Print this Article


පොසොන් සඳ කියන වග

පොසොන් සඳ කියන වග

පොසොන් සඳ ශ්‍රී ලංකා ධරණී තලයට ඉහළ ආකාශයේ දැනට දෙදහස් තුන්සියය වතාවකට ද අධික වාරයක් පායා ඇත. වසරකට වරක් පෑයූ සොළොස් කලාවෙන් සපිරි මේ සඳ ලක්වැසියනට සිහිපත් කළ දෑ බොහෝය. ඒ සිහිපත් කළ දෑ කුමක්ද? එනම්, විජය රජු මෙරටට පැමිණ වර්ෂ 236 කට පසුව එක්තරා සඳ රැසින් වොරඳුණු දිනයක මිහිඳු මහරහතන් වහන්සේ නම් හිමි නමක් ලක් බිමට වැඩි බවය. එවකට මිස්සක පබ්බත නමින් හැඳින් වූ එම බිම්කඩ මෙවක මිහින්තලාව නම් වන බවය.

පොසොන් සඳ ශ්‍රී ලංකා ධරණී තලයට ඉහළ ආකාශයේ දැනට දෙදහස් තුන්සියය වතාවකට ද අධික වාරයක් පායා ඇත. වසරකට වරක් පෑයූ සොළොස් කලාවෙන් සපිරි මේ සඳ ලක්වැසියනට සිහිපත් කළ දෑ බොහෝය. ඒ සිහිපත් කළ දෑ කුමක්ද? එනම්, විජය රජු මෙරටට පැමිණ වර්ෂ 236 කට පසුව එක්තරා සඳ රැසින් වොරඳුණු දිනයක මිහිඳු මහරහතන් වහන්සේ නම් හිමි නමක් ලක් බිමට වැඩි බවය. එවකට මිස්සක පබ්බත නමින් හැඳින් වූ එම බිම්කඩ මෙවක මිහින්තලාව නම් වන බවය.

එසේම මෙරට පාලනය කළ දෙවනපෑතිස් නම් නරපතියෙකු විසින් ගම් දනව් සරසවා, බෙර සක් හඬ නංවා උන්වහන්සේ මහත් හරසරින් පිළිගත් බවය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ලොවටම උතුම් ශ්‍රී සද්ධර්මය උන්වහන්සේ විසින් ලක්දිවට රැගෙන ආ බවය. ඒ දහමේ ඇතුළත් චුල්ලහත්ථිපදෝපම නම් සූත්‍රයක් මුලින්ම දෙසා සිහි නුවණින් කටයුතු කිරීමේ අනුසස් මෙරට වැසියනට කියා දුන් බවය. ලක්දිවින් බුදුපුතුන් බිහිකොට සසුන රැකීමට බාරදුන් බවය. ලොව සොඳුරු බිම් කඩක් වූ මෙම දිවයිනේ ස්තූප, ආරාම, වන උයන්, වැව් පොකුණු ඉදි කරවා දෙව්ලොව පරයන සුන්දරත්වයක් මැවූ බවය. ඒ සොඳුරු දිවිමඟ හෙළි පෙහෙළි කර ගැනීමට නැණ දිරිය දුන් බවය. මිනිසත්කම යනු කිමැයි කියාදුන් බවය.

සඳ වූ කලී සොබා දහමින් ලොවට දායාද වූ අපූර්ව වස්තුවකි. එය වරෙක මිනිසුන්ගේ මනස සුවපත් කරයි. වරෙක එය සිත කළඹයි. වරෙක කවි සිතිවිලි පහළ කරවන එය තව වරෙක වඩබාග්නිය ද උපදවා මහ මුහුද ද වික්ෂිප්ත කරවයි. කෙසේ වුවත් සොබාදහමේ අසිරිය මවන මෙහි අහිංසකත්වයට සමකළ හැකි වස්තුවක් මෙතෙක් බිහිවී නොමැත. පොසොන් සඳ අපට පෙනෙනුයේ වෙනදා පෙනෙන මෙකී සඳටත් වඩා වෙනස් ලෙසකිනි. ඒ උපශාන්ත මුනිවරුන් වෙසෙන රන්මිණි පහන් දැල්වෙන අසපුවක් නෙත් පැහැර ගන්නාක් මෙනි. එහි ඇත්තේ සංයමයයි, පිරිපුන් බව, නිකැළැල් බව හා සිත්කලු බවයි.

