තෙරුවන් සරණ යාම
රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති
බස්නාහිර පළාත සහිත නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි
ක්‍රිස්තු පූර්ව තුන්වන ශතකයේ ලක්දිව තම්බපණ්ණිය වශයෙන් හඳුන්වන ලදී. එවක
සිංහලයන්ගේ නිජ බිම වූ තම්බපණ්ණියේ අගනුවර අනුරපුරය විය. රාජාණ්ඩුක්‍රමය යටතේ පාලනය
වූ තම්බපණ්ණියේ අගරජ තිස්සය. ආජීවක, ජටිල, නිඝණ්ඨ ආදි ආගම් අනුගමනය කරන්නෝ වූහ.
විනෝදකාමී, සිංහලයා විනෝද වූයේ සත්ව දඩයමෙනි. අපට මෙන්ම සතුන්ටත් ජීවත් වීමේ අයිතිය
ඇති බවත් අප මෙන්ම දඬුවමට බිය වීම මරණයට පසුබෑම උනුන්ටත් පොදු යැයි සිතන්නට තරම් හේ
උනන්දු වූයේ නැත. හොඳ බුද්ධියක්, නිර්මාණශීලිත්වයක් තිබුණත් එය නොකපන ලද මැණිකක්
යම් සේ අගය පැහැදිලි නොවන්නේ ද එසේ විය. දක්ෂ මැණික් කපන්නෙකුට හසුවු විට ඔහු
මැණිකේ අගය දන්නේ, එය මනා සේ කපා ඔප දමන්නාක් මෙන් බුද්ධිමත් නිර්මාණශීලි සිංහලයා
නමැති මැණික කපා ඔප දැමීමට ඉදිරිපත් වූයේ පුදුම මැණික් කපන්නෙකි. ඔහු අන් කවරෙකුවත්
නොව අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේය. මෙම මැණික් ශිල්පී තෙමේ සිංහල ජාතිය,
සංස්කෘතිය, භාෂාව, සාහිත්‍යය මනා සේ කපා ඔප මට්ටම් කොට ඉන්දීය සයුරේ අගනාම මිණිකැටය
බවට පත්කළේය.
මුළු සිරිලකම එකළු කෙරෙමින් පොසොන් සඳ පෙරඹරින් නැගුනේ අලුත් ආරංචිය මුළු සිරිලක
පුරා පතුරුවන පරිද්දෙනි. දඹදිව දහම් සෝ නිරිඳු පුත් මහා මහින්ද මහ රහතන් වහන්සේ සිය
පිරිස වූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහා රහතන් වහන්සේලාත් සුමන
සාමණේරයනුත්, භණ්ඩුක උපාසකතුමාත් සමඟ සිරිලකට පැමිණියේ විශේෂ දූත මෙහෙවරක.
“බුදුරජාණන් වහන්සේ ධර්මය මිහිඳු මාහිමියන් විසින් ලංකාවට ගෙන යන්නේය.” යන වදන් ඉටු
කරනු සඳහාය. ආගම්, මතවාද රැසක් තිබුණත් ප්‍රබල එකදු ආගමක් මෙහි නොවීය. බුදු දහම
නමැති බිජුවට වැපිරීමට මනා සේ සුදුසු වූ කෙතක්වැ පැවතුනි. ජනතාවද බුදුදහම තරම්
ගැඹූරු දහමක අරුත් වටහා ගන්නට තරම් නුවණැත්තෝ වූහ. කෙසේ වෙතත් අනුබුදු මිහිඳු
සමිඳාණෝ තිස්ස රජු සුදුසු අවස්ථාවක් බලා මිස්සක පව්වේදී හමු වැ සිය දහම් පණිවුඩය
ප්‍රකාශ කළෝ රජු දුනුහී පසෙක දමා පන්සිල් සමාදන් වු බොදු උවසුවකු කළෝය. ඉන්
නොනැවතුනු තිස්ස රජු තෙමේ සිය මහමෙවුනාවෙන් මහ සඟන පිදීය.
