ති‍්‍රපිටකය සහ
අනුරාධපුරය මහා විහාරය
අනුරාධපුර අටමස්ථානාධිපති
ආචාර්ය
පල්ලේගම සිරිනිවාස නා හිමි
"ආරම්භ කර ගෙවී ගිය සියවස් 23 කට සමීප දීර්ඝ කාලය පුරා අනුරාධපුර මහාවිහාරය, නිර්මල
ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් මුළු ලෝකයේම අප්‍රමාණ සම්භාවනාවට පාත්‍ර
වී තිබේ. එය එසේ වී තිබෙන්නේ ඇයි? අපගේ කල්පනාවේ හැටියට ඒ සඳහා හේතු කීපයක්ම තිබෙන
බව පෙනේ. එයින් ඉතා වැදගත් ප්‍රධාන හේතු දෙකක් පමණක් මෙහිදී අපගේ විමර්ශනයට භාජනය
කෙරේ. "
අනුරාධපුර මහා විහාරය,ආරම්භ කළ දින පටන් වර්තමානය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන
ලෝකයේ පෞරාණිකම විහාරය වශයෙන් සැලකේ. ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම විහාරය ද වන මහා
විහාරය, මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජතුමා විසින්
ඉදිකරනු ලැබූ අතිපූජනීය සිද්ධස්ථානයකි. රජතුමා සිය මඟුල් උයන වූ ‘මහාමේඝ වන
උද්‍යානය’ හෙවත් ‘මහමෙවුනාව’ සඟසතුකර පූජාකර එහි මහා විහාරය ඉදිකර ඇත්තේ ක්‍රි.පූ.
236 පොසොන් මාසයේ දීය. එබැවින් මේ වන විට අනුරාධපුර මහාවිහාරයේ වයස අවුරුදු 2252
කි.
සමන්ත පාසාදිකාවේ, මහාවිහාරය ආරම්භ කිරීමේ ඓතිහාසික අවස්ථාව සඳහන් කරන්නේ මෙලෙසිනි.
‘රජතෙමේ ද ඒ රැය ගෙවී පසු මහතෙරුන් වෙත ගොස් (‘කිම ස්වාමීනි, මෙහි සුවසේ හොත්තහු ද,
ඔබවහන්සේට මේ නිවස සැප ද’ යන) සුඛ සහිත භාවය විචාරා ‘ස්වාමීනි, භික්ෂු සංඝයා හට
ආරාමය කැප වේ දැ’යි විචාළේය. මහාස්ථවිරයන් වහන්සේ ‘කැපය , මහරජ’ යි වදාරා’
අනුජානාමි භික්ඛවේ ආරාමං’ යන මේ සූත්‍රය වදාළ සේක.රජතෙමේ තුටුව රන්කෙණ්ඩිය ගෙන මහ
තෙරුන්ගේ අතෙහි පැන් වත් කොට මහාමේඝ වන උයන පිදුයේය. පැන් වැටීමත් සමඟම පොළොව
සැලුණේය.
මේ වනාහි මහා විහාරයෙහි වූ ප්‍රථම පෘථිවි කම්පනයයි. මේ පෘථිවි කම්පනයෙන් බියට පත්
රජ ‘ස්වාමීනි, කුමක් හෙයින් පොළොව සැලුණේ දැ’ යි ඇසීය. ‘මහරජ බිය නොවව. මෙම
දිවයිනෙහි බුදුරජාණන් වහන්සේගේ සසුන පිහිටන්නේය. මෙතැන ප්‍රථම විහාරස්ථානය වන්නේය.
මේ එයට පෙරනිමිති’ යි වදාළ සේක. රජතෙමේ බෙහෙවින් පහන් වූයේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විහාරය වූ ‘අනුරාධපුර මහා විහාරය’ සුප්‍රකට මහමෙවුනා උයනේ
ආරම්භ කෙරුණේ ඒ ලෙසිනි. මේ උතුම් සිද්ධස්ථානයේ ප්‍රධාන අංග වූ මහාබෝධිය, සංඝයාගේ
කම්මහමාලකය, ගිනිහල්ගෙය සහිත ජන්ථාගාර පොකුණ, පොහොයගෙය,ලහබත්ගෙය, චතුශ්ශාලාව සහ
මහාථූපය පිහිටිය යුතු ස්ථාන මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට
පෙන්වා දුන් ආකාරය මහාවංශයේ ඉතා පැහැදිලිව දක්වා තිබේ.
