඊට අයත්ය. මෙය පැරණි යුගයේ “මිස්සක පබ්බත” නමින් ප්‍රකටව තිබූ අක්කර 450 ක භූමි භාගයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1014 ක් උස මිහින්තලේට “චේතිය පබ්බත” “චේතිය ගිරිය” “සෑගිරිය, “සෙස්ගිරිය” හා “අම්බස්තලය” නම ද භාවිතා විය.

දඹදිව වේදිසගිරි පෙදෙස (සාංචි) සමඟ පැවැති සම්බන්ධය මෙම නම ව්‍යවහාර වීමට හේතු විය. මේ මහාභද්‍ර කල්පයේ මෙලොව පහළ වූ කකුසද, කෝණාගමන, කාශ්‍යප, හා ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩමවා සමවත් සුවයෙන් වැඩසිටියා වූද, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ විසුවා වූද මිහින්තලේ අති පාරිශුද්ධ වූ ද අති පූජනීය වූද උතුම් වූ පුණ්‍ය භූමියකි. එහෙයින් මෙම ශ්‍රේෂ්ඨ භූමිය සොළොස්මස්ථාන වලින් වැදගත්ම සිද්ධස්ථානයක් ලෙස වැදගත් වේ.

රාජකීය උද්‍යානයක් ලෙස කි‍්‍රස්තු පූර්ව යුගයේ පැවති මිහින්තලේ ක්‍රි.පූ. 247 වැන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු බෞද්ධ ධර්මදූත පිරිසගේ ආගමනය හා සමඟ ලක්දිව මුල්ම බෞද්ධාගමික හා සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත්විය. ඓතිහාසික ලිඛිත මූලාශ්‍රයන් අනුව සකස් කරන ලද ස්වාභාවික ගල්ලෙන් 68 ක් ද, ස්තූප 64 ක්ද , සෙසු ආගමික ගොඩනැගිලි ද මෙහි ඉදිකරන ලදී. සිරිලක මුල්ම බෞද්ධ භික්ෂූන්ගේ නේවාසික ස්ථානය පමණක් නොව මුල්ම ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය හා විද්‍යාස්ථානය ද, වු මිහින්තලේ වංශකථා තොරතුරුවලට අනුවත් කළුදිය පොකුණ ,කටුසෑය, ඉදිකටු සෑය හා ත්‍රිකායස්තව සෙල්ලිපිය ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක අනුවත් ක්‍රි.ව. 5 සියවස වන විට අනුරපුර අභයගිරි විහාරය හා සම්බන්ධ මහායාන බෞද්ධාගමික මධ්‍යස්ථානය බවට පත් විය. පසුකාලයේදී අනුරාධපුර රාජධානියේ පරිහානියත් සමඟම මෙම සිද්ධස්ථානයද විනාශ විය. දේවානම්පියතිස්ස රජු මෙහි මුල්ම ආගමික ගොඩනැගිලි ඉදිකළ අතර පසුව උත්තිය රජුගේ සිට මහා පරාක්‍රමබාහු දක්වා රජවරු වරින්වර මෙය කටුකොහොල් හැර ප්‍රතිසංස්කරණය කරමින් නව ගොඩනැගිලි ද ඉදිකළහ. නැවත අභාවයට ගිය මිහින්තලේ ස්මාරක පිළිබඳ නූතන පර්යේෂණ ආරම්භ කරන ලද්දේ 1890 පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී බෙල් ඇතුළු පසුකාලීන පුරාවිද්‍යාඥයින් විසිනි. ඒ අතුරින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ පූජා භුමියේ පුරාවිද්‍යා පර්යේෂණ හා සංරක්ෂණ සම්බන්ධයෙන් අනූපමේය මෙහෙයක්, සේවයක් කළේය. බෙල්ගේ සිට නූතන යුගය දක්වා මිහින්තලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය වේ. සෑම වර්ෂයකටම පොසොන් පුර පසළොස්වක පෝය දින මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය අනුස්මරණය කරනු වස් මෙහිදී අති උත්කර්ෂවත් අයුරින් පොසොන් උත්සවය පවත්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත පළමුවැනි අභය භූමිය ද මිහින්තලයයි. අරිට්ඨ මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන ගරුතර මහා සංඝරත්නය අදත් මෙම ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයේ වැඩ වෙසෙති.