මිහිඳු මහා හිමිපාණන් වහන්සේ ද සිය පියා දුන් දහම් පඬුරු රජු වෙත පිළිගන්වා ඉන්
අනතුරුව ලක් වැස්සන් පිළිබඳ අනුකම්පාකොට ජාතියේ උන්නතිය තකා සිය ජීවිත කාලයම කැප
කරන අටියෙන් තම නිජ බිම හැර සිරිලක ලැගුම් ගත්හ. සුළු ඇත්පද උවම් සුතුරෙන්
(චුල්ලහත්ථිපදෝපම සූත්‍රය) සිංහලයාට දහම් දෙසු මිහිඳු මහ රහතන් වහන්සේ උචිත පරිදි ඒ
ඒ අවස්ථා සඳහා දහම් දෙසූහ.
මහමෙවුනා උයනෙන් පිදුම් ලැබූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රථම ශාසනික කටයුත්ත වූයේ
මහා විහාරය පිහිටුවීමයි. මගධ මහා රාජ්‍යයේ අධිරාජ්‍යයාගේ පුතණුවන් වු උන්වහන්සේ සිය
නැණින් ආරාමය සැලසුම කළහ.
මාලක සීමාව පිහිටන තැන, ලෝවාමහාපාය පිහිටන තැන, සංඝයාට ලැබෙන ලාභ බෙදා ගන්නා සංඝ
ලාභ භාජක ස්ථානය පිහිටන තැන, සිවු දිගින් දාන වස්තු ගෙනවුත් සංඝයා වළඳවන චතුස්සාලාව
පිහිටන තැන හා තිස්සමහාරාමය පිහිටන තැන යන අටමස්ථාන පිහිටුවන ලදී. රජු බොදුනුවකු
වීමත් සමඟම රජ පවුලද මේ අලුත් ආගම ඇදහීමට කැමැත්ත දැක්වූහ. එහි ප්‍රතිඵලය වූයේ
අරිට්ඨ ඇමතිතුමා පැවිදි බව ලැබීමයි.
අරිට්ඨ හාමුදුරුවන් වහන්සේගේ පැවිදි වීම ලංකාවේ බුදු දහම මුල් බැස ගැනීමක් විය.
කවදත් වැසියාගේ සිරිත රජු අනුගමනය කිරීමයි. රජතුමා අලුත් ආගමක් වැළඳ මහත් පෙරළියකට
පත් බව දුටු වැසියා ද ඒ මග ගමන් කළෝය. බුදු දහම මුලු සිරිලක පුරා ව්‍යාප්ත වන්නට
එතරම් කාලයක් ගත නොවීය.
වන වදුළු සිල් සුවඳින් පිරී තපෝවන බවට පත්විය. ම්ලේඡ්ච විනෝද ක්‍රීඩා කළ සිංහලයා
දැන් කුරා කුහුඹූවෙකුටවත් හිංසාවක් නොකරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසකයෙක්
විය. හැම විටම භික්ෂූන් වහන්සේගේ ආධාර උපකාර පැතූ හේ පන්සල තමන්ගේ එකම වැදගත්
ස්ථානය බවට පත් කර ගත්තේය.
අහස සිප ගන්නා සුදෝ සුදු කැරැල්ලෙන් සමන්විත දාගැබ්, නෙත් සිත් පැහැරගන්නා ඉඳුරන්
දමනයේ ලා මහත් සේ රුකුල් දෙන සුවිසල් පිළිම ඉදිවිය. සිංහලයාට සිය නිර්මාණශීලිත්වය
උරගා බැලීමට බුදු දහම කදිම උරගලෙක් විය.
සිය රටේ තිබු ගෘහ නිර්මාණ ශිල්පි ක්‍රම කිසිදු ගුරු මුෂ්ටියෙකින් තොරව ඉගැන් වූ
මිහිදු සමිදාණන්ට පින් සිදු වන්නට ලෝවාමහාපාය වැනි විශාල විශ්මිත ගෘහ නිර්මාණ බිහි
විය. ඒවායේ නටබුන් ඒ සුන්දර අතීතයට දොස්නඟමින් අදත් අභිමානවත් අනුරපුරයේ හිසොසවා
සිටියි.