රජ සිටු මැදුරුවලට මෙන්ම දිළිඳු පැල්පත්වලට ද සිය කිරණ සමසේ පතිත කරන පූර්ණ චන්ද්‍රයා සේ පිරිපුන් හා නිකැළැල් දහමක් මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට හඳුන්වා දෙන ලදී. සඳට මෙන්ම එයට ද ජාති, ආගම්, කුල ගෝත්‍ර ආදී සීමා මායිම් නැත. සඳ සියලු තැන්වල, එකසේ සිය රැස් විහිදුවයි. තවද කලාවෙන් කලාව ඒ සඳ සොළොස් කලාව දක්වා සපිරෙන්නාක් මෙන් සඳ සදිසි ඒ ලොව්තුරා දහම ද ළදරුවාගේ සිට මහා නැණැතියන් දක්වා සියලු මිනිසුන්ගේ මස්තිස්කය විදසුන් නැණ දක්වා දියුණු කළේ ය. දිවා භාගයෙහි හිරු රැසින් විඩාපත් තුරුලතා නිශා යාමයෙහි සඳ එළියේ විඩා හරින්නාක් මෙන් කෙලෙස් ගින්නෙන් විඩාපත් නෙක මිනිසුන්ගේ සිත් බුදුදහම නමැති සඳ කිරණින් සැනසුමට පත් විය. දෙවනපෑතිස් නිරිඳුන් බුදුදහම වැළඳගත් පසු මසක් ඇතුළත හතළිස් දහසක් මෙරට වැසියන් බුදුදහම වැළඳගත් බව නිසා එදා මෙදා තුර කෙතරම් නම් ලෝවැසි ජනයා මේ දහමින් සැනසුම ලබන්නට ඇද්දැයි ඔබට සිතාගත හැකිය. එනිසාම මෙම දහම් දීපය සමඟ පොසොන් සඳේ සබැඳියාව ලෝකයම දනී. සඳ රැසින් කොඳ කුමුදු මල් පුබිදින්නාක් මෙන් වර්ෂ දෙදහස් තුන්සිය දාහතක් තිස්සේ බුදුදහම නමැති සඳ රැසින් ලක්දිව සාධුජන සිත් නමැති කොඳ කුමුදු පුෂ්පයෝ විකසිත වූහ. ඊට මඟ පෑදූයේ එවකට දෙතිස් වියේ සිටි තරුණ යතිවරයාණන් වහන්සේ වන මහා මහින්ද මහරහතන් වහන්සේය. උන්වහන්සේ මෙරටට සපැමිණි පළමු දිනයේදීම චුල්ලහත්ථිපදෝපම සූත්‍රයත් සමචිත්තපරියාය සුත්‍රයත් දෙසූහ. දෙවනපෑතිස් නරපතියා බුදුදහම වැළඳ ගත්තේ එම සූත්‍ර දේශනාවෙන් වූ අවබෝධනය නිසාය. සඳ පහන් රැය ඉකුත් වූ පසුදින දෙසූයේ ප්‍රේතවස්තු සහ විමානවස්තු දේශනාවන්ය. ඉන් අනතුරුව සච්චසංයුත්ත සූත්‍රය දේශනා කළහ. ප්‍රේතවස්තුව ප්‍රේතයන් ගැනය. විමානවස්තුව දෙව් විමන් ගැනය. සච්චසංයුත්තය සත්‍ය පිළිබඳවය. මේවා දෙසන ලද්දේ රාජකීය පුරවැසියන්ටය.

මෙය ඇසූ අනුලා බිසව ඇතුළු පන්සීයක් දෙනා සෝවාන් වූහ. ඉන් පසු රාජකීයන් ඇතුළු පොදු ජනයාට පරලොව ගැන කියැවෙන දේවදූත සූත්‍රය ද උගත් නූගත්කම්වල සැබෑ තතු කියැවෙන බාල පණ්ඩිත සූත්‍රද යනාදී වශයෙන් අනමතග්ග, ඛජ්ජනීය, ගොමයපිණ්ඩ, ධම්මචක්ක යනාදී සූත්‍ර ද අනුපිළිවෙළින් මුල් දින කිහිපය තුළ දෙසූ බව සඳහන් වේ. මෙයින් අපට බොහෝ දේ සිතා ගත හැකිය. මෙරට වැසියන් එවකට බුද්ධිමය වශයෙන් හා ක්‍රියාකාරකම්වලින් සිටි තැන සහ සත්‍යයට මුහුණ දී අප යායුතු තැන මිහිදු හිමියන් පෙන්වා දුන් බව මෙයින් පැහැදිලි ය. එසේම ලංකාව තුළ ජන විඥානය පුබුදු කිරීමට ඉවහල් වූ මෙම දේශනා පිළිබඳ අප මීට වඩා වැඩියෙන් සිතිය යුතු බවයි. පොසොන් සඳ අපට එළිය සපයන්නේ පහන් දැල්වීමට පමණක්ම නොව එකී දේශනාවන්ට ඇතුළත් අවබෝධය ද සෙවීමටය.