පහත දැක්වෙනුයේ මෙම පූජනීය ප්‍රදේශය පුරා විසිරී ඇති වැදගත් ස්ථාන පිළිබඳ කෙටි හැඳින්වීමකි.

පැරැණි රෝහල

පැරැණි දේශීය ආයුර්වේද රෝහල ධ්ධ් සේන රජු විසින් චේතයගිරියේ වැඩ විසූ 2000 ක් පමණ වු භික්ෂූන් වහන්සේලාට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඉදිකරන ලදී. විශාල වූ ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වූ මෙහි මැද මිදුලක්ද එහි මධ්‍යයේ ටැම්පිට විහාරයක් වූ බුද්ධ ප්‍රතිමා ගෘහයක්ද විය. ප්‍රධාන ද්වාරය දකුණු දිගින් ද අනු ද්වාර දෙකක් ඊසාන දිගින් ද පිහිටා තිබේ.

පුරාවිද්‍යා කෞතුකාගාරය

මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ එම භුමියේ පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණවලින් සොයාගන්නා ලද ලෝහමය, ශෛලමය , මැටි හා හුණුබදාම ආදියෙන් නිර්මාණය කරන ලද පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. එහි තිබෙන විශේෂාංගයක් වන්නේ මිහින්තලේ කඳු මුදුනේ (ගිරිභණ්ඩ ස්තූපය) දාගැබක් කැණීමෙන් අනාවරණය කරගන්නා ලද ස්තූපයක ධාතුගර්භය නිරූපණය කරන ආදර්ශයයි. ධාතු ගර්භයේ සිතුවම් කර තිබූ බිතුසිතුවම් හා ගර්භය සැලසුම් කර තිබූ ආකාරය පිළිබඳ මනා අවබෝධයක් එයින් ලැබේ.

මණිනාග මන්දිරය (සංඝාරාම සංකීර්ණය)

මිහින්තලාවට ගමන් කරන විට පියගැට පෙළ ආරම්භ වන ස්ථානයේ වම්පසින් ඇති ගොඩනැගිලි සංකීර්ණය “මණිනාග (මැණික් නාග) මන්දිරය” නමින් ප්‍රකටව තිබූ පංචකාවාස (ගොඩනැගිලි පහකින් සමන්විත ආරාමය) වර්ගයට අයත් ගොඩනැගිලි සංකීර්ණයකි. මෙහි ප්‍රාකාරයකින් වටකරන ලද චතුරශ්‍රාකාර භුමියේ සිව්කොනේ ගොඩනැගිලි සතරකුත් ඒ මධ්‍යයේ ප්‍රධාන ගොඩනැගිල්ලකුත් පිහිටා ඇත. මධ්‍ය ගොඩනැගිල්ල බුදු මැදුරක් වන අතර අනෙක් ගොඩනැගිලි සතර භික්ෂූන්ගේ නේවාසික කුටිය.

පියගැට පෙළ

ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති පැරණි පියගැට පෙළ අතරින් අද්විතීය අසමසම නිර්මාණය මිහින්තලේ පියගැට පෙළයි. මෙය නිර්මාණය තිබෙන්නේ කොටස් තුනකිනි. මැද මළුව තෙක් දිවෙන පියගැට පෙළ එකකි. කණ්ටක චේතිය දක්වා වූ කොටස හා මැද මිදුලේ අම්බස්තලය දක්වා විහිදෙන පියගැට පෙළ අනික් දෙකයි. තවත් පිය ගැට පෙළක් උඩ මළුවෙ සිට මහසෑය මළුව දක්වා දිවේ.මැද මළුවට දිවෙන පිය ගැට පෙළ ස්වාභාවික පර්වතයෙන් නෙළන ලද පියගැට 150 කින් පමණ යුක්ත වන අතර සෙසු කොටස් පියගැට අල්ලා සකස් කර තිබේ. වර්ෂ 1952 කරන ලද ගණන් බැලීම අනුව මුළු පියගැට පෙළ පඩි 1840 කින් යුක්තය.

