Print this Article


මෙත්තා මහරහත් තෙරණින් වහන්සේ

මෙත්තා මහරහත් තෙරණින් වහන්සේ

විමුක්තියේ ධජය දරන්නට භාග්‍යවන්ත වූ, ගිනිගත් සිත් නිවා වදාළා වූ තිලොවට මහා ඉසිවරයාණන් වහන්සේ වූ අප භාග්‍යවත් ශාක්‍යවංශයේ සූර්යා බඳුවූ ගෞතම සම්මා සම්බුදුහිමියන්ගේ හදවතින් නිපන් පුත්‍රී වූ මෙත්තා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සිත් මෝදු කර ගනිමු.

ඇස, කන, නාසය, දිව, ශරීරය, පිනවමින් සිටින්නා වූ සත්ත්වයාහට නිවන නමැති ක්ෂේම භූමිය ස්පර්ශ කිරීමේ සක්‍යතාවයක් නොමැත. සියලු සසරට අනුගාමී ක්ලේශ ධර්මයන් දුරුකොට සීල, සමාධි , ප්‍රඥා වඩා නිවනේ හිමිකාරිත්වයට, අධිකාරිත්වයට පත් රහත් උතුමෝ නැවත නූපදින්නේ කිසිදු උපාදාන සිතක් සකස්නොවූ නිසාවෙනි. මෙසේ වූ වීතරාගී සිතක අධිපතිත්වය ලද මෙත්තා තෙරණින් වහන්සේගේ සසර ගමන තුළ අනේක වූ කුසලධර්මයන් වඩන්නට වු බවත් වැඩූ කුසලයන්හි ඵල ලබන්නට භාග්‍යවන්ත වූ බවත් මැනවින් පිරික්සීමෙන් සනිටුහන් වේ.

සර්වඥ වූ විපස්සි බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි බන්ධුමතී නුවර බන්ධුම නම් රජෙක් වූයේය. එම රජතුමාගේ බිරිඳ වූයේ ඇයයි. එක් දිනක හුදකලාව එකළාව ඇය කල්පනා කරන කල්හි බොහෝ පින්සිතිවිලි පහළ විය. ජීවිතයෙන් සමුගෙන යන විට ගෙන යාමට කුසල් සම්පාදනය කරගත යුතු බවත්, රජුගේ බිසව වුවද රජුගේ කුසල් ඇයට නොලැබෙන නිසාවෙන් තමා විසින්ම කුසල් සිදුකරගත යුතුය යන ප්‍රඥාවන්ත සිතිවිලි පහළ විය. එසේම ඇය තවදුරටත් සිතනුයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් යුක්ත වූ දරුණු වූ නිරයට යාමට සිදුවුවහොත් එහිලා විඳිය යුතු සකල දුක් විඳීමට සිදුවේ.

“කුසල දහම්හි නිමග්න නොවුනහොත් සිදුවන්නේ අනර්ථයක්මයි” යන සිතින් යුක්තව දිනක් රජු වෙත ගොස් දිනපතා දානය පුජා කිරීම පිණිස භික්ෂුවක් පවරා දෙන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව රජතුමා කල්‍යාණ මිත්‍රයකු බවට පත්ව සන්සුන් ඉඳුරන් ඇති ශාන්ත වූ සිල්වත් වූ භික්ෂුවකට දානය පූජාකිරීමට අවස්ථාව සලසා දුන්නේය.

ඇය ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව සංඝ ගෞරවය පෙරටු කොටගෙන භික්ෂූන් වහන්සේට ඉතා රසවත් ආහාරයෙන් පාත්‍රය පුරවා පූජාකළාය. එමෙන් දහසක් වටිනා වස්ත්‍ර යුග්මයක්ද මසා, ගෞරවයෙන්, පැහැදුනු සිත් ඇතිව චිත්තප්‍රසාදයෙන් පූජා කළාය. මෙසේ කරන ලද පුණ්‍ය ක්‍රියාව නැවත නැවත මෙනෙහි කිරීමට ඇය ප්‍රඥාවන්ත විය. ශ්‍රද්ධාවන්ත විය, භාග්‍යවන්ත විය.

එම උත්තරීතර වූ සිතිවිල්ලෙන්ම කළුරිය කළ ඈ තව්තිසා දිව්‍යලෝකයෙහි දිව්‍ය විමානයක, උපත ලැබුවාය. දෙවිවරුන් තිස්දෙනෙකුගේ අගමෙහෙසිය බවට පත්වූ ඕතොමෝ සිතූ පැතු සම්පත් ලබන්නියක බවට පත්වූවාය. සක්විති රජුන් විසිදෙනෙකුගේ අගමෙහෙසිය බවට පත්වූවාය. මෙලෙසින් අනන්ත දිව්‍ය ලෝක සම්පත් විඳීමට ඇය විසින් මහසඟරුවන උදෙසා පූජාකරන ලද පිණ්ඩපාත දානය මහත්සේ හේතුකාරක විය.

බොහෝ සැප විඳ ඕතොමෝ අප භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ කපිලවස්තුපුර ශාක්‍ය කුලයෙහි උපන් කල ඈ ශාක්‍ය කුලයෙහිම උප්පත්තිය ලැබීමට පින් ඇත්තියක වූවාය. සමාහිත වූ සිතැති, ඤාණ ප්‍රභාවිත වූ, රහත් උතුමන්ගේ සදහම් ඇඳුරාණන් වූ දසබලධාරි භාග්‍යවත් බුදුසමිදාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට තිසරණ සරණ ගිය උපාසිකාවක බවට පත්වූවාය. උපාසිකා භාවයෙන් ඔබ්බට ගොස් මහාප්‍රජාපතිගෝතමී තෙරණින් වහන්සේ වෙත ගොස් ලොව උතුම්ම සැපත වූ කසාවතක් දරා පැවිදි සුව විඳීමට ඇය පුණ්‍යවන්තියක විය. නොබෝ දිනකින් වීර්යය වඩා කෙලෙස් අග්නිය සිඳ මිනිස් ජීවිතයේදී ලද හැකි උත්තරීතර තත්ත්වය වූ පිළිසිඹියා සහිත රහත්භූමියට වැඩම කොට වදාළ සේක.