මිහිඳු හිමියන් වැඩි දිනයේ එළඹි පොසොන් සඳා උදාවූ රාත්‍රිය මුළු ලක්දිවටම අතිශය විස්මිත රාත්‍රියක් විය. උන්වහන්සේ දෙසූ දහම එතෙක් පැවැති ජීවිත දැක්ම වෙනස් කළ යථාර්ථවාදයක් විය. උන්වහන්සේ දැකීමටත් සුමධුර දහම් ඇසීමටත් ගලා ආ ජන ගංගාවට සුවිසල් ඇත්හළ ප්‍රමාණවත් නොවූයේ ඒ නිසාවෙනි. රාජකීය නන්දන උයන ද, අනතුරුව මහමෙවුනා උයන ද පැමිණෙන ජන ගංගාවට පහසුකම් සැලසීම සඳහා වෙන් කෙරුණේ ද ඒ නිසාවෙනි. මේ ජනතාව රැස් වූයේ කුමක් ඇසීමටද? මොවුනට මිහිඳු මහරහතන් වහන්සේ කියා දුන්නේ කවර දහමක්ද? ඒ අනෙකක් නොව හෘදය සාක්ෂියට අනුව ජීවත් වීම පිළිබඳවය. සාමය හා සමඟිය පිළිබඳවය. සතුටින් ජීවත්වීමේ උපාය මාර්ගය පිළිබඳවය. ධෛර්යය හා උත්සාහය පිළිබඳවය. සිහිනුවණ සහ අවබෝධය පිළිබඳවය. අප දත යුත්තේ එයයි. අප උගත යුත්තේ එයයි. පොසොන් සඳ දකින කල අප සිහිකළ යුත්තේ ද එයම වෙයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මිනිසුන් තුළ වූ මෝහාන්ධකාරය දුරු කිරීම ප්‍රඥාලෝකය සැපයූ බව අපි දනිමු. අඳුර දුරැලන හෙයින් උන්වහන්සේට තමධංසි යනුවෙන් පර්යාය නාමයක් ද වේ. පොසොන් සඳට එසේ අපගේ මෝහ අඳුර දුරැලීමේ ශක්තියක් නැත. එහෙත් වෙසක් සඳ කිරණින් හදවත් තුළ ජනිත වන බැති සිත් අඳුරු වන්නට ඉඩ නොදී පොසොන් සඳ දිගු කලක් උදාවිය. මුළු රැය සඳ රැසින් එළිය කරමින් දිගු කලක් නෙක අයුරින් එය සිරිලක් බිමේ වැසියනට උදව් කළේ ය. මෙරට වැසියෝද පහන් සිත් හදවත දරමින් ඒ උතුම් තුනුරුවන් ගුණයට පිදුවෝය. තෙල් පහන් දල්වා, තොරණ ධජ පතාකාදිය ද නංවා, වෙහෙර බිම මළු පෙත් සරසවා නෙක නෙක ආමිෂ පූජාවෙන් තුනුරුවනට ගරු බුහුමන් කළෝ ය. දන් පහන් දෙමින්, දහම් අසමින්, පෙහෙවස් වසමින්, තිලකුණු ද වඩමින් දහමින් බුදුරදුන් පිදූහ. මේ නිසාම ධර්ම නියාමයක් වූ විශ්ව ශක්තිය කැටි වූ බිම් කඩක් වූ මේ දිවයින මෙරට ජනයාට පුණ්‍ය භූමියක්ම විය. අහස සිපගන්නා දාගැබ්, මහසයුර පරයන වැව් පොකුණු, ලොව මවිත කරවන කලා නිර්මාණ සහ විසිඑක් වන සියවසටත් අදහාගත නොහැකි දියවර සැපයුම් ආදිය බිහි වූවා පමණක් නොව දෙව් බඹුන් පවා අගයන මිනිස්කම් අපට හිමි වූයේ ද බුදුදහම නිසාය. එය මෙරටට දායාද කළෝ අනුබුද්ධ මහා මහින්ද මහ තෙරණුවෝය. පොසොන් පෝදා ගුවන් ගැබින් මතු වූ ඒ මිහිඳු මහරහතන් වහන්සේ යළි දඹදිවට නො වැඩියහ. අසූ වසක් උන්වහන්සේගේ දිවි කැපකොට පුන් සඳ මෙන් ලක්දිව බබුළුවා (දීපපසාදක) දෙවනපෑතිස් රජුගේ බාල සොයුරු උත්තිය රජු දවස උන්වහන්සේ සෑගිරියේ දී අපවත් වූහ.