දානා ශාලාව

මැදමළුවට පිවිසුන කෙනෙහි වම්පසින් (නැගෙනහිරින් පිහිටා ඇති අඩි 114.5 හා අඩි 77 ක් දිග පළලැති ශෛලමය ගොඩනැගිල්ල පැරණි දානශාලාවය. මෙහි භික්ෂූන් වහන්සේලා 2000 කට දෛනිකව දානය සපයා ඇත. ප්‍රධාන දොරටුව මැදමළුවට මුහුණලා ද ඊට සම්බන්ධව තවත් අනු දොරටුවක් ද උතුරු දෙසින් තවත් අනු දොරටුවක් පිහිටා තිබේ. දොරටු හැර මුළුමනින් ම සෙල් පුවරුවලින් ඉදිකළ බිත්තිවලින් ගොඩනැගිල්ල සතර දෙසින් ආවරණය වී තිබේ.

සන්නිපාත ශාලාව

මැද මළුවේ සිට උඩමළුව දක්වා ඉහළට යන පියගැට පෙළ දකුණු පසින් තිබෙන මීටර් 18.55 දිග පළලින් ද මීටර් 1.93 උසින්ද යුක්ත සමචතුරස්‍රාකාර ශෛලමය ගොඩනැගිල්ල ‘සන්නිපාත ශාලාව’ ලෙස හැඳින්වේ. භික්ෂූන් වහන්සේලාගේ රැස්වීම්, සාකච්ඡා හා සමහර විට ධර්මදේශනා ආදී පොදු කාර්යයන් සඳහා භික්ෂූන් රැස් වූ ගොඩනැගිල්ල ඒ නමින් හැඳින්වේ. සමහර පුරාවිද්‍යාඥයින්ගේ මතය එය උපෝසථාගාරයක් (පෝය ගේ) බවයි.

ධ්ඍ වන මිහිඳු රජුගේ මිහින්තලේ පුවරුලිපිය

මැද මළුවෙන් ඉහළට ඇති පියගැට පෙළින් ගොඩ වූ විට සන්නිපාත ශාලාවට වම් පසින් ඉහළ භූමියේ ඇති ගොඩනැගිල්ලේ (ධාතුඝරය) දොරටුව දෙපස සවිකර තිබෙන ඔපමට්ටම් කර ඇති අක්ෂර ලියා ඇති සෙල්පුවරු දෙක මිහින්තලේ පුවරු ලිපිය නමින් හැඳින්වේ. ක්‍රි.ව. 10 වන සියවසේ 4 වෙනි මිහිඳු රජු විසින් රචනා කරවන ලද මෙහි චේතියගිරියේ (මිහින්තලේ) විහාරස්ථානවල අභ්‍යන්තර පාලනය පිළිබඳ නීතිරීති භික්ෂූන් පිළිපැදිය යුතු නීතිරීති, සිරිත් විරිත් හා සම්ප්‍රදායයන්ද උන්වහන්සේලාට රජයෙන් කළ ගරු සැලකිලි, විහාරයේ සේවක පිරිස හා ඔවුන්ට ගෙවූ වැටුප් හා විහාරයට ගම්බිම්වලින් අයත් විය යුතු බදු මුදල් ආදි කරුණු පිළිබඳ විස්තරයක් ඇත. එබැවින් එය වැදගත් ලේඛනයක් ලෙස සැලකේ.

ධාතුගේ

ඉහත කී පුවරු ලිපිය සවිකර තිබෙන ගොඩනැගිල්ල ‘ධාතුගේ නමින් හැඳින්වේ. පුවරු ලිපිය ඉදිරිපස කොටස මීටර් 9.20ය6.80 ක කොටසක් වන අතර ප්‍රධාන දොරටුව නැගෙනහිරට මුහුණලා ඇත. දකුණු දිගින් අනු දොරටුවක්ද ඇති මෙහි දකුණු දිශාවට මුහුණලා සිටි බුද්ධ ප්‍රතිමාවක්, පද්මාසනයක් මත තැම්පත් කර තිබුණි. සෙල් පුවරු ඇතිරූ ගෙබිමින් ද ගඩොල් බිත්ති වලින්ද යුක්ත මෙහි උස අඩි 12 ක් වූ ශෛලමය ස්තම්භ මත පියස්සක් තිබුණි. පුවරු දෙක මධ්‍යයෙන් ගොඩනැගිල්ල අභ්‍යන්තරයට පිවිසිය හැකි මුරගල්, කොරවක්ගල් සහිත පියගැට පන්තියක්ද තිබේ.