අක්ෂර කලාවද මිහිඳු හිමියන්ගේ උපකාරයෙන් ප්‍රගුණ කළ සිංහලයා ධර්ම ග්‍රන්ථ රචනා
කිරීම ආරම්භ කරන ලදී. පුස්කොළ පොතත් පන්හිඳත් ඔවුන් ගේ ජීවිතයේ වැදගත් උපකරණ විය.
ගමක් ගමක් පාසා ඉදිවු වෙහෙර විහාර බුදු සිරිතේ අසිරිය සිංහල කලාකරුවාගේ තෙලි තුඩින්
සිත්තම් කරවීය. දුටුවන් සිත් මවිත කරවන නිවනේ අමාරසය මේ යැයි කියාපාන්නාක් බඳු මේ
සිතුවම් වලින් සිංහලයා තුළ තිබූ අදහස් දැක්වීමේ සංයත භාවය මනා ලෙස ප්‍රකට කරවයි.
අදත් පැරැණි සිංහල බෞද්ධ චිත්‍ර අපරදිග ජනයා විස්මිත කරවයි.
මගධ රාජ්‍යය ගොවිතැන් බතින් සරු වූවකි. බොදු දහමටත් එකඟ ජීවනෝපාය ගොවිතැනයි. බුදු
රදුන් දහම් දෙසුම් වලදී ගොවිතැන පිළිබඳව වදාරා ඇත. මිහිඳු හිමියන්ගේ අවවාද අනුශාසනා
ලැබු සිංහල බෞද්ධයෝ ගොවිතැන් බත් කරමින් අටු කොටු පුරවන්නට පටන් ගත්හ. සාගර පරයන
මහා වැව් ඉදි විය. මුළු සිරිලක එකම කෙත් යායක් බවට පත් විය. ධර්මද්වීපයක් වීමත්
සමඟම ධාන්‍යාගාරයක් බවට ද පත් වී පැරකුම් රජ සමය වන විට පිට රටවුනට පවා සහල් දීමට
තරම් ධනවත් වූහ.
පන්සිල්වලින් සිල්වත් වූ සිංහලයා පෝ දින පෙහෙවස් රැක්කේ ය.ආගන්තුක සත්කාරය ඔහුට
අමුතු දෙයක් නොවීය. කෙතරම් සදාචාරවත් පිරිසක් වූයේ ද යත්, සොරකම් , කාම අපරාධ ගැන
වාර්තා වී නැත. මාගම් පත්තුවේ සිට උතුරුකරය දක්වා අබරණින් සැරසී මාණික්‍යයක් ගත්
කන්‍යාවකට හුදෙකලාව නිරුපද්‍රිතව යාමට තරම් හැකි වී යැයි සඳහන් වෙයි. නොකැලැල්
චරිතය මහාර්ඝ වස්තුවක් ලෙස සලකන ලදී. කුමරි බඹසර පමණක් නොව කුමර බඹසරටත් වැදගත්
තැනක් දුනි.
දිවි ගියද කුසල් කිරීමට ඇති කැමැත්ත අත් හලේ නැත. කුසගින්නේ පවා සිටියදී සිය බත් පත
මහ සඟන විෂයේ පවා පුදන්නට තරම් ත්‍යාගශීලි වූහ. මෙනයින් ක්‍රි.පූ. 3 වන සියවසේ
සිංහලයා සදාචාර පුද්ගලයෙක් බවට පත් කරන්නට බුදු දහමට හැකි විය.
බුද්ධිමත්ව සිතන්නට මතන්නට පුරුදු වූ සිංහලයා සාහිත්‍යකරණයේ හසල බුද්ධියක් ඇත්තෙක්
විය. පැරණි සිංහල ගද්‍ය පද්‍ය නූතන සාහිත්‍යකාමින්ට ස්වකීය, නිර්මාණකරණයෙහිලා මහත්
පිටිවහලක් වනු නොඅනුමානය.
මේ අන්දමට ජාතියක්, ජාතියක් වශයෙන් නැගී සිටින්නට ආගමක් මුල් වූ අන්දම අපට පැහැදිලි
වෙයි. සිංහලයා බුදු දහමේ සෙවන නොලබන්නට අද කෙබඳු තත්වයක පසුවේ දැයි සිතන්නටත්
දුෂ්කරය.
|