ආරම්භ කර ගෙවී ගිය සියවස් 23 කට සමීප දීර්ඝ කාලය පුරා අනුරාධපුර මහාවිහාරය, නිර්මල
ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් මුළු ලෝකයේම අප්‍රමාණ සම්භාවනාවට පාත්‍ර
වී තිබේ. එය එසේ වී තිබෙන්නේ ඇයි? අපගේ කල්පනාවේ හැටියට ඒ සඳහා හේතු කීපයක්ම තිබෙන
බව පෙනේ. එයින් ඉතා වැදගත් ප්‍රධාන හේතු දෙකක් පමණක් මෙහිදී අපගේ විමර්ශනයට භාජනය
කෙරේ.
එයින් පළමුවැන්න නම්, යම් ලෙසකින් අනුරාධපුර මහාවිහාරය නොතිබුණේ නම්, නිර්මල
ථෙරවාදී බුදු දහම විකෘති වී යාමට , සාවද්‍ය අර්ථ ගැනීමට ථෙරවාදී බුදුදහම විකෘති වී
යාමට, සාවද්‍ය අර්ථ ගැනීමට හෝ මුළුමනින්ම ලෝකයට අහිමි වී යාමට ඉඩ තිබීමයි. මේ
අභාග්‍යසම්පන්න තත්වය වැළකී සකල ලෝක සත්වයාට විමුක්තිය උදාකරන ශ්‍රේෂ්ඨ වූ බුද්ධ
භාෂිතය ලෝකයට සුරක්ෂිත කෙරුණේ අනුරාධපුර මහාවිහාරය නිසා බව ඓතිහාසික කරුණු විමර්ශනය
කිරීමෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ පහළ වූ දඹදිවෙන් පවා,නිර්මල බුද්ධ භාෂිතය
තුරන් වී ගොස් තිබුණු බව මෙහිදී අප විසින් මතක තබා ගත යුතුය.
පසු කාලීනව බුද්ධ ධර්මය ත්‍රිපිටකයට සංග්‍රහ කර තිබුණද බුදුරජාණන් වහන්සේ ජීවමාන
අවදියේ දී එසේ වූ බවට සාධක නැත. බුදුරජාණන් වහන්සේ විසින් සිදුකර ඇත්තේ ඒ ඒ
අවස්ථාවට උචිත ලෙස ධර්මය දේශනා කිරීමයි. බුද්ධ ධර්මයේ ඉතා ගැඹුරු හරය ලෙස සැලකෙන
අභිධර්මය, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ බුද්ධත්වයෙන් සත්වැනි වර්ෂයේදී තුසිත
දෙව්ලොව දී මාතෘ දිව්‍ය රාජයාටය. බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනවීම ආරම්භ කර
ඇත්තේ ද බුද්ධත්වයෙන් 20 වැනි වර්ෂයේදීය. එතැන් පටන් සම්බුද්ධ පරිනිර්වාණය තෙක්
ගෙවුණු වසර 25 ක කාලය තුළදී. විනය පිටකයට අයත් ශික්ෂාපද පනවා තිබේ. පුරා පන්සාළිස්
වර්ෂයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අසූහාරදහසක් වූ සමස්ත
ධර්මස්කන්ධයම, භික්ෂූන් වහන්සේලා විසින් උද්ග්‍රහණය කරගනිමින් සංහිතා හෙවත් සමූහ
වශයෙන් සිත්හි දරාගන්නා ලදැයි සිතිය හැකි බව ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් මහතා සිය
‘පැරණි ලක්දිව බුදුසමයේ ඉතිහාසයේ’ ග්‍රන්ථයේදී පෙන්වා දෙයි.
බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශිත නිර්මල බුද්ධ භාෂිතය එක්තැන්
කිරීමට සිතු මහ රහතන් වහන්සේලාගේ එම කාර්යය වඩාත් ඉක්මන් වී ඇත්තේ සම්බුද්ධ
පරිනිර්වාණයෙන් දින හතක් ගතවෙත්ම සුභද්‍ර නම් මහලු පැවිද්දා කළ විනය විරෝධි අභද්‍ර
ප්‍රකාශය බව සිංහල සමන්තපාසාදිකාව (බාහිර නිධාන කතාවේදී) මහාචාර්ය සුචරිත ගම්ලත්
පවසයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනක් ගත වූ තැන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ප්‍රථම ධර්ම සංගායනාවෙන් පිරිසුදු බුද්ධ භාෂිතය එක්තැන්
කර කොටස්වලට බෙදීම සිදු කෙරිණි. ඉන්පසුව ඒ ඒ ධර්ම කොට්ඨාස, ඒවායේ ප්‍රවීණ භික්ෂූන්
වහන්සේලාට පවරන ලදී. සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට, උපාලි තෙරුන්ට සහ
උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට විනය පිටකය භාරදී තිබේ. එලෙසින් දීඝනිකාය ආනන්ද තෙරුන්ටද
‘මජ්ක්‍ධිම නිකාය’ සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යයින්ටද ‘සංයුක්ත නිකාය’ මහාකාශ්‍යප
තෙරුන්ටද ‘අංගුත්තර නිකාය’ අනුරුද්ධ තෙරුන්ටද ආදි වශයෙන් පවරා තිබේ. මෙසේ ප්‍රථම
ධර්ම සංගායනාවෙන් නිර්මල බුද්ධ භාෂිතය “ත්‍රිපිටකය” වශයෙන් සංග්‍රහකර තිබේ. එම ධර්ම
කොට්ඨාස භාර වු භික්ෂූන් වහන්සේලා ඒවා ඉගෙනීමෙන් සහ කියවීමෙන් , පරම්පරාවෙන්
පරම්පරාවට නිර්මල බුද්ධ භාෂිතය, රැකගත්හ. තම තමන්ට පැවරුණු ධර්ම කොට්ඨාස, කියවන්නන්
හෙවත් භාණකයන් වශයෙන් උන්වහන්සේලා හඳුන්වා තිබේ.
දඹදිව ධර්මාශෝක අධිරාජයා විසින් මිහිඳු මහ රහතන් වහන්සේ අත ශ්‍රී ලංකාද්වීපයට තිළිණ
කර එවන ලද්දේ එසේ ත්‍රිපිටකය වශයෙන් රැකගත් නිර්මල ථෙරවාදී බුදුදහමයි. එය වඩාත්
වැදගත් වන්නේ, ලාභ ප්‍රයෝජන තකා බුද්ධ ශාසනයට ඇතුළු වු දුශ්ශීල භික්ෂූන්ගෙන් ශාසනය
බේරාගනු පිණිස, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණූ
තුන්වැනි ධර්ම සංගායනාවෙන් රැකගත් පිරිසුදු බුද්ධ භාෂිතය ඓතිහාසික මහින්දාගමනයෙන්
අපට ලැබුණු බැවිනි. එබැවින් අනුරාධපුර මහා විහාරය ආරම්භ වන්නේම නිර්මල ථෙරවාදී
බුදුදහම සහිත බෞද්ධ ආරාමයක් වශයෙනි.
දඹදිව පැවති ධර්ම සංගායනා තුනටම, විනය ගැටලු ප්‍රධාන සාධකයක් වී තිබුණු ආකාරය
පැහැදිලිය. මිහිඳු මහ රහතන් වහන්සේද මේ ද්වීපයේ බුද්ධ ශාසනය පිහිටීම කෙරේ විනය
කෙතරම් වැදගත් කොට සැලකුවේද යන කාරණය සමන්තපාසාදිකාවේ දැක්වේ.
ඒ අනුව ශ්‍රී ලාංකික පුත්‍රයෙකු වූ ‘මහා අරිට්ඨ’ තෙරුන් වහන්සේ, මිහිඳු මහ රහතන්
වහන්සේ හා සම අසුන් ගනිමින්,විනයාචාර්යවරයෙක් වශයෙන් විනය ඉගැන් වූ බවත් ඒ හා සමඟම
බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීපයේ මුල් බැසගත් බවත් සමන්තපාසාදිකාවේ සඳහන් වේ. ඉන්පසුව
අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් රට පුරා බුද්ධ ශාසනයත්, භික්ෂු පරපුරත් ඉතා
ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් ව්‍යාප්ත විය. එහි දියුණුව කොතරම් වීද යත් මහින්දාගමනයෙන්
වසර දශක සතකට පසුව සිදු වූ දුටුගැමුණු මහ රජතුමා ඉදිකළ ‘මිරිසවැටිය’ දාගැබ
පූජාකිරීමේ පින්කමට භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් සහ භික්ෂුණීන් වහන්සේලා අනූ දහසක්
සහභාගි වූ බව මහාවංශයේ සඳහන් වීමෙන් පෙනේ.