සිංහ පොකුණ

ඉදිකටු සෑය දෙස සිට මැද මළුවට දිවෙන මහාමාර්ගයේ මැද මිදුල සමීපයේ කණ්ටක චේතියට පහළින් පාරට ඉහළ දකුණු පසින් පිහිටි මෙය සිංහරූපයක් සහිත ජල රඳවනය (ටැංකිය) කි. පසුපස දෙපාවලින් නැගී සිටින සිංහයාගේ ඉහළට ඔසොවාගෙන සිටින ඉදිරි දෙපා අල්ලා ගන්නා අයෙකුට සිංහ මුඛයෙන් වෑහෙන ජලය ස්නානය කළ හැකිය. අඩි 7 ක් උස සිංහ රූපය දෙපා අතර පළල අඩි 2 කි. පිහිටි පර්වතයේ ස්වාභාවික ලෙස කැටයම් කර ඇති සිංහ මූර්තියේ හිසට ඉහළින් අඩි 6.5 දිග පළල හා අඩි 4.6 උස් ජල රඳවනය ඔප දැමූ සෙල් කැටයම් වලින් කළ මනුෂ්‍ය, සිංහ ඇත් හා නාග රූපවලින් ද කුඩ්‍ය ස්තම්භ, බොරදම් හා ලීස්තර ආදියෙන්ද අලංකාර කළ එකකි. එයට නාග පොකුණෙන් ජලය සපයා ඇති භූගත නළ මාර්ගයක් තිබේ. මෙය දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු හිමියන් වැඩමවීමට කලින් රාජකීය උද්‍යානයක් ලෙස පැවති අවධියේ ඉදිකරන ලද්දක් ලෙස ද සැලකේ.

පිළිම ගෙවල් හා කුටි

සිංහ පොකුණ ඉදිරියේ ගොඩනැගිලි තුනකි. අඩි 34 අඟල් 8 දිගද අඩි 26 ක් පළල ද ඇති මෙහි ශෛල ස්තම්භ 16 කින් යුක්ත බටහිරින් වූ ගොඩනැගිල්ල පිළිමගෙය කි.

පිරිවෙන් හා පිළිම ගේ

සිංහ පොකුණට ඉහළින් මැද මළුවෙන් පිවිසිය හැකි ගොඩනැගිලි සංකීරණය පිරිවෙන් ගොඩනැගිලි ලෙස හැඳින්වේ. ප්‍රධාන කුටි සතරකි. අඩි 26ය18 දිග, පළල එකිනෙකට මුහුණලා පිහිටි කුටි දෙකක් ඉදිරියෙන් ද අඩි 26ය17.6 ක් වූ කුටි දෙකක් මුල්කුටි දෙකට තරමක ඉහළින් ද පිහිටියේය. සරල කැටයම් සහිත මුරගල් සහ පියගැට පේළි ද තිබෙන මේවා භික්ෂූන් වැඩ සිටි නේවාසික කුටිය.

කණ්ටක චේතිය

මිහින්තලා කන්ද ආරම්භ වන තැන් සිට ඇති පර්වතයේ පියගැට පෙළින් හෝ සිංහ පොකුණ අසලින් ඇති පියගැට පෙළින් හෝ පැමිණි විට තිබෙන පැරණි දාගැබ මෙයයි. දේවානම්පියතිස්ස රජු අට සැට ලෙන් කර වූයේ කණ්ටක චේතිය හාත්පස බව සඳහන් වන බැවින් එතුමා විසින් මෙය ඉදිකරවන්නට ඇතැයි මතයක් තිබේ. ලජ්ජිතිස්ස රජු කණ්ටක චේතියට ශිලා කංචුකයක් කරවීය. මහාදාඨික මහානාග රජු ස්තූපයට ආදායම් මාර්ග දෙකක් පිදූ බව ඒ අසල ඇති සෙල්ලිපියක සඳහන් වෙයි. සෙල්ලිපියේ “කටක වෙත” නමින් හැඳින්වෙන්නේ මේ ස්තූපය බවත් ඒ නිසාම මීට කණ්ටක චේතිය යන නම ව්‍යවහාර වූ බවත් පෙනේ. මෙම ස්තූපයේ බුදුන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ තැම්පත් කර තිබෙන බව ද විශ්වාස කෙරේ. ගරා වැටී තිබූ මෙය මහාචාර්ය පරණවිතාන මහතා විසින් සංරක්ෂණය කරන ලද අතර වර්තමානයේ තිබෙන්නේ එසේ සංරක්ෂිත ස්තූපයයි. අඩි 70 ක් උස ද අඩි 425 ක් වට ප්‍රමාණය ද ඇති මෙහි වාහල්කඩ සතරක් සිව් දිශාවට ඉදි කර තිබේ.