නිකෙලෙස් හදවතක අපූර්වත්වය කැටිකරමින් එවන්වූ නිවුනු සිතකින් ගලා ආ විරාගි සිතුවිලි පෘථග්ජන සිතද මොහොතකට කුදු සමාධිමත් කරනු නොඅනුමානය. මෙත්තා මහරහත් තෙරණින් වහන්සේ මෙසේ පී‍්‍රතිය එහිද අනියත බැව් දකිමින් දේශනා කොට වදාළ සේක.

“චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අඨමි
පාටිහාරියපක්ඛඤ්ච අට්ඨංගසුසමාගතං
උපොසථං උපාගඤ්චිං දේවකායාභිනන්දිනී”

“තුදුස්වක පසළොස්වක අටවක යන දිනයන්හිදී අෂ්ඨාංග උපෝසථශීලය දෙව්ලොව යාමට ඇති කැමැත්තෙන් ආරක්ෂා කළෙමි.

“සජ්ජ එතෙන භත්තෙන මුණ්ඩා සංඝාටිපාරුතා
දෙවකායං න පත්ථෙහං විනෙය්‍ය හදයෙ දරං

“අද හිස මුඩු කොට සඟලසිවුර පොරවා එක බතකින් යැපෙමින් සියලු කෙලෙස් ගිනි මුලින් උපුටා දමා දේවනිකායේ උපතද ප්‍රාර්ථනා නොකරමි.

මෙසේ වූ අභීත සිංහනාද පවත්වන්නාවූ රහත් උතුමන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයේ සිත කිලිපොලා යනුවෙනි. කාමයෙන් ආකූල ව්‍යාකූලව වසන්නාවූ ලොවක පටිසෝතගාමී මාර්ගයට සැපත්ව එහිද උපරිම ඵලය වු අරහත් බෝධිය ලැබීම කෙතරම් උදාරතරද පෙර ආත්ම භාවයන්හිදී මෙත්තා තෙරණියෝ අනන්ත අප්‍රමාණ සිල් රැක ඇත්තෝය. පරපණ නැසීමෙන් දිවිහිමියෙන් වෙන්වුණි. නොදුන් දෙය නොගැනීමෙන්, බොරුවෙන් රැවටීමෙන් වෙන්වුණි. විකල් බොජුනෙන්, වැළකුණි. සුරාවෙන් සූදුවෙන් වැළකුණි. ගඳමල් සුවඳවිලවුන් දැරීමෙන් වැළකුණි. මෙසේ දිවිහිමියෙන් ඕතොමෝ සිල් රැක්කාය.

මෙසේ සීලයට ගරුකරමින් සිල්වන්ත වූ ජීවිතයක බොහෝ ආනිසංස උපරි ආනිසංස ඕතොමේ ලැබුවාය.දුර්ලභ වූ මිනිස් ජීවිතයකට උරුමකම් කියන්නාවූ අපට මේ ලැබී ඇත්තේ ඉතා වාසනාවන්ත සමයකි.

කෙමෙන් කෙමෙන් බුදුපියාණන් වහන්සේ පහළ වූ කාලය, දම්දෙසූ කාලය, ඒ ආශ්චර්ය පැවතියාවූ කාලය කෙමෙන් තත්පරයෙන් තත්පරය, දවසින් දවස, වසරින් වසර ගෙවී යයි. එම උතුම් කාලයෙන් අප ඈත්වනු මිසක ළංවීමක් නොවන්නේය.

විරාගි සිතැති, සන්සුන් ඉඳුරන් වලින් සුපේශල වූ ශික්ෂාකාමී වූ නිකලෙස් හදවතක් දරන්නාවූ මෙත්තා මහරහත් තෙරණින් වහන්සේ වැනි රහත් උත්තමාවියන් පහළ වූ සමය සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු දසදහසක් රහත් උතුමෝ ප්‍රාතිහාර්ය පෑ සමය කෙමෙන් කෙමෙන් අප කෙරෙන් ඈතින් ඈතට යනු ඇත.

සිතට නැඟෙනුයේ අසරණභාවය මුසුවූවකි. නමුදු ඒ උතුම් ශ්‍රී සදහම පවතින නිසාවෙන් ප්‍රතිපත්තිගත ජීවිතයකට එළඹ රහත් උතුමෝ පහළ වූයේ මේ ගෞතම සම්බුදු සසුනින්මයි. එම ප්‍රතිපත්තියෙන්මයි යන ශ්‍රද්ධා සිතිවිලි මෝදු කරගෙන දුක්ඛිත සතර අපාදුකකට නොවැටෙන සිතක් උරුම කරගන්නට මේ ධර්ම මාර්ගයම හේතුවනු නොඅනුමානය. පින්පිරූ උතුමෝ දිවිහිමියෙන් සිල් රැක්කෝය. දිවිහිමියෙන් භාවනා කළෝය. ඒ භාවනා සිතින්, භාවිත සිතින් ලෝකය විනිවිද දැක්කෝය. එවන් වූ උත්තමාවියක වූ මෙත්තා මහරහත් තෙරණියෝ සමාහිත හිතක් ඇතිව විරාගී සිතක් ඇතිව මේ මහපොළොවේ රහත් තෙරණියක ලෙස පිරිනිවී වැඩම කොට වදාළ සේක.