උත්තිය මහරජු මහත් හරසරින් උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදු කරවූ අතර ධාතු නිදන් කොට ස්තූප ද ඉදි කළහ. උන්වහන්සේ වැඩි කලක් වැඩ විසූ මිහින්තලයේ ධාතු නිදන් කොට ඉන් එක් ස්තූපයක් ඉදිකළ අතර කළගුණ දත් වැසියෝ දැනුදු 1840 ක් පඩි පේළි නගිමින් එය නැමදීමට යති. මෙවර උදාවන පොසොන් සඳ මිහිඳු මහරහතන් වහන්සේ අප වෙනුවෙන් කළ දෑ ඔබට සිහි නොකරවයිද? අචේතනික පොසොන් සඳට සචේතනික ඔබ පවසන්නේ කුමක්ද?

සැබැවින්ම සඳ ගැන අප දන්නා දේ ස්වල්පයකි. එය ලොව බලගතු ග්‍රහයෙකි. එය සතුව විශාල ශක්ති කදම්බයක් ඇත. එහෙත් එය ආඩම්බර නැත. ඔබ එයට සිනැහේ නම් එය ද ඔබට හිනැහේ. ඔබ එයට ඕඤචම් කළහොත් එවිට ද එය සිය පියකරු ස්වභාවය අත් නොහරී. සඳ අපට යම් යම් දේ දෙන නමුත් අපෙන් කිසිවක් ප්‍රාර්ථනා නොකරයි. එසේම එය කිසිවක් හා නො බැඳී, නො ඇලී සිටී. එයට මම හෝ මගේ යන වචන නැත. එය සතු වන්නේ පිවිතුරු බව හා සිය කටයුතු සඳහා නිබඳ සූදානම පමණකි. සඳ සතු මේ සියලු ගති ස්වභාවයන් බුදුදහම ජීවිතයට කියාදෙන දේවල් හා නොවන්නේ ද? එබැවින් සඳ, පොහොය, පිවිතුරු බව, නිරපේක්ෂකත්වය, බුදුදහම යන මේ සියල්ලම අපගේ අරුත්බර ජීවිතය හා බැඳෙන බව සමාන දේ බව සිතීම සුදුසුය. පොසොන් සඳ උදාවන දිනක ලක්දිවට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන් බුදුන් වහන්සේගේ දහම තේරුම් ගැනීමට නිසි දිනක් යළි පැමිණ ඇත.

එබැවින් සිතනු මැන. ලෝකයේ සත්‍යය නම් සියල්ල නිසැකවම යම් දිනෙක නැසෙන බවය. පොසොන් සඳෙන් සිහිපත් වන උතුම් මිහිඳු මහරහතන් වහන්සේද ලොව හැර ගියහ. පොසොන් සඳ ද කෙදිනක හෝ සදහටම නිවී යනු ඇත. පොසොන් පෝදා අපට හිමි වූ බුදුදහම ද එසේය. එය තහවුරු කරනුයේ විශ්වයේ සත්‍යයයි. මෙම සත්‍යය දැකීමට මිනිසා සතුව නැණ සහ ගුණ යන දෙකම තිබිය යුතු ය. එය ඔබ බුදුරදුන් පෙන්වූ අවබෝධය කරා රැගෙන යනු ඇත. එහෙයින් පොසොන් සඳ කී දහම බලනු මැන. බුද්ධියේ පාදයෙන් නැගී සිට හදවතේ පුදසුනට පහර දී සසර මං මුළාවට නොයනු මැන.