අටසැට ලෙන්

මිහින්තලේට වැඩමවූ මිහිඳු හිමියන් ඇතුළු පිරිස අනුරාධපුරයට වැඩමවා දින 7 කට පසු නැවත මිහින්තලේට වැඩි දිනයේ මහාරිට්ඨ අමාත්‍යයා සහ පනස් දෙනෙකු පැවිදි වූහ. එදින සිට භික්ෂූන්ගේ නේවාසික පහසුකම් සපයනු පිණිස අටසැට ලෙන සැකසීම ආරම්භ විය. කණ්ටක චේතිය අවට ස්වාභාවික ලෙන්වල කටාරම් කොටා (පසු කාලයේ ඉදිරිපස බිත්තිවලින් ආවරණය කොට) අනතුරුව එළැඹි ඇසල මස පුරපසළොස්වක පෝය දින භික්ෂූන්ට පූජා කරන ලදී. මේ හැර මිහින්තලේ ප්‍රධාන පියගැට පෙළ වම්පසින් ද රාජගිරිලෙන කන්දේ ද කළුදිය පොකුණ අවට හා සිංහ පොකුණට උතුරින්ද පසුකාලයේ ලෙන් සකස් විය. කටාරම නිසා වැසි ජලය ලෙන තුළට වැස්සීම අවහිර විය. කටාරමට පහළින් දායකයාගේ නම, ගම, තනතුර ආදිය සඳහන් කරමින් ලෙන සාංඝික කොට පූජා කළ බව සඳහන් බ්‍රාහ්මී ලෙන් ලිපි වෙයි.

නාග පොකුණ

දේවානම්පියතිස්ස රජු “නාගචතුෂ්ක” නම් ස්ථානයක සිට බත් අනුභව කළ බවත්, මිහිඳු මාහිමියන් නාගචතුෂ්ක නම් ස්ථානයේ විලකින් පැන් සනහා පර්වතයට වඩින බවත් 1 අග්ගබෝධි රජු නාගසොංඩි පොකුණ කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි. මේ අවස්ථා තුනෙහිම සඳහන් වන්නේ එකම ස්ථානය බවත්, ඒ නාග පොකුණ බවත් එය මිහිඳු හිමියන් හා දෙවනපෑතිස් රජු විසින් කර වූ අතර 1 වෙනි අග්ගබෝධි රජු නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බවත්, වර්තමානයේ නාග පොකුණ නමින් හැඳින්වෙන්නේ . එම පොකුණ බවත් සඳහන් කළ හැකිය.

මිහිඳු ගුහාව

මිහින්තලේ සිට අනුරාධපුරයටත් අනුරාධපුරයේ සිට ආපසු මිහින්තලේටත් වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ නාග පොකුණෙන් ස්නානය කර පර්වතයට වැඩම වූ බව (මහාවංශය 16.6) සඳහන් වෙයි. නාග පොකුණට ඉහළින් කන්දේ අනික් පස බෑවුමේ ඇති එකම ලෙන වර්තමානයේ හැඳින්වෙන්නේ “මිහිඳු ගුහාව“ නමිනි. වංශකතා තොරතුරුත් මේ නමත් අනුව මිහිඳු මාහිමියන් වැඩ විසුවේ මෙම මිහිඳු ගුහාවේ බව පැහැදිලිය. මෙහි කෙනෙකුට සයනය කළ හැකි පරිදි සෙල් පෘෂ්ඨය ඇඳක් මෙන් සකසා ඔප මට්ටම් කර තිබේ.