මේ ආකාරයට මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් පැතිරී ගිය භික්ෂු භික්ෂුණින් වහන්සේලා
විසින් මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට රැගෙන ආ ත්‍රිපිටකය මුඛ පරම්පරාගතව රැක ගන්නා
ලදී. එසේ රැකගත් නිර්මල ථෙරවාදී බුද්ධ භාෂිතය ඉතිහාසයේ බරපතළම අභියෝගයට මුහුණපෑවේ
ක්‍රි.පූ. පළමුවැනි සියවසේදීය.
ක්‍රි.පූ. 103 දී වළගම්බා රජතුමා පළමුවෙනිවරට රජවී ඉතා කෙටි කාලයකදී රුහුණේ තිස්ස
නම් බ්‍රාහ්මණයෙකු රජුට විරුද්ධව කැරැල්ලක් ගැසුවේය. ඒ අතරේදී දකුණු ඉන්දියාවේ සිට
පැමිණියත් සත් දෙනෙක් රට ආක්‍රමණය කර බලය අල්ලා ගත්තේය. රජතුමා තුදුස් වසරක් තිස්සේ
ඉමහත් දුෂ්කර ජීවිතයක් ගෙවමින් සටන් කර යළි ක්‍රි.පූ.89 දී දෙවැනි වරට රජ විය. මේ
කාලයේදී ලංකා ඉතිහාසයේ ඇති වී තිබෙන අතිශය දරණුම නියං සාගතය ලෙස හැඳින්වෙන
බැමිණිතියාසායෙන් රජරට විනාශ විය. කිව නොහැකි තරම් ජනතාව රෝ බියෙන් මරණයට පත් වූහ.
බඩගින්නෙන් වියරු වැටුණූ මිනිස්සු අතට හසුවන දේ පමණක් නොව මිනී මස් පවා බුදින ඉතා
දුක්ඛදායක තත්ත්වයකටය පත් වූහ. මහාවිහාරය ඇතුළු විහාරාරාම භික්ෂුන්ගෙන් හිස්විය.
උන්වහන්සේලාගෙන් ඇතැමෙක් නියඟය නිමාවෙන තුරු පරතෙරට හෙවත් දඹදිවට ගියහ. තවත් කොටසක්
කඳුරටට ගියහ. මේ කාලයේ සිදුවූ ඉතා අනුවේදනීය සිදුවීම් රැසක්, මහාවංශය,
සම්මෝහවිනෝදනී. සමන්තපාසාදිකා, මනෝරථපූරණී වැනි ග්‍රන්ථවල දැකගත හැකිය.
සම්මෝහවිනෝදනියේ සඳහන් වන අන්දමට, චත්තම්බක නිග්‍රෝධ නම් භික්ෂුව තමාගේ මහලු
උපාධ්‍යායයන් වහන්සේ සමඟ ආහාර සොයා තැනින් තැනට ඇවිද්දේය. උන්වහන්සේලා සාගින්නේ
වියරු වැටුණු මිනිසුන් පිරිසකට හසුවූහ. නිග්‍රෝධ භික්ෂුව ඔවුන්ගෙන් ගැලවී පලා
ගියේය. මහලු තෙරණුවෝ සාගින්නෙන් වියරු වැටුණු මිනිසුන්ට ගොදුරු වූහ. මනෝරථපූරණියෙහි
දැක්වෙන කතා පුවතකට අනුව, නාගා නම් තරුණ භික්ෂුණියක් තවත් භික්ෂුණීන් කිහිප දෙනෙකු
සමඟ භාතරගාම නම් ගමෙහි විසුවාය.
මෙහි ඉතිරි කොටස ජුනි 27 වනදා (පොසොන් අව අටවක පෝදා) පත්‍රයේ පළවේ
|