වටදාගේ සේල චෛත්‍යය

සේල චෛත්‍යය පිහිටි ස්ථානයේ දී මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින් ම මුන ගැසුනි. එය අනුස්මරණය සඳහා දැනට එහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටා තිබේ. මෙහි මුලින්ම ස්තූපයක් (ශිලා චේතියක් කරවන ලද්දේ මහාදාඨික මහානාග රජු (කි‍්‍ර.ව. 1 සියවස) විසිනි. අනතුරුව කණිට්ඨතිස්ස රජු එම ස්තූපයට වටදාගෙයක් හෙවත් ථූපඝරයක් කරවීය.ගෝඨාභය රජු වටදාගෙය හා ස්තූපය ප්‍රතිසංස්කරණය කරවන ලද්දේය. එහි තිබෙන ශෛල ස්තම්භ අනුව ඒවා මත වෘත්තාකාර පියස්සක් තිබූ බව පෙනේ. සෙල්කණු දැනට ශේෂව තිබේ. වටදාගේ විෂ්කම්භය අඩි 29 ක් ද පාදම සහිත වටදාගේ විෂ්කම්භය අඩි 97 ක් ද වේ. මිහිඳු හිමියන්ගේ පාදස්පර්ශය ලැබුවා වූද උන්වහන්සේට දෙවනපෑතිස් රජු මුණගැසුනා වූ ද ස්ථානය වු සේල චෛත්‍යය පිහිටි ස්ථානය අතිපූජනීය වූද අති සම්භාවනීය වූ ද ඓතිහාසික වූද බිම් කඩකි. එපමණක් නොව සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ මොහොතක් සමවත් සුවයෙන් වැඩ උන් බවද සඳහන් වේ. මේනිසා සේල චෛත්‍යය සොළොස්මස්ථානවලින් එකකි.

ආරාධනා ගල

සේල චෛත්‍යය අසලින් ඉහළට නැඟීමට තිබෙන උස වූ පර්වත කූටය ආරාධනාගල ලෙස හැඳින්වෙයි. ධර්ම දේශනා ආරම්භ වීමට මත්තෙන් දෙවියන්ට ආරාධනා කිරීම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිරිතය. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ ආරාධනා ගල මුදුනට නැගී ධර්ම ඝෝෂාව (සමන්තා චක්කවාලේසු,අත්‍රාගච්ඡන්තු දේවතා) හාත්පස සක්වලවල වෙසෙන දෙවිවරු මෙහි පැමිණෙත්වා) පැවැත් වූ බව සඳහන් වේ. ඒ නිසාම එය වැදගත්කොට සැලකේ.

මහාසෑය

අනුරාධපුර බොහෝ ස්ථානවලට ප්‍රකටව දිස්වන විශාල සුදෝසුදු දාගැබ මහාසෑයයි. කඳු මුදුනේ ම පිහිටි මෙය අම්බුළු දාගැබ අම්බුළු චේතිය,අඹතලා මහා සෑය හා මහාථූපය නමින්ද හැඳින්වෙයි. මහාදාඨික මහානාග රජු ඉදිකළ මෙය මහසෙන් රජ සමයේ මහායාන ධර්මරුචි නිකායික භික්ෂූන්ට පූජා කරන ලදී. මෑත කාලයේ මෙය ප්‍රතිසංස්කරණය කරන ලද අතර වසරින් වසර සුදුහුණු පිරියම් කර විදුලි බුබුලු දල්වා ආලෝක පූජාව ද කරනු ලැබේ. අඩි 136 කින් විෂ්කම්භය ද අඩි 45 ක් උස ද ඇති ස්තූපයේ කොත් කැරැල්ල 1890 විනාශ වී තිබූ බව එච්. සී.පී. බෙල් සඳහන් කරයි. ඉංගී‍්‍රසි පාලකයන් විසින් ශුද්ධ පවිත්‍ර කළ මෙය සියම් (තායිලන්තය) කුමාරයෙකු විසින් ප්‍රතිසංස්කරණය කරවන බව සඳහන් වෙයි. එහෙත් එහි එක් පැත්තකින් ගරා වැටුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රතිසංස්කරණය කරන ලදී. මහසෑයේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව අෂ්ටවංක මාණික්‍යයක බහා තැන්පත් කර තිබෙන බව ජනප්‍රවාදයේ කියවෙයි.

ඉතිරි කොටස පොසොන් අව අටවක පෝදා (ජුනි 27 වනදා) පත්‍